මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

කළගුණ නොදත් තැනැත්තාට සමාජයෙන් දඬුවම් ලැබේ

කළගුණ නොදත් තැනැත්තාට සමාජයෙන් දඬුවම් ලැබේ

සච්චංකිර ජාතකය

කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරවාසී

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ශාස්ත්‍රපති

විතාරන්දෙනියේ මේධානන්ද හිමි

සමාජයේ ජීවත්වන අපි, මවුපියන්, දූ දරුවන්, අඹු සැමියන්, නෑදෑ හිත මිතුරන්, අසල්වැසියන් ඈ ආදී ලෙස දම්වැල් පුරුක් සේ එකිනෙකා හා බැඳී සිටිමු. කිසිවකුට තවත් කෙනකු ගේ ඇප උපකාර ඇවැසි නොවේ යැයි සිතීම ද අපහසුය. තමන්ට උපකාර කළ කෙනෙකුට ප්‍රති උපකාර දක්වන්නට නො පෙළඹෙන සිත් ඇති කවරකුට වුව යම් දිනෙක තමන්ට උපකාරයක් ඇවැසි වූයේ නම් ඒ සඳහා කිසිවෙක් සොයා ගැනීම ද අපහසුය.

තමන් ලද ස්වල්ප වූ උපකාරය වුවද අමතක නො කොට සිතේ තබාගෙන සිට ඒ උපකාරය කළ අයට පෙරළා උපකාර කිරීම විශිෂ්ට සත්පුරුෂ ගුණයකි. ඔහු කිසි දිනෙක තමන්ට කළ උපකාරය අමතක නොකරන්නේය. ලෝකයටම ශාන්තියක් වන්නේ ද එවැනි පුද්ගලයින් ගේ ජීවත් වීමය.

සම්පත් ඇති පමණින් අසීමාන්තිකව ආහාරයෙන් සන්තර්පනය වී ‍ගොනෙකු ගේ මෙන් සිරුර වැඩුණාට ඒ පුද්ගලයාගෙන් සමාජයට පලක් නොවේ. ඔහු ගුණ නුවණින් ද පෝෂණය විය යුතුය. ජාතක පොතේ එන සච්චංකිර ජාතකය සමාජයට කියන්නේ ද ඒ පණිවුඩයයි. සමාජයේ යහ පැවැත්ම ‍උදෙසා කෙනෙක් කළ උපකාරය අමතක නොකළ යුතු බව, එසේ උපකාර අමතක ‍කොට වෛරී චේතනාවන් මුදුන් පමුණුවා ගන්නට යන අයට වන බරපතළ හානිය ඉන් අපූර්ව ලෙස විස්තර කෙරෙයි.

බ්‍රහ්මදත්ත රාජ පරම්පරාව යහපත් ය. එහෙත් රජු ගේ පුත් කුමරු බාල වියේ පටන්ම දුෂ්ට ගති ඇත්තෙක් විය. කෙළෙහි ගුණ නොදනී. ක්‍රෑර සිතිවිලිම ඇත්තේ වෙයි. මේ නිසාම මෙකුමරුගේ ඇසුර කිසිවෙක් ප්‍රිය නොකරති.

දිනක් කුමරු පිරිවර සමඟ එක්ව ජල ක්‍රීඩාව පිණිස යන්නේය. එදා ග‍ඟෙන් ඉහළ ගම්මානවලට තද වැසි වැටුණි. ගඟ දිය පහර එක්වරම වැඩිවුණි. මහා ජල කඳක් වේගයෙන් ගලා ආවේය. ජල ක්‍රීඩා කළ සියලු තරුණයෝ වහා ගොඩට පැන ගත්හ. එහෙත් කුමරු ප්‍රමාද විය. මහා ජල කඳ සමඟ පොර බදමින් ජීවිතය ගලවා ගන්නට දැඟලුවේය. කෑ ගසමින් උදවු ඉල්ලුවේය. එහෙත් ඔහු ගේ පිළිසරණට කිසිවෙක් ඉදිරිපත් නොවුණි. දැන් ජලපහරත් සමඟ කුමරු පහළට ගසාගෙන යයි. නුදුරින් කොට කැබැල්ලක් පාව එනු දුටු කුමරු මහත් වෙහෙසව එය මැදින් බදා අල්ලා ගනී. සැඩ ගංවතුරට හසුවූ තවත් දෙදෙනෙක් එහි දෙකෙළවරය. එක් කොනක නාගයෙකි. අනෙක් කොන මීයෙකි. දැන් තිදෙනාම සමඟ කොටය පහළට ගසාගෙන යයි. ගඟ දියේ පාව එන තවත් අසරණයෙකි. ඒ තටු සිඳී ගිය ගිරා පෝතකයෙකි. ඒ පක්ෂියා ද වෑයම් ‍ගෙන මේ කොටය මතට නැඟ ගනී. දැන් එකෙක් පරයා එකෙක් නඟන විලාප හඬය. ගඟ ඉවුරේ තාපසාරාමයක වෙසෙන තවුසෙකුට මේ විලාප හඬ ඇසුණි.

ගඟ දෙසට දුවැවිත් පැමිණ බැලූ කල පාවෙමින් එන කොටයත්, දිවි බේරා ගන්නට උදවු ඉල්ලන පිරිසත් දුටුවේ ය. වහා ගඟ දියට බැස එය ගොඩට ඇදගත් තවුසා සීතලයෙන් වෙවුලන පිරිස දැක, වහා ප්‍රතිකාර නොලැබුණේ නම් සතුන්ගේ දිවි තොරවන බව අවබෝධව සැණින් ගිනිමැලයක් දල්වා සීතල දුරු කළේය. කුසගිනි නිවා බේත් හේත් ලබා දුන් තාපසතුමා කුමරු ගැන අවධානය යොමු කළේ ඉන් අනතුරුවය. සතුන්ට මුල්තැන දුන්නේ, තවත් පමා වූවා නම් උන්ගේ දිවි තොරවීමට තරම් දුර්වලව සිටි බැවිනි. එහෙත් කුමරුට මෙය ඉවසුම් නොදෙන්නක් විය.

“පෙනේ ද? මේ මහලු තාපසයා රජකුමරෙක් වී ත් මා ගැන නොතැකූ සැටියක්. ඔහුට මා සිහිවූයේ අන් සියල්ලන්ටම උපකාර කළ පසුවය.” යි තාපසයා ගැන වෛර සිත් ඇති කර ගත්තේය. එහෙත් තාපසතුමා කුමරුට ද හොඳින් ඇප උපස්ථාන කොට ඔහු ද සුවපත් කළේය. කායිකව සුවපත් වුවද කුමරු දැන් මානසිකව රෝගීය. ඇප උපස්ථාන විඳිමින් ම තවුසා පිළිබඳව වෛර ගිනි දැල්වලින් දැවී යන සිතින් ඔහු සිතන්නේ තමන්ට කළ මදි පුංචිකමට පළිගන්නා සැටි පිළිබඳවය.

සිවු දිනක් ගෙවුණි. දිය පහරේ ගසාගෙන ආ සියල්ලෝ දැන් සුවපත්ය. තාපසතුමා ඉදිරියට පැමිණි නාගයා

‘ස්වාමීනි. ඔබ කළ උපකාරය නොවන්නට මාගේ දිවි තොර වී අවසන් ය. මා සිටින්නේ අසවල්තැනය. ඕනෑම මොහොතක පැමිණ ‘දීඝ’ යැයි අමතන්න. මා වෙත බොහෝ ධනය තිබේ. ඔබට ඇති තරම් පවරා දෙමි’ යි වැඳ නමස්කාර කර යන්නට ගියේය.

දෙවනුව මීයා ද පැමිණ එසේ පවසා වැඳ නමස්කාර කළේය.

තෙවනුව ‘සුවපෝතක’ නම් ගිරා පෝතකයා ද වැඳ නමස්කාර කළේ ය.

‘තාපසතුමනි, ඔබ කැමති ඕනෑම අවස්ථාවක පැමිණෙන්න. මාගේ නෑදෑයින්ට කියා, ගැල් පුරවා ස්වයංජාත ඇල් හාල් දෙන්නෙමි’ යි පවසා යන්නට ගියේ ය.

සිය ගමරට බලා යනු පිණිස රජ කුමරු ද තාපසයන් හමුවන්නට පැමිණේ. මවා ගත් සිනහ මුහුණින් තාපසයා ඉදිරියට ගොස් ‘මා රජ වූ දිනෙක මාගේ රාජ්‍යයට පැමිණෙන්න. මම ඔබට හොඳින් සලකමි’ යි කියා යන්නට ගියේ ය.

කලක් ගෙවුණි. උපකාර ලැබූවන් කෙසේ කළගුණ සලකනු ඇත්දැයි දැන ගැනීමේ කැමැත්තක් උපන් තාපසයා මුලින් ම ‘දීඝ’ නම් නාගයා හමුවට යන්නේ ය. සිය නම ඇසූ දීග ක්ෂණයකින් එහි ඇදී තාපසයා දැක සතුටුව “තාපසතුමනි. මේ විසල් ධනයෙන් ඔබට ඕනෑ තරමක් අරගෙන යන්න” යි ඉල්ලා සිටියේ ය.

“නැත දීඝ. මා ආවේ ඔබ දැක බලා යන්නටය. ධනය ඇවැසි වූයේ නම් පසුව එන්නෙමි” යි පිටව ගියේය. ‍‍‍

මෙසේ මීයා සහ සුවපෝතක සමීපයට ද ගිය තාපසතුමාට ගෞරවාරද පිළිගැනීමක් ලැබුණි. තම ධනය පවා දී කෘතගුණ සලකන්නට සැරසුණි. එහෙත් තාපසතුමා එය ප්‍රතික්ෂේප කළේය. ඇවැසි වූයේ මේ සතුන්ට කළ ගුණය මතකයේ වේ දැයි දැන ගැනීමට ය.

ඊළඟට තාපසතුමා යන්නේ දිවි බේරා දුන් කුමරු හමුවටය. ඔහු දැන් රජෙකි. මෙවෙ‍‍ෙල් ඇතු පිටින් ගමනක් ගිය රජු පිරිවර සමඟින් මාලිගය බලා එන්නේ සැඩ පහරේ ගසාගෙන යන මොහොතේ තමන් බේරාගත් තාපසතුමා එන සැටි දුර දීම දුටුවේ ය. සිත උපන්නේ සතුටකි. ඒ ආදර සැලකිලි දැක්වීමට නොව එදා තමන්ට කළ මදිකමට පළිගැනීමටය. වහාම රාජ පුරුෂයන් අමතා ‘රාජපුරුෂයනි, වහාම අර එන අසත්පුරුෂයා අල්ලා දඬුවම් දෙනු. එකවර නොමරා පහර දී, වධ දී මරණයට පත් කරනු’ යි අණ කළේ ය. රජ අණ ක්‍රියාත්මක විය. රාජ පුරුෂයෝ තාපසයා අල්ලාගෙන ඔහුට තලමින් මහජනයාට ප්‍රදර්ශනය කරමින් මඟ දිගේ ඇදගෙන ගියහ. තමන්ට වධ දෙන වාරයක් පාසා තාපසතුමා මෙසේ කීවේය.

‘මෙලොව නුවණැති යම් කෙනෙක් දියෙන් ගිලී යන දණ්ඩක් ගොඩ දැමීම යහපත්ය. ඒ කුමක් නිසාද? ඉන් ගිනි තැපීමට හෝ ප්‍රයෝජනයක් වන හෙයිනි. නමුත් අසත්පුරුෂයෝ එසේ ගසාගෙන යනවිට අත අල්ලා දියෙන් ගොඩ දැමීම ත මන්ට ම කර ගන්නා අන්තරායකි”

දිගින් දිගටම මෙසේ තාපසවරයා කියන්නක් ඇසූ රාජ පුරුෂයෝ

‘මොහු මේ කුමක් කියනවා ද? කවර හෝ අර්ථයක් මෙහි ඇතැ'යි සිතූහ.

‘ඔබ කියන්නෙහි තේරුම කුමක් ද?’ යි විමසූහ.

‘දරුවනි. මට මෙවන් දුකක් විඳින්නට වුණේ එවන් අසත් පුරුෂයකුට උපකාර කළ නිසාය’ යි පවසා අතීතයේ සිදු වූ සියල්ල විස්තර කළේය.

රාජ පුරුෂයන්ට සියල්ල අවබෝධ වුණි. මේ පුවත කටින් කට ගොස් මහජනයාට ද දැන ගන්නට ලැබුණි. අසත්පුරුෂ රජුගේ ක්‍රෑර වැඩපිළිවෙළට කෝප වූ ජනයා ගල්මුල්වලින් ගසා රජු මරා නිවැරැදි තාපසතුමා රජු බවට පත්කර ගත්තේ ය.

සච්චංකිර ජාතකය අප සමාජයට දෙන පණිවුඩය අපූර්ව එකකි. කළ ගුණ නොදන්නා පුද්ගලයාට අත්වන ඛේදනීය ඉරණම එහි මනා ලෙස විස්තර කෙරෙයි. රජෙක් යනු රටත් මහජනතාවත් ආරක්ෂා කරන්නෙකි. විවිධ බලවේගවලින් රටට, ජාතියට වන සතුරුකම් දුරැර සාමයෙන් සමග‍ියෙන් ජීවත් වන්නට ඇවැසි පරිසරයක් ගොඩ නැඟීම රජුගේ වගකීමය.

මහජනතාව ද බුද්ධිමත් වීම අත්‍යවශ්‍යය. රටේ නායකයා කළ ගුණ සැලකූ පමණින් සියල්ල සම්පූර්ණ වන්නේ නැත. නායකයාට නිවැරැදි මාවතක ගමන් කරන්නට අවශ්‍ය ශක්තිය ලබා දීමට මහජනතාව උනන්දු විය යුතුය. නිවැරැදි පුද්ගලයකුට ලැබෙන අස්ථාන චෝදනා බැහැර කරන්නට, නිවැරැදි දේ ම ‍තෝරා ගන්නට ඔවුන් සමත් විය යුතුය.

සත්‍ය කවදා හෝ ජය ගන්නා බව, කෙනෙක් කළ හොඳ දේට මිස නරකට තැනක් නොවන බව, නිවැරැදි පුද්ගලයා සමාජයේ පිළිගැනීමට ලක්වන බව මේ කතාව අපට කියා දෙයි. තාපසයාගෙන් සියලු සංග්‍රහ භුක්තිවිඳ ජීවිතය ගොඩනඟාගත් කුමරු කළ ගුණ නොදන්නා නිසා, ගැමි වහරේ එන ලෙස ‘කන්ට දුන් අත සපා කෑ’ නිසා ඔහුට නියම දඬුවම් ලැබුණි.

නිවැරැදි පුද්ගලයකුට බොරු චෝදනා කොට ඒ තැනැත්තා අප්‍රසාදයට පත් කිරීමේත් අනතුරට හෙළීමේත් බරපතළ විපාකය සච්චංකිර ජාතකය සමාජයට කියා දෙයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්