මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

මෛත්‍රිපාල සිරිසේනට සටන ඇත්තේ සරත් ෆොන්සේකා සමඟයි

මෛත්‍රිපාල සිරිසේනට සටන ඇත්තේ සරත් ෆොන්සේකා සමඟයි

උන්මාදය යනු එකම පරීක්ෂණය පුන පුනා කිරීමෙන් වෙනස් ප්‍රතිඵල අපේක්ෂා කිරීමයි
- ඇල්බට් අයින්ස්ටයින්

බොහෝ ඇසූ පිරූ තැන් ඇති දේශපාලන නායකයකු වන රනිල් වික්‍රමසිංහ මහතා අයින්ස්ටයින්ගේ මේ කියමන අසා නැතිවා විය නොහැකිය. හැබැයි, ඔහු 2010 පටන් කරමින් සිටින්නේද එකම පරීක්ෂණය එකම විදිහට කරමින් වෙනස් ප්‍රතිඵල අපේක්ෂා කිරීමය.

ඊට හේතුවක්ද තිබේ. කයිසාරුවත්තේ මුහන්දිරම්ට ගස් බඩ ගාන්ට බැරි නම් එවේලේ පාරේ යන කවුරුන් හෝ කැඳවා “අනේ වත්තේ පොල් ටික කඩා දීපන්කො” යි ඉල්ලන්ට සිදුවේ. රටකට නායකත්වය දීම පොල් කැඩිල්ල සේ සරල කාර්යයක් වී නම් මේ අවුට්සෝස් කිරීම සාර්ථක වන්ටද ඉඩ තිබුණේය.

නායකත්වය යනු එසේ අවුට්සෝස් කළ හැකි දෙයක් නොවේ. රනිල් වික්‍රමසිංහ මහතාගේ පුන පුනා කරන පරීක්ෂණයද පුන පුනා එකම ප්‍රතිඵලය ලබා දෙන්ට නැඹුරු වී ඇත්තේද එනිසාය සිතිය හැකිය.

2010 ජනාධිපතිවරණයේදී හා ඉන් පස් වසෙකට පසුව 2015 ජනාධිපතිවරණයේදී මේ රටේ ප්‍රධාන විපක්ෂය හැසිරෙන ආකාරයේ කැපී පෙනෙන සමානකම් රාශියක් වේ. මේ අවස්ථා දෙකේදීම රටේ ප්‍රධාන විපක්ෂය තම ප්‍රකට ‘අලියා’ දේශපාලන සලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් නොකොට, තම දේශපාලන ව්‍යාපාරයට නායකත්වය දීමේ වගකීම බාහිර පාර්ශවයන්ට අවුට්සෝස් කරයි. අන් කිසිදු රටක, කිසිදු දේශපාලන පක්ෂයක දකින්ට නොලැබෙන මේ සුවිශේෂී හැසිරීමට හේතුව කුමක්ද?

එක්සත් ජාතික පක්ෂය මේ රටේ දෙවන විශාලතම මොනොලිතික දේශපාලන පක්ෂයයි. පොල්පිත්තක් තරගයට දැම්මත් එක්සත් ජාතික පක්ෂයට නියත ලෙස තම ඡන්දය ප්‍රකාශ කරන ‘කැපුවත් කොළපාට’ යම් පිරිසක් මෙරට සිටිති.

මේ ‘බ්ලොක් වෝට්’ එක ප්‍රතිශතයක් ලෙස යම් අවස්ථාවක හරියටම කීයක්ද කීම අපහසු වුවද, සියයට විසිපහක් හෝ තිහක් පමණ වේය අනුමාන කරමි. 1994 දී රට නොහඳුනන, දේශපාලනයේ අවම පළපුරුද්දක් තිබුණු ශ්‍රීමා දිසානායක මහත්මිය ජනාධිපතිවරණයට තරග කළ අවස්ථාවේ පවා එක්සත් ජාතික පක්ෂය 33% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මීට වඩා සියයට දහයක පමණ, එනම් සියයට තිස්පහක සිට හතළිහක බ්ලොක් වෝට් එකක් ඇතැයි උපකල්පනය කළොත් පාවෙන ඡන්ද ප්‍රමාණය සියයට තිහත් හතළිහත් අතර වේ.

මැතිවරණයක ජයග්‍රහණය රඳා පවතින්නේ යම් පිළකට මේ පාවෙන ඡන්ද දායකයින් දිනා ගන්ට ඇති හැකියාව මතය. එක්සත් ජාතික පක්ෂය ස්වකීය ඡන්ද ලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන්නේ මේ අවස්ථාවෙහි ‘සැලකිය යුතු මට්ටමකින්’ මේ පාවෙන ඡන්ද ප්‍රමාණය දිනා ගන්ට ඇති නොහැකියාව මතය සිතිය හැකිය.

මේ තක්සේරුව අපේ නොව එක්සත් ජාතික පක්ෂයේ ස්වතක්සේරුවකි. පක්ෂයෙන් පරිබාහිර පුද්ගලයකුට වුව තම සහයෝගය පළ කළොත් බ්ලොක් වෝට් එක නියතව ලැබෙන්නේ යයිද, ඊට අමතරව එම පුද්ගලයා අනෙක් පිළෙන් ‘කඩාගෙන එන’ යම් ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය පිණිස මදි ඡන්ද ප්‍රමාණය ලැබේය ඔවුන් සිතනවා විය හැකිය. මේ උපකල්පනයේ වරද අපි මොහොතකින් සලකා බලමු.

ඉන් පෙර, ඉහත ඡේදයේ ‘සැලකිය යුතු මට්ටමකින්’ යන කොටස අවධාරණය කරමි. ජයග්‍රහණය සඳහා අවශ්‍ය සුළු ඡන්ද ප්‍රතිශතයක් නම් වෙනත් මාර්ගයන්ගෙන් එය දිනා ගැනීම ගැන එක්සත් ජාතික පක්ෂය කල්පනා කරනවා ඇත්තේය. උදාහරණයක් හැටියට 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා අතර ඡන්ද ප්‍රමාණය ගණනින් 180,786 ක්ද ප්‍රතිශතයක් සේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට දෙකක්ද විය.

සටන මේ තරම් කිට්ටු නම් සැකයකින් තොරව රනිල් වික්‍රමසිංහ මහතාම ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇත. ඔහු එසේ නොකරන්නේ ඔහුගේම තක්සේරුව අනුව මෙවර තරගය එතරම් කිට්ටු නැති බව ඔහු දන්නා නිසා විය යුතුය.

2010 දීද මෙලෙසින්ම තරගය කිට්ටු නැති බැව් වික්‍රමසිංහ මහතා දැන සිටියේය. තමන් තරග බිමට නොපිවිස, ඉන් පෙර දේශපාලනයේ එක් දිනක හෝ පළපුරුද්දක් නැති සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරෙන්නේ ඒ අනුවය.

මෙය තනිකරම නරක විහිළුවකි. ප්‍රාදේශීය සභා මට්ටමින් හෝ දේශපාලන නායකත්වයක් දරා නැති පුද්ගලයකු රටේ නායකත්වයට සුදුසු නොවන බැව් කුඩා දරුවකුට වුව වැටහෙන කාරණයකි. (කෙසේ වෙතත් 2010 ට සාපේක්ෂව මේ වන විට සරත් ෆොන්සේකා මහතා දේශපාලන වශයෙන් ලොකු පරිණත භාවයක් ලබා ඇති බව සඳහන් නොකරන්නේ නම් ඒ මහතාට කරන අසාධාරණයකි.) ෆොන්සේකා මහතාට සීරියස් ප්‍රතිපත්ති ප්‍රකාශයක් පවා නොවීය.

ඔහුගේ පාලනයක් යටතේ ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිපත්තිය ගැන මාධ්‍යවේදියකු ඇසූ විට ෆොන්සේකා මහතාට කියන්ට තිබුණේ “ඒ ගැන එක්සත් ජාතික පක්ෂයෙන් තමයි අහන්න ඕනැ” කියා පමණෙකි. එක්සත් ජාතික පක්ෂයට පවා ඒ ප්‍රශ්නයට පිළිතුරු දිය හැකිව තුබුණේය නොසිතමි.

ඔවුන්ට ඉඳුරා විරුද්ධ ආර්ථික ප්‍රතිපත්තියක් දැරූ ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාකාරී පාර්ශ්වයක් සේ ෆොන්සේකා මහතාට සහාය පළ කොට සිටි හෙයිනි. මේ දෙගොල්ලන්ටම පොදු ආර්ථික ප්‍රතිපත්තියක් ගැන කතා කිරීම පවා විහිළුවක් නිසා ෆොන්සේකා මහතා නිහඬව සිටියා විය යුතුය.

ෆොන්සේකා මහතාට 2010 දී සිය ඡන්දය ප්‍රකාශ කළ 4,173,185 ඡන්ද දායකයින්ගෙන් කී දෙනකුට ඔහු අනිවාර්යයෙන්ම රටේ නායකයා වනු ඇතිය විශ්වාසයක් තිබුණේද නොදනිමි. ඔහු ජයග්‍රහණය කළත්, ඔහුට යම් පරිපාලන දැනුමක් තිබුණත් ඔහු පසු පස හුන් කණ්ඩායම් වල වෙනස් මත හැලහැප්පීම් අනුව සලකන විට සරත් ෆොන්සේකා මහතාට සාර්ථකව ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ගෙන යාමේ කිසිම හැකියාවක් නොවීය. ඔහු ආණ්ඩුවක් පිහිටුවී නම් එයද විජයානන්ද දහනායක ආණ්ඩුව මෙන් කෙටි කලකින් බිඳ වැටෙන්ට ඉඩ තිබුණේය.

එනිසා මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය ප්‍රකාශ කළ 6,015,934 දෙනා ඒ අවස්ථාවේ ගන්නා ලද්දේ බුද්ධිමත් තීරණයකි. වත්මන් ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාද ඒ පිළිබඳව මා සමඟ එකඟ වනු ඇතිය සිතමි. එදා ඔහු සිටියේද ඒ මිලියන හයකට අධික ජන කොටස සමඟය.

ඉතිහාසය පුනරාවර්තනය වන බැව් කාල් මාක්ස් ලීවේය. පළමුවර ශෝකාන්තයක් (ට්‍රැජඩි) හා දෙවන වර විකට නාට්‍යයක් (ෆාස්) ලෙසිනි. සැබෑ නායකත්වයට තරග වැදිය නොහැකි අවස්ථා වලදී ප්‍රතිරූපකයකු තරග කරවීමේ ඉතිහාසය ඇරැඹෙන්නේ 1982 දී එවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකා සිරිමා බණ්ඩාරනායක මහත්මියට ප්‍රජා අයිතිය අහිමි කරවනු ලැබීමෙන් තරග කිරීමට නොහැකි වූ විට හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ඉදිරියට දමන ලද අවස්ථාවේදීය.

බලාපොරොත්තු වූ ලෙසින්ම ඔහු අන්ත පරාජයකට පත් විය. ඊට වෙනත් දේශපාලන සාධක සේම රාජ්‍ය නායකත්වය දරණ තරමට කොබ්බෑකඩුව මහතා පළපුරුදු නොවීමත් ඔහුගේ පෞරුෂය මඳ කමත් බලපෑවේය. ජයග්‍රාහකයා වූ ජුනියස් ජයවර්ධන මහතා ඊට වඩා දක්ෂ රාජ්‍යතාන්ත්‍රිකයකු විය. 2010 දී සරත් ෆොන්සේකා පරිච්ඡේදයේදී මේ ඉතිහාසයම ට්‍රැජඩියක් හෙවත් ශෝකාන්තයක් සේ පුනරාවර්තනය විය. අද මෛත්‍රිපාල සිරිසේන පරිච්ඡේදයේදී සිදුවෙමින් පවතින්නේ එය විකට නාට්‍යයක් සේ පුනරාවර්තනය වීමය.

මෙවන් වාතාවරණයක් තුළ 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ශිල්පදැක්වීම 1982 දී හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ හා 2010 දී සරත් ෆොන්සේකා මහතාගේ ශිල්පදැක්වීම් සමඟ සන්සන්දනය වීම නොවැළැක්විය හැකි කාරණාවකි. මෙයින් කොබ්බෑකඩුව පරිච්ඡේදය අද බොහෝ දෙනකුට අමතකය. එනිසා වඩා දරුණු ලෙස සිරිසේන මහතා සන්සන්දනය වන්නේ ෆොන්සේකා මහතා සමඟය. 2010 දී සරත් ෆොන්සේකා මහතා ලබා ගත් ප්‍රතිඵලයට සුළුවෙන් හෝ වඩා හොඳ ප්‍රතිපලයක් ලබා ගැනීමේ දැඩි අභියෝගයට මේ අවස්ථාවේ සිරිසේන මහතා මුහුණ දී සිටියි. මෙය කළ හැකිද අපි දැන් බලමු.

2010 හා 2015 ජනාධිපතිවරණයන් අතර වෙනස්කම් මොනවාද?

2010 දී සරත් ෆොන්සේකා මහතා මේ රටේ දෙවන හා තෙවන දේශපාලන බලවේග ද්වයෙහිම ඍජූ හා සක්‍රිය සහාය ලබන්නේය. එසේම සුළු ජාතික පක්ෂ ගණනක වක්‍ර සහාය ලබන්නේය. යුද්ධය අහවර වූ අළුත, හිටපු හමුදාපති ලෙස ඔහුගේ පෞරුෂය දකුණේ යම් ජන කොටසක ගෞරවයට බඳුන් වේ. (ෆොන්සේකා මහතා කළේ යුද්ධ කරනවා වෙනුවට යුද්ධය අවුල් කිරීම බවද, යුද්ධ හමුදාවේ හා නාවුක හමුදාවේ අභ්‍යන්තර ආරවුල් විසඳීම පිණිස තමන්ගේ කාලයෙන් හතරෙන් එකක් වැය කරන්ට වූ බවද හිටපු නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ස්වකීය ස්වයං ලිඛිත චරිතාපදානයේ සඳහන් කරයි.

හැබැයි 2010 දී මේවා දැන සිටියෝ සේම දැන සිටියත් විශ්වාස කළෝ විරල වූහ.) යුද්ධය නිමා වූ අළුත, එහි අමිහිරි අත්දැකීම් සමඟ, උතුරු නැඟෙනහිර පළාත්වල අවම සංවර්ධනයක් සහිතව, ජන ජීවිතය යථා තත්ත්වයට නොපැමිණි වාතාවරණයක ඒ දෙපළාතින් මහින්ද රාජපක්ෂ මහතාට ලොකු ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්ට නොහැකි වීමද තේරුම් ගත හැකිය.

2010 දී ෆොන්සේකා මහතාගේ සහායට එක් වූ කණ්ඩායම් අතරින් 2015 දී මෛත්‍රිපාල සිරිසේන මහතා ඍජු සහයෝගයක් ලබන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් පමණෙකි. සුළු ජාතික පක්ෂ වලින් ඔහු ලබන්නේ 2010 දී ෆොන්සේකා මහතා ලද වක්‍ර සහයෝගයමය. (මේ අවස්ථා දෙකේදීම දෙමළ හා මුස්ලිම් යම් සුළු ජාතික කණ්ඩායම් ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිටි බැව් සඳහන් විය යුතුය.) මීට වඩා තීරණාත්මක සාධකය 2010 දී ෆොන්සේකා මහතාට ලැබුණු ක්‍රියාකාරී ජනතා විමුක්ති පෙරමුණු සහයෝගය 2015 දී සිරිසේන මහතාට නොලැබීමයි.

පසුගිය වසර කිහිපය තුළ පවත්වන ලද පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල දෙස බැලීමේදී ජනතා විමුක්ති පෙරමුණට ලක්ෂ හතරක පමණ නියත ඡන්ද ප්‍රමාණයක් ඇති බැව් පෙනේ. මිලියන දහයක් හෙවත් ලක්ෂ සියයක් ඡන්දය ප්‍රකාශ කරන මැතිවරණයකදී මෙය සියයට හතරකි. මේ සියයට හතරට වඩා වැදගත් වන්නේ ගම් මට්ටමේ ඡන්ද ප්‍රචාරක කටයුතු කර ගැනීම පිණිස ජවිපෙට හිමි අපූරු කාර්යක්ෂ්ම යාන්ත්‍රණයයි.

ඉතාම දැඩි සම්පත් සීමා යටතේ සාර්ථක ප්‍රචාරණ ව්‍යාපාරයක් ගෙන යාමේ නිර්මාණාත්මක හා කාර්යක්ෂ්ම ක්‍රමවේදයක් හැට ගණන් වල සිටම ජවිපෙ සතුව තිබුණේය. සරත් ෆොන්සේකා මහතා මේ කාර්යක්ෂ්ම යාන්ත්‍රණයේ ඉහළම ප්‍රයෝජන ලැබුවේය. මෙවර ජවිපෙ ඡන්ද ලක්ෂ හතරම ගෙඩි පිටින්ම සිරිසේන මහතාට යතැයි උපකල්පනය කළත් ඔහුට අහිමි වන්නේ ඒ යාන්ත්‍රණයෙන් ලබන සුවිශේෂී ප්‍රතිඵලයයි. සිරිසේන මහතාගේ මැතිවරණ ව්‍යාපාරය පවා පෞද්ගලික රූපවාහිනී නාලිකා කිහිපයකට, රාවය වැනි පුවත්පත් වලට හා ෆේස්බුක් එකට සීමා වී, ගම්බදව බිම් මට්ටමේදී තවමත් ඇල්මැරුණු ස්වරූපයක් ගන්නේ මේ නිසාය සිතිය හැකිය.

ජවිපෙ හැලෙද්දී සිරිසේන මහතාට එක්වී ඇත්තේ ජාතික හෙළ උරුමයෙන් කොටසකි. ‘කොටසකිය’ ලියන්ට සිදුව ඇත්තේ උදය ගම්මන්පිළ මහතා සමඟ හෙළ උරුමයේ යම් පිරිසක් නැවත රාජපක්ෂ මහතාගේ සහායට එක්ව ඇති නිසාය. හෙළ උරුමයටද, තමන්ටම කියා දැවැන්ත ඡන්ද ප්‍රමාණයක් නැතත් හවුලක් තුළ මතවාදීව විශාල කාර්යභාරයක් ඉටු කළ හැකිය.

මේ මතවාදී සම්මාදම ඉටු කරන්නේ චම්පික රණවක මහතා විසින් සිරිසේන මහතා වෙනුවෙන්ද නැතොත් උදය ගම්මන්පිළ මහතා විසින් රාජපක්ෂ මහතා වෙනුවෙන්ද අනාගතයේදී අපට දකින්ට හැකිවනු ඇත. සිරිසේන මහතාගේ පිළ පමණක් සලකන්නේ නම් හෙළ උරුමයේ මතවාදී සම්මාදමින් ජවිපෙ ප්‍රචාරණ යාන්ත්‍රණ සම්මාදම අහිමි වීම බැලන්ස් කිරීම අසීරුය.

හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වේදිකාවේ ප්‍රමුඛ කථිකයෙකි. ඔහු හැසිරෙන්නේ මතවාදී අරගලයක් කරන්නාක් මෙන් මුත් ඔහුටද ඇත්තේ සිරිසේන මහතාට මෙන්ම තමන්ට නිසි තැන නොලැබුණේය සිතීමේ රෝගයම බැව් පෙනේ.

රණවක මහතාගේ හැකියාවන් අනුව ශිල්ප දක්වනු වස් ඔහු ලද අවස්ථා හොඳටම ප්‍රමාණවත්ය මම සිතමි. රණවක මහතා නිතර තමා දක්ෂයෙක්ය, පෙර ගමන් කරුවෙක්ය තමන්ම හෝ තමන්ගේ අනුගාමිකයින් ලවා හෝ තමන්ටම සහතික දී ගන්නෙකි. ඔහු මින් පෙර පරිසර හා විදුලි බල අමාත්‍ය ධුරය දැරුවේය.

පරිසර අමාත්‍ය ධුරය දරද්දී තමන්ට අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරයෙන් සතයක් හෝ නොගෙන ගෙන ගිය හැකිය පාරම් බෑවේය. ඒ කෙසේද යත්? ‘පරිසරයට වන හානි වෙනුවෙන්’ දිවයිනේ වර්තමානයේ සාර්ථකම ව්‍යාපාරයක් වන විදුලි සංදේශ ක්ෂේත්‍රයට අමතර බදු හතරක් පැනැවීමෙනි. මෙසේ සාර්ථක ව්‍යාපාරයන්ට අමතර බදු පැනැවීමට ගියොත් හැම අමාත්‍යාංශයකටම ලාභ ලබන්ට පිළිවන. මේ මහා ලොකු වැඩක් නොවේ. ලොකුම විහිළුව දැන් බදු ඉවත් කර ජනතාවට සහන දෙන්නෙමිය කියමින් යන්නේද එදා දුරකථන ගාස්තු මත අමතර බදු හතරක් පැනැවීමට යෝජනා කළ රණවක හිටපු අමාත්‍යවරයාම වීමයි.

චම්පික රණවක මහතා විදුලි බල අමාත්‍ය ධුරය දැරූ කාල පරිච්ඡේදය කිසිම අළුත් දෙයක් නොසිදුවූ සාමාන්‍ය එකකි. ඔහු විසින් කරන ලද්දේ ඉන්පෙර විදුලිබල අමාත්‍යවරුන් විසින් කරගෙන ගිය ක්‍රියා මාර්ගයම වෙනසක් නැතිව එසේම කර ගෙන යාම පමණෙකි. ඔහු විදුලි ඉංජිනේරුවෙක් වීය කියා විදුලි බල මණ්ඩලය හෝ රට හෝ ලද දෙයක් නොවේ. ඔහු විදුලි බල අමාත්‍ය ධුරය දැරූ අවසාන වසර වූ 2012 දී විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 61.2 දක්වා කිසි විටෙක නුවූ විරූ අයුරින් ඉහළ නැඟ තිබුණේය. 2013 දී විදුලි ගාස්තු ඉහළ නංවන්ට රජයට සිදු වන්නේ මේ දැවැන්ත අලාභය පියවා ගනු පිණිසය.

රණවක මහතා විදුලිබල අමාත්‍ය ධුරයෙන් ඉවත්ව ගෙවුණු පළමු වසරේදීම පාඩුව අනෙක් පැත්තට හරවා රුපියල් බිලියන 24.6 ක ලාභයක් ලබන්ට විදුලි බල මණ්ඩලයට හැකිවිය. අද වන විට අඩු ගාස්තු හරහා පාරිභෝගිකයින් අත් විඳින්නේ මේ වාසියයි. මේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහයට ඩැනීලාගේ හැටිය. ඔවුන් විසින් ඡන්ද ප්‍රමාණයෙන් ඒ මහතාගේ පිළට කරන සම්මාදම ලොකු එකකැයි සිතනු නොහේ.

මෙවර මෛත්‍රිපාල සිරිසේන මහතාට ඍජු සහායක් නොදක්වන ජවිපෙ මුළු ඡන්ද සංඛ්‍යාවම හා චම්පික රණවක මහතා හා අතුරලියේ රතන හිමි විසින් ලබා ගන්නා ලද මුළු මනාප ගණන එකතු කළත් විපක්ෂයට පසුගිය වරට වඩා ලැබෙන්නේ ඡන්ද ලක්ෂ දෙකක පමණ ප්‍රමාණයකි. ජවිපෙ ඡන්ද කීයක් වුවත් එය ගියවරද තිබුණු නිසාය. හෙළ උරුමයේ සැලකියයුතු ඡන්ද කොටසක් ගම්මන්පිළ මහතා ප්‍රමුඛ පිළට ලැබෙතැයි සිතිය හැකි නිසා මේ ගණන ඊට අඩු වන බවට සැක නැත.

සුළු ජාතික ඡන්ද විපක්ෂ අපේක්ෂකයාට කැඩී යන බවටද මිථ්‍යාවක් පැතිර යමින් පවතී. මෙයද ලුණු ටිකක් සමඟ ගත යුතු කතාවකි. සුළු ජාතික ඡන්ද, විශේෂයෙන් මුස්ලිම් ඡන්ද කොහොමටත් ඓතිහාසිකව එක්සත් ජාතික පක්ෂය වටා සංකේන්ද්‍රණය විය.

මීට හේතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමහරවිට ඉතා ආන්තික ලෙස සිංහල බෞද්ධ පදනම කරා නැඹුරු වීමය. එක් යුගයෙක එක්සත් ජාතික පක්ෂය සියයට සියයක්ම වාගේ මුස්ලිම් ඡන්ද ඩැහැ ගන්ට සමත් විය. එය බිඳුනේ අසූ ගණන් වලදී මුස්ලිම් ජාතිකත්වය මත පදනම් වූ පක්ෂ බිහිවීමෙන් පසුය.

පසුගිය ජනාධිපතිවරණ වලදී පවා මුස්ලිම් ජාතිකයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයාට ලොකුවට සලකා නැති බව පෙනේ. මහින්ද රාජපක්ෂ මහතා සිය ජනප්‍රියතාවයේ හිණි පෙත්තේ සිටි 2010 ජනාධිපතිවරණයේදීත් මුස්ලිම් ජනතාව බහුල දිස්ත්‍රික්කයක් වූ මඩකලපුවේදී ලබා ගත්තේ සියයට විසිහයකි. මෙනිසා මෙවර අමුතුවෙන් විපක්ෂයට කැඩී යන්ට ලොකු මුස්ලිම් ඡන්ද ගණනක් නැත. ඒවා කැඩී ගොස් ඇත්තේ දශක පහ හයකට කලිනි.

දෙමළ ඡන්ද ගැන කතාව මීට වෙනස්ය. උතුර මහින්ද රාජපක්ෂ මහතා යාපනය දිස්ත්‍රික්කයෙන් 25% ක්ද, වන්නි දිස්ත්‍රික්කයෙන් 27% ක්ද ලබා ගත් 2010 සිට බොහෝ වෙනස් වී තියේ. 2010 ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ උතුරට යුද්ධයේ අමිහිරි මතක අළුත්ව පැවැති සමයකය. ඒ වන විටත් යුද්ධයේ ප්‍රතිඵලයක් සේ විනාශ වූ බිමකය. අද වන විට උතුරේ බොහෝ ප්‍රදේශ වසර පහකට කලින් යුද්ධයක් තිබුණාද හිතෙන තරමට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇත. උතුර අද දිවයිනේ වෙනත් ඕනෑම ප්‍රදේශයක් මෙනි. ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබේ.

මිනිස්සු සාමාන්‍ය ලෙස ජීවත් වෙමින් දිවි සරි කර ගනිති. කිසිවකු බලාපොරොත්තු නුවූ ලෙසින් යාල්දේවිය උතුරත් දකුණත් යාකරයි. තලෙයි මන්නාරම දක්වා දුම්රිය මඟ ඉදිවී ඇති අතර නොබෝ දිනෙකින් රාමේෂ්වරම්-තලෙයි මන්නාර් බෝට්ටු සේවය ඇරැඹීමෙන් පසුව රුපියල් පන්දහසකට අඩු මුදලකින් ඉන්දියාවට යාමේ අවස්ථාව උදාවනු ඇත. මෙවැනි තත්වයක් යටතේ රාජපක්ෂ මහතාට මොනයම් හෝ ආකාරයකින් ඡන්ද අඩු වීමේ හැකියාවක් නොවේ. උතුරේදී ෆොන්සේකා මහතා ලද වාසියවත් සිරිසේන මහතාට ලැබෙතැයි සිතනු බැරිය.

මේ ගණන් බැලීම් අනුව අපට පෙනෙන්නේ 2010 දී ෆොන්සේකා මහතා ලද වාසි වලට සාපේක්ෂව මෛත්‍රිපාල සිරිසේන මහතා අළුතින් ලබන දෙයක් ඇත්නම් එය නොගිණිය හැකි තරම් සුළු වන බවයි. ඇත්තටම ඔහු ලබන සුළු වාසි අළුත් තත්ත්වයන් යටතේ ලබන අවාසි වලට සින්න වේ.

2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ලැබූ මුළු ඡන්ද සංඛ්‍යාව 6,015,934 කි. ප්‍රතිශතයක් සේ 58% කි. සරත් ෆොන්සේකා මහතා ලැබූ මුළු ඡන්ද සංඛ්‍යාව 4,173,185 කි. ප්‍රතිශතයක් ලෙස 40% කි. වැඩි ඡන්ද ප්‍රමාණය ලක්ෂ දහ අටකට මඳක් වැඩිය. මෙවර අළුතින් එකතු වන ලක්ෂ හය හමාරක පමණ ඡන්ද සංඛ්‍යාව සියළු පක්ෂ අතර පෙර ශක්ති මට්ටම් අනුව අනුපාතිකව බෙදී යන බව උපකල්පනය කළොත් විපක්ෂයේ ජයග්‍රහණය පිණිස ලක්ෂ දහයක් පමණ ඡන්ද ප්‍රමාණයක් අනෙක් පසට හැරැවීමට සිදුවේ. මෙය විපක්ෂය කලින් ලද ඡන්ද ප්‍රමාණයෙන් 20-25% ක පමණ ස්වින්ග් එකකි.

ජනාධිපතිවරණ ජයග්‍රහණය යනු මෛත්‍රිපාල සිරිසේන මහතාට මේ අවස්ථාවේ කිසිසේත්ම ළඟා විය නොහැකි ඉලක්කයක් බව මෙයින් පැහැදිළි වේ. ඔහුට, ඔහු කැටුව ආ රාජිත සේනාරත්න මහතා, දුමින්ද දිසානායක මහතා හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ඇතුළු සුළු පිරිසට තියා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට හෝ මාදුළුවාවේ සෝභිත හිමියන්ට පවා ලක්ෂ දහයක් ඡන්ද එක පැත්තකින් කඩා අනෙක් පැත්තට ලබා දිය නොහැකිය. අනෙක 20-25% ක ස්වින්ග් එකක් යනු ජාත්‍යන්තර මට්ටමින් පවා ලොකු දෙයකි.

මෙවැනි දැවැන්ත ස්වින්ග්ස් සිදු වන්නේ බලයේ සිටින ආණ්ඩුවේ ජනප්‍රියත්වය ඉතාම දරුණු ලෙස පරිහානියට පත්ව ඇති අවස්ථා වලය. අද අපේ රටේ පවතින්නේ එවැනි තත්ත්වයක් නොවේය කියන කාරණාවට තදහර එක්සත් ජාතික පාක්ෂිකයින්ට පවා එකහෙළා එකඟවිය හැකිය සිතමි.

මේ නිසා මෛත්‍රිපාල සිරිසේන මහතා හා සරත් ෆොන්සේකා මහතා අතර තරගය ගැන කථා කිරීම වඩා අර්ථාන්විතය. මේ දෙදෙනාගෙන් දක්ෂයා කවුද තීරණය වනු ඇත්තේ බිම් මට්ටමේ එක්සත් ජාතික පාක්ෂිකයින් සිතන අන්දම අනුවය. සරත් ෆොන්සේකා මහතා නිර්පාක්ෂිකයකු විය. ඔහු සිය නායකයා සේ පිළි ගැනීමේ ලොකු ගැටළුවක් බිම් මට්ටමේ එක්සත් ජාතික පාක්ෂිකයින්ට නොතිබිණි. සිරිසේන මහතා ඊට සාපේක්ෂව දශක හතරක කාලයත් තිස්සේ එක්සත් ජාතික පාක්ෂිකයින්ට එදිරිව සිටියෙකි.

තදහර එක්සත් ජාතික පාක්ෂිකයින් ඔහු ගැන සිතන ආකාරය මා හරිහැටිම නොදනිතත් මේ ලියන මොහොතේ (දෙසැම්බර් මස අග) ගම් මට්ටමේ අවම මැතිවරණ සූදානම අනුව යම් නිගමනයකට බැසිය හැකිය. එසේම සිරිසේන මහතාගේ සහෝදරයින්ගේ ක්‍රියා කලාපය ගැන ගැටළු පවතියි. ෆොන්සේකා මහතාට සේ සිරිසේන මහතාට වීරයකු සේ සලකන්නෝ නොවෙති. මේ සියල්ල සලකන කල සංඛ්‍යාත්මකව කෙසේ වුවද ප්‍රතිශතයක් ලෙස සිරිසේන මහතාට ෆොන්සේකා මහතා ගිය දුර වත් යන්ට බැරි වුණොත් මම පුදුම නොවෙමි.

මිනිසා විසින් ඉතිහාසය නිර්මාණය කරනු ලබයි. එහෙත් ඒ ඔහුගේ හිතුමනාපයට නොවේ. මෙසේ ලීවේද කාල් මාක්ස්ය. මෛත්‍රිපාල සිරිසේන මහතාද මේ මොහොතෙහි ඉතිහාසය නිර්මාණය කරමින් සිටියි. එහෙත් ඒ ඔහුගේ හිතුමනාපයට නොවේ.මෛත්‍රිපාල සිරිසේනට සටන ඇත්තේ සරත් ෆොන්සේකා සමඟය


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්