මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

සියවසක වැඩ දස වසකින් කළ අපේ නායකයා

සියවසක වැඩ දස වසකින් කළ අපේ නායකයා

සාගර විශ්ව විද්‍යාලයේ සභාපති හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ

උප සභාපති මහාචාර්ය රංජිත් සේනාරත්න

මෙරට ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට සාමකාමී පරිසරයක් ඇතිකොට රටේ වේගවත් සංවර්ධනයක් අරඹා ඉතා කෙටි කලකින් සෑම ක්ෂේත්‍රයකම පාහේ කැපී පෙ‍ෙනන දියුණුවක් ඇති කොට රටේ ජනතාවට නිදහස ලබා දුන් නායකයා ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිසිවකුට අමතක කළ නොහැකි බවත් එතුමා රටේ ජනතාව අහිමිව තිබූ ජීවත්වීමේ අයිතිය ලබා දුන් බවත් සාගර විශ්ව විද්‍යාලයේ සභාපති මහාචාර්ය රංජිත් සේනාරත්න මහතා කියයි.

අපේ රටේ නිදහස ලබා මේ දක්වා සිටි නායකයින් රටේ සංවර්ධනයට විවිධාකාරයෙන් දායකත්වයක් ලබා දුන් නමුත් මෙරටේ ගෙවී ගිය දස වසක කාලය පාලනය කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තරම් අප රටේ සංවර්ධනයක් ඇති කළ පාලකයෙක් මෙතෙක් බිහි වී නැහැ.

ජනාධිපතිතුමා මෙරට භාරගන්න කොට රටෙන් තුනෙන් එකක් අපිට අහිමි වෙලා රට පුරාම මහත් භීෂණකාරී යුද්ධයක් පැවතුණා. ඒ වගේම අපේ සාගරයෙන් තුනෙන් දෙකක්ම අපිට අහිමි වෙලා තිබුණේ. ඒ වගේම ‍රටේ සංවර්ධනය සම්පූර්ණයෙන් ඇන හිටලා, ජනතාවගේ දරිද්‍රතාවය වැඩිවෙලා මරණ බිය. දසතම පැතිරිලා තිබුණේ. එහෙම රටක් තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙවීගිය වසර 9 ක කාලය තුළ උඩු යටිකුරු කර ජනතාවට නිදහස හා සාමය උදාකර දුන්නේ, අපි මේ ගැන අමතක කරන්න නරකයි.

එතුමා ජනාධිපති ධූරයට පත් වී වසර 4 ක් ගතවී යාමට මත්තෙන් 2009 දී මෙරට සාපකාරී යුද්ධය සම්පූර්ණයෙන්ම නිමා කරනු ලැබුවා. මේ නිසා රටේ සමස්ත ජනතාවටම බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ නිදහස ලැබුණා. රටේ සාමකාමී පරිසරයක් බිහිවුණා. ඇත්තටම එදා අප මහත් ගෞරවයකින් සමරපු මේ මහා නිදහස අපට ලබාදුන් නායකයා අපට අමතක කරන්න පුළුවන් ද? එතුමා අපට අහිමිව තිබූ ජීවත්වීමේ නිදහස ලබාදුන් නායකයා නොවේ ද? දැන්වත් අපි මේ ගැන සිතා බැලිය යුතුයි නේද?

යටිතල පහසුකම්

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තුන්කල් දැක්මක් ඇති නායකයෙක්.

එතුමාගේ නායකත්වය යටතේ යුද්ධය නිමා කළ රටක් ඉතාමත් කෙටි කලක් තුළ මේ විශාල සංවර්ධනයකට යොමුව තිබීමම ආශ්චර්යයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

මෙරට පැවැති යුද්ධය නිමවීමත් සමඟම ශීඝ්‍ර සංවර්ධනයක් වෙත මේ රට ගෙන යාමට ජනාධිපතිතුමා සමත් වුණා. මෙරටේ ජනතාවට අත්‍යවශ්‍යම යටිතල පහසුකම් සංවර්ධනය වුණා. මේ යටතේ ගමේ කුඩා පාර කොන්ක්‍රීට් කෙරුණා. ලොකු පාරවල් කාපට් කෙරුණා. විදුලිය, නළ ජලය ලබා දුන්නා. දරුවන්ට අධ්‍යාපනය සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කෙරුණා. පාසල්වල නව ගොඩනැඟිලි ඉදිවුණා. මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර ලබා දෙමින් පාසල් දරුවා පාසල තුළින් තාක්ෂණ හා වෘත්තීය අධ්‍යාපනයට යොමු කරනු ලැබුවා. පාසලේ දරුවාගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කරනු ලැබුවා. පාසල් අධ්‍යාපනයට අවශ්‍ය මානව හා භෞතික සම්පත් මුළු රටේම පාසල් පද්ධතියට ලබා දුන්නා. එපමණක් නොවෙයි අධිවේගී මාර්ග, ගුවන් පාලම්, අධිවේගී රේල් මාර්ග, ගල් අඟුරු බලාගාර, ගුවන් තොටුපළ, වරාය, ජල යෝජනා ක්‍රම, දැවැන්ත ගොඩනැඟිලි, මහා පරිමාණ කර්මාන්ත ශාලා, දැවැන්ත හෝටල් සංකීර්ණ ඇතුළු ආයෝජන ගෙවීගිය කාලය තුළ අප රට තුළ ක්‍රියාත්මක වෙලා තියෙනවා.

එතුමා මෙරට සංවර්ධන ක්‍රියාදාමය ගෙන යන්නේ ආවාට ගියාට නොවෙයි. එය විද්‍යාත්මක ක්‍රමවේදයක් තුළ දිගුකාලීන සැලසුම් සහිතව ක්‍රියාත්මක කර තිබෙනවා. මේ නිසාම තමයි එතුමා අප හඳුන්වන්නේ තුන්කල් දැක්මක් ඇති රාජ්‍ය නායකයෙක් කියලා. අප දන්නවා රාජ්‍ය පාලකයා කටයුතු කරන්නේ ඊළඟ මැතිවරණය බලාගෙනයි. නමුත් රාජ්‍ය නායකයා කටයුතු කරන්නේ මතු පරම්පරාව උදෙසායි. ඒ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මතු පරම්පරාවේ සංවර්ධනය අපේක්ෂා කරන යහපත් රාජ්‍ය නායකයෙක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.

මහින්දෝදය විද්‍යාගාර

අනාගත ශ්‍රී ලංකාව ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ ඉලක්කය ජය ගැනීම සඳහා එතුමා මෙරට පාසල් පද්ධතිය තුළින් මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර 1000 සංකල්පය හරහා පියවර ගෙන තියෙනවා. පාසල් දරුවා පොත පතේ දැනුම ඇති පුද්ගලයකු ලෙස පමණක් සමාජයට මුදා හැරීමේ සම්ප්‍රදායෙන් මිදී එම දරුවාට පාසල තුළදීම මහින්දෝදය විද්‍යාගාර තුළින් ගණිතය, පරිගණක තාක්ෂණය, භාෂා ඥානය, වෘත්තීය පුහුණුව ලබා දී අනාගත ලෝකයේ දැනුමෙන් පිරිපුන් දරුවකු බිහි කිරීම තුළින් සමස්ත ශ්‍රී ලංකාවම ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්ථානය බවට පත්කරලීමට පියවර ගෙන තියෙනවා. මේ නිසා අපගේ දරුවන්ගේ භාෂා සාක්ෂරතාවට අමතරව පරිගණක සාක්ෂරතාව ද ඉහළ මට්ටමක් දක්වා වර්ධනය කෙරෙනවා.

අපේ රටේ ජනගහනය මිලියන 21 ක් පමණ වෙනවා. නමුත් අප රටේ ජංගම දුරකථන භාවිතාව මිලියන 21 ක් පමණ වෙනවා. මින් පැහැදිලි වන්නේ අපේ මුළු ජනගහනයම ජංගම දුරකථන භාවිත කරන බවයි. මේ තුළින් අදහස් හුවමාරුවට අමතරව නවීන තාක්ෂණය හරහා දැනුම ලබාගත හැකි ආකාරයට සමාජයේ දැනුම පුළුල් කිරීමට පියවර ගෙන තියෙනවා. මෙය ඉතාමත් හොඳ ප්‍රවේශයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.

ඒ වගේම අපේ ඒක පුද්ගල ආදායම ගෙවී ගිය 9 වසර තුළ ඩොලර් 1,250 සිට ඩොලර් 3,080 දක්වා වර්ධනය කිරීමට හැකි වී තිබෙනවා. එය ඉදිරි වසර තුළ ඩොලර් 4,000 දක්වා වර්ධනය කිරීමට අපේක්ෂා කරනවා. මේ තත්ත්වය තුළ අඩු ආදායම් ලාභී මට්ටමේ සිට අපේ ජනතාව මධ්‍යම පාංතික ආදායම් තත්ත්වය දක්වා ඉහළ නැංවීමට පුළුවන් වෙනවා. මෙහිදී ජනාධිපතිතුමා අඩු ආදායම් ලාභීන් ගැන දැඩි අවධානයක් යොමුකර ඔවුන් ඉහළ මධ්‍යම ආදායම් තත්ත්වය දක්වා ඉහළට ගෙන ඒමට පියවර ගෙන තියෙනවා. එතුමා ඒ සංකල්පය යථාර්ථයක් බවට පත්කිරීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ දිවි නැඟුම දෙපාර්තමේන්තුව ආරම්භ කළ දිවි නැඟුම වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී ජනතාව නිෂ්පාදන ආර්ථිකයට යොමුකර ඔවුන්ගේ ආදායම් තත්ත්වය ඉහළ නංවන්නට පියවර ගෙන තියෙනවා. මේ දිවි නැඟුම නිසා රටේ නිෂ්පාදන ධාරිතාව ඉහළ යනවා. ඒ වගේම ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ යනවා. එක විට රටේ සංවර්ධනයත්, ජනතාවගේ සංවර්ධනයත් යන දෙකම එක විට ඇති වෙනවා. ගෙවී ගිය වසර 9 තුළ දිවි නැඟුම වැඩ පිළිවෙළ යටතේ මෙරට පවුල් ලක්ෂ 15 කටත් වඩා සහන සැලසී තිබෙනවා. මේ වන විට දිවි නැඟුම නිසා අඩු ආදායම් ලාභී මට්ටමේ සිට ඉහළ මධ්‍යම ආදායම්ලාභී මට්ටම් ද ඉක්මවා ඉහළට පැමිණි පවුල් ගණනාවක්ම තිබෙනවා. මෙය දිගින් දිගටම ක්‍රියාත්මක වීමෙන් මෙරටේ දුප්පත්කම හා දරිද්‍රතාව අවම මට්ටමක දක්වා ගෙන ඒමට හැකි වෙනවා.

මේ තත්ත්වය තුළ ඒක පුද්ගල වාර්ෂිකව ආදායම් ගෙවී ගිය වසර 9 තුළ ක්‍රමාණුකූලව වර්ධනය වී තිබෙනවා. ඒ වගේම විදේශ විනිමය තැන්පතු ප්‍රමාණය මේ වන විට වැඩි වී තිබෙනවා. එසේම විදේශ රැකියා නියුක්තිකයන්ගේ ප්‍රමාණය වැඩි වී තියෙනවා. ඒ වගේ ජනාධිපතිතුමාගේ දස වසරකට ආසන්න පාලන කාලය තුළ රැකියා ප්‍රමාණය ලක්ෂ 6 සිට ලක්ෂ 15 දක්වා වැඩි වී තිබෙනවා. මේ තත්ත්වය තුළ අද රාජ්‍ය සේවය විස්තාරණය වෙලා තියෙනවා. මෙය රටක සංවර්ධනය මනින හොඳ මිම්මක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. මින් වැඩිම පිරිස තරුණ පිරිසයි. මේ නිසා රටේ සංවර්ධනයට අද තරුණ දායකත්වය ලැබී තියෙනවා.

ඒ වගේම රටක ආර්ථික සංවර්ධනය සෘණ මට්ටමේ සිට මේ වන විට සියයට 7 කටත් වඩා වර්ධනය කර ගැනීමට හැකි වී තිබෙනවා. අද මේ නිසා ව්‍යාපාර සංවර්ධනය වෙලා තියෙනවා. විශේෂයෙන්ම කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවස්ථායකයින්ගේ ජන දිවිය සංවර්ධනය වෙලා තියෙනවා. ඉතින් මේ සියල්ලම යහපාලනයේ ලක්ෂණ නොවේ ද? මීට විරුද්ධ පිරිස අප රටේ යහපාලනයක් නැති බව පවසන්නේ කුමන පදනමක් මත ද යන්න විමසිය යුතු ය.

ජයවර්ධන ජනාධිපතිතුමාගේ වකවානුවේදී අතිවිශාල ව්‍යාපෘතියක් ලෙස තිබුණේ මහවැලි ව්‍යාපාරයයි. එය එක ව්‍යාපෘතියක් පමණයි. එයටත්, එදා විපක්ෂය නොයෙකුත් චෝදනා කළා. දූෂණ වංචා ගැන අතිවිශාල ලෙස කතාබහ කළා. විවේචනය කළා. දෝෂාරෝපණය කළා. ඒ එදා. නමුත් අද තත්ත්වය මොකක්ද? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මහවැලිය වගේ එක ව්‍යාපෘතියක් නොවෙයි. ව්‍යාපෘති ගණනාවක් මෙරටට එක විට ගෙනල්ලා තියෙන්නේ. ඒ අනුව මහා විදුලි බලාගාර, දුම්රිය මාර්ග, ගුවන් පාලම්, අධිවේගී මාර්ග, ගුවන් තොටුපළ, වරාය වගේ දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් දැන් අප රටට ගෙනල්ලා සමහර ව්‍යාපෘති නිම කරලත් තියෙනවා. ඉතින් මේවට ඊර්ෂ්‍යා කරන උදවිය චෝදනා, විවේචන එල්ල කරනවා. ඒවා වළක්වන්න බැහැ. ඒ වගේ යෝධ ව්‍යාපෘති ගණනාවක්ම එක විට ක්‍රියාත්මක වන නිසා ඒවා ආශ්‍රිත යම් යම් පැමිණිලි තියෙනවා. ව්‍යාපෘති ගණන වැඩි නිසා පැමිණිලිත් කැපී පේනවා. ඒවා ගැන ජනාධිපතිතුමා රාජ්‍ය නායකයා ලෙස හැම විටම ක්‍රියාත්මක වෙලා තියෙනවා. එකී චෝදනා නිවැරැදි කිරීමටත් කටයුතු කර තියෙනවා. නමුත් අපි එක දෙයක් මතක තියාගන්න ඕනැ. මේ රට 30 වසරක යුද්ධයට මුහුණ දුන් රටක්. ඒ රට යළිත් ගොඩනඟනවා කියන එක සුළුපටු නැහැ. නමුත් ජනාධිපතිතුමා ඒ අභියෝගයට මුහුණ දීලා මේ රට සංවර්ධනය කරන යුද්ධයත් ජය ගැනීමට සමත්වුණා. ඒක අපි හැමෝම සාධාරණ ලෙස පිළිගන්න ඕන.

මහා සංවර්ධන විප්ලවය

ඒ වගේම ජනාධිපතිතුමා මේ රට දැනුම මත පදනම් වී සංවර්ධනය කිරීමට පියවර ගෙන තියෙනවා. එම නිසාම දැනුම කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් මෙරට බිහි කිරීමට එතුමා පුරෝගාමී වී සිටිනවා. එබැවින් අපගේ අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය තුළ එම දැනුම කේන්ද්‍රීය ක්‍රමවේදය අන්තර්ගත කර තියෙනවා. මේ තත්ත්වය තුළ පාසල් සිසුවා පමණක් නොවෙයි සරසවි සිසුවාත් සිය න්‍යායික අධ්‍යාපනයට බාහිරව අලුත් දැනුම් සම්භාරයක් ලබා ගැනීමට පෙළඹී සිටිනවා. මින් පැහැදිලි වන්නේ ජනාධිපතිතුමා සිය ගමන් මඟ පැහැදිලි දැක්මක් ඇතිව ගමන් කරන බවයි.

අපේ ජනාධිපතිතුමා රාජ්‍ය නායකයා ලෙස ගෙවී ගිය නව වසර තුළ මෙරට කරන ලද මහා සංවර්ධන විප්ලවයේ සැබෑ තත්ත්වය මෙරට ජනතාව දැනගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම මේ ගැන අපි වැනි විද්‍යාර්ථීන් අදහස් දැක්වීම ඉතා වැදගත් වෙනවා.

ගෙවී ගිය 9 වසර තුළ මෙරට නිවාස ඉදිකිරීමට රජය ගනු ලැබු පියවර ප්‍රශංසනීයයි. 2010 වන විට මෙරට නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා කරන ලද ආයෝජනය රු. මිලියන 505 යි. නමුත් එය වසරින් වසර වැඩි කරමින් 2013 වන විට මිලියන 12,755 ක් දක්වා වැඩිකර තිබෙනවා. ඒ වගේම රජය 2004 දී සමාජ ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනයට වැය කළ මුදල රු. බිලියන 90.3 ක් වෙනවා. එය අතිගරු ජනාධිපතිතුමාගේ රජය 2013 වන විට රු. බිලියන 447 ක් දක්වා වැය කර තිබෙනවා.

ඒ වගේම රජය 2004 දී උසස් අධ්‍යාපනය සඳහා වැය කළේ රු. මිලියන 7,622 යි. නමුත් එය 2013 වන විට රු. මිලියන 22,752 ක් දක්වා සියයට 200 කින් පමණ වැඩි කරල තියෙනවා. එපමණක් නොවෙයි රජය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනයට ගෙවී ගිය 9 වසර තුළ දැවැන්ත ආයෝජනයක් කරල තියෙනවා. ඒ අනුව වර්ෂ 2004 දී සෞඛ්‍ය සේවයට රජය වැය කළේ රු. මිලියන 34,419 ක් පමණයි. නමුත් ජනාධිපතිතුමාගේ රජය ගෙවීගිය කාලය තුළ සෞඛ්‍ය සේවාවට වෙන් කරන මුදල ක්‍රම ක්‍රමයෙන් වැඩිකර ගෙන ගොස් 2013 වන විට රු. මිලියන 119,530 ක දැවැන්ත මුදලක් වැය කරල තියෙනවා. මේ නිසාම අපට ගෙවීගිය වසර 9 තුළ දරු උපත් මාතෘ මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමට හැකි වී තිබෙනවා. මේ අනුව 2000 - 2004 වසර තුළ ළදරු උපත් මාතෘ මරණ සංඛ්‍යාව ලක්ෂයකට 55 ක් වුණා. එය 2010 - 2013 වකවානුව තුළ ලක්ෂයට 29 දක්වා අඩුකර ගැනීමට හැකි වී තිබෙනවා. ඒ වගේම ළදරු උපත් මරණ සංඛ්‍යාව 2004 දී දාහකට 12 ක් වුණා. එය 2013 වන විට 8 දක්වා අඩුකර ගැනීමට අපේ සෞඛ්‍ය සේවය සමත් වී සිටිනවා.

පරිගණක සාක්ෂරතාව

ඒ වගේම භාෂා සාක්ෂරතාව සියයට 95.6 සිට 98.5 දක්වාත්, පරිගණක සාක්ෂරතාව 2005 දී සියයට 9.7 සිට 2012 දී සියයට 35 දක්වා වර්ධනය කර ගැනීමට අප සමත්ව සිටිනවා. එමෙන්ම ගෙවීගිය වසර 9 තුළ විදුලි පරිභෝජනය ද වැඩි වී තිබෙනවා. මේ අනුව 2009 වන විට අප රටේ විදුලි පරිභෝජනය සියයට 82.35 ක් වුණා. එය 2013 වන විට සියයට 97.65 දක්වා ඉහළ නැංවීමට රජය සමත් වී සිටිනවා.

රටක සංවර්ධනයට සංචාරක කර්මාන්තය ඉමහත් දායකත්වයක් සපයනවා. මේ නිසා ගෙවීගිය වසර 9 තුළ ජනාධිපතිතුමා යුද්ධය නිමා කිරීමත් සමඟම අපේ සංචාරක කර්මාන්තයත් ඉහළට වර්ධනය වී තිබෙනවා. මේ අනුව 2009 වසර වන විට අපේ රටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 447,890 ක් වුණා. එය ගෙවීගිය වසර කීපය තුළ ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී 2013 අවසානය වන විට 1,274,593 දක්වා සියයට 200 කින් වැඩි වී තිබෙනවා. මේ ආකාරයට සංචාරකයින් අපේ රටට පැමිණෙන්නේ අපේ රටේ ආරක්ෂාව හා ස්ථාවර භාවය නිසා නොවේ ද?

ඒ වගේම අපේ රටේ සන්නිවේදන ක්ෂේත්‍රයේ මහත් විප්ලවයක් ඇති වී තිබෙනවා. 2004 වන විට අපේ රටේ ස්ථාවර දුරකථන 991,239 ක් හා ජංගම දුරකථන 2,211,158 ක් තිබුණා. අද දුරකථන භාවිතය අපේ ජනගහනය ද ඉක්මවා ගොස් තිබෙනවා. මේ අනුව 2013 වන විට අප රටේ ස්ථාවර දුරකථන 2,706,787 ක් සමඟ ජංගම දුරකථන 20,315,150 ක් තිබෙනවා.

අප රටේ විරැකියාව 2005 දී සියයට 7.2 ක් වුණා. එය 2013 වන විට සියයට 4 දක්වා පහත හෙලීමට රජය සමත්ව සිටිනවා. විරැකියාව දුරු කිරීම අතින් අපි සාක් කලාපයේ ඉදිරියෙන්ම සිටිනවා. ඉන්දියාව විරැකියාව අතින් සියයට 3.4 යි. ජපානය 4.3 යි. චීනය 4.5 යි. එංගලන්තයේ 7.9 යි. ඇමෙරිකාව 8.1 ක අගයක් ගන්නවා.

අපේ රටේ දුගී දුප්පත් භාවය 2002 දී 22.7 ක් වුණා. එය 2013 වන විට සියයට 6.7 දක්වා අඩු කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමත් වී සිටිනවා. ඒ වගේම අපේ ඒක පුද්ගල ආදායම 2004 දී ඇමෙරිකානු ඩොලර් 1,063 ක් වුණා. එය 2013 වන විට ඩොලර් 3,279.9 ක් දක්වා ඉහළ නැංවීමට රජයට හැකි වී තිබෙනවා. මෙම දත්තයන් අප රටේ සංවර්ධනය ගැන කියාපාන කැඩපතක් ලෙස හඳුන්වන්නට ඕන. මේ සා විශාල සංවර්ධනය කරපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය ඉතිහාසයේ වැඩිම සංවර්ධනයක් ඉටුකළ රජය බවට ඉතිහාසයට එක්වෙනවා.

මේ සියල්ලේම ප්‍රතිලාභ අපිට අද නොවෙයි අනාගතයේදී ලැබෙනවා. එතුමා රටේ නායකයා ලෙස සිය මෙහෙවර ඉටුකර තිබෙන්නේ අද ගැන පමණක් සලකා නොවෙයි, හෙට ගැනත් හොඳට සිතා බලායි.

ඕනෑම නායකයෙක් නිකං වැඩ ක් කරන්නේ නැතිව හිටියොත් කවුරුත් බණින්නේ නැහැ. විවේචනය කරන්නේත් නැහැ. නමුත් නායකයා වැඩ කරනවා නම් එතකොට තමයි විවේචනය කරන්නේ, බණින්නේ. ඒක තමයි රාජ්‍යයක ස්වභාවය. ඉතින් ජනාධිපතිතුමාට විපක්ෂය බණිනවා කියන්නේ, විවේචනය කරනවා කියන්නේ ඊට හේතුවක් තියෙනවා. ඒ අපේ ජනාධිපතිතුමා වැඩ කරනවා කියන එකයි. මේ අනුව කිව හැක්කේ වැඩක් කරන කොට තමයි නොයෙකුත් චෝදනා හා විවේචන එන්නේ. ඒ නිසා තමයි විපක්ෂය ජනාධිපතිතුමා විවේචනය කරන්නේ. මේවාට අපි කලබල විය යුතු නැහැ. අපේ රටේ බුද්ධිමතුන් මේ සැබෑ තත්ත්වය රටට කියන්න ඉදිරිපත් වෙන්න ඕනා. ඒක තමයි බුද්ධිමතුන්ට කරන්න තියෙන්නේ.

ආර්ථික සංවර්ධනය

අපේ රටේ ආර්ථික සංවර්ධනය මහා මට්ටමකට ගෙන එන්න පුළුවන් වුණේ ජනාධිපතිතුමාගේ මහින්ද චින්තනය නිසයි. අපේ රටේ ආර්ථික සංවර්ධනය අද සියයට 8 යි. නමුත් ලෝකයේ ආර්ථික සංවර්ධන වේගය සියයට 3.3 යි. අපේ අසල්වැසි ඉන්දියාවේ ආර්ථික සංවර්ධන වේගය සියයට 4 යි. චීනයේ ආර්ථික සංවර්ධනය සියයට 6.4 යි. ඉතින් මේ සංවර්ධන දත්ත අපේ රටේ දියුණුව මැනල බලන්න හොඳ සාක්ෂි වෙනවා.

අපේ ජනාධිපතිතුමා මෙරට බිහිවූ නායකයින් අතර යුග පුරුෂයෙක් ලෙස හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ මන්ද යත් යුද්ධය නිමාකර වසර කීපයක් තුළ මෙරට සංවර්ධන යුද්ධය ජය ගැනීමට පියවර ගෙන තිබීම මීට හේතු වෙනවා. වෙන රටවල්වල නම් යුද්ධයකින් පසුව රට ගොඩනඟන්න වසර 20 - 25 ක් විතර යනවා. නමුත් අපේ ජනාධිපතිතුමා ඉතා ඉක්මණින් රට සංවර්ධන කිරීමේ මාර්ගයට පිවිස සිටිනවා.

මහින්ද රාජපක්ෂ ජනපතිතුමා ගමේ සිට නගරයට ඇවිත් ගමට තැන දුන්න රාජ්‍ය නායකයෙක්. එතුමා හැම විටම නගරය මෙන්ම ගම සංවර්ධනයට කැපවුණු සැබෑ නායකයෙක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්. එතුමා නගරයට සීමා වූ තොරතුරු තාක්ෂණය ගමට ගෙන ගියා. සන්නිවේදන පියස, නැණසල හරහා ගමේ දරුවන්ටත් තොරතුරු තාක්ෂණ දැනුම ලබා දුන්නා. මේ නිසා අපේ රට තොරතුරු තාක්ෂණය අතින් මුළු ලෝකයක්ම පළමු තැනට පත්වුණා.

අපි ප්‍රාථමික සෞඛ්‍ය අධ්‍යයනය පිළිබඳ දැනුම ආශ්‍රිතව ලෝකයේ රටවල් 144 කින් 45 වැනි ස්ථානය ලබාගෙන තියෙනවා. ඒ වගේම යටිතල පහසුකම් සංවර්ධනයෙන් අපි ලෝකයෙන්ම 76 වැනි ස්ථානයේ සිටිනවා. යුද්ධය නිමාකර කෙටි කාලයක් තුළ අපි ලබා තිබෙන ඉහත ජයග්‍රහණ ඉතාමත් වැදගත් වෙනවා. මේ සියලුම ජයග්‍රහණවල නියමුවා වන්නේ අපේ රාජ්‍ය නායකයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමායි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්