මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

ඡන්දය ඔබේ අයිතියයි එය කිසිවකුට පැහැරගත නොහැකියි

ඡන්දය ඔබේ අයිතියයි එය කිසිවකුට පැහැරගත නොහැකියි

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය

ලබන 8 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට අවශ්‍ය සියලු විධිවිධාන මේ වන විට මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව මඟින් යොදා අවසානය.

2014 ඡන්දච හිමි නාම ලේඛනය අනුව මෙවර ජනාධිපතිවරණයට එක්කෝටි පනස්ලක්ෂ හතළිස් හතර දහස් හාරසීය අනූවක් 1,50,44,490 ඡන්දදායකයෝ ලියාපදිංචි වී සිටිති.

ඡන්දදායකයාගේ ඡන්ද අයිතිය සුරකිමින් බියෙන් සැකයෙන් තොරව ඡන්ද පොළට ගොස් තම ඡන්දය පාවිච්චි කිරීමට සෑම ඡන්දදායකයකුටම තිබෙන අයිතිය තහවුරු කර තිබෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට ඉදිරිපත් කළ ප්‍රශ්නවලට ලැබුණු පිළිතුරු මෙසේ ය.

ඡන්ද පොළ දූෂණ වාර්තා වුවහොත් කලබලකාරී තත්ත්වයක් ඇතිවුවහොත් මොකද කරන්නේ.

අනිවාර්යයෙන්ම එම ඡන්ද පොළේ ඡන්ද ශුන්‍ය කරනවා. ප්‍රශ්න හා කලබල ඇතිවිය හැකි ඡන්ද පොළ හඳුනාගෙන විශේෂ ආරක්ෂාව යොදවනවා. සෑම ඡන්ද පොළකටම පොලිස් නිලධාරීන් දෙදෙනකු සේවයට යොදවනවා.

එක ඡන්ද පරිශ්‍රයකට ඡන්ද පොළ 5 ක් අයත් වෙනවා. සෑම ඡන්ද පෙට්ටියකටම එක පොලිස් නිලධාරියකු බැගින් ආරක්ෂාව සඳහා යොදවනවා. පොලිස් නිලධාරීන් 8 දෙනෙකු ආරක්ෂාව සඳහා සේවයට යොදවනවා. ජංගම පොලිස් මුර සංචාර ඡන්ද පොළවල් 5 - 6 ක් ආවරණය වන අන්දමට යොදවනවා.

පොලීසියට අමතරව යුද හමුදාව නැතිනම් ත්‍රිවිධ හමුදාව යොදා ගන්නත් බලාපොරොත්තු වෙනව ද?

යුද හමුදාවේ හෝ ත්‍රිවිධ හමුදාවේම සහයෝගය ලබාගන්න අදහස් කරලා නැහැ. අපිට මැතිවරණ කටයුතුවල සම්පූර්ණ ආරක්ෂාව පොලීසියෙන් සලසා ගන්න පුළුවන්.

කොහොම වුණත් පාලමක් කැඩී ජනතාවට අපහසුතාවක් ඇතිවුණොත් උස වාහනයක් අවශ්‍ය වුණොත් යුද හමුදාවේ සහාය ගන්නවා. පිරිස් බලය අවශ්‍ය වුණොත් හමුදාවෙන් ලබා ගන්නවා. උතුරු ප්‍රදේශයේ දූපත්වල සිටින පිරිස් ද රැගෙන එන්න නාවික හමුදාවේ සහාය ගන්නත් සිද්ධ වේවි. මුහුද රළු වුණොත් ගුවන් හමුදාවේ සහාය ද ගන්න වෙනවා.

මැතිවරණ දිනයේදී ඕනෑම බරපතළ තත්ත්වයක් ඇතිවුවහොත් ගන්න පියවර කුමක් ද?

පොලිස් විශේෂ කාර්ය බළකාය මෙවැනි අවස්ථාවකට යොදවනවා. ඡන්ද පොළකදී මතුවන ඕනෑම බරපතළ තත්ත්වයකදී පොලීසියට වෙඩි තියන්නත් බලය පවරා තිබෙනවා.

කටවුට් පෝස්ටර් ප්‍රදර්ශනය මැතිවරණ නීතිරිති තදින් උල්ලංඝනය කරමින් ප්‍රදර්ශනය කිරීම තවමත් සිදු වෙනවා නේද?

නිසි පියවර ගැනීම් සිදුවෙමින් පවතිනවා. බොහෝ කටවුට් ගලවා තිබෙනවා. මහජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් විය යුතුයි. පැමිණිලි ඉදිරිපත් කළ විට අපට ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එල්ලන හැම තැනකම කටවුට් හා බැනර් ගලවා ඉවත් කරන්න අපට අපහසුයි. අපට දැනුම් දීම් කළ යුතුය. ඡන්ද කාර්යාලවල කටවුට් පවා ලබන 6 වැනිදා ගලවා ඉවත් කළ යුතුය.

ඡන්ද පෙට්ටි මාරු කරන්න පුළුවන් ඡන්ද කොල්ල කන්න පුළුවන් කියලා පැතිරෙන කතාවක් තිබෙනවා.

මේ කතාවල පදනමක් නැහැ. පට්ටපල් බොරු, ඡන්ද පෙට්ටි එහෙම මාරු කරන්න බැහැ. ඡන්ද පෙට්ටි මැතිවරණ මධ්‍යස්ථානයේ සිට ඡන්දය ගණන් කරන ස්ථානය දක්වා ගෙන යාමේදී විවිධ ආරක්ෂිත පියවර රැසක් යොදවනවා.

ඡන්ද පෙට්ටියේ අංකයක් යෙදීම රහස් අංකයක් පොලිතින් උරයක ඡන්ද පත්‍රිකා සුරක්ෂිතව බහා ඡන්ද පෙට්ටියේ තැන්පත් කිරීම, ඡන්ද මධ්‍යස්ථානයේ නියෝජිතයන්ගේ අස්සන් හා ඡන්ද නිලධාරීන්ගේ අස්සන් ලේඛන සමඟයි. ඡන්දය ගණන් කරන ස්ථානයකට ඡන්ද පෙට්ටි රැගෙන යන්නේ. ඡන්ද පෙට්ටි මාරු කරන්න අවකාශයක් නැහැ. ඒක කරන්න බැරි දෙයක්. මේක බොරු මතයක් ප්‍රචාරය කිරීමක් පමණයි.

ඡන්දය පවත්වන දින මැතිවරණ රාජකාරිවලට කොපමණ නිලධාරීන් සංඛ්‍යාවක් යොදවනවා ද?

සෘජු සේවා සඳහා 1,00,000 - 1,20,000 දක්වා රාජ්‍ය සේවක පිරිසක් පොලීසිය සහ ලංගම සේවාවේ සහායක සේවා සමඟ බලන විට ලක්ෂ 3 ක් පමණ සේවක පිරිසක් මැතිවරණ රාජකාරි කටයුතුවලට නිරත වෙනවා කියන්න පුළුවන්.

ඡන්දය පාවිච්චි කිරීමට ඡන්ද පොළට රැගෙන යා යුතු දේ මොනවා ද?

තමන්ට ලැබී තිබෙන නිල ඡන්ද කාඩ්පත සහ හැඳුනුම්පත රැගෙන යන්න. අනන්‍යතාව තහවුරු කරගන්න මේවා වැදගත්.

ඡන්දය පාවිච්චි කිරීමට වලංගු හැඳුනුම්පත් මොනවා ද?

ජාතික හැඳුනුම්පත, ගමන් බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පූජ්‍ය පක්ෂයට නම් ඒ සඳහා නිකුත් කළ හැඳුනුම්පත, මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද හැඳුනුම්පත, වතු ආශ්‍රිත ජනතාවට නම් වතු අධිකාරි හරහා ද නැතිනම් ග්‍රාම සේවා නිලධාරී හරහා ලබාගත් හැඳුනුම්පත, ඡන්දය දීමට වලංගු හැඳුනුම්පත්ය.

හැඳුනුම්පත් කුවිතාන්සි වලංගු වන්නේ නැත. ග්‍රාම නිලධාරී සහතික කරන ලද ඡායාරූප වලංගු වන්නේත් නැහැ. ගංවතුරට හැඳුනුම්පත් හානිවී තිබෙනවානම් ඒ සඳහා හැඳුනුම්පතක් ලබා ගැනීමට අද දින දක්වා අවකාශ සලසා තිබෙනවා.

හැම මැතිවරණයකදීම හොර ඡන්ද ගැන කතාබහක් මතු වෙනවා. මේ වතාවේත් හොර ඡන්ද කතාව නැඟී තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස.

අනුන්ගේ ඡන්දයක් කෙනෙක් දාන්න එනවානම් අපරාධ අතර මිනීමැරුමකට සහ ස්ත්‍රී දූෂණයකටත් වඩා දරුණු බරපතළ අපරාධයක් හැටියට මම දකිනවා. අනුන්ට හිමි ඡන්දයක් සොරා ගැනීම බරපතළ වරදක්.

හොර ඡන්ද දාන්න උත්සාහ කරන අයට දඬුවම් තියෙනවා. අනිවාර්ය සිර දඬුවම. අවුරුදු 7 කට ඡන්දය පාවිච්චි කිරීමේ වරප්‍රසාදය අහිමි කිරීම, රාජ්‍ය සේවය තහනම් කිරීම, ඡන්දය ඉල්ලීමට තිබෙන අයිතිය අත්හිටුවීම, හොර ඡන්ද දාන්න ඡන්ද පොළේ කලබල ඇති කරන්න හදන අයට නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා. කලබල ඇති කරන අයට එරෙහිව වෙඩි තියන්නත් පොලීසියට අවකාශ තියෙනවා.

මැතිවරණ රාජකාරි සඳහා මැතිවරණ නිලධාරීන් කොතරම් ශක්තිමත් ද රාජකාරි සඳහා ඔරොත්තු දෙනවා ද? පුහුණුවක් ලැබී තිබෙනවා ද?

ගාල්ලේ බලකොටුවේ කොටු බැම්ම සුනාමිය ආපු වෙලේ බේරුණා. එය ශක්තිමත් නිසා. අපේ නිලධාරීන් ද ඒ වගේ ශක්තිමත්. ඡන්ද නිලධාරීන් ද ඕනෑම ප්‍රචණ්ඩ ක්‍රියාවකට ඔරොත්තු දෙන්න සූදානම්. මේකෙන් අදහස් කරන්නේ නැහැ මේ නිලධාරීන් ගහගන්ඩ සූදානම් වෙනවා කියලා. ඕනෑම දේකටත් මේ අය සූදානම් පුහුණුව පළපුරුද්ද තිබෙන අය.

ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවන්නේ කෙසේ ද?

සෘජුවම අපි අපේ දෙපාර්තමේන්තුව මඟින් මෙවර ප්‍රතිඵල නිකුත් කරනවා. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ප්‍රතිඵල ලබා දෙනවා. අදාළ කච්චේරියේ දිස්ත්‍රික්ක ලේකම්වරයාටත් ඡන්ද ප්‍රතිඵලය ලැබෙන්නට සලස්වනවා.

තැපැල් ඡන්දය හා මුල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරන වේලාව සඳහන් කළොත්...

තැපැල් ඡන්දය ගණන් කිරීම 8 වැනිදා සවස 4.15 ට සිදු කරනවා. ඡන්දය ගණන් කිරීම සමහර තැන්වල එදින සවස 5.30 ට ආරම්භ කරන්න පුළුවන් වෙතියි බලාපොරොත්තු වෙනවා. කොහොමටත් රාත්‍රී 8 ට කලින් ඡන්ද ගණන් කිරීම සිදු කරන්නයි බලාපොරොත්තුව.

මුල් තැපැල් ඡන්ද ප්‍රතිඵලය 8 වැනිදා රාත්‍රී 10 ලබා දෙන්න අදහස් කරනවා. තැපැල් ඡන්ද සමස්ත ප්‍රතිඵලයම රාත්‍රී 11 - 12 අතර ලබා දෙනවා.

පළමු ඡන්ද ප්‍රතිඵලය ද රාත්‍රී 10 ට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිවරණ සමස්ත ඡන්ද ප්‍රතිඵලය 9 වැනිදා උදේ 10 වන විට නිකුත් කර අවසන් කරන්නට හැකිවෙතියි ද බලාපොරොත්තු වෙනවා.

ඡන්ද නිරීක්ෂණය සඳහා විදේශ ඡන්ද නිරීක්ෂකයෝ කොපමණ සංඛ්‍යාවක් පැමිණෙනව ද?

මෙවර ප්‍රථම වරට ඡන්ද ගණන් කරන ස්ථානවලටත් ඡන්ද නිරීක්ෂකයන්ට අවසර ලබා දී තිබෙනවා. විදේශ ඡන්ද නිරීක්ෂකයන් 70 ක් පමණ එනවා. දැනටමත් දකුණු ආසියානු මැතිවරණ කළමනාකරණ සංගමයෙන් නියෝජිතයෝ 15 ක් ඇවිත් ඉන්නවා.

දකුණු ආසියානු මැතිවරණ බලධාරීන්ගේ සංගමයේ ප්‍රධානියා ලෙස ඉන්දියාවේ හිටපු මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළුව නිරීක්ෂකයන් 35 පමණ සහභාගි වෙනවා.

පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ද ඡන්ද නිරීක්ෂණයට සත් දෙනකුගේ කණ්ඩායමක් සහභාගි වෙනවා. මේ හැර දේශීය ඡන්ද නිරීක්ෂකයන් ලෙස පැෆරල් ඇතුළු සංවිධාන කිහිපයක නියෝජිතයෝ මැතිවරණ නිරීක්ෂණයට සහභාගි වෙනවා.

ජනාධිපතිවරණ මැතිවරණ රාජකාරි කටයුතුවල යෙදෙන රාජ්‍ය සේවකයන්ට ඔබ දෙන පණිවුඩය.

ඡන්ද රාජකාරි කටයුතු අවංකව කරන්න. අතපසු වීමක් සිදු වුණොත් එය නිවැරැදි කරන්න අවස්ථාවක් නැහැ. අපක්ෂපාතීත්වය රකින්න. ඡන්ද නිලධාරීන්ට රාජකාරි සඳහා ලබා දී තිබෙන උපදෙස් හොඳින් කියවා බලා අවබෝධ කර ගන්න. කිසි කෙනකුගේ බලපෑම්වලට යටත් වෙන්න එපා. ඡන්ද නිලධාරීන්ට කාටවත් බලපෑම් කරන්න බැහැ.

වරද සිදුකරන නිලධාරීන්ට දඬුවම් ලබාදීම ද අනිවාර්යයෙන්ම සිදු කරනවා. ඡන්ද පොළේ කටයුතු ඡන්දය පැවැත්වීම ආදිය නිසියාකාරව කරගෙන යාමට ඡන්ද නීතිරීති අනුගමනය කර සාමකාමීව පැමිණ ඡන්දය දමන්න සාමකාමීව විසිර යන්නැයි ද ඡන්දදායකයන්ගෙන් ද මම ඉල්ලා සිටිනවා.

ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 19 දෙනෙක් තරග කරනවා. ඡන්දයේදී මේ අපේක්ෂකයන් වෙනුවෙන් ඡන්දදායකයා ඡන්දය පාවිච්චි කරන ක්‍රමය පැහැදිලි කළොත්.

මේ ඡන්දයේදී පළමුවෙන්ම තමන් කැමැති අපේක්ෂකයා වෙනුවෙන් කැමැත්ත නැතිනම් ඡන්දය පාවිච්චි කළ යුතුයි. මේ සඳහා එක සලකුණ නැතිනම් කතිරය ලකුණු කරන්න පුළුවන්. ඊළඟට මනාපය ලෙස මනාප දෙකක් 2 - 3 අංක යොදා ලකුණු කරන්න පුළුවන් මේවා ලකුණු නොකර 1 හෝ X පමණක් ලකුණු කර ඡන්දය පමණක් දෙන්නත් පුළුවන්.

මතක තබාගත යුතු වන්නේ පළමුවෙන්ම තම ඡන්දය කැමැත්ත අංක 1 හෝ කතිරය යොදා කැමැති අපේක්ෂකයකුට සලකුණු කිරීමය. මෙය සිදු නොකොට මනාපය ලෙස 2 - 3 සලකුණු කළහොත් ඔබේ ඡන්දය වලංගු ඡන්දයක් ලෙස නොව අවලංගු ඡන්දයක් ලෙස ගණන් ගැනේ.

මනාප ලකුණු නොකර තමන් කැමැති අපේක්ෂකයාට 1 හෝ X ලකුණ පමණක් සටහන් කර සිටින්නටත් ඡන්දදායකයාට පුළුවන්.

මේ ඡන්දයේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා සියයට 50 ට අඩුවෙන් ඡන්දය ලබාගෙන තිබෙනවා නම් මොකද කරන්නෙ.

එතකොට මනාප සලකුණු ගණන් ගැනීමට පියවර ගන්නවා. මේ ගණන් ගැනීමේදී X හෝ Y ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් වැඩි මනාප සලකුණු ලබාගෙන සිටින කෙනාගේ ප්‍රතිඵලය අනුව ඔහු ජයග්‍රාහකයා ලෙස නම් කරනවා.

ඡන්දදායකයාට මැතිවරණ කොමසාරිස්වරයා ලෙස ලබාදෙන පණිවුඩය නැවත පැහැදිලි කළොත්...

ඡන්දය ඔබේ අයිතියයි. නොබියව ඡන්ද පොළට ගොස් ඡන්දය දමන්න. ඡන්ද පොළට නොගිහින් ඉන්න එපා. ඔබේ ඡන්ද අයිතිය කාටවත් පැහැර ගන්න බැහැ. ඔබ ඡන්දය දැම්මේ කාටදැයි හොයා ගන්නත් බැහැ. රහස්‍ය බව තිබෙනවා, රැකෙනවා. ඒ ගැන මම සහතික වෙනවා.

ඡන්ද කටයුතු සම්බන්ධයෙන් සියලු දෙනාගෙන් ලැබිය යුත්තේ කෙබඳු සහයෝගයක් ද?

දේශපාලන පක්ෂ හා දේශපාලන පක්ෂ නායකයන් ද ඇතුළු සමාජයේ සෑම තාරාතිරමක සියලු දෙනාගෙන්ම සාමකාමී සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සහයෝගයක් ලැබිය යුතුය. මැතිවරණ කොමසාරිස්ට පමණක් මේ වගකීම දීලා ඉන්න බැහැ. හැමදෙනාටම මේ වගකීම තියෙනවා. දේශපාලන සංස්කෘතිය යහපත් වෙන්න ඕනෙ.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්