මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

“ප්‍රාග්ධනය” අද්විතීය චරිතයක ආත්මකථනයක්

“ප්‍රාග්ධනය” අද්විතීය චරිතයක ආත්මකථනයක්

ප්‍රාග්ධනය ග්‍රන්ථය මෙරට සිනමාව බිහිකළ අද්විතීය චරිතයක ආත්මකථනය ලෙස අර්ථකථනය කළ හැකිය. ප්‍රාග්ධනය මේ මහා කලාකරුවන්ගේ සුවිශේෂී කාර්යභාරය හැඳින්වීමේලා අන්වර්ථ නාමයක් වන්නේ ඔහු සැබැවින් ම මෙරට සිනමාවේ ප්‍රාග්ධනය වන නිසාය. ගාමිණී ෆොන්සේකා චරිතයේ මෙතෙක් හෙළි නොවූ බොහෝ පැතිකඩ මේ ග්‍රන්ථයෙන් නිරාවරණය වේ. ගාමිණී ෆොන්සේකා පෞරුෂයේ සමහර කරුණුකාරණා අපට ආගන්තුක නොවේ. එහෙත් මෙහිදී ධර්මජිත් වඩා පෘථුල අධ්‍යයනයක නිරත වෙමින් මේ මහා චරිතයේ බිහිවීමත් කාර්ය සාධනයක් පිළිබඳ සියුම් අංශ ශාස්ත්‍රීය විග්‍රහයකට ලක්කරයි; හුදු රූපණවේදියකු අබිබවන විශිෂ්ට චින්තකයකු මෙම චරිතය පසුපස සිටිනා බව සාධක සහිතව සනාථ කරයි.

මේ ග්‍රන්ථයෙන් අපට හමුවන ගාමිණී විශිෂ්ට ගණයේ රූපණවේදියකු, ප්‍රශස්ත සිනමාකරුවකු, තමා නිරත ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කළ අරගලකරුවකු මෙන් ම ජනතාව වෙනුවෙන් කැපවූ පාලකයකු ද යන චරිත අබිබවමින් රූපණවේදය සඳහා සිද්ධාන්තමය පදනමක් සැපයූ න්‍යායාචාර්යවරයකු මෙන් ම කලාව, ජීවිතය පිළිබඳ ඇසූපිරූතැන් ඇති ස්වීය චින්තනයක් සහිත දාර්ශනියකයකු ද ලෙස ඉස්මතු වේ. ඔහු ජීවිත කාලය පුරා එක්රැස් කළ මේ මහා දැනුම් සම්භාරය මෙරට සිනමාකලාවේ ප්‍රාග්ධනය නොවන්නේ ද?

නළුවකු රූපණවේදියකු බවට පරිවර්තනය වීම දක්වා ගාමිණීගේ අතීතාවර්ජනය නළු වෘත්තිය කඩාවැටී තිබෙන මෙබඳු අවධියක අංකුර නළුවන්ට මාර්ගෝපදේශනයක් බඳුය. ගාමිණී රූපණය සරලව ගත් අයකු නොවේ. ඔහු තම නළු ජීවිතයේ ආරම්භයේ සිටම ඒ කෙරෙහි මුළු ආත්මයෙන් ම කැපවූ ආකාරය මේ අතීත ස්මරණයෙන් අවබෝධ කරගත හැකිය. රඟපෑම බිංදුවක තිබූ රටක තනි අතින් එයට සිද්ධාන්තමය පදනම ලබාදී ගෞරවාන්විත වෘත්තියක් දක්වා රැගෙන ඒම විප්ලවයකට සමානය. ඒ සඳහා ඔහු සතු වූ ආයුධ වූයේ නිරන්තර අධ්‍යයනය හා අසීමිත කැපවීමයි. ඔහුගේ මෙම කාර්යභාරය චරිත තෝරාගැනීම, චරිත ප්‍රතිනිර්මාණය හා වෘත්තිමය පදනම යන ධාරණා ඔස්සේ විග්‍රහ කළ හැකිය.

ගාමිණී සිනමාවට පිවිසෙන්නේ නව වීරයකුගේ අවශ්‍යතාව සිනමාවට දැනෙමින් තිබූ අවධියකය. නව තරුණ පරම්පරාවට තම සිතැඟිවලට අනූරූප, තම පුරුෂාර්ථ සාධනය කරන එමෙන්ම තම චින්තනය වර්ධනය කරන සිනමා වීරයකු පිළිබඳ පිපාසයක් තිබිණි. ගාමිණී රූපකායෙන් නව විලාසිතාවෙන් වීර සංකල්පයෙන් පුරවාලන්නේ මේ රික්තය පමණක් නොවේ. සිනමාවට උචිත රංගන ක්‍රමවේදයක ආරම්භය ද ඔහු ගෙන එන්නේය. මේ රංගන ක්‍රමවේදය අදියරෙන් අදියර පරිපාකයට පත්වූ ආකාරය විවිධාකාරයෙන් මෙරට සාකච්ඡාවට ලක්වී ඇත. ආරම්භයේ සිටම සිනමා වර්ගීකරණ පිළිවෙතේ ගාමිණී රැඳී සිටියේ නැත. කුමන ආකාරයක ධාරාවක කුමන ආකාරයේ චරිතයකට වුව අනායාසයෙන් පිවිසීම ඔහුට අසීරු වූයේ නැත. එය ආත්මගත චාරිකාවක ප්‍රතිඵලයක්ද? ඒ දැනගත හැක්කේ ගාමිණී නම් චින්තකයාගේ දර්ශනය හෙළිවන පරිච්ඡේදවලිනි. සංදේශය තම්මිට, රන්මුතු දූවේ බන්දු චරිත මන් නව වීරයකු ගෙන ආ ගාමිණී සැණෙන් ගම්පෙරළියේ ජිනදාස බවට සමාරෝප වේ.

චන්ඩියා චුට්ටේ, ගැටවරයෝ ජයා වන ගාමිණී සැණෙන් පරසතු මලේ බොනී, නිධානයේ විලී බවට සමාරෝප වේ. නිධානය චිත්‍රපටය වනවිට ඔහු රූපණවේදය පිළිබඳ සිද්ධාන්තවේදියකු පමණට පරිණත වී සිටියේය. චරිත තෝරාගැනීම පිළිබඳ ඔහුගේ සියුම් නිරීක්ෂණාක්ෂිය හෙළිකරන නිදර්ශන කිහිපයක් ම මේ ග්‍රන්ථයේ සඳහන් වේ. රුපියල් කෝටියකට වුව දුටුගැමුණු චරිතය ප්‍රතික්ෂේප කරන ඔහු එළාර චරිතය නොමිලයේ රඟපෑමට සූදානම් වේ. මේ පසුපස තිබෙන්නේ රූපණවේදියකුගේ ඉවයි. අර්ථපූර්ණ චරිත ප්‍රතිනිර්මාණයේ පිපාසයයි. වඩා සංකීර්ණ චරිත ලක්ෂණ මෙන් ම රූපණයේ අසීරු හැඩතල ද සහිත චරිතය එළාර මිස දුටුගැමුණු නොවේ. දුටුගැමුණු රේඛීය තලයක දිවෙන පැතැලි චරිතයකි. වීර ප්‍රතිරූපය ආරක්ෂා කරගන්නට ඔහුට අවශ්‍ය වූයේ නම් ඔහු තෝරාගන්නේ දුටුගැමුණු චරිතයයි.

චරිතයක අභ්‍යන්තරය පිටපතින් ම වටහා ගැනුමට ඔහු සතු සියුම් බුද්ධිය ප්‍රකට කරන නිදර්ශන නම් නිධානයේ විලී හා හුලවාලියේ ධාරායි. රූපණය පිළිබඳ ඔහුගේ දැක්ම ලොව මහාරූපණවේදීන්ගේ චරිත සමාරෝපණ පිළිබඳ අවබෝධය පමණටම සියුම් අධ්‍යයන මඟින් ද ගොඩනැගුණකි. විලීට මීමැස්මොරය වැලඳෙන අවස්ථාව නිරූපණය සඳහා එබඳු රෝගියකු දැක බලා ගන්නා ලෙස ලෙස්ටර් කියූ බව මෙහි ඒ. එහෙත් එය ප්‍රතික්ෂේප කරන ගාමිණී ස්ව පරිකල්ප‍නයෙන් ම ඒ අවස්ථාව නිරූපණය කරන්නේය. එහෙත් ඒ නිරූපණය පසුපස ඇති සම්පූර්ණ සත්‍යය ඉන් හෙළි නොවේ. ඔහු මෙම රෝගය පිළිබඳව කෙතෙක් අධ්‍යයනය කරන්නට ඇත්ද? කෙතෙක් පොතපත ඇසුරු කරන්නට ඇත්ද? අන්තර්ජාලය නොමැති අවදියක ඒ කෙතෙක් අසීරු කාර්යයක් වන්නට ඇත්ද? කෙතරම් පූර්ව අභ්‍යාස කරන්නට ඇත්ද? එබඳු පූර්ව අභ්‍යාසයක් දැක ඔහුගේ බිරිඳ බියවූ බව අසා තිබේ.

ඔහු නොමිලයේ රඟපෑ අවස්ථාවක වුව කිසිවිටෙක මේ අධ්‍යයනයෙන් බැහැර නොවීම මේ මහාරූපණවේදියා බිහිවීම පසුපස තිබෙන සැබෑ කතන්දරයයි. ඔහු බිබිලේ ඇත්තෝ චරිතය ප්‍රතික්ෂේප කර ධාරා තෝරාගනී. මේ චරිතයට ඔහු එක්කරන අර්ථ කෙතරම් ගැඹුරුද? සංකීර්ණද? ඔහු ධාරා චරිතය ශේක්ස්පියර්ගේ තුන්වන රිචඩ් චරිතය හා සමාන කරයි. අංග රචනයේදී පවා චරිත ලක්ෂණ පිළිබඳව සැලකිලිමත් වේ. ශරීරය හැසිරවීම, සාත්වික අභිනය, උපසංස්කෘතියට අදාළව සංවාද උච්චාරණය මේ සියල්ල පරිසමාප්ත අධ්‍යයනයක ප්‍රතිඵලයි. එය වඩාත් සනාථ වන්නේ සරුංගලේ නඩරාජා චරිතය පිළිබඳව ඔහු හෙළිකරන තොරතුරුවලිනි. රූපගත කිරීමේදී දෙබස් උච්චාරණය දකුණු ඉන්දීය දෙමළ ස්වරයට සමීප බව වැටහුණු මොහොතේ ම ශබ්ද නැවත පටිගත කිරීමේදී එය නිවරද කරයි. අධීක්ෂණය සඳහා ගුවන් විදුලි සංස්ථාවේ දෙමළ නිෂ්පාදකවරියක යොදාගනී. මෙබඳු මහා රූපණවේදියකු එබඳු සියුම් තැන් ගවේෂණය පමණක් නොව නිවැරැදි දේ සඳහා කුමන හෝ ප්‍රවීණයකුගේ අධීක්ෂණය පැතීම පිළිබිඹු කරන්නේ වෘත්තීමය කැපවීමයි. තත්විධ රංගක්‍රමයක් ස්වභාවික රංග ක්‍රමයක් සම්මිශ්‍රණය කෙරෙන රූපණවේදයක සිද්ධාන්තමය පදනම ගොඩනගන්නට ඔහු දායක වනුයේ ඒ ආකාරයෙනි.

නළුකමේ වෘත්තීය ගරුත්වය සඳහා කළ අරගලයේදී මේ ග්‍රන්ථයේ එන අප නොදන්නා එක් කරුණක් නම් නළු ගිවිසුමේ කතන්දරයයි. නිෂ්පාදකවරුන්ට නළුවකුගේ ගිවිසුම අත්සන් කරන්නට සිදුවීම ලෝකයේ ද මහා නළුවන් ස්වල්පදෙනකු විෂයයෙහි පමණක් දැකිය හැක්කකි. ලංකාවෙන් නම් ගාමිණී ෆොන්සේකා අත්කරගත් මේ කීර්තිය ලැබුවෙක් තවම නැත. මෙම කාර්යයේ තීරණාත්මක බව සනාථ වන්නේ ගාමිණී එය තම නළු ජීවිතයේ දෙවන අදියරට පිවිසෙන්නට පෙරම ළඟා කරගැනීම නිසයි. ජනප්‍රිය වූ පමණින් නිෂ්පාදකවරුන් එසේ හසුරුවන්නට කිසිවකුට හැකිවන්නේ නැත. ගාමිණී මේ පරදුවට තබන්නේ තම රංගන ජීවිතයේ අනාගතයයි. ලෙස්ටර් පවා විරුද්ධ වූ කලෙක ස්වමතයේ ම පමණක් එල්බ සිටීම මේ රූපණවේදියාගේ ජීවිතයේ තව පැතිකඩක් හෙළි කරයි. ඔහු මේ කාර්යය කරන්නේ හුදෙක් තම පැවැත්ම උදෙසාම නොවේ. එය ඒ වනවිට ද තහවුරු වී අවසානය.

ඔහු මේ නිර්භීත අරගලය ගෙනය්නනේ තමා පසුපස පැමිණෙන අන්‍යන්ගේ යහපත වෙනුවෙනි. එහිදී ද ඔහුගේ පිළිවෙත විමසීම ආස්වාදජනකයි. ඔහු එහිදී දැඩි අනම්‍ය වෘත්තිකයකු ද නොවූ බව මේ ග්‍රන්ථය හෙළිකරයි. ආදායම් ඉපැයීම සඳහාම චිත්‍රපට නිෂ්පාදනයේ යෙදෙන සමාගම් හා පුද්ගලයන් සඳහා ඔහු තම කොන්දේසි ඉදිරිපත් කළේය. ඉන් වගන්තියකුදු වෙනස් නොකළේය. සිලෝන් තියටර්ස්, සිනමාස් බඳු කීර්තිමත් ආයතන පවා ගාමිණීගේ මේ ආධිපත්‍යයට නතුවීම යනු එම පෞරුෂයේ පමණක් නොව මෙරට සිනමාවේ ද ජයග්‍රහණයයි. නිෂ්පාදකවරුන් තම ගිවිසුමට එකඟ නොවූ විටෙක අධ්‍යක්ෂවරයාගේ නිර්මාණය යහපත් බවට අදහසක් ඇතිවූයේ නම් නොමිලයේ වුව රඟපෑමට පැකිළුෙණ් නැත. භවකර්ම පිළිබඳ ධර්මසිරි බණ්ඩාරනායකගේ ආවර්ජනය සනාථ කරන්නේ මෙම සත්‍යයයි. එසේම මිතුරන් වෙනුවෙන් ඔහුට වැදගත් වූයේ වචනයේ ගෞරවයයි. වැලිකතර පිළිබඳ නිහාල්සිංහගේ ආවර්ජනය ඒ සත්‍යය හෙළි කරන්නේය.

සිනමා කර්මාන්තයේත් නළු නිළියන්ගේත් සුරක්ෂිතතාව වෙනුවෙන් ඔහු කළ වෘත්තීය අරගල ඉතිහාසයට එක්වී අවසන්ය. එක්ව සටන් කළ ආකාරයද පාවාදීම් නිසා අපේක්ෂා භංගත්වයට පත්වූ ආකාරයද එහෙත් ඉන් අධෛර්ය නොවී හුදෙකලාව තම සටන ගෙනගිය ආකාරයද මෙහි සටහන් වන්නේ මේ මහා රූපණවේදියා පිළිබඳ ගෞරවයක් මෙන් ම කිසියම් දයාබරිත හැඟීමක් ද ජනිත කරමිනි. සියලුදෙන තමා අතහෑරිය ද නොසැලී ඉදිරියට යන වීරයන් අපට හමුවන්නේ චිත්‍රපටවලදීය. එහෙත් එබඳු පුද්ගලයකු වූ ගාමිණී සමාජ ජීවිතයෙහි ද ඒ වීර්යය අධිෂ්ඨානය කිසිවිටෙක පාවා දුන්නේ නැත.

“රූපණ ශිල්පියාගේ ශිල්පිනියන්ගේ හැඟීම් ප්‍රකාශනය, නළුකම හා ප්‍රවේණි උරුමය, නළුවාගේ කායික චෛතසික සීමා අතික්‍රමණය කිරීම, කෙසේද නළුවා තමන් පුහුණු කරන්නේ”, පරිච්ඡේද රූපණය පිළිබඳ ගාමිණීගේ චින්තාව, දර්ශනය ගෙන එයි. රූපණය පිළිබඳ මේ චින්තනය රඟපෑමට පිවිසෙන ආධුනිකයන්ට පමණක් නොව ප්‍රවීණයන්ට ද එකසේ අත්පොතක් තරමට වැදගත් වේ. ගාමිණී වෙනත් නළු නිළියන් පිළිබඳව ද අකුටිලව කතා කරන්නේය. ඔහු ලැඩී රණසිංහ පිළිබඳව දක්වන අදහස් ප්‍රවීණයන් පිළිබඳ ගෞරවය පමණක් නොව ඔවුන්ගෙන් ලත් ආභාසය ද නොමඳව හෙළිකරයි.

තම චරිත නිරූපණය අබිබවා ලින්ටන් සේමගේ මීහරකා සඳහා හොඳම නළුවා සම්මානය හිමිකරගත්විට ඔහු නව පරම්පරාවේ ප්‍රතිභාව විවෘතව අගය කරයි. තම කණ්ඩායම ලෙස විරුදය ලත් නළු නිළියන්ගේ දක්ෂතා ඔහු දක්වන්නේ තම සිසුන්ගේ දක්ෂතා පිළිබඳව සිතින් නිහඬව ආස්වාදනය විඳින්නකු ලෙසිනි. ඔහු වේදිකාව තුළ කාර්යයද මෙහි සැකෙවින් දැක්වේ. විශේෂයෙන් ම ජුලියස් සීසර් චරිත නිරූපණය පමණටම ධර්මසිරි බණ්ඩාරනායක හෙළිකරන එසැණ අභ්‍යාස ද කවරවූ හෝ රංගන ශිල්පියකුට මාර්ගෝපදේශනද වන්නේය.

සිනමාකරුවකු ලෙස ඔහුගේ දැක්ම විවෘතය. ඔහු ජාතිවාදයට ආගම්වාදයට කුලවාදයට එරෙහිව මනුෂ්‍ය ධර්මයේ නොසැලී පිහිටා සිටියෙකි. “මගේ ප්‍රශ්න කිරීම් කලාව ඇසුරෙනි” යන කියමන ප්‍රකට කරන්නේ ඔහු සිනමාව සරල අර්ථයෙන් නොගත් බවයි. ඔහු නිර්භයව තම චිත්‍රපටවලින් සමාජ අසාධාරණය හෙළි කෙළේය. උතුමාණනි වැනි චිත්‍රපටයකදී ඔහු ගෙන ආ මතිමතාන්තර, ජීවිතය සමාජය පිළිබඳ බහුශ්‍රැත බවක් පමණක් නොව සියුම් විවේචනාත්මක දැක්මක් ද සහිත සිනමාකරුවකු විද්‍යාමාන කරන්නේය. ගාමිණී තමා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවලින් මතු කළ ධර්මතා පිළිබඳ පෘථුල විග්‍රහයකට නොඑළඹීම මේ ග්‍රන්ථයේ එක් අඩුවක් ලෙස සිතමි.

චිත්‍රපට කර්මාන්තය පිළිබඳ ගාමිණීගේ දැක්මද මෙහිදී විවෘතව සාකච්ඡා කෙරේ. කර්මාන්තය පිළිබඳ ඔහුගේ මතිමතාන්තරවල එක් සුවිශේෂි ලක්ෂණයක් වනුයේ ඒවාහි නොවෙනස් ස්වභාවයයි. චිත්‍රපට සංස්ථාව ආරම්භයේදී ඔහු පළකළ සමහර අදහස් වර්තමානය වනවිට සනාථව තිබෙන්නේ ඔහු තුන්කල් දක්නා චින්තකයකු බවට පත්කරමිනි. මේ විග්‍රහයේ පාදම ලෙස ගන්නා සමහර සාධක පිළිබඳව අපගේ එකඟතාවක් නැති නමුදු ඔහුගේ විග්‍රහ ලුහුකොට සැලකිය නොහේ. ඒ ප්‍රායෝගිකව සනාථ වී තිබෙන හෙයිනි. දේශපාලනය පිළිබඳ ඔහුගේ ප්‍රායෝගික අත්දැකීම් ද විවරණය වූයේ නම් යෙහෙකි.

ගාමිණී නම් දාර්ශනිකයා අප වඩා කුහුලට මෙන් ම විස්මයට ද පත් කරන චරිතයයි. “බුදු දහම හා ආත්මය, රඟපෑම හා ආත්මය අතර ඇති සම්බන්ධය, භාව ස්මෘති, චරිතයකට චිත්ත චෛතසිකයත් කයත් ආත්මයත් දිය හැක්කේ නළුවාට ම පමණි, සාකච්ඡාවක් ආත්මය ගැන” බඳු පරිච්ඡේද ඉතා සුපරීක්ෂාවෙන් කියැවිය යුතුය. මේ ගාමිණී තම ඇතුළු හදවත අකුටිලව නිරාවරණය කරන අවස්ථායි. ජීවිතය පිළිබඳ ඔහුගේ පෘථුල අවබෝධය, ධර්මය පිළිබඳ චින්තාවන් මෙන් ම තම වෘත්තිය හා බැඳුණු සංසාරගත බැඳීම ද මේ සම්ප්‍රදානවලින් අප ඉදිරියට ඒ. එහිදී අපට හමුවන්නේ රූපණවේදය පිළිබඳ මනා ප්‍රාඥයකු පමණක් නොවේ. තම අතීතය පිළිබඳ නිරාමිස ප්‍රීතියෙන් අවලෝකනයේ යෙදෙන මුනිවරයකු බදු පුද්ගලයකු ද එහි ජීවමානව සිටී.

ගාමිණී පිළිබඳ සමහර විචාරක මත උපුටා දැක්වීමේදී රචකයා මධ්‍යස්ථ වූයේ නම් වඩා යෙහෙකි. ධර්මජිත් මේ ග්‍රන්ථය රචනයේ දී ශාස්ත්‍රීය බස්වහරක් භාවිත කරයි. එය මෙබඳු ග්‍රන්ථයකට අතිශයින් යෝග්‍යයි. අක්ෂර වින්‍යාසය පිළිබඳව ද ඒ අයුරින් ම සැලකිලිමත් වූයේ නම් යෙහෙකි.

ගාමිණී අපේ පරම්පරාවේ සිනමා වීරයාය. ඉන්පසු මෙරට සිනමාවේ මහා පෞරුෂයයි. මේ සියලු තිර නිරාවරණය කරමින් ගාමිණී නම් චින්තකයා දාර්ශනිකයා අප ඉදිරියට ගෙන ඒමට ධර්මජිත් පුනර්ජීව දැරූ වෑයම සාර්ථකව තිබෙන බව දක්වන්නේ මේ මහා ග්‍රන්ථය සැකසීම සඳහා ඔහු විඳින්නට ඇති අනේකවිධ ගැටලු දුක්දොම්නස් ද මතකයේ රඳවා ගනිමිනි. ප්‍රාග්ධනය ගාමිණී පිළිබඳව ඔහුගේ දැක්මෙන් ම පළවූ වඩා සාර්ථක ග්‍රන්ථයයි. එසේම ගාමිණී සම්පූර්ණයෙන් කියවන්නට මෙබඳු ග්‍රන්ථ තවතවත් අවශ්‍ය බව සිතන්නේ එබඳු සාහිත්‍යයක අවශ්‍යතාව ද දැනෙන හෙයිනි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්