මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

මේ බුද්ධිමත්ව තීරණ ගත යුතු කාලයක්

මේ බුද්ධිමත්ව තීරණ ගත යුතු කාලයක්

කොළඹ විශ්ව විද්‍යාලයේ මානව අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

මහාචාර්ය දයාරෝහණ අතුකෝරාල

ශ්‍රී ලංකාවේ සමස්ත අනාගතයම තීරණය වන ප්‍රධාන සන්ධි ස්ථානයකට අපි දැන් පැමිණ සිටිමු. ඉතිහාසයේ සිදුවූ ඓතිහාසික වැරැදි නිසා ශ්‍රී ලංකාව දිගින් දිගටම බැට කෑ වාර කිහිපයකි. මේ සෑම අවස්ථාවකදීම මහා පාවාදීම්, අභ්‍යන්තර විරසක, ආත්මාර්ථකාමී ආශාවන්, ඊර්ෂ්‍යාව හා කුහක බව හේතු සාධක වී ඇති ආකාරය දැක ගත හැකිය. ප්‍රබල රජතුමකුට එරෙහිව තම ඇමැති මණ්ඩලයෙන් ම ප්‍රතිමල්ලවයකු සොයා ගැනීම ඉතිහාසයේ එදත් සිදුවී ඇත. අදත් සිදුවෙමින් ඇත. අනාගතයේදී ද සිදුවනු ඇත.

ශ්‍රී ලංකාව අවසාන වරට එක් සේසත් කළ ක්‍රි.ව. 1415 දී කෝට්ටේ පාලකයා වූ හයවෙනි පරාක්‍රමබාහු රජතුමා සපුමල් කුමරු යවා ආර්ය චක්‍රවර්ති බළකොටුව සිඳ බිඳ දමා යාපා පටුන යටත් කළ අවස්ථාවේ ඔහුගේ තර්කය වූයේ “ලංකාවේ දෙතැනක රජසිර විඳීම නොවෙතැයි” යන බව රාජාවලියේ පැහැදිලි කරයි.

යාපනය පාලනය කළ ආර්ය චක්‍රවර්තීට දේශීය වශයෙන් හා විදේශීය හමුදා ශක්තීන් ගෙන්ද විවිධාකාර සහාය ලැබීම නිසා ඔහුගේ බලය ස්ථාවරව පැවතුණි. විජය නගර අධිරාජ්‍යයේ සහයෝගය නිසා හයවෙනි පැරකුම්බා රජතුමාට ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් බවට පත්කර ගැනීමට භෞමික අඛණ්ඩතාව රැක ගැනීමට දෙස් විදෙස් බලවේග සමඟ දරුණු සටනක් කිරීමට සිදුවිය.

එම සටනින් ජයගත් සපුමල් කුමරු යළි කෝට්ටේට පැමිණෙන විට, දකුණු ඉන්දීය හමුදාවක් යළි ලංකාව ආක්‍රමණය කිරීමට මුහුදු මඟින් පැමිණි බවත් ඒ හමුදාව නවාතැන් ගත් කොළඹට හා ගොරකාන පෙදෙසට කෝට්ටෙන් සහ රයිගමින් බළ හමුදා එවා එක රාත්‍රියකින් ම එම හමුදා වනසා දමන ලද බවත් රාජාවලියේ වාර්තාවේ.

වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ ද එයයි. ශ්‍රී ලංකාව තනි රාජ්‍යයක් වශයෙන් පාලනය වන විට, ක්‍රියාත්මක වන විට, එය රටක් වශයෙන් ප්‍රබල වීමට හේතුවන අතර, කැඩී බිඳී ගිය කල්හි අභ්‍යන්තර සටන්, ලේ වැගිරීම් විරෝධතා නිතර නිතර සිදුවන බවත් ඉතිහාසය ඔප්පු කරයි. මේ තත්ත්වය පෘතුගීසි පාලන සමයේදී ද සිදුවිය. ශ්‍රී ලංකාව තෑගි ඔප්පුවකින් දොන් ජුවන් ධර්මපාල රජතුමා විසින් තම විජිතය පෘතුගීසි රජතුමාට පවරා දීමක් එකල සිදුවිය. එය ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවෙන් 2 / 3 ක හා භූමි ප්‍රමාණයෙන් 1/3 කටද වැඩි කොටසක් පාලනය ත්‍රස්තවාදී කල්ලියක නායකයකු වන ප්‍රභාකරන්ට ගිවිසුමකින් පවරා දීමට සමානය. එදා පෘතුගාලය සාක්ෂිකරුවකු වූ පරිදි මෙදා‍ නොර්වේ රට සාක්ෂිකරුවකු විය.

පෘතුගාලයත්, නෝර්වේ රටත් ලංකාවට ඇස ගසා ගෙන සිටියේ ද සිටිනුයේ ද අප රටේ ඇති වටිනා සම්පත් කොල්ල කා ගැනීමේ අරමුණින්ය. ශ්‍රී ලංකාවේ ඇති අසම සම පිහිටීම සේද මාවතේ සන්ධි ස්ථානයක් වීම තෙල් හා ගෑස් නිධි මතුකර ගැනීමේ ඇති විභව හැකියාව අපගේ මුහුදු වැලි අතර ඇති තෝරීයම්, ප්ලැටිනම් වැනි වටිනා ඛනිජ වැල්ල අනාගත පරිගණක ලෝකයේ ද රන් ආකරයක් බව අපට ද වඩා හොඳින් ඔවුහු දනිති.

මේ අනාගත සම්පත කොල්ලකා ගත හැක්කේ තම රටවලට ලබා ගත හැක්කේ තමන්ට අවනත පාලකයකු සිටියහොත් පමණි. වේලුපිල්ලේ ප්‍රභාකරන් යාපනයේ පාලකයා බවට පත්කර එම තෙල් නිධිවල හා ඛනිජ වැලි නිධිවල පාලනය තම යටතට ගැනීමටත්, එම කොටි නාවික බළකාය ශක්තිමත් කර චීනය කරා යන නැව් වලට බලපෑම් කිරීම හා මුහුදු කොල්ලකාර කණ්ඩායමක් නිර්මාණය කිරීමත් ඔවුන්ගේ අභිලාෂය විය. ඇමෙරිකන් සෙනෙට් සභාව මඟින් 2009 දී පත් කළ ‍ජෝන් කෙරී ගේ සභාපතිත්වයෙන් යුතු සෙනෙට් උප කමිටුවේ ද සඳහන් කර ඇත්තේ ප්‍රභාකරන් පරාජය ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තියේ පරාජයක් හා දුබල වීමක් ලෙසය. මේ පරාජය ඔවුන්ගේ අභිමානයට මහත් කැලළක් වන බවය.

ඇමෙරිකන් හමුදාව වියට්නාමයේ දී ලද යුද පරාජය තරම්ම පරායක් ශ්‍රී ලංකාවේ සිදු වූ බව ඔවුන් පිළිගන්නා බව එම වාර්තාව කියවන විට පැහැදිලි වේ. ඔවුන් එය සඳහන් කරනුයේ (UNBELIEVABLE, UNEXPECTED හා UNTHINKABLE) විශ්වාස කළ නොහැකි අපේක්ෂා කළ නොහැකි හා සිතාගත නොහැකි සිදුවීමක් ලෙසය. මේ වචනවලින් හැ‍ඟෙන්නේ කවරක්ද? ඔවුන් විශ්වාස කළේ අපේක්ෂා කළේ හා හිතාගෙන සිටියේ ප්‍රභාකරන්ගේ ජයග්‍රහණය මිස පරාජය නොවන බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම උපයෝගී කර ගෙන ත්‍රස්තවාදය නවතා දැමීමට එරෙහිව ඔවුන් යුද ප්‍රකාශ කරනුයේ මේ ආත්ම ලජ්ජාව වසා ගැනීමටය. ලෝකයේ බලවත්ම ත්‍රස්තවාදී කණ්ඩායම ලෙස සලකා පාබල, නාවික හා ගගන බළකායක් සිටි එකම ත්‍රස්තවාදී කණ්ඩායම ලෙස සලකා තනි කණ්ඩායමක් ලෙස ඒ ඒ රටවල් වලින් පිළිගෙන ඒ රටවල ක්‍රියාකාරීත්වය තහනම් කළ සංවිධානයකට මෙතරම් උදව් කරනුයේ ඒ පාඩුව හා ලජ්ජාව වසා ගැනීමටය.

මේ සඳහා එක අංශයකින් පමණක් නොව විවිධ අංශ වලින් විවිධ පැතිකඩ වලින් පහරදීමට ඔවුහු උත්සාහ දරති. ඒ සඳහා ඩොලර්, යූරෝ, කෝටි ගණනින් පොම්ප කර මුදලට කළ හැකි සියල්ල කරනු ඇත. වත්මන් කාලයේ නව තාක්ෂණය භාවිත කරමින් ෆේස් බුක්, ට්වීටර් ක්‍රම භාවිතා කරමින්, ඕපාදූප නිරතුරු පතුරුවා හරිමින් ජන ජීවිතය විපරීත කිරීමට කටයුතු කරති. ප්‍රචාරක යාන්ත්‍රණය රජයක් පෙරළා දැමීමට වුවද ප්‍රබලය.

“ඌරාගේ මාළු ඌරාගේම ඇ‍ඟේ තබා කැපීම සඳහා පාලක පක්ෂය තුළින් ම ප්‍රබල චරිතයක් මිලට ගනී. මේ සියල්ල එකම ක්‍රියා දාමයක සිදුවීම් මාලාවකි. 1815 දී බ්‍රවුන්රිග් හා ජෝන් ඩොයිලි ඇහැලේපොළට රජකම ලබාදීමේ ගිවිසුම මත ඇහැලේපොළ රවටා උඩරට යටත් කර ගත් පරිදිම එදා සිට අවුරුදු 133 ක් 1948 දක්වා රාජ්‍ය බලය අල්ලා ගෙන අප පරාධීන ජාතියක් කළ ආකාරය යළි මතක් කර ගත යුතුව ඇත. ආණ්ඩු පක්ෂයේ මහ ලේකම්වරයා, එමෙන් ම කවර අතකට හෝ නම්මවා ගත හැකි අසරණ දුබල මිනිසා, මෙවර ඉත්තකුට පාවිච්චි කිරීමට කුමන්ත්‍රණකරුවන් සමත්ව ඇත. සිංගප්පූරු කුමන්ත්‍රණය නමින් ද වර්තමානයේ හඳුන්වන මේ කූට කුමන්ත්‍රණය ඔස්සේ හුවමාරු වන මුදල් ප්‍රමාණය අතිමහත්ය. තුන්වන ලෝකයේ රටවල බොහෝ දේශපාලනඥයන් මුදලට මිලට ගත හැකි බව බටහිර ව්‍යාපාරික ධනවාදී ශාස්ත්‍රඥ‍යෝ හොඳින්ම දනිති. බටහිර ආර්ථික විද්‍යාවේ පියා ලෙස හඳුන්වන කේන්ස් සාමිවරයා මේ බව මුලදීම එළිපිටම ප්‍රකාශ කර ඇත.

ධනවාදී ආර්ථිකය හසුරුවන ව්‍යාපාරිකයන් හා ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරන ධනවාදී රාජ්‍යයන් මේ මූලධර්මය ආර්ථික හා ව්‍යාපාර දියුණු කිරීමට අවශ්‍ය පසුතලය වෙනස් කිරීමට දේශපාලනඥයන් මිලට ගැනීම සඳහා ද, අල්ලස්, කප්පම් හා නොයෙකුත් වරදාන නම්බු නාම, තනතුරු ඇම වශයෙන් භාවිත කරති.

එතරම් උගත්කමක් නොමැති දුර දිග කල්පනා කළ නොහැකි, දුබල පීඩාකාරී පරිසරයක හැදුණු වැඩුණු පුද්ගලයකුට සුරංගනා ලොවක් මවා පෙන්වා මනඃකල්පිත රාජ්‍යයක ඔටුන්න දමා ගැනී‍ෙම් සිහින පෙන්වූ කල්හි අවශ්‍ය ‍වෙලාවට අවශ්‍ය අයුරට හරවා ගත හැකි බව ඔවුහු දනිති. එසේ නොමැති නම් උගත් අයකුට, වීමර්ශනශීලී අයකුට දින සීයේ කතාව එකතැනකදී ද වසර හයක වැඩසටහනක් එම ප්‍රකාශනයේදී ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විරෝධීව තවත් තැනකදී ද කීමට නොහැකිය.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව සමස්ත “මගේ දැක්ම” ම විසංවාදී ප්‍රකාශවලින් ගහණය. එහි ඇති යෝජනා ක්‍රියාත්මක කිරීම මඟින් යළි නැති ප්‍රශ්න රාශියක් ඇති විය හැකිය. විශ්ව විද්‍යාල ප්‍රවේශයට ලකුණු අඩු අයට, මුදල් ගෙවා එම විශ්ව විද්‍යාලයෙන්ම ඉගෙනීමට අවකාශ සැලසීමේ යෝජනාව අඬන්නට සිටින මිනිසාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනීම හා සමානය. විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව ඇදගෙන යාමට හා එමගින් රට තුළ මහත් කැළඹීමක් ඇති කිරීමට ඒ යෝජනාව පමණක් ප්‍රමාණවත්ය. වසර ගණනාවක් විශ්ව විද්‍යාල වසා තැබීමට ද එමඟින් වසර කිහිපයක් උපාධිධාරීන් බිහිවීම වළක්වාලීමට ද මඟ පෑදෙනු ඇත.

එසේම වී කිලෝව රුපියල් 50/- බැගින් මිලට ගැනීමට යෝජනා කිරීම මඟින් හාල් කිලෝව රු. 100/- බැගින් අඩුම වශයෙන් විකිණීම සිදුවීම නොවැළැක්විය හැකිය. එපමණක් නොව පෙට්‍රල්, ඩීසල් මිල තවදුරටත් බදු අය නොකර ලබාදීමට ද කර ඇති යෝජනාවද දුර්වල මානසික ලාභ, බාල ජනප්‍රියතාව උදෙසා කරනු ලබන යෝජනාය. රජයේ සේවකයන්ට රු. 10000/- ක වැටුපක් වැඩි කිරීමට කළ නොහැකි බව දැන දැන කරන බොරු පොරොන්දුවකි.

වත්මන් ඡන්ද දායකයා “මගේ දැක්ම සහ මහින්ද චින්තන ලොව දිනන මඟ” එකට ගෙන කියවිය යුතුය. හුදෙක් වේදිකා සටන් පාඨ වෛර ප්‍රකාශන පරස්පර කතාවලට සවන් දී බුද්ධියෙන් තොරව හදවතින් හා හැඟීම් වලින් තීරණය ගතහොත් මේ රට අගාධයට යාමට තමාද දායක වූවාය යන මානසික පීඩාවෙන් සදහටම දුක් විඳීමට ඔබට සිදුවනු ඇත.

ප්‍රධාන සටන් පාඨය, මුඛ්‍ය පණිවිඩය ලෙස ප්‍රතිපක්ෂ ඉදිරිපත් කරනුයේ “වෙනසක් අවශ්‍යය” යනුවෙනි. වෙනසක් වීම යෝග්‍යය. එහෙත් ඒ දියුණුව සාර්ථකත්වය, ජයග්‍රහණය උදෙසා ය. එසේ නැතිව පරාජය, අසාර්ථකත්වය, පරිහානිය සහ අවමානයට ලක්වීම සඳහා නොවේ.

ශ්‍රී ලංකාවට සුවිශේෂ අනන්‍යතාවක්, සංස්කෘතියක් හැදියාවක් ඇත. මේ සුවිශේෂ අනන්‍යතාව රැක ගැනීමට විශේෂයෙන් ම සිංහල බෞද්ධ ලාංකේය, හින්දු ඉස්ලාම් හා කතෝලික ආගම් අදහස සෑම අයකුම අධිෂ්ඨාන කර ගත යුතුය. මේ සාමකාමී නිදහස් රට යළි යුද ගැටුම්වලට ඇද දැමිය යුතු නැත.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් එකවරක් පරාජය වූවාට දෙවරක් පරාජය වන්නේ නැත. යුද හමුදාව 50% අඩුකර උතුරත් යළි ආපසු ගෙන ආ කල්හි කොටි බලය යළි ස්ථාපිත කිරීම ඉතා පහසුය. අධි ආරක්ෂිත කලාප ඉවත් කළ පසු සියලු බලතල හීන වනු ඇත. යටත්ව ඇති සැඟවී ඇති බලය මීළඟට මතු වන්නේ පෙරට වඩා බලවත් ලෙසය. එය සිංහල දෙමළ, මුස්ලිම්, බර්ගර් සැවොම යළි බියට පීඩනයට, ත්‍රස්ත බවට පත් කරනු ඇත.

ඔබ විඳි දුක බිය, අසහනය ඔබේ දරුවන්ට උරුම කළ යුතු නැත. 1971, 1988 - 1989 හා 1990 සිට 2005 දක්වා ලංකාව පුරා පැතුරුණු බියකරු පරිසරය ජන ජීවිතය අඩාල කළේය. ජාතියම බියෙන් සැකයෙන් ජීවත් වූ කාලය යළි දකින්නට තිබිය යුතු නැත. ආත්මාර්ථකාමී බල ලෝභී සිහිනය සමස්ත ජාතියක්ම අනතුරේ හෙලන ලද බව මහින්ද රාජපක්ෂ රජය පෙරළා දමා බලය ලබා ගන්නට කැසිකවන විපක්ෂය තේරුම් ගන්නේ නැත.

එසේ වුවත් උගත් බුද්ධිමත් යමක් කමක් විමසා දැක ගැනීමට දැන ගැනීමට කැමති ඡන්ද දායකයින් එය ‍‍තේරුම් ගත යුතුව ඇත. මේ හැඟීම් වලින් හෝ ආශාවන්ගෙන් සිතිය යුතු කාලය නොවේ. මේ දුර දක්නා නුවණින් යුතුව සිතිය යුතු කාලයයි.

ඔබ ඔබගේ හිසට හා පපුවට තට්ටු කර එක වරක් විමසන්න. රට යන ඉදිරි ගමන අඩාල කර යළි භීෂණ යුගයකට යනවාද? යළි අවි ගත් සතුරන්ට අවියෙන් පිළිතුරු දීමට සිදුවේද? එසේම නව වේගවත් සංවර්ධන වැඩසටහන් නවතා දමා යළි අඳුරු යුගයකට යනවාද? නැද්ද යන්න තම තමන්ගේ හෘදය සාක්ෂියෙන් විමසා හොඳම තීරණය ගන්න. ඒ සඳහා ඔබට බුද්ධිය හා නිදහස ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්