මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

කිතු දහම දේශීයකරණය කළ පූජක පඬිරුවන එඩ්මන්ඩ් පීරිස් රදගු රු හිමි

කිතු දහම දේශීයකරණය කළ පූජක පඬිරුවන එඩ්මන්ඩ් පීරිස් රදගු රු හිමි

කිතු දහම දේශීය කිරීමේ අත්තිවාරම දැමූ ප්‍රථම ශ්‍රී ලාංකික පූජක පඬිරුවන ආචාර්ය එඩ්මන්ඩ් පීරිස් රදගුරු හිමි ස්වර්ගස්ථව සැප්. 04 දාට විසිපස් වසරක් සපිරුණි.

මෙරට ප්‍රථම ස්වදේශීය නායක පූජකවරයා (රදගුරු) වූයේ ද එතුමා ය.

අනලස්ව කියවීමෙහි ද නොකඩවාම ලේඛනයෙහි ද යෙදුණු එතුමා, ගැඹුරු සාහිත්‍ය, ‍ෛඑතිහාසික හා අධ්‍යාපන පර්යේෂණ වල නිරත විය.

අනූ දෙවසරක් ආයු වැළඳූ එතුමා මෙ රටට හා කිතු සමයට දායාද කළ දෑ බොහෝය. මෙ රට බහුශ්‍රැත උගතුන් ගේ ආදිකාලීන එකතුව වූ රාජකීය ආසියාතික සමිතියේ සභාපති ධුරයට පත් එකම සිංහල කතෝලික පූජකවරයා ද එතුමා ය. (1959 - 1962)

කැලණි විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍ය චක්‍රවර්ති සම්මාන උපාධිය හිමිකරගත් එකම ක‍තෝලික පූජකවරයා ද එතුමා ය.

ජාතික උපහාර ශාස්ත්‍රීය ග්‍රන්ථයකින් පුද ලද එකම කතෝලික පූජකවරයා ද එතුමා ය. (දෙව් දම් ඇදුරු එඩ්මන්ඩ් පීරිස් රදගුරු සමිඳු - උපහාර කලාප, 1984 සිංහල ලේඛක සංවිධානය - ලීල් ගුණසේකර හා පුංචිබණ්ඩාර සන්නස්ගල)

බුදුදහම ආශ්‍රයෙන් ස්ථාපිත මෙ රට සංස්කෘතියට කිසිදු හානියක් නො වන සේ, ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය බද්ධ කරන වෑයම් මුලින් ම අරඹන ලද්දේ එතුමා ය. එබඳු වෑයම් කතෝලික හා ක්‍රිස්තියානි උගතුන් අතර අද දක්නට නැති තරම්ය.

මව්බසට අමතරව පාළි - සංස්කෘත - ද්‍රවිඩ - ග්‍රීක - ලතීන් - ප්‍රංශ - ආදි භාෂාවන් හි පරප්‍රාප්තව, එකී භාෂාවලින් නිර්මිත පොත පත හෙළ බසින් මෙරටට දායාද කළ කිතුනු පූජක පඬිරුවන එතුමාය.

1897 දෙසැ. 27 දින හලාවත දී ජන්ම ලාභය ලත් එඩ්මන්ඩ් ළදරුවා ගේ පියා, මිහිඳුකුලසූරිය දියෝගු පීරිස් ය. මව, මිහිඳුකුලසූරිය ක්ලේරා පීරිස් ය. ඔහුගේ බෞතීස්ම නාමය (පල්ලියේ සාමාජිකත්වයට ඇතුළු කර ගැනීමේ දී දමන නාමය) මිහිඳුකුලසූරිය වීරසිංහ එම්මානුවෙල් එඩ්මන්ඩ් පීරිස් ය.

හලාවත ශා. මරියා විදු‍හලේ මූලික අධ්‍යාපනය ලත් එඩ්මන්ඩ් උසස් අධ්‍යාපනය ලබා ඇත්තේ, කොළඹ මරදානේ ශා. ජෝශප් විදුහලෙනි.

1924 පෙබ්‍ර 24 දා, කොළඹ ශා. බෙර්නාදු දෙව්සත් හලෙන් පූජකවරය ලද එතුමාට, එම දෙව්සත්හලේ ම දර්ශනය පිළිබඳ කථිකාචාර්ය ධුරය ලැබී ඇත. 1930 දී විදේශගතව ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ඉතිහාසය පිළිබඳ ශාස්ත්‍ර විශාරද බව ලැබ සියරට පැමිණි එතුමාට, යළි එම ‍දෙව්සත්හලේ ම කනිෂ්ඨ අංශයේ අධ්‍යක්ෂ ධුරය ලැබී ඇත.

පසුව හංවැල්ල - කළුතර - මග්ගොන ප්‍රදේශවල මීසම් (කතෝලික දෙව්මැදුරක් පිහිටි ගම්මාන) වල ජනතා සේවයේ යෙදුණු එතුමාට, වතිකානුව විසින් මෙ රට ප්‍රථම රදගුරු තනතුර ප්‍රදානය කර ඇත. 1940 දීය.

ලාංකීක ජනවර්ගයෙන් කොටසක් ක්‍රිස්තියානි ධර්මයෙහි සරණ ගිය අන්දමත්, ලාංකික ද්‍රවිඩ හා සිංහල ජන පිරිස් එම ශිෂ්ටාචාරයේ හවුල්කරුවන් වූ අන්දමත්, ඉතිහාස මූලාශ්‍ර ආශ්‍රයෙන් හෙළිදරව් කළ එඩ්මන්ඩ් පීරිස් රදගුරු හිමි, ක්‍රිස්තු ධර්මය සිංහල ඌරුවට හැඩගැස්වීමට මුල පිරූ ප්‍රථමයා බව, සිංහල ලේඛක සංවිධානය, එඩ්මන්ඩ් පීරිස් උපහාර කලාපයේ සඳහන් කරයි.

1960 ට පෙර, මෙ රට ක‍තෝලික දෙව්මැදුරු වල, ලතීන් බසින් පැවැත්වූ කතෝලික වත් පිළිවෙත්, විශේෂයෙන් ම දිව්‍ය පූජාව සිංහලට පරිවර්තනය කර සිංහල - දෙමළ දේශීය භාෂාවන්ගෙන් පැවැත්වීමේ මුල් පියවර තැබුවේ එතුමා ය.

ජාකෝමේ ගොන්සාල්වෙස් පියනම ගේ කිතුනු ධර්ම ග්‍රන්ථ (දේව වේද සංක්ෂේපය - දේව නීති විසර්ජනය - ධර්ම සංඥාව හා ආනන්ද කලිප්පුව) යළි සංස්කරණය කර අදටත් ඉතිරිකර දුන්නේ එතුමා ය.

1872 දී දොමිංගු විජේසිංහ වියතාණන් ඉංග්‍රිසියෙන් ලියූ ග්‍රන්ථය, “ආගම් අරටුව” ලෙස සිංහලට පරිවර්තනය කළේ එතුමා ය.

16 - 18 සියවස් වල සිංහල කතෝලික සාහිත්‍යයේ වගතුග හෙළි කර එතුමා ලියූ, “සිංහල කතෝලික සාහිත්‍ය වංශය” අදටත් මෙ රට මහරු ග්‍රන්ථයකි.

එඩ්මන්ඩ් පීරිස් හිමි, වතිකානු පුස්තකාලයෙන් සොයා ගත්, “ලංකාවේ මුල් ක්‍රිස්තියානින් ගේ වගතුග” නමැති පෘතුගීසි ලේඛන, ක්වේරොස් ගේ ඉතිහාස තොරතුරු තරමට ම වැදගත් බව ඉතිහාසඥයන් ගේ පිළිගැනීම ය. ‍

සිංහල - දෙමළ - පෘතුගීසි, භාෂාත්‍රයෙන්, ගොන්සාල්වෙස් හිමි සැකසූ ශබ්දකෝෂයක් ද, එතුමා බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙන් සොයා ගෙන ඇත.

හලාවත කිතුනු වුවමනා ඉටු කරමින්, පූජක පිරිස, වතුපිටි, ගොඩනැගිලි, පාසල් හා රෝහල් බඳු ආයතන පාලනය කරමින් එතුමෝ, ඉහත කී පර්යේෂණ හා ගත් කතුවර වෘත්තියෙහි ද යෙදුණාහ.

එතුමා විසින් ලියා පළ කරන ලද ඉතිහාස පර්යේෂණ ග්‍රන්ථ කීපයක් වේ. මහනුවර ගිවිසුම - ලංකා ඉතිහාසයේ මූලික ග්‍රන්ථ, පෘතුගීසි හා ඕලන්ද සමය, වහකෝට්ටේ පුරා වෘත්තය, ඒ අතර වේ.

නත්තල අරභයා එතුමා මෙ රට පුවත්පත් සඟරාවලට ලියා ඇති ලිපි රාශියකි. ප්‍රකට කිතුනු ගී රැසක් එතුමා විසින් රචනා කරනු ලැබ ඇත. (නත්තල - පාස්කු - ශාන්තුවර චරිත පිළිබඳ...) ගීතිකා රචනාවලට අමතරව, සමහර ගී සඳහා තනු සකසා ඇත්තේ ද එතුමාමය. එතුමා දක්ෂ ඕගන් වාදකයෙකුව ද සිට ඇත.

ජාකෝමේ ගොන්සාල්වෙස් හිමි රචනා කරනු ලදුව, අමතකව යමින් තිබූ, පුරාණ කිතු ගී රැසක්, යළි සකසා වර්තමානයට රැක දී ඇත්තේ එතුමා ය.

එඩ්මන්ඩ් පීරිස් හිමි මතුකර දුන් - රජතුන් කට්ටුව - නාඩගම අදත් නත්තල් සමයේ මීගමුව - හලාවත පෙදෙස්වල රඟ දැක්වේ.

හලාවත - පුත්තලම දිස්ත්‍රික්කවල පැරණි වාරික්‍රම ගැන ද එතුමා පර්යේෂණ රැසක් කර තිබේ. “පහසුවෙන් ප්‍රතිසංස්කරණ කළ හැකි සෙංගල්ඔය ව්‍යාපාරය” ඉන් එකකි.

එඩ්මන්ඩ් පීරිස් හිමි විසින් රචිත, “‍ෛඑතිහාසික හා සංස්කෘතික හැදෑරීම්” නමැති ඉංග්‍රිසි ලිපි එකතුව මෙ රට වත්මන් ඉතිහාස ගවේෂකයන්ගේ ද අත් පොතකි.

අදත් පවත්වාගෙන යන මෙ රට පැරණිම සඟරාව (1899 ඇරඹූ...) වූ “භක්ති ප්‍රබෝධනය” හා “සමාජ සාමය” මාසික සඟරා කලක් සංස්කරණය කර ඇත්තේ එතුමා ය .

මාරාවිල ශා. ක්ෂේවියර් විදුහල ඇරඹුවේ එතුමා ය.

එතුමා ගේ ඉහළම පෙළේ ශාස්ත්‍රීය ලිපි ලේඛන අතර පහත සඳහන් ඒවා විශේෂයෙන් සඳහන් කළ යුතුය.

ලක්දිව ජීව විද්‍යාවේ පියා (1952) එස්.ජී. පෙරේරා පියතුමා ගේ ඉතිහාස කෘති. (1953) දෙමළ කතෝලික සාහිත්‍යය (1953) මන්නාරමේ වෙසෙන අමුතු ජන කොටසක් (1953) කෝකිල සන්දේශ පරිවර්තනය (1954) බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත්ව ඇති හියු සෙෙනවිල් ගේ අත් පිටපත් (1955) සිංහල දඩකෙළි වැනුම (1961) ලක්දිව ප්‍රථම පෘතුගීසි ලේඛනය (1963) පැරණි ලක්දිව හා පැවති ග්‍රීක රෝම සබඳතා (1972)

ඊට අමතරව, එතුමා පර්යේෂණාත්මකව හෙළි කළ ශාස්ත්‍රීය ලිපි රැසකි.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගැනීම - මෝදර මිනිස්සු - මීගොමු පුරාණය - ශ්‍රී ලංකාවේ කතෝලික පුරාවස්තු - කුවේණිය විලාප දුන් තඹවැව - ලංකාවේ පෘතුගීසි දෙව්මැදුරු - උත්තමාදර්ශී සාහිත්‍ය විචාරක වැලිවිටියේ සෝරත හිමි - ප්‍රචංඩ පරංගි - සිංහල ඔසු පුරාණය - ඒවා අතර කීපයකි.

එඩ්මන්ඩ් පීරිස් හිමි පහත සඳහන් ජාතික සංවිධානවල ආරාධනා ලැබ සේවය කර ඇත.

අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලය, ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල උත්තර සභාව - ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලය - රාජ්‍ය ලේඛනාරක්ෂක සභාව - සිංහල ශබ්දකෝෂ උපදේශක මණ්ඩලය - ශ්‍රී ලංකා දිස්ත්‍රික් කොඩි උපදේශක සභාව - සිංහල සිරිත් විරිත් කොමිසම.

පෘතුගීසි ‍බසින් රචිත, ශ්‍රී ලංකාවේ මුල් ක්‍රිස්තියානි යුගය නමැති ග්‍රන්ථය ඉංග්‍රිසියට පරිවර්තනය කළේ, එඩ්මන්ඩ් පීරිස් හිමිය.

තමා විසින් ලියන ලද, තලවිල හා ලෝවත්ත ග්‍රාම පිළිබඳ පර්යේෂණ ලිපි, එතුමා ම දෙමළ බසට ද පරිවර්තනය කර ඇත.

කතෝලික දෙව්මැදුරුවලට, පොල්තෙල් පහන, මගුල් පෝරුව, ඇතුළු කර ගැනුෙණ් එතුමා ගේ මඟපෙන්වීමෙනි. කතෝලික පෙරහරවලට අලි ඇතුන් - හේවිසි - දවුල් තම්මැට්ටම් හා මුතුකුඩ එකතු වූයේ එතුමා ගේ මඟපෙන්වීමෙනි.

ලංකාදීප කතුවර ඩී.බී. ධනපාල මහතා, එඩ්මන්ඩ් පීරිස් හිමිනම ගේ එබඳු පියවර, එකල මහත්සේ අගයා ඇත.

එතුමා හලාවත රදගුරු නිලයට පත් වූ පසු, දෙව්සත්හලක්, මහලු නිවාස හා නව තාපසාරාම කීපයක්, රෝහලක්, මුද්‍රණාලයක් හා ළමා නිවාසයක් පිහිටුවීමට පියවර ගත්තේ ය.

“ඔය සියල්ල කරනාතර සාහිත කලා ඉතිහාස පර්යේෂණ කටයුතුවලට කාලය ඉතිරි කර ගත හැක්කේ කෙසේදැ” යි වරක් ඩී.බී. ධනපාල මහතා විමසා ඇත.

“රාත්‍රි අටහමාරෙන් පසු... මධ්‍යම රාත්‍රිය දක්වා මම ලේඛන කටයුතුවල යෙදුණා.”

සිංහල භාෂාව, බුදු සමය හඳුන්වාදීමට උචිත වුවද, කිතු සාමය හඳුන්වාදීමට තරම් ශක්තිමත් බසක් නොවේ යයි කිතුනු බටහිර අනුකාරක උගතුන් ඝෝෂා කරද්දී... අපි උත්සාහ කර බලමුයි... එතුමා පියවර ගෙන ඇත්තේ 1940 පමණේ සිටය. වසර 75 පිරෙන්නට ආසන්න අද, ඒ අදූරදර්ශී මත පරයා කිතු දහම් කටයුතු සිංහලෙන් හා දෙමළෙන් පැවැත්වීම ඉතා සාර්ථකව ඇත.

උසස් අධ්‍යාපන‍යක් දීමටත්, විද්‍යාව ඉගැන්වීමටත් සිංහල භාෂාව පොහොසත් නැතැයි කීවෝ, එදා එඩ්මන්ඩ් පීරිස් හිමි ගේ සිරිලක කිතු සසුන දේශීය කිරීමේ වෑයම් වලට හතුරුව සිට ඇත. එහෙත් එතුමා පසුබටව නැත.

ලංකාදීප පත්‍රය හරහා එතුමාට ඒ සඳහා මහත් පිටිවහලක් වූ පූජකවරයෙකු ද එකල හලාවත පදවියේ විය. මාදම්පේ ශා. සෙබස්තියන්, පුත්තලම ශා. ඇන්ඩෲ හා මාරාවිල ශා. ක්ෂේවියර් විදුහල්වල අධිපතිකම් ඉසිළු, ජෝ. ක්වින්ටස් පෙරේරා පියනම ය.

සිරිලක කිතු සස්න ස්වදේශීය කිරීමේ වෑයම්වලට, එඩ්මන්ඩ් පීරිස් හිමි, හලාවත, කුරුණෑගල මාවතගම, කුලියාපිටිය පෙදෙස්වල මහ තෙරවරුන් ගේ ද, මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි හා එම්.ඩී. රතනසූරිය බඳු වියතුන්ගේ ද මඟපෙන්වීම් ලබා ගෙන ඇත.

එතුමා පුද්ගලයෙකු නොව ව්‍යාපාරයකැයි, වරක් එක් ප්‍රකට බුදුනු ලේඛකයෙකු - ලංකාදීපයට පවසා ඇත.

ඒ ව්‍යාපාරයෙන් රට ට හිමි වූ මහම ලාභය, කිතුසසුන දේශානුරූපී වීම යයි ද ඔහු තවදුරටත් පවසා ඇත.

භෝග රහිත වෙලක්ද, මසුන් රහිත විලක්ව ද පැවති සිරිලක කිතු සසුන, සරු වෙල්යායක් ද මසුන් පිරුන මනරම් විලක් ද කිරීමට තමාට අවශ්‍යව තිබිණැයි, සිය මෙහෙවර දෙස ආපසු බලමින්, එඩ්මන්ඩ් පීරිස් හිමි කැලණි සරසවි දෙසුමකදී පවසා තිබේ.

සිය දිවියට 75 විය පිරුන දා 1972.12.27 දා එතුමා තනතුරින් ඉසිඹු ලද්දේ ය. කතෝලික ................ පූජකවරු (රදගුරුවරු) 75 විය සපිරීමත් සමඟ විශ්‍රාම යා යුතු බව සසුන් නීතියකි.

දහහත් වසරක විශ්‍රාම දිවියෙන් පසු, 1989 සැප්. 04 දා එතුමා රට දැය හා සමයෙන් සදහටම සමුගෙන නික්ම ගියේ ය.

අවාසනාවක මහත, කිතු සසුන එවැනි දෙවැන්නෙක් මෙ රට ට බිහිකර දී නැත!


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්