වෑදිය දෝතක්
වෑදිය දෝතක්
“මේ රට රාජ්ජෙන් මහ කොටහක් ලගින්නේ එක්කෝ ඉස්පිරිතාලේ... එක්කෝ හිරේ
විලංගුවේ.”
“හප්පා රටෙන් තොටෙන් අඩලක්ම (අඩක්ම) ගාල්වෙලා ඉන්නේ ඉස්පිරිතාල වල කියලයි මට
හිතෙන්නෙ කිරිඅත්තේ.”
“මොකෑ බොවගෙ ඒ හරුපේ තේරුම පිංචෝ...?
“කිරිඅත්තට කියන්ඩ, ඊයේ බේත් ඩිංගිත්තක් ගන්ඩ කියලා පාන්දරම ඉස්පිරිතාලෙට
අඩිකැඩුව මං (ගිය මා) ආපිට ගෙදෙට්ට පය තියෙන කොට මයෙහිතේ රෑවට හෝරාවක්වත් නෑ
ඕං.” (රාත්‍රිය ලබන්නට පැයක් පමණවත් නැත.)
“ඔහෙ පලයං එච්චර කල්කෑවේ (කාලය ගියේ) මොකටද පිංචෝ...?”
“කියලා වැඩක් නෑ. ගොහිං බැලින්නං ලෙඩා දුකා (රෝගීන්) ඉස්පිරිතාලෙන් එකයි ඕං.”
(රෝහල තුළ පිරී සිටියා.) දෙය්යං පල්ලා පෝලිමේම ඉඳලා...ඉඳලා... මයෙ දොංඩන් දෙකේ
රුදාගාය. (මගේ දෙපයේ වේදනාව)
මං හිරීකේඩුවෙලා ඕං හිටියෙ ‘කිරි අත්තේ...” (සිරුරට හිරිවැටිලයි තිබුණෙ)
“හෑබෑට...?”
“ඔව්... ඔව්... ඒකනෙ මං කීවේ රටෙන් තොටෙන් අඩලක්ම ඉස්පිරිතාලේ ගාල් වෙලා ඉන්න
විත්තිය...”
“හ්ම්... ඒක හැබෑවයි පිංචෝ... මේ රට රාජ්ජෙන් මහ කොටහක් ම ලගින්නේ එක්කෝ
ඉස්පිරිතාලේ, එක්කෝ හිරේ විලංගුවේ... මොකද බැලින්නං කොටහක් ලෙඩාමානියා
වෙච්චි. කොටහක් මැරෑටියෝ වෙච්චි.” (කොටසක් ගිලන් වූවෝ වෙති. තව කොටසක්
අපරාධකරුවෝ වෙති.)
“හැබෑ නේන්නං... කිරි අත්තේ... මහ උළුගෙදර කූටැලිවෙන මැරෑටියෝ ගැන නං මං
දන්නෑ... එහෙම නෙවෙයි, එදා ඉස්පිරිතාලේ ගාව බජරැස්කාලා හිටපු (උරෙන් උර ගැටී
සිටි) ලෙඩා දුකාට නං මහ දොස්තර මහත්තැන් පංකාදු දැනමුතු කොමක් දුන්නාඕං...”
“මොකද පිංචෝ උන්නැහැ දීපු දැනමුතු කොම... ඈ...?”
“හුඃ උන්නැහැ අපේ ගාලගෝට්ටිය (කලබලය) මර්සාදිකොරලාහිටං (මැඩපවත්වලා,
නවත්වලා) අහපි තමාලා රෝගීන් වෙන්ඩ හේතු දන්නවාද කියලා.”
“ඉතිං පිංචෝ... බොලා මොකද උන්නැහැට උත්තර බැන්දැයි...?”
“ඉන්දා... අපි දෙකොන පියාගන දොස්තර මහත්තැන් ගේ කට දිහා ඇහැඩොක්කාගන (දෑස
ඇරගෙන) හිටියා මිසක්කා එතන හිටපු එකෙක් නෙවෙයි ඕං කටපත් ඇද්දේ (පිළිතුරු දුන්නේ)
“ඉතිං...?”
“ඒකොරලා හිටං උන්නැහැ කටහඬ ඩිංගිත්තක් වැඩි කොරලා මෙහෙමයි ඕං තෙපරබෑවේ
(ප්‍රකාශ කළේ) කිරිඅත්තේ...”
“ඒ කොහෙමෙයි පිංචෝ...?”
“තමාලා වත්තෙන් පිටියෙන්, හේනෙන්, කුඹුරෙන් උපයා ගන්න පෝසන දේවල් කන්නෙ නැතුව,
කඩේ විකුණන පිටරටවල විස කෑම... බීම ජාති කන බොන එක තමයි ඔය ලෙඩ රෝගවලට පරදාන
හේතුව වෙලා තියෙන්නේ. ඒ හින්දා ඔය ඇත්තෝ විතරක් නෙවෙයි දූ දරුවොත් ලෙඩ්ඩු වෙනවා.
මේ කාරණේ හොඳට හිතේ තියාගන තමුන් උපයන කන බොන ජාති දැන් ඉඳලාවත් ගන්නට පුරුදු
වෙන්න... කියලයි උන්නැහැ ලෙඩා දුකාගේ කනේ තිබ්බේ.” (රෝගීන්ට පහදා දුන්නේ.)
“බොහොම හරි... බොහොම හරි... උන්නැහැගේ ඒ කතා ඩිංග රට රාජ්ජක් වටිනවා ඕං පිංචෝ...”
“හ්ම්... ඒකනං හැබෑ තමයි, ඒත් ඉතිං ඔව්වා අහන කොරන උන් කොහේද කිරිඅත්තේ මේ
රටේතොටේ?”
“ඒක හරි බොලා පරදෙස්සංගේ (පිටරැටියන්ගේ) දේවල්නොවැ ඔලුගෙඩියේ තියාගන
ඉන්නෙ. වත්තේ පිටියේ, හේනේ, වෙලේ හැදෙන දේවල් බොලාට කාජ - බෝජ කොරගන්ඩ (කෑම - බීම
කරගන්නට) පිනක් නෑ බොලව්...”
“ඔ...ව්... කිරිඅත්තේ...”
“හුඃ බලාපල්ලකො ඔ...ව්... කියන රඟේ විතක් (හැටි)
“මේ අහපං පිංචෝ... බොලාගේ වත්තෙන් පිටියෙන් අල, බතල, පලතුරු ටික, හේනෙන් -
කොටුවෙන්, එළෝලු ටික, වෙල්යායෙන් වී හාල් ටික උපද්දා ගනිල්ලකො. ඒකනෙ අර දොස්තර
උන්නැහැ බොලාට හූනා කියන්නාවාගේ දෙසා බෑවේ...”
“අනේ මන්දා කිරිඅත්තේ... කඩෙන් ගන්නා වාගේ වත්තේ පිටියේ දේවල් උපද්දන එක ලේසි
පාසු නෑනෙවැ...”
“කට... කට... කට... ඔතෑනි හැත්ත (කම්මැලියෝ) ඇයි බොලව් පරයටම බොලා ආලිත්තං
බාන්නෙ. බොලා පැලවෙච්චි (උපන්) දේසෙට ගහුරවයක් නැද්ද මං අහංනෙ...?”
“දෙය්යං පල්ලා කිරිඅත්තේ මං නං පැලවෙච්චි මයේ රට රාජ්ජෙට උලිහිලි පාන්නෑ ඕං...”
“දැන් බලාපං පිංචෝ, අපේ වත්තක පිටියක ලොකු දෙල් ගෙඩියක් දැක්කත් පුවකයක්
දැක්කත් වෙන මොකක්හරි ඇහැට කනට පේන දෙයක් දැක්කත්, අපේ උන් ම උජාරුවට ගොරබාන්නේ
රට දෙලේ, රට පුවකේ වාගේ, පරදේසවලට ආවඩන හරුපනෙවැ...”
හ්ම්... එව්වා ගැන කියලා වැඩක් නෑ ඕං කිරිඅත්තේ. අපේ රටේ තොටේ සිද්ද බිද්ද වෙන
(සිදුවන) පංකාදු දෙයක් දැක්කත් ඇහැකන පියාගන ඉන්න උන් අපේ එකෙක් ගේ ඇබිත්තං
කුණක් දැක්කත් ඒක උඩ පැන පැන ඕං පරයගේ කනේ ගහන්නේ. ඒ විතරක් යැයි සූට්ටං
කූඩිකහලියක් දෙන්න දෙමල්ලෝ අතර උනා කියමුකො. (අඹු සැමියන් අතර සුළු
අරගලයක් වූ විටද) ඒක සමහන් කොරන්ඩත් ගුරුහරුකං ගන්නේ පරයගෙන් නෙවැ.
(පිටරැටියාගෙන්ය) හැබෑට කිරිඅත්තේ ඉසවැදියටත් (හිස රදේටත්) පරයගේ
‘කිරිපල්ල’ අතගාන්ඩ තරං අපේ උන් හුරුවෙලා ඉන්න එකනෙ පුදුමේ.
“හුඃ ඔය පරගැතිකං කොරන්නේ උන්ගේ ජාතකේ පරහටනෙවැ පිංචෝ. ගමේ කොමත්, රටේ කොමත්
අපේ කොමත් තකන්නැති කරුමක්කාරයෝ හින්දානෙවැ අපේ රට රාජ්ජේ මෙච්චර පල්ලං බෑවේ.”
කේ.බී. මානෑව
|