පාරුව ගැන සුන්දර මතකයක්...
පාරුව ගැන
සුන්දර
මතකයක්...
පැරණි උඩරට රාජධානිය පරිපාලන ඒකක වශයෙන් දිසා දොළොසකට හා රටවල් නවයකට
බෙදා තිබිණි. දිසා විශාල පරිපාලන ඒකකය වූ අතර රටවල් ඊට වඩා කුඩා පරිපාලන ඒකක
විය. දිසාව දිසාවේ විසින් ද, රටවල් රටේ මහත්වරුන් විසින් ද පාලනය කරන ලදී. මේ
දිසා අතර සයවන දිසාව තුන් කෝරලයයි. තුන් කෝරලයේ දිසාවේ බේරුණ්ඩ පක්ෂියා කොඩිය
රැගෙන පෙරහැරේ ගමන් කළේ ද සයවෙනුව ය. පසු කලෙක පාත බුලත්ගම නම් රට තුන්
කෝරලයට එක් කෙරිණි. බ්‍රිතාන්‍ය යුගයේදී තුන් කෝරලයත්, සතර කෝරලයත් එක් කොට
කෑගලු දිස්ත්‍රික්කය නිර්මාණය කෙරිණි. තුන් කෝරලයේ මතකය පැරණි තුන් කෝරල
වාසීන්ගේ කෙළිසෙල්ලම්, සිරිත්විරිත්, ජනශ්‍රැති, රැකීරක්ෂා, කර්මාන්ත,
ගමන්බිමන් ඈ නොයෙක් දේ පිළිබඳ මතකය සොයා යන ලිපි ගමනේ ආරම්භයක් ය.
තුන් කෝරලය හරහා ගලා බසින කැලණි ගඟ හා සීතාවක ගඟ, ගුරුගොඩ ඔය, රිටිගහ ඔය, වී ඔය
ආදී එහි අතු ඉති සමුදාය තුන් කෝරලය ජලාශ්‍රිත පෙදෙසක් බවට පත් කරයි. අතීතයේ
පටන් ම ගමන් බිමන් වලදී තොටුපලකින් එතෙර වන්නට ඔරුව හා අඟුල භාවිතයට ගැනිණි.
දැව ගඟ දිගේ ප්‍රවාහනය කරන ලද්දේ ‘පහුරු’ මඟිනි. විසිවන සියවසේ මුල් භාගයේදී
ගමේ නිෂ්පාදන කොළඹටත්, කොළඹින් ගමේ කඩපොළට බඩුමුට්ටු ගෙනෙන්නටත් ප්‍රධාන
පරිවහන මාධ්‍ය සේ යොදා ගත්තේ ‘පාරුව’ යි.
“ඉස්සර අපි පුංචි උන් සන්දියෙ කැලණි ගඟ හරියට මහපාරක් වගේ. දැන් පාරේ බස්
යන්නැහේ ගඟේ පහුරු, පාරු, ඔරු, අඟුල් වගේ යාත්තරා ගමන් කොළා.”
අදින් අවුරුදු විස්සකට පමණ පෙර කැලණි නදිය අසබඩ පදිංචිව සිටි ඒ වන විට ජීවිතයේ
අගිස්සට ගොස් සිටි ගැමියෙක් (අද ජීවතුන් අතර නැති) මා හා කීවේ සිය පැටි විය
සිහිගන්වමිනි. කොහොමටත් ගංගාශ්‍රිත පෙදෙස්වල එදා ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය
වූ පාරුව ලොරි රථ වැඩි වන විට සිය කාර්ය භාරය ලොරියට පවරා දෙමින් ඉතිහාසයට එක්
වූයේ ය.
පාරුව හැඩයෙන් අඟුලට සමානකම් දක්වන යාත්‍රාවකි. එහෙත් එය අඟුලට වඩා බෙහෙවින්
විශාල ය. එබැවින් පාරුව තනන විට විශාල ඔරු දෙකක් තනා ගත යුතු ය. ඔරුවක් හදන්නට
කඩතීරු දෙකක් අවශ්‍ය ය. ඔරු දෙකක් සඳහා අවශ්‍ය කඩතීරු ගණන හතරකි. මේ කඩතීරු ඉරා
ගන්නේ කොස් වැනි සවිමත් දැවයකිනි. අනතුරුව කඩතීරු අතරින් ලෑලි ගසා ඔරු සාදා
ගනී. මෙම ලෑලි සඳහා කොස්, හොර වැනි ඔරොත්තු දෙන දැව යොදා ගනී. මෙසේ තනා ගන්නා ඔරු
දෙක එක් කර සවිමත් තට්ටුවක් තනා ගත යුතු ය. ඔරු දෙක එක් කොට තට්ටුව සකසන්නේ බෝඹු
වැනි සවිමත් ලී වලින් බාල්ක දමා ඒ මත ලෑලි ගැසීමෙනි. පාරුවට අඹරාවක් බැඳිය
යුතු ය. (කරත්ත තට්ටුව මත ද පියස්සක් වශයෙන් බඳින්නේ අඹරාවකි.) පාරුව මත ද
ආරුක්කුමය හැඩයකට බඳින පියස්ස අඹරාවයි. පාරු තට්ටුව වැසෙන සේ අඹරාව බැඳ පොල්
අතු සෙවිලි කිරීම සිදුවිය. කරත්තයෙන් මෙන් ම පාරුවෙන් ද බඩුමුට්ටු ප්‍රවාහනය
කෙරෙන බැවින් ඒවා නො තෙමී ආරක්ෂා කරගන්නට අඹරාව අවශ්‍ය විය. පාරුක්කාරයන්ගේ
රෙදි, පහේ ජාති, බුලත්පහේ, මුල් දිනයේ ගෙදරින් ගෙන යන බත්ගෙඩි (බත්මුල), පිහිය,
උයනපිහින කලප්පන්න ආදිය තැන්පත් කරන්නේ ද අඹරාව ඇතුළේ ය.
පාරුවට කුඩා ඔරුවක් ද සම්බන්ධ කෙරෙයි. මෙම කුඩා ඔරුව හැඳින්වූයේ නතර ඔරුව නමිනි.
නතර ඔරුව දෙදෙනකුට ගමන් කළ හැකි කුඩා ඔරුවකි. ගඟේ අසීරු තැන්වල ගමන් කරන විට
නතර ඔරුවේ සිටින ඔරු කාරයෝ ඔරුව දුරට ගෙන ගොස් ගඟට නැමුණු අත්තක කිත්තං කඹය ගැට
ගසති. කිත්තං කඹයේ අනෙක් කොන පාරුවට සම්බන්ධ ය. පාරුවේ සිටින්නන් කිත්තං කඹය අඳින
විට පාරුව ගමන් කරයි. පාරුවේ දෙපැත්තෙන් සිටින රිටි කාරයෝ පාරුව හැරෙන්නට නො දී
රිටෙන් පාරුව නිසි මගට ගනිති. රිටි කාරයන් කර මේ කාර්යය පාරු භාෂාවේ හැඳින්වෙන්නේ
අවර අල්ලනවා යන වදනිනි.
පාරුව තුන් කෝරලයේ රුවන්වැල්ල, යටියන්තොට වැනි ස්ථානවල සිට පිටත්වන්නේ ගමෙන්
කොළඹට ගෙන යන පුවක්, පෙතිපුවක්, කෝපි, ගම්මිරිස්, කොප්පරා ආදී වෙළඳ ද්‍රව්‍ය
පටවාගෙන ය. බෝගල මිනිරන් පතලේ මිනිරන් කොළඹට ප්‍රවාහනය කරන්නට ද පාරු
යොදවාගෙන තිබේ. කොළඹ ගිය පාරුව යළි ආපසු එන්නේ රුවන්වැල්ල ඇතුළු තුන් කෝරලයේ
කඩමණ්ඩිවල මුදලාලිලාට ඇවැසි හාල්, කරවල, පරිප්පු, අර්තාපල්, පිටි ආදී
ද්‍රව්‍ය පුරවාගෙන ය. කොෙහාමටත් පාරුව වර්තමානයේ දක්නට ලැබෙන කන්ටේනරයක
තරම් බඩු ප්‍රමාණයක් පටවා ගෙන එන ප්‍රවාහන යාත්‍රාවක් බව පැරණි අයගේ මතයයි.
පාරුව වටින් ගොඩින් එළිය වැටෙන විට රංවල දෙවියන්ට පඬුරු බැඳ දියත් කෙරේ. බොහෝ විට
පාරුකාරයෝ පළමු දින හීලත්, දාවල් වේලත් බත්ගෙඩි සේ ගෙනියති. අවශ්‍ය නම් රෑ වේල
ගෙනයන්නට ද හැකි ය. බත්ගෙඩිය කොළපතක ඔතන ලද්දකි. ඉතින් ලේසියෙන් පිළුණු නො
වේ. වේලෙන්න උයන ලද අල, හොඳින් මැලවූ පොල්සම්බල, තෙලින් බැඳගත් හාල්මැස්සෝ, මියන
කොළ වැනි දෑ ඊට අඩංගු ය. ඇතැම් රැයක පාරුකාරයෝ සාමූහිකව බත් පිසති. ගඟ දෙපස
කඩමණ්ඩිවල ආහාරපාන සපයන කඩ තිබේ. ඔවුහු පාරුකාරයන් කැමති ආහාරපාන පිස
දෙත්. කොහොමටත් ඒ පිළිබඳ තීන්දු තීරණ ගන්නේ තණ්ඩේල ය. (තණ්ඩලේ යනු පාරුවක හෝ
ගැල්පෙළෙක නායකයා හඳුන්වන නමයි.) මත්පැන් අවශ්‍ය අයට ඒවා ලබාගන්නට ද ගඟ දෙපස
පහසුකම් තිබේ.
පාරුව ඇසුරින් බිහි වූ ජන සාහිත්‍යය පාරු කවියයි. අඹරාව සහිත පාරුව ගෙයකට සමාන
කෙරෙන මෙම කවිය එක් පාරු කවියකි.
‘සීරුව ඔබට කණු නො ම සිටුවා මහත
වාරුව ඇතුව දිය පිට තැනු ගෙයක් ඇත
මාරුව තැනින් තැන බඩු ගෙන ගමන් යත
පාරුව වැනි ගෙයක් මේ මුළු ලොවේ නැත’
1825 දී තොටළඟ කරත්ත ගමනාගමනයට ඔරු 21 ක් මත ලී තට්ටුවක් සකසා ඔරු පාලම සකස්
කෙරිණි. මෙම ඔරු පාලම දිනකට පැයක් ඉවත් කළ බව කියැවේ. ඒ පාරු හා පහුරුවලට ගමන්
කරන්නට ය.
පාරුකාරයෝ වැඩි දවසක් ගඟ දිය බත කල් යැවූ දුෂ්කර රැකියාවක් කළ වීර්යවන්ත
මිනිස්සු වෙත්. අද බඩු ගෙන පාරුව අපේ මතකයෙන් ඈත් වූ අතීතයට අයත් සුන්දර
මතකයකි.
මහානාම දුනුමාල
|