මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

මේ සැරේ නම් අපිට චොකලට් එවලා

මේ සැරේ නම් අපිට චොකලට් එවලා

වේලාව දහවල් දෙකට පමණ ඇත. ඉර අවරට හැරී තිබේ. තවත් පැය කිහිපයකින් දිනයේ සේවා මුරය අවසන් වීමට නියමිතය. එහෙත් ජාතික රෝහලේ ප්‍රධාන ගොඩනැගිලි පද්ධතිය ඉදිරිපිට ඇති බාහිර රෝගී අංශය තවමත් දැඩි සේ කාර්ය බහුලය.

එහෙත් අවාසනාවකට මෙන් බාහිර රෝගී අංශයේ ගොඩනැගිල්ල දුටු පමණින් එහි යාමට සිතෙන්නේ නැත. එය එපමණටම පැරැණිය. පිරිසිදුකම පවත්වාගෙන යන්නේ ද අපහසුවෙන් බව පෙනේ‍.

එහෙත් රෝගීන්ගෙන් නම් කිසිදු අඩුවක් දක්නට නොලැබෙන්නේය. බොහෝ දුෂ්කරතා මධ්‍යයේ රෝගීහු අපහසුතා විඳ දරාගෙන පෝලිම්වල සිටින්නේ ප්‍රතිකාරවල ගුණාත්මකබව නිසාම විය යුතුය.

හදිසි අනතුරක් හැර අන් ඕනෑම රෝගී තත්ත්වයකට‍ ගොදුරු වන රෝගියකු ජාතික රෝහලට ගෙන එන්නේ නම් ප්‍රථමයෙන්ම ඔහු යොමු කරන්නේ බාහිර රෝගී අංශයටය. බරපතල තත්ත්වයේ පසුවන රෝගීන් සෘජුවම හදිසි ප්‍රතිකාර ඒකකය වෙත යොමු කරනු ලැබේ.

ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ හදිසි ප්‍රතිකාර ඒකකය තරමක් දිගු ශාලාවකි. එහි ඇඳන් හතරකි. බැලූ බැල්මට පෙනෙන්නේ පහසුකම් අවම බවය. එහෙත් මේ කුඩා ශාලාවේදී මරු මුවෙන් මිදුණු රෝගීන්ගේ සංඛ්‍යාව නම් සුළුපටු නැත.

හදිසි ප්‍රතිකාර ඒකකය බාර හෙද සොහොයුරිය තේජා කරුණාරත්න අප එහි යන විට නම් මඳක් විවේකීව පසු වූවාය. වාසනාවකට මෙන් ඒ අවස්ථාවේ හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගියකු පැමිණියේ නැත.

' හෘදයාබාධ, ශ්වසන අපහසුතා, පෙනහළු රෝග, විෂ ශරීර ගතවීම්, අසාත්මිකතා, සර්පයන් දශ්ට කිරීම් වැනි දේ නිසා දරුණු ලෙස රෝගී වන පුද්ගලයන් මෙතනට තමයි ගෙන එන්නේ. අපි පැය විසිහතරම සූදානමින් ඉන්නේ. දිවා රාත්‍රී කියලා වෙනසක් නෑ අපට නිතරම අමාරු රෝගීන් එනවා. රෝගියාගේ වාතාවරණය බරපතල නම් අපි ඔවුන් ලියාපදිංචි කරන්න වෙලාව ගන්නේ නෑ. ඒ සැනෙකින්ම ප්‍රතිකාර ලබා දෙන්න පටන් ගන්නවා. රෝගීන් වෙනුවෙන් අප කරන සේවය ගැන අපට සෑහීමකට පත් විය හැකියි.

ඒකට හොඳම උදාහරණය සංඛ්‍යා ලේඛන මගින් ලබා දෙන්න පුළුවන්. ගිය මාසයේ පමණක් රෝගීන් 1908ක් අපේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබලා තියනවා. එතනින් මිය ගිහින් තියෙන්නේ 13දෙනෙක් පමණයි. නිවෙසේදී මිය ගිය පුද්ගලයන් මුලින්ම රැගෙන එන්නේත් අපේ ඒකකයට තමයි. ඔවුන් අපි මරණ ලියාපදිංචිය සහ ‍අනෙකුත් කටයුතු වෙනුවෙන් යොමු කරනවා. අපේ අත්දැකීමට අනුව සඳුදා දිනවල හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන්ගේ පැමිණීම වැඩියි.

ඒකට හේතුව ඔවුන් සති අන්තය ප්‍රතිකාර සඳහා යොමු වෙන්නේ නැතිව රෝගය දරාගෙන ඉඳීම වෙන්න පුළුවන්. සති අන්තයේ රෝහල්වල වෛද්‍යවරුන් නැහැ කියලා තමයි වැඩි දෙනා හිතන්නේ. ඒ වගේම දිවා කාලයට වඩා රාත්‍රී කාලයේදී ප්‍රතිකාර ලබා ගැනීමට එන්නේ වඩා අමාරු රෝගීන්. එක් රාත්‍රියකට රෝගීන් 25ක්වත් ප්‍රතිකාර ගන්න මේ ඒකකයට යොමු කෙරෙනවා. '

කරුණාරත්න මහත්මිය කරන්නේ දැඩි වගකීමක් සහිත සේවයකි. එහෙත් අය නිතරම පසුවන්නේ සිනාමුසු මුහුණෙනි. ඇය සතු පහසුකම් අවමය. හෙද කාර්ය මණ්ඩලය පහළොවකි. ඔවුන් දවසක් හැර දවසක් රාත්‍රී සේවාමුරයේ යෙදෙන්නේ ය. කරුණාරත්න මහත්මිය පවසන්නේ ජීවිත බේරා ගැනීමට අපහසු වන්නේ හෘදයාබාධවලට ලක් වූ රෝගීන්ගේ බවයි.

' දවසක් අපේ ඇඳන් හතරේ රෝගීන් හතර දෙනෙක් ප්‍රතිකාර ලබා ගනිමින් ඉන්න අවස්ථාවේ තවත් රෝගීන් දෙදෙනෙක් හදිසි ප්‍රතිකාර සඳහා අපේ ළඟට අරගෙන ආවා. සේවයේ හිටපු කාර්ය මණ්ඩලයම එකදිගට වැඩ.

වෛද්‍යවරයා ඇඳන් දෙකේ රෝගීන් දෙදෙනකුට මාරුවෙන් මාරුවට හෘදය ක්‍රියාත්මක කරන්න විද්‍යුත් කම්පන දෙනවා. ඒ ලබාදෙන හැම කම්පනයකටම පස්සේම හෙදියක් හෘදය සම්බාහනය කරන්න ඕනේ. ඒ වෙලාවේ හිටපු හැම දෙනාම රෝගීන්ගේ ජීවිත බේරගන්න මහන්සිවෙමින් හිටියේ.

ඒත් එක්කම මම දැක්කා රෝද පුටුවක හිටපු රෝගියකුට අමාරු වෙනවා. අපි ඉක්මනටම ඔහු ට්‍රොලියකට අරගෙන ප්‍රතිකාර ලබා දුන්නා. ඒ වෙලාවේ හිටපු රෝගීන් සියලුම දෙනාට එකවගේ අත්‍යාවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. එදා ඒ හැමෝගෙම ජීවිත බේරන්න අපට හැකි වුණා. '

' තවත් අවස්ථාවක කාලගුණ වෙනස්කම් ගැන කල්තියා දැනුම්වත් නොවුනු ධීවරයන් පිරිසක් මුහුද මැද දී කුණාටුවකට අහුවුණා. ඔවුන් බේරා ගත්තේ හෙළිකොප්ටර් යානා මගින්. මේ බේරාගත් මිනිසුන් ප්‍රතිකාර සඳහා අපේ ඒකකයට ගෙන එනු ලැබුවා. කිනම් හෝ හේතුවක් නිසා ඔවුන් ඊයම් කොළවල තදින් ඔතා තිබුණා.

ඇතැම්විට ඒ හෙළිකොප්ටර් මගින් බේරා ගැනීමේදී අවශ්‍ය කරන නිසා වෙන්න ඇති. නැතිනම් ශරීර උෂ්ණත්වය ආරක්ෂා කරන්න වෙන්නත් ඇති. අපි ඒ ඊයම් කොළ ගලවලා ඔවුන්ට ප්‍රතිකර කළා. ඒ සියලු දෙනාගේම ජීවිත ආරක්ෂා කළා. ඒත් ඊයම් කොළවල එතූ මිනිස්සු දැක්කම අපට අමුතුයි. ප්‍රතිකාර අවසන් වෙලා විවේකයෙන් ඉන්නකොට අපි කතාවුණා. අදනම් අපට චොක්ලට් එවලා කියලා. '

තේජා කරුණාරත්න මහත්මිය කොතරම් අඩුපාඩු මධ්‍යයේ වුවද තම සේවය‍ නොපිරිහෙළා ඉටු කරන්නීය. සැබවින්ම එහි ගෞරවය ජාතික රෝහලට මෙන්ම හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන්ට, හෙදියන්ට මෙන්ම සෞඛ්‍ය කාර්ය සහායකයන්ටද හිමිවිය යුතුය. ඔවුන් අඩුපාඩු සම්බන්ධව කන්කෙඳිරි ගන්නේ නැත. එහෙත් ඔවුන් මා සමග පවසා සිටියේ ඔවුන්ගේ ඒකකයට රෙදි සෝදන යන්ත්‍රයක දැඩි අවශ්‍යතාවක් පවතින බවයි. ඒ සමගම ජලය පිරිසිදු කරන යන්ත්‍රයක්, රෝද පුටු සමග, ඔක්සිජන් ප්‍රතිකාර ලබා දෙන අතර රෝගියා ප්‍රවාහනය කළ හැකි ට්‍රොලි ලැබෙන්නේ නම් මේවා කිසියම් අයකුට පරිත්‍යාග කළ හැකිනම් එය මහා පුන්‍යකර්මයක් බවයි.

ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ දැනට භාවිතා වන තාක්ෂණය සහ යන්ත්‍ර සූත්‍ර ගැන සෑහීමකට පත්විය හැකි බව එහි සේවය කරන හෙදියන්ගේ අදහසයි. එහෙත් එහි පහසුකම් සම්බන්ධව නම් සතුටු විය නොහැක්කේ‍ය. එහෙත් ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පවසන්නේ ඉදිරියේදී මේ අපහසුතා දුරු කිරීමට කටයුතු දැනටමත් සිදු කෙරෙමින් ඇති බවයි.

' අපේ රෝහලේ බාහිර රෝගී අංශය දැනට පවත්වාගෙන යන ගොඩනැගිල්ල ඉතාමත් පරණයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ තමයි ඔය ගොඩනැගිල්ල ඉඳි කරලා බාහිර රෝගී අංශය ඔතනට ගෙනිහින් තියෙන්නේ. බාහිර රෝගී අංශය යටිතල පහසුකම් අතින් පවතින්නේ ඉතාම දුර්වල මට්ටමක. ඒත් අපි දවසකට රෝගීන් 5000කට පමණ ප්‍රතිකාර ලබා දෙනවා.

ඒ නිසාම බාහිර රෝගී අංශ‍ය නවීකරණය කිරීමේ දැඩි අවශ්‍යතාවක් තිබෙනවා. ඒ අනුව ජනාධිපතිතුමා වරක් අයවැය යෝජනාවකදී ඉදිරිපත් කළ අන්දමට ජාතික රෝහලේ බාහිර රෝගී අංශය වෙනුවෙන් නවීන ගොඩනැගිල්ලක් ඉඳි කිරීමට යෝජනා වී තිබෙනවා.

එය සිදුකෙරෙන්නේ චීන රජයේ පරිත්‍යාගයක් ලෙස. ඒ වෙනුවෙන් මේ දිනවල සැලසුම් සකස් වෙමින් තිබෙනවා. දැනට බාහිර රෝගී අංශය පිහිටා ඇති භූමි ප්‍රමාණය රෝහලේ මුළු භූමි ප්‍රමාණයෙන් පහෙන් එකක්. ඒ අනුව ඉදිරියේදී ‍එම භූමියේ නව ගොඩනැගිල්ල ඉඳි කිරීමෙන් පසු රෝගීන්ට වඩාත් වැඩි පහසුකම් සහිතව සේවය සැලසිමට අපේ කාර්ය මණ්ඩලවලට හැකියාව ලැබෙනු ඇති. '

ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එසේ පවසන්නේ ය.

බාහිර රෝගී අංශයේ කාර්ය භාර වෛද්‍ය නිලධාරිනී කුෂාල් රණතුංග මහත්මිය සාකච්ඡාවට එක්වෙමින් බාහිර රෝගී අංශයට පැමිණෙන රෝගීන්ගෙන් ඉල්ලීමක් ද කළාය.

ඇය පවසා සිටියේ ලබා දෙන ඖෂධ නිසි පිළිවෙළට භාවිතා කරන ලෙසත්, ලබා දෙන දිනයට සහ නියමිත වේලාවට සායනවලට පමිණෙන ලෙසත් කාරුණික ඉල්ලීමක් පුවත්පත මගින් රෝගීන්ගෙන් ඉල්ලා සිටින ලෙසයි.

රෝගීන් මෙසේ කිරීම තුළින් රෝහල් කාර්ය මණ්ඩලයේ කාර්ය භාරය වඩාත් පහසුවන බවත් රෝගීන්ට ඉක්මන් සුවයක් ලැබෙන බවත් ඇය අවධාරණය කර සිටියාය.

ජාතික රෝහලේ බාහිර රෝගී අංශය සායන රාශියකින් සමන්විතය. ඒ අතර ජලභීතිකා,දියවැඩියා, චර්ම රෝග, මානසික රෝග මෙන්ම එක්ස් කිරණ පරීක්ෂා, ඊ.සී.ජී. පරීක්ෂා, රුධිර පරීක්ෂා ද සෞඛ්‍ය අධ්‍යාපන ඒකකයක්ද තොරතුරු අධ්‍යයන කේන්ද්‍රයක්ද පවතින්නේ ය. ජාතික රෝහලේ බාහිර රෝගී අංශය ක්‍රියාත්මක වන්නේ මේ සියල්ලේ සාමූහික එකතුවක් ලෙසිනි.

ඒ අතරින් ජලභීතිකා ප්‍රතිකාර ඒකකය වඩා විධිමත්ව ක්‍රියාත්මක වන්නේ වෛද්‍ය අමිල දර්ශන ගුණසේකර යටතේය. ඔහු පවසන්නේ සතියේ දින හතම උදේ අටේ සිට සවස හය දක්වා මෙම ඒකකය විවෘත බවත් සතුන්ගේ සපා කෑම්වලට ලක්වන රෝගීන් එය සුළු කොට තැකීමකින් තොරව ප්‍රතිකර සඳහා යොමු වීම වැදගත් බවත් ය.

රෝහලෙන් ප්‍රතිකාර ලබා සුවපත් වීමෙන් පසු බැහැර යන රෝගීන්ට අවශ්‍ය ඖෂධ නිකුත් කිරීම සිදුවන්නේ ද බාහිර රෝගී අංශයෙනි. ඒ සඳහා නිසි සුදුසුකම් සපිරූ ඖෂධවේදීන් රාශියකයේ සේවය දායක කර ගැනේ. මේ කටයුතු අධීක්ණය කරන ප්‍රධාන වි‍ශේෂ ශ්‍රේණියේ ඖෂධවේදිනී ඒ.ඊ.එස්.ගුණසේකර මහත්මිය මා සමග පැවසූවේ සායනික රෝගීන් වශයෙන්ගත් කළ දිනකට රෝගීන් 4500කට පමණ ඔවුන් ඖෂධ නිකුත් කරන බවයි.

චර්ම රෝග අංශයේ ප්‍රතිකාර ලැබූ රෝගීන් වෙනුවෙන් ඇතැම් ඖෂධ සෑදීම ඔවුන් විසින්ම සිදු කරන අතර අනෙකුත් බහුතරයක් ඖෂධ අදාළ මිල ගණන් අනුව ඇස්තමේන්තු ගත කර අදාළ පටිපාටියට අනුව ගෙන්වා ගැනීමෙන් පසු ගබඩා කර නිකුත් කරන බවයි.

රසායනාගාර අංශයේ ‍කටයුතුවල වගකීම දරන ප්‍රධාන වෛද්‍ය පර්යේෂණාගාර කාර්මික විද්‍යාඥ භද්‍රා ගමගේ මහත්මියගේ සේවා කාලය වසර තිහකි.

ජාතික රෝහලේ රෝගීන් වෙනුවෙන් ක්‍රියාත්මක වන පර්යේෂණාගාර හයෙන් බාහිර රෝගී අංශයේ රුධිර සහ මුත්‍රා පරීක්ෂා කටයුතු සිදුවන්නේ ඇයගේ අධීක්ෂණය යටතේ ය.

ඒ අතරින් ඇතැම් රෝගීන්ගේ රුධිර පරීක්ෂණ හදිසි අවශ්‍යතා මත ක්ෂණියව සිදු කරන බවත්, සායනික රෝගීන් වෙනුවෙන් පටිපාටියකට අනුව පරීක්ෂණ කටයුතු කරන බවත් ය.

හදිසි රෝගීන්ගෙ රුධිර සහ මුත්‍රා පරීක්ෂණ වාර්තා විනාඩි පහළොවකින් ලබා දීමේ පහසුකම් ජාතික රෝහලේ බාහිර රෝගී අංශය සතු බවද ගමගේ මහත්මිය මට පෙන්වා දුන්නාය .

රාත්‍රී අට වන තුරු රසායනාගාරය විවෘතව පවතින බවත් දිනකට හදිසි රෝගීන් සීයකට වැඩි පිරිසකගේ රුධිර පරීක්ෂණ කටයුතු අනිවාර්යයෙන්ම ඔවුන් අතින් සිදු වන බවත් ඇය පැවසුවාය. ඒ දිනකට රුධිර පරීක්ෂණ සඳහා පැමිණෙන සායනික රෝගීන් 500කට අමතරවය.

රසායනාගාරයේ කාර්ය මණ්ඩලය, විශේෂයෙන්ම එහි සේවයේ නියුතු හෙදියන් පවසා සිටියේ රුධිර පරීක්ෂණ සඳහා ලබා දී ඇති නියම වේලාවට පැමිණීම, නිරාහාරවීම් නිසි ආකාරව සිදු කිරීම වැනි කටයුතු මගින් රෝගීන්ට වඩා යහපත් සේවයක් ලබා ගත හැකි බවත් තම කාර්ය මණ්ඩලයට ද රෝගීන්ට වඩා යහපත් සේවයක් ලබා දිය හැකි බවත් ය.

හෙද හිඟය ජාතික රෝහලේ බාහිර රෝගී අංශයටද බලපා ඇත්තේ අඩුවක් නොමැතිවමය. රසායනාගාර අංශයේ පරීක්ෂණ වෙනුවෙන් රෝගීන්ගෙන් රුධිරය ලබා ගැනීම සඳහා සිටින හෙද නිලධාරිනියන්ගේ සංඛ්‍යාව හතරකි.

ඔවුන් දිනකට රෝගීන් හයසියයකට වැඩි සංඛ්‍යාවකගෙන් රුධිරය ලබා ගැනීම සිදු කරන්නේ ය. ඔවුන් පවසන්නේ දිනය අවසාන වන විට ආහාර ගැනීම වෙනුවෙන් හෝ අත්වල ඇඟිලි ක්‍රියාත්මක කරවීම අපහසු වන බවයි. එසේ වවුද ඔවුන් යළිත් ඊළඟ දිනයේ ද සේවයට පැමිණ තවත් රෝගීන් හයසියයකගේ පමණ රුධිරය ලබා ගන්නේ ය.

බාහිර රෝගී අංශයේ ක්‍රියාත්මක වන තවත් එක් සේවාවක් වන්නේ ‍රෝගීන්ට සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දීමයි. ඒ අංශය මගින් රෝගීන්ට උපදේශනය සැපයීම, දැනුම්වත් කිරීම, විවෘත දේශන පැවැත්වීම යනාදී වැදගත් සේවාවන් රැසක් සලසෙන බව සඳහන් කළ යුතුය.

දියවැඩියාව, අධික රුධිර පීඩනය, පෙනහළු ආසාදන, වකුගඩු ආශ්‍රිත රෝග සහ ස්තූලතාවය යන ප්‍රධාන රෝග පහක් වෙනුවෙන් රෝගීන් දැනුම්වත් ‍කරන මේ අංශයේ කටයුතු වෙනුවෙන් වෛද්‍යවරුන් දෙදෙනෙකු ඇතුළු සෙසු කාර්ය මණ්ඩලය සේවය සලසන්නේ ය.

නිලන්තිකා හෙද නිලධාරිනිය ඉන්පසු මා කැඳවාගෙන ගියේ බාහිර රෝගී අංශයේ තුවාළ සඳහා ප්‍රතිකාර ලබා දෙන ස්ථානය වෙතටය.

ලබන සතියේ
කොළඹ ඉන්න සියලුම යාචකයන්ගේ තුවාළ අපි දන්නවා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්