සිළුමිණ: සත් මඬල - කාරුණික පාඨකය මගේ වීර කතාව කියවන්න
කාරුණික පාඨකය මගේ වීර කතාව කියවන්න
මිගෙල් දෙ සෙර්වන්තේස්
සාරවත් දෙයක් උපද්දවන්නට මට හැකි වේවි. මගේ ඥානය ඉතිහාසයේ මා වේළී ගිය
පුත්තු බවට පත්කරාවි. අපහසුතාවලින් පිරුණු සිරගෙයක පහසුවක් නොමැති
පුටුවක් මතදී වර්ණවත් සිතුවිලිවලින් පරිපූර්ණ වූ මා මනස මහා දෙයක්
ඉපැද්දුවා. එතැනදී මට සියලු දෙනාගේ ම දුක් ඇසුණා. ළා දුඹුරු පැහැති දූවිල්ලෙන්
වැසී ගිය පොළොවේ මට ම සීමා වූ තැනක මා ළඟ ළඟ එහෙ මෙහෙ ඇවිද්දා. එකල මා රොද්ද්‍රිගෝ
නමින් පිස්සකු හඳුනාගෙන සිටියා. ඔහු වංශාධිපතියෙක්. එයයි, මගේ ‘කිහෝතේ’
නවකතාවේ මුල්ම දළ සටහන.”
ස්පාඤ්ඤයේ ‘මන්චා’ (LA MANCHA) නම් දේශයේ පිහිටි සිරගෙයක බිත්තියේ කුරුටු ගා ඇති
සටහනක මිගෙල් දෙ සෙර්වන්තේස් මෙසේ ලියා තිබිණි.
ශ්‍රේෂ්ඨ නවකතාකරුවකු පමණක් නොවැ ප්‍රතිභා පූර්ණ හාස්‍ය නාට්‍ය රචකයකු,
දක්ෂ කවියකු හා වීර නාවික යුද කපිතාන්වරයකු ලෙස හෙතෙම ලොවැ නම් දරා ඇත.
මේ වන විට ‘දොන් කිහෝතේ’ නවකතාව සම්පූර්ණ වශයෙන් හෝ කොටස් වශයෙන් ලොවැ භාෂා
හැටකට පමණ පරිවර්තනය වී ඇත.
තවද ඒ නවකතාවේ හමුවෙන චරිත දහඅට වැනි සියවසේ සිට ම නාට්‍ය චිත්‍රපට, චිත්‍ර
කලාව වැනි විෂය ක්ෂේත්‍රයන්හි නිතර නිරූපණය වී ඇත.
ඉතා බුද්ධිමත් ලේඛකයකු මෙන් ම මහා පර්යේෂකයකු ද වූ සෙර්වන්නේස් බිහි වී
ඇත්තේ අතිශය වැදගත් සමයකදී ය; ස්පාඤ්ඤ සාහිත්‍යයේ පුනරුද (16 වැනි ශත වර්ෂය)
හා බැරැක් (17 වැනි ශත වර්ෂය) යුග අවසානයේදී එළැඹුණු ස්වර්ණ යුගයේදී ය.
(ඉංග්‍රීසි මහා කවි විලියම් ෙශ්ක්ෂ්පියර් හා සෙර්වන්නේස් සමකාලීනයෝය.)
එකල ස්පාඤ්ඤ ජන සමාජය ගැන ලියූ ලේඛකයන් රාශියක් අතරින් සෙර්වන්නේස් වඩාත් ම
කැපී පෙනෙනුයේ ඔහු, තමා විසින් උරුම කරගෙන තිබූ සමාජ පන්තියට අනුව සිය නිර්මාණ
දියත් කිරීමේ හේතුවෙනි. ස්පාඤ්ඤ නගරවල වීථි දිගේ ඇවිද යමින් හොඳ හෝ නරක විවිධ
චරිත සහ අනේක සිදුවීම්වලට මුහුණ දුන් අශ්වාරෝහකයන් ගැන ඔහු විමසිලිමත්
විය. වර්තමාන සමාජයට පවා බලපාන රැවැටීම, අයුක්තිය, විශ්වාසය,
අසාධාරණත්වය, යහපත අයහපත, ආදරය, ගෞරවය, බලය, භක්තිය, වීරත්වය,
සදාචාරසම්පන්න බව ආදී සර්වකාලීන තේමා පාදක කොට ඔහු විසින් හෙළිදරව් කරන ලද
‘සමාජයට අත්‍යවශ්‍ය දෑ’ එදා මෙදාතුර විශ්ව සාහිත්‍යයේ ඉමහත් ප්‍රශංසාවට ලක්
වී තිබේ.
එකල සමාජයේ පැවැති ආශ්චර්යවත් කලාවේ අපූර්වත්වය ඔහුගේ සාහිත්‍ය ප්‍රකාශනවල
මොනවට ගැබ් වී තිබේ. එවකට ස්පාඤ්ඤයේ දකුණු පළාත වූ අන්දලුසියවට (ANDALUCIA)
විවිධ රටවල සිට ආක්‍රමණය වී සිටි අහිගුණ්ඨිකයන්ගේ සංස්කෘතියේ ආකර්ශනීය
අංගවලින් ඔහු සිය නිර්මාණ ඔපවත් කර ගත්තේ ය. සෙර්වන්තේස් විසින් නිර්මාණය කරන
ලද ‘LA GITANILLA’ නමැති ආදර්ශවත් නවකතාවේ වයමින් ගයමින් රඟන අහිගුණ්ඨික
ළඳක ගැන ලියා ඇති කවියක් රස විඳිමු.
‘අහිගුණ්ඨිකාවියේ නුඹ බෙරය වයන විට
සැලෙයි මුළු වා තලය අති මිහිරි තාලයට
මුතු කැටද නුඹේ මුදු අත් දෙකින් වැගිරෙන්නෙ
මල් පෙති ද නුඹේ රත් දෙතොලගින් ගිලිහෙන්නෙ’
සෙර්වන්තේසේ ගේ සාහිත්‍ය නිර්මාණ නවකතා, කාව්‍ය හා නාට්‍ය වශයෙන් තෙවදෑරුම්
වේ.
ඔහුගේ කාව්‍ය රචනා බොහොමයක් දීර්ඝ පුරාවෘත්ත ගායනා හෝ ලුහුඬු පද්‍ය රචනා ලෙසින්
ඔහුගේ නවකතාවල හමු වේ. සෙර්වන්තේස් සිය ජීවිත කාලය තුළ හාස්‍ය, ඛේදවාචක හා
අශ්වාරෝහක වශයෙන් නාට්‍ය නිර්මාණ විසි ගණනක් වේදිකාගත කර තිබේ. ඔහුගේ නවකතා,
උපදේශක හා අශ්වාරෝහක වශයෙන් වර්ග කළ හැකිය. 1613 දී ඔහු විසින් ප්‍රකාශයට
පත් කරන ලද NOVELAS EJEMPLARES (උපදේශක නවකතා) නමැති කෙටි, නවකතා එකතුවෙහි
රසය, එදා මෙන්ම අදත් එකසේ පරම්පරාවෙන් පරම්පරාවට ආදර්ශයක් දෙමින් ගලායයි.
නවකතා නිර්මාණ අතුරින් අති විශිෂ්ට නිර්මාණය වූයේ දොන් කිහෝතේ යි.
‘දොන් කිහෝතේ’ නවකතාව යුරෝපා සාහිත්‍යයේ බිහි වූ මුල් ම පරිපූර්ණ නවකතාව ලෙස
මූලාශ්‍ර ග්‍රන්ථවල හඳුන්වා දී තිබේ. එහි පළමුවැනි වෙළුම ‘ELINGENIOSO HIDALGO
DON QUIJOTE DE LA MANCHA’ (මන්චා දේශයේ විචක්ෂණශීලි වංශාධිපති කිහෝතේ
උතුමාණෝ) නමින් මුද්‍රණය විය. සති දෙකක් ඇතුළත තෙවරක් ම එය මුද්‍රණය වූ බවත්
1612 වන විට එහි ඉංග්‍රීසි පරිවර්තනය ද නිකුත් වූ බවත් පැවසේ.
1615 දී ඒ නවකතාවේ දෙවැනි වෙළුම මුද්‍රණය වූ අතර 1620 දී එහි ඉංග්‍රීසි
පරිවර්තනය නිකුත් වී තිබේ.
සෙර්වන්තේස් මේ නවකතාව ලිවීමට පටන්ගෙන ඇත්තේ ‘මන්චා’ දේශයේ, ‘අර්ගමසිය්යා’
(ARGAMASILLAN) නගරයේ පිහිටි ‘මෙඩ්ඩ්‍රානෝ’ (CUEVA DE MEDRANO) නමැති සිරගෙයි
කුටියකදී ය.
තමා අතින් එය නිර්මාණය වීම පිළිබඳ ව හේ සිය උපදේශක නවකතා සංග්‍රහයේ
පෙරවදනෙහි අපූරු සටහනක් දක්වා තිබේ.
“මා වසර ගණනාවක් නාවික යුද සෙබළකු ව සිටියා. පස් වතාවක් ම අත්අඩංගුවේ සිටි
කාලයේ ආපදා ඉවසන්ට ඉගෙන ගත්තා. නාවික යුද්ධයේදී මගේ වම් අත තුවාල වුණා. එය
අවලක්ෂණයක් සේ පෙනුණත් මට එය ලස්සන මතක සටහනක්. වම් අත සිඳලන්ට පෙර නවකතා
කීපයක් ම ලියා පළ කළා. ඒ වන විට මගේ වයස අවුරුදු පනස් පහයි. තව අවුරුදු
නවයක්වත් අත වෙනුවෙන් මා ජීවත් විය යුතුයි.
- මා ලොව ප්‍රමුඛයා - මුල්වරට කිසිම අඩුපාඩුවක් නැතිව දොන් කිහෝතේ නිර්මාණය
කළා. ස්පාඤ්ඤ භාෂාවෙන් ම එහි ඇතුළත් දෑ කාගෙවත් දෝ අනුගමනය කරපුවා නොවෙයි.
හොරකම් කරපුවා නොවෙයි. මගේ උල්පත් පෑන ඒවාට උපත දුන්නා.
කාරුණික පාඨකය, මගේ වීර කථාව කියවන්න. දෙවියෝ මට ඉවසීම දෙත්වා!
දයාබර පාඨකය, දෙවියෝ ඔබ රැක දෙත්වා!”
සෙර්වන්තේස් අතින් මේ නවකතාව හා හා පුරා කියා ලියැවී ඇත්තේ ක්ෂත්‍රිය යුගයේ
හාස්‍ය පුරාවෘත්තයක් ලෙසිනි. ඉංග්‍රීසි කතුවරයකු වූ ‘මැඩොක්ස්’ (MADOX)
විසින් සම්පාදනය වී ඇති THE MARCH OF LITERATURE (1938) නමැති ග්‍රන්ථයේ සඳහන්
වන්නේ දොන් කිහෝතේ නවකතාව ඛේදවාචකයක්වත් හාස්‍ය නිර්මාණයක්වත් නොව හාත්පස
පෙනෙන දර්ශනයට අනුව දහ හත් වැනි සියවසේ ස්පාඤ්ඤ සමාජය පිළිබඳ සමාලෝචනයක්
ලෙස සැලකිය හැකි බවත් ය.
දොන් කිහෝතේ නවකතාවේ. ‘සන්චෝ පන්සා’ (SANCHO
PANZA) නමැති ගැමියා සහභාගි කර
ගනිමින් ‘කිහෝතේ’ අශ්වාරෝහකයා සංචාරයක් අරඹයි. වයෝවෘද්ධ විශුභවාදි,
වංශාධිපතියකු වූ ‘කිහෝතේ’ සිය වියපත් අශ්වයා, රොසිනාන්තේ (ROCINANTE)
සූදානම් කොට අලුත් සිදුවීම් සොයා යයි. ‘සන්චෝ’ සිය ස්වාමියා කැටුව පරාජයෙන්
පරාජයක් දක්වා ගමනේ යද්දී දෙදෙනා අතර සම්බන්ධතාවය ඉතා වැදගත් වේ. ඇතැම්විට
භයානක ලෙස වාද විවාද කර ගත්ත ද අවසානයේදී ඔවුහු අන්‍යයෝන්‍ය අවබෝධයෙන් හා
ගෞරව සම්ප්‍රයුක්තව එකිනෙකා තේරුම් ගනිති. සංවාද වලදි එකිනෙකාගේ ගුණාංග
පෙන්වති.
යහපත වෙනුවෙන් වංශාධිපතියා ‘කිහෝතේ’ යනුවෙන් සිය නාමය වෙනස් කර ගනී. (ඔහුගේ
උපත් නාමය ‘කිහානෝ (QUIJANO) කිහිඩා (QUIJIDA) හෝ 'කෙසාඩා’ (QUESADA) ඔහු නගරයේ
ජීවත් වූ වයස අවුරුදු පනහක හොඳ මහත්මයකු වුවද ඇඳුම් ඇඟලා ඇත්තේ මහල්ලකු මෙනි.
කළු පැහැති ආයුධවලින් සන්නද්ධ ව සිටිනා ඔහු අධි කලබලකාරයෙකි. කිහෝතේ
මවාගැනීම්වලින් යථාර්ථය අන්ධ කරයි. දැවැන්ත තිරිඟු මෝල් යෝධයන් ලෙසත් බැටළු
රංචු යුද හමුදාව ලෙසත් දකියි. නැව්වල සිටි වහල්ලු පීඩාවට පත්වීම ගැන මහත්
සංතාපයට පත්වෙයි.
කිහෝතේ අශ්වාරෝහකයාගේ සංචාරවලදී ඔහුට එක්තරා මිනිසකු හමුවේ. මේ තැනැත්තා
තුර්කියාට විරුද්ධ ව සටන් කරන ලදුව මුහුදු කොල්ලකරුවන් විසින් සිරකොට තබනු
ලැබූ වහලෙක් විය. මේ සිරකරුවා තමාට පසුව සිරගෙට ගෙනා තවත් වහලකු ගැන කතා කරයි.
(නමින් පෙද්රෝ (PEDRO) වූ මේ දෙවැනි වහලා අපූරු කවිකාරයකු විය. ටියුනීසියාවේදී
මිය යාමට පෙර ඔහු විසින් ස්පාඤ්ඤ සොල්දාදුවන් ගේ නිර්භීතකම් ගැන කවියක් ලියා
තිබිණි.)
දොන් කිහෝතේ නවකතාවේ අවසානය ද කුතුහලය දනවන සුලුය. කිහෝතේ අශ්වාරෝහකයා
සිය ‘සංචාරය’ අවසන් කොට යළිත් මන්චා දේශයට පැමිණෙයි. ඔහු තමාගේ සත්‍ය නම ඇතුළු
සත්‍ය සිදුවීම් එළිදරව් කරන්නේ මරණ මංචකයේදී ය.
මෙවන් අපූරු සිදුවීම්වල එකමුතුවක් වන දොන් කිහෝතේ නවකතාව එවකට ස්පාඤ්ඤ ජන
සමාජය ගැන වුවද, ඕනෑ ම රටක ඕනෑම සංස්කෘතියකට ගැළැපෙන සර්ව සාධාරණ ලක්ෂණ නිසා
එදා මෙදාතුර පාඨක ලොවේ ඉමහත් ප්‍රශංසාවට ලක් වී තිබේ. විශේෂයෙන් විශ්ව
සාහිත්‍යය හදාරන්නන්ට ප්‍රයෝජනවත් වීම සඳහා ස්පාඤ්ඤ රජය මඟින් ‘කිහෝතේ ගමන්
මග’ (RUTA DEL
QUIJOTE) යනුවෙන් සංචාරයක් සංවිධානය කොට තිබේ. ‘කිහෝතේ ගමන් මග’
යනු සෙර්වන්තෙස් කතුවරයා විසින් හඳුනාගන්නා ලද ලෝකය හඳුනාගැනීමයි. එකල
අශ්වාරෝහකයන් ප්‍රිය කළ ස්ථානයක් වූ ‘මන්චා’ දේශයේ චාරිත්‍රත් නවකතාවට
පසුබිම් වූ ස්ථානත් කතුවරයාගේ ජීවිතය හා සම්බන්ධ ස්ථානත් දැන කියා ගැනීමට එම
චාරිකාවේදී හැකිවේ.
මෙකී අවස්ථාව, මේ ලිපිය සකස් කරන මට ද උදාවීම ජීවිතයේ මා ලද භාග්‍යයක් කොට
සලකමි.
මැඩ්රිඩ් නගරයේ සිට ‘මන්චා’ දේශයට දිවෙන අධිවේගී මාර්ගය දෙපස බැලූ තෙක් මානයේ
විවිධ මෝස්තරැති මිදි වතු ය. මන්චා දේශයට ළඟා වත් ම පහළොස් වැනි ශත වර්ෂයට අයත්
වූ පැරැණි රජ මාලිගාවල නටබුන් දක්නට ලැබේ. කඳු සහිත සහ වනාන්තර ප්‍රදේශයෙන්
පහළට බැස යත් ම දර්ශනීය පොකුණු කීපයක් දැක ගත හැකිවේ. කිහෝතේ එම වන පෙදෙසේ
අතරමං වූ බව නවකතාවේ පැවැසේ.
සැබෑ නම සඟවා ගත් ‘කිහෝතේ’ තොබෝසෝ (TOBOSO) නගරයේ ගැවැසෙමින් සෙවු පෙම්වතිය
‘ඩුල්සිනෙයා (DULCINEA) විසූ මාළිගාව දැනට කෞතුකාගාරයක් ලෙස සැලැකෙන අතර ඒ
තුළ ඇගේ මුලුතැන්ගෙය නිදන කාමරය දෝලාව ආදිය ප්‍රදර්ශනයේ තබා තිබේ.
නවකතාවේ යෝධයන් ලෙස සලකන ලද දැවැන්ත තිරිඟු මෝල් ඇති ප්‍රදේශයේ දී (CAMPO
DE CRIPTANA) (ක්‍රිප්ටානා වත්ත) කිහෝතේ විසින් හබයක් මවා ගන්නා ලද බව පැවැසේ. සිය
සංචාරයේ විසිඑක් වන රාත්‍රිය ගතකොට ඇත්තේ එම ස්ථානයේ පිහිටි රුක් සෙවණකදී ය.
ගමනේ අතරමඟ හමුවන වෙළඳපලෙහි (LA VENTA) අවි ආයුධ විවිධ විසිතුරු භාණ්ඩ
අලෙවිය සඳහා තබා තිබේ. ඒ අසල වයින් හලක් ද වෙයි.
මන්චා ප්‍රදේශයේ දී සමස්තයක් වශයෙන් කිහෝතේ නවකතාවට මුසුකර ගත් ස්ථාන මෙන්
ම සෙර්වන්තේස් ඉපැදුණු, බෞතීස්ම ලැබූ හා මිය ගිය ස්ථාන ද දැක බලා ගත හැකිය.
ඒවායින් ම සිත වඩාත් හැඟුම්බර වූයේ දොන් කිහෝතේ ගේ ජීවිතයේ වැඩි කලක් ගෙවූ හා
මරණය සිදු වූ අර්ගමසිය්යා (ARGAMASILLA) නමැති නගරයේ සිරි නරඹන විට ය.
නවකතාවේ කතුවරයා “මිගෙල් දේ සෙර්වන්තේස් සිරගතකොට තිබූ සිපිරිගෙය
(මෙඩ්ඩ්‍රානෝ CUEVA DE
MEDRANO) තුළ පිහිටි ඉතා කුඩා කුටියක තබා තිබූ මේසය හා
පුටුව දකින කාගේ වුවද නෙතට කඳුළක් නැගෙයි. මේ ලිපියේ මුලින් ම දැක්වූ සටහන මා නෙත
ගැටුණේ එතැනදී ය.
ඔහු පවසා ඇති අයුරින් ම ඒ අති ශ්‍රේෂ්ඨ කතුවරයා විසින් ‘සුළං පොදකි’ හිරු එළි
පොදක් නො වැදී ඒ කුඩා කුටිය තුළදී දිවා රෑ නො නිඳා පහන් ව ගත කරමින් ‘මහා දෙයක්’
උපද්දවා තිබේ.
ඉන්ද්‍රානි රත්නසේකර
|