ඉන්දියාවට වීසා නිදහසක්

 
 

වරාය නගරය හා ගැමි දිරිය

 
 

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

 
 

මීරියබැද්දේ නාය ගිය ජීවිත

 
 

අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ

 
 

සසර වසන තුරු ප්‍රේමය

 
 

මුල් පිටුව

 
 

ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි

 
 

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

 
 

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


ගැඹුරු දාර්ශනික තල ස්පර්ශ කරන හඬ නළුවෙන් බුදු මඟ

ගැඹුරු දාර්ශනික තල ස්පර්ශ කරන හඬ නළුවෙන් බුදු මඟ

මීට දශක කිහිපයකට පෙර ගුවන් විදුලි නාටකයට හිමිව‍‍ූයේ අතිවිශාල ශ්‍රාවක ආකර්ෂණයකි. විනෝදාස්වාද කර්මාන්තය මෙතරම් ප්‍රචලිත නොවූ එම යුගයන්හි ජනතාවගේ එකම විනෝදාස්වාදය වූයේ ගුවන් විදුලියට සවන් ද‍ීම ය. නො එසේ නම් වේදිකා නාට්‍යයක් හෝ චිත්‍රපටයක් නැරඹීම ය. එහෙයින් මෙම සෑම මාධ්‍යයකටම පාහේ එක හා සමාන ශ්‍රාවක, ප්‍රේක්ෂක පිරිසක් ගොනුවූ අතර ඒ ඇසුරෙහි මේ සෑම මාධ්‍යයක්ම ගුණාත්මක වශයෙන් මෙන් ම කර්මාන්තයක් ලෙස ද වර්ධනය විය‍. එතකුදු වුව අනිකුත් මාධ්‍යයන් දෙක හා සන්සන්දනය කරන විට ගුවන් විදුලිය පොදු ජනයා හට විනෝදාස්වාදය සපයන ප්‍රධාන තම මාධ්‍යය බවට පත්වූයේ අපගේ පවුල් ඒකකය එකම කේන්ද්‍රයක් තුළ රඳවා තබා ගැනීමේ ශක්තිය නිතැතින් ම එය සතුව‍ූ බැවිනි.

ගුවන් විදුලි නාටකය වූ කලි එහි ප්‍රධානතම පොදු සාධකයයි. ශ්‍රාවකයෝ ඒ වටා රොද බැඳ ගත්තේ පවුල් ඒකකයෙහි ඇති ශක්‍යතාව ද, එසේ ම ගුවන් විදුලියක් නොමැති පුද්ගලයෝ කඩමණ්ඩියට හෝ වෙනත් පොදු ස්ථානයකට රැස්වී එය ශ්‍රවණය කළේ ද අන්‍යොන්‍ය සහයෝගිතාවයෙහි ශක්තිය ද වඩ වඩා පැහැදිලි කරමිනි. 80 දශකය මධ්‍ය භාගය ‍වනතෙක් අප සතු වූයේ සිංහල බසින් ප්‍රචාරය වූ ගුවන් විදුලි නාළිකා දෙකකි. ඉන් පළමු වැන්න වූයේ පළවන සේවය හෙවත් ස්වදේශීය සේවය වන අතර එහි අනික වූයේ දෙවන සේවය හෙවත් වෙළෙඳ සේවයයි.‍ මෙම නාළිකා ද්වය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හරහා ප්‍රචාරය කරන ලදින් ඒ තුළ සැබවින් ම අන්තර්ගත වූයේ ගුණාත්මක වැඩසටහන් පමණි. වෙළෙඳ සේවය ස්වදේශීය සේවයට සාපේක්ෂව තරමක වාණිජ ස්වරූපයක් ඉසුලුව ද එහි දී පවා ප්‍රචාරය වූයේ මනා ලෙස ඔප මට්ටම් කරන ලද වැඩසටහන් පමණි.

ගුවන් විදුලි නාටකයන් ද බොහෝ විට නිෂ්පාදනය වූයේ වෙළෙඳ සේවය තුළ ය. එහෙත් ළමා රංග පීඨය වැනි වැඩසටහන් ස්වදේශීය සේවය තුළ ද නිෂ්පාදනය වූ බවට සිහින් මතකයක් ඇත. එහෙත් වර්තමාන තත්ත්වය එසේ නොවේ. අද අපට ගුවන් විදුලි නාළිකා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩි ය. ඒ හරහා ප්‍රචාරය වන වැඩසටහන් ද විශාල ප්‍රමාණයකි. එහෙත් අප එයින් තෘප්තිමත් ද? නැත. එය අපගේ වින්දන පරාසයක් පුළුල් කරයි ද? පිළිතුර නැත යන්න ය. එය අප ගුණාත්මක ලෙස පෝෂණය කරයි ද? පිළිතුර නැත යන්න ය. කුමන කෝණයකින් බැලුව ද පිළිතුර එකම වේ. වර්තමාන ගුවන් විදුලි සංස්ථාවෙහි ස්වරූපය ද එයට වඩා විශාල ප්‍රගතියක් පෙන්නුම් නොකළ ද එහි නිරත ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරුනට, නිවේදකයිනට හා වැඩිහිටි ශිල්පීන් හට පින් සිදුවන්නට අනිකුත් ගුවන් විදුලි නාළිකා අතර තවමත් එහි යම් තරමකට හෝ ගුණාත්මක බවක් පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අද අවශ්‍ය වනුයේ දක්ෂ වැඩසටහන් සම්පාදකවරුන් ය. ශ්‍රාවකයාගේ හැඬ රුව හඳුනාගත් හරවත් වැඩසටහන් නිෂ්පාදනය වන්නේ නම් ඒ වටා රොක්වීමට තවමත් බොහෝ පිරිසක් සූදානම් ය. එමෙන් ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වටා එක්රොක් වන ශ්‍රාවකයා අනිකුත් විද්‍යුත් නාළිකා ඇසුරු කරන ශ්‍රාවකයාගෙන් සපුරා වෙනස් වන බව ද නිෂ්පාදකවරුන් පැහැදිලිවම දත යුතු ය. එහෙයින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අනිකුත් නාළිකා සමඟ සාර්ථකව තරග කළ හැකි වනුයේ එහි අනන්‍යතාව පැහැදිලි ලෙස ස්ථාන ගත කළහොත් පමණි. ඒ සඳහා ‍එම ආයතනය සතුවන ගුවන් විදුලි තැටි ගබඩාවෙන් ගත හැකි ප්‍රයෝජන අතිමහත් ය. එහෙත් එම තැටි ගබඩාවෙන් නිසි පරිදි ප්‍රයෝජනයක් ගන්නා බවක් අපට පෙනෙන්නට නැත. ඉඳහිට හෝ එයින් හරවත් ප්‍රයෝජනය ක් ලබාගනුයේ කිහිප දෙනෙකු පමණි. රම්‍යා ශ්‍රියානි පතිරණ, චිත්‍රා කුමාරි කළුබෝවිල වැනි ජ්‍යෙෂ්ඨ නිවේදිකාවන් විසින් නිරතුරුවම පාහේ ප්‍රචාරය කරනු ලබන 60 - 70 - 80 දශකයෙහි බිහිවූ මුල් ගායනා නො ඇසෙන්නට මේ ‍වනවිටත් අප ගුවන් විදුලියට සමුදී අවසානය.

එමෙන් ම උදෑසන ප්‍රවෘත්ති නො ඇසෙන්නට මේ වනවිටත් සමස්ත ශ්‍රී ලාංකික වැසියා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට සමුදී අවසානය. මන්ද මීට කලකට ඉහත ප්‍රචාරය වූ ‘සොඳුරු සෙවණ’, ‘චන්ද්‍ර මඩුලුයට’, ‘විශ්ව සාහිත්‍යයෙන්’, ‘ශාස්ත්‍රීය සංග්‍රහය’, ‘ශාස්ත්‍රීය සංගීතය’, ‘ජන සංගීතය’, ‘පැරැණි ගී’ වැනි ශ්‍රාවක ආකර්ෂණය දිනාගත් වැඩසටහන් අද නො ඇසෙන බැවිනි. එමෙන් ම මීට කලකට ඉහත අඛණ්ඩ ලෙස ප්‍රචාරය වූ ගුවන් විදුලි නාට්‍ය මාලාවක් ද අද අප සතුව නැත. ළමා ශ්‍රාවකයන් වෙනුවෙන් වෙන්වූ කිසිදු වැඩසටහනක් අද නැත. අවම වශයෙන් ළමා රංග පීඨය හෝ දැන් අපට අසන්නට නැත. මෙවැනි වටපිටාවක තවමත් ගුවන් විදුලි රඟ මඬල හා පොහොය දින ප්‍රචාරය වන බෞද්ධ නාටකය ආරක්ෂා වී තිබීම අපගේ වාසනාවකි.

එමෙන් ම පුදුමයකි. ගුවන් විදුලි රඟ මඬලට මෙන් ම බෞද්ධ ගුවන් විදුලි නාටකයට ද ඇත්තේ ඉතා විශාල අතීතයකි. සුගතපාල ද සිල්වා වැනි නිර්මාණාත්මක නිෂ්පාදකවරු අත පිරිපහදු වූ ගුවන් විදුලි නාටකය එකල අපගේ පරිකල්පන ශක්තිය පෝෂණය කරනු ලැබුවේ අපගේ භාව මණ්ඩලය තුළ මෙන් ම ඥාන මණ්ඩලය තුළ ද මනා වූ චිත්ත රූප රාශියක් බිහි කරමිනි. එහි ආනන්දය තවමත් අප සිත් තුළ තැන්පත්ව පවතී. වර්තමාන ගුවන් විදුලි රඟ මඬල හා බෞද්ධ නාට්‍යය නිෂ්පාදනය කරමින් එහි ගුණාත්මක බව ආරක්ෂා කිරීමෙහිලා වෙහෙසෙන වජිර ඉන්දික කරුණාසේන අත ද එම කාර්යය ධනාත්මක ලෙස වර්ධනය වී ඇති බව අපට දැනේ. නිෂ්පාදන කාර්යය සාර්ථක කර ගැනීම වස් අවශේෂ ශිල්පීන්ගේ දායකත්වය ද ඉතා ඉහළ මට්ටමින් ලබා ගැනීමට ඔහු වෙහෙසේ. එය අපගේ ඇගයීමට ලක්විය යුතු ය. කැත්ලීන් ජයවර්ධන අත රචනා වී ඇති “හඬ නළුවෙන් බුදු මඟ” කෘතිය ද එහි ම එක් දිගුවකි‍.

“හඬ නළුවෙන් බුදුමඟ” වූ කලි ඇය විසින් ගුවන් විදුලියට රචනා කරන ලද බෞද්ධ නාට්‍ය දහයක එකතුවකින් සැදුම් ලත් කෘතියකි. එහෙත් මෙහිදී අපට හමුවන කිසිදු කතාවක් අපට හුරු පුරුදු බෞද්ධ කතා නොවේ. බෞද්ධ නාටක කී පමණින් අපගේ මතකයට නැ‍ඟෙනුයේ ජාතක කතා ය. එහෙත් ඇය හුදු ජාතක කතාව පමණක් කිසිවිට තම බෞද්ධ නාටක සඳහා භාවිතා නොකරයි.

ඇය අත බිහිවනුයේ ඇයගේ පරිකල්පනය ඇසුරෙහි බිහිවන ඇය විසින් ම නිර්මාණය කරන ලද බෞද්ධ නාටකයකි. සමහර නාටකයන් සඳහා කිසියම් ජාතක කතාවක් පදනම සේ යොදාගත්ත ද බොහෝ විට ඇයගේ අවධානය යොමු වනුයේ බුදු දහමෙහි විශද වන දාර්ශනික තලය වෙත ය. ඒ සඳහා මෙම කෘතිය පැහැදිලි සාක්ෂියකි. එමෙන් ම මේ සෑම ගුවන් විදුලි නාටකයක් ම සරල ආකෘතියක නිම වේ. එහෙත් එම සරල ආකෘතිය තුළ ඇය සාකච්ඡා කරනුයේ බෞද්ධ දාර්ශනික සත්තාව ය. එහෙයින් ඒ සෑම කතාවක ම නැවුම් සහගත ස්වරූපයක් මෙන් ම ගැඹුරු මානවීය ධර්මතාවක් ද ප්‍රකට කරවයි. එම නාටක තුළ අපට මුණ ගැසෙන සියලුම පාත්‍ර වර්ගයා අප එදිනෙදා හමුවන මිනිස් සාමාජිකයෝ ම වෙති. ඔවුන් සියලු දෙන ජීවත් වනුයේ වර්තමානයේ අප සමඟ ය. එහෙයින් එම චරිත සමඟ ගනු දෙනු කිරීමට අපට එතරම් වෙහෙසක් දැරීමට සිදුනොවේ. එය ගුවන් විදුලි නාටකයක දැකිය යුතු වූ එක් ප්‍රධාන ලක්ෂණයකි.

ගුවන් විදුලි නාටකය වූ කලි එක් කෙටි කාලසීමාවක් තුළ අති විශාල ශ්‍රාවකයින් පිරිසක් ඇමතිය හැකි නාට්‍ය විශේෂයකි. එහිදී නාටකයෙන් නිරූපණය වන්නා වූ චරිත සමඟ විශ්වසනීත්වයක් ගොඩනඟා ගැනීමට ශ්‍රාවකයාට හැකි විය යුතු ය. එසේ නොවන්නේ නම් ශ්‍රාවකයා ඉන් ඉවත්ව වෙනත් වැඩසටහනක් වෙත සංක්‍රමණය වීම නොවැළැක්විය හැක්කකි. කැත්ලින් ජයවර්ධන ගේ බෞද්ධ නාට්‍යය කොතරම් ගැඹුරු දාර්ශනික තලයන් ස්පර්ශ කළ ද සැම විට ම ශ්‍රාවකයාගේ විශ්වසනීයත්වය එය හිමි කරගනී. “හඬ නළුවෙන් බුදු මග” කෘතිය තුළ හමුවන සෑම කතා වස්තුවක් තුළ ම මෙම ලක්ෂණය පැහැදිලිව ම ඉස්මතු වේ. මෙහි එන සමහර ගුවන් විදුලි නාටකයන් කෙටි නාට්‍යය ලෙස වේදිකාව තුළ පවා නිෂ්පාදනය කළ හැකි ලෙස නාට්‍යානුසාරී ගුණයෙන් යුක්ත ය. “මිනිසා, සොරා සහ වස්තුව” වූ කලි එවැනි ප්‍රබල සංවාද නාටකයකි. “ගල් වඩුවා හා බැතිමතා” යන නාටකය මෙම කෘතියෙහි හමුවන ඉතා පිරිපුන් නිර්මාණයකි.

භෞතික වස්තු පොර බදිමින් දිවයන බුද්ධාගම් කාරයෝ ද සියලු දේ අත්හැර දැමීමට සූදානම් නික්ලේශී ගුණයෙන් යුතු මිනිස් සත්වයෝ ද එකම භූමි තලය තුළ එකිනෙකට වෙනස් ආකාරයකට ක්‍රියාත්මක වනුයේ කෙසේ ද? යන්න උක්ත නාටකය අපට පෙන්වා දේ. අව්‍යාජ ව‍ූ මිනිස් සන්තානය යනු කිසිදු පූර්ව කොන්දේසියකින් තොර වූවක් බව මෙම කතා වස්තුව අපට පැහැදිලි ලෙස ඉඟි කරයි. “සිරි මැදුරෙන් නික්මුණෙමි” වූ කලි මිනිසාගේ අභ්‍යන්තර හා බාහිර ප්‍රතිවිරෝධතාවන් හි සැබෑ ප්‍රකාශනයකි. ‘එකතු කිරීම්’ නාටකය මනා චිත්තරූප රාශියකින් හෙබි නිර්මාණයකි. “යාචකයාගේ වෙසක්” නාටකය බුදු දහමෙහි සමාජ දර්ශනය විකෘති වී ඇති සමාජ පසුබිමක බිහිවන්නකි.

‘ථේරි ගීත’ හා ‘සාධු සංධ්වනිය’ යන කතා ද්වය යටින් ගලා යන සිහින් ස්වරය අපට හඳුනාගත හැකි නම් අපගේ ජීවිත දැන් ගත කරන ප්‍රමාණයට වඩා ගව් ගණනක් දුරට විහිදී යනු ඇත. එම ලක්ෂණය උක්ත කෘතිය තුළ හමුවන අනිකුත් නාටක තුළින් ද පැහැදිලිව ම විද්‍යමාන වේ. කැත්ලින් ජයවර්ධනගේ ගුවන් විදුලි නාට්‍ය කලාව තුළ දැකිය හැකි ප්‍රබල ලක්ෂණයක් වනුයේ ප්‍රධාන කතා තේමාව තුළට අතුරු කතාවක් ද ගලා යාමයි. එය විටෙක කෙටි කතාවකි‍. විටෙක එය ගීතයකි. එසේ නොමැති නම් විශම සම්භාව්‍ය පුද්ගල චරිතයකි. මේ සෑම අතුරු ප්‍රවේශයක් ම මූලික කතා තේමාව තුළ සමෝධානය කිරීමට ඇය ගනු ලබන උත්සාහය ප්‍රශංසනීය ය. එහෙයින් එම සෑම නාටකයක් ම ශ්‍රවණය කිරීමෙන් අනතුරු ව ශ්‍රාවකයා තුළ නිර්මාණය වනුයේ අපූර්වත්වයකි. නිරාමිස වූ වින්දනයකි.

නිෂ්පාදන කටයුතු තුළදී ඇය ගේ පිටපතට ලැබෙන ජීවමය ගුණය ඉතා විශාල ය. පිටපතට අවැසි සංගීත ඛණ්ඩයන් මනා ලෙස තෝරා බේරා ගැනීමට එහි නිෂ්පාදකවරයා උනන්දු වෙයි. රංගන ශිල්පීන් උසස් ලෙස තම කාර්යය නිම කරයි. නාද සංකලනය නිර්මාණාත්මක ලෙස බිහි වේ. එහෙයින් කැත්ලීන් ජයවර්ධන අත බිහිවන ගුවන් විදුලි බෞද්ධ නාටකය අවසන සාධු සංධ්වනියක් බවට පත්වේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්