මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

ලංකාවේ දේශපාලන ස්ථාවරයේ සංකේතය තමයි ජනාධිපතිතුමා

ලංකාවේ දේශපාලන ස්ථාවරයේ සංකේතය තමයි ජනාධිපතිතුමා

කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නවරත්න රඹුක්වැල්ල

මේ ජනාධිපතිවරණයේදීත් අංක එකට පැමිණ තිබෙන්නේ ලංකාවේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නය බවත් මොන විදියේ රංචු ගැසීම් විපක්ෂය තුළ සිදුවුණත් මේ ජනාධිපතිවරණයෙන් ද ජනාධිපතිතුමා දැමු පදනම දිගේ රට සෞභාග්‍යය හා ස්ථාවරත්වය කරා ගෙන යාමට ජනතා අනුමැතිය ලැබෙනු ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නවරත්න රඹුක්වැල්ල මහතා පවසයි.

සිළුමිණ සමඟ ජනාධිපතිවරණය ගැන සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රඹුක්වැල්ල මහතා මේ ප්‍රකාශය කළේය. එහිදී ඇසූ ප්‍රශ්න කීපයක් ඒවාට රඹුක්වැල්ල මහතා දුන් පිළිතුරු මෙසේ ය.

ඔබ කොහොම ද මේ ජනාධිපතිවරණයේ පෙළ ගැස්ම දකින්නෙ.

මේ ජනාධිපතිවරණයේදී ලංකාවේ මූලික ස්වාධීනතාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රධාන හේතුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 දී ඉදිරියට ගෙන ආ වැඩපිළිවෙළ අනුව අපේ ස්වාධීනතාව බොහොම විප්ලවකාරීව මේ භූමිය තුළ පිහිටුවන්න උත්සාහ කළා.

එතුමා එය එල් ටී ටී ඊ ය පරාජය කිරීමෙන් ඉටු කළා. විශේෂයෙන්ම බටහිර ආක්‍රමණ නැතිනම් බටහිර බලපෑම්වලට එරෙහිව එතුමා නිර්භීතව හා අකීකරුව ජාතික හා දේශීය උරුමකම් වෙනුවෙන් පෙනී සිටියා. මේ ජනාධිපතිවරණයේදී ජනාධිපතිතුමාගේ ඒ නිර්භීතභාවය විනාශ කිරීම සඳහා මේ තීරණාත්මක මොහොතේ සතුරු බලවේග දේශීය හා විදේශීය වශයෙන් ක්‍රියාත්මක වීමක් අපි දකිනවා.

සතුරු බලවේග හරහා ලංකාව අස්ථාවර කරන්න කුමන්ත්‍රණයක් තියෙන බව ඔබ පිළිගන්නවා...?

ඒක ඇත්ත. අද ලංකාවේ දේශපාලන ස්ථාවරත්වයේ සංකේතය තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ලංකාවේ පිහිටීම ලෝක තලයේ මූලෝපායික වශයෙන් ඉතා වැදගත් වෙනවා. අපට පේන විදියට මේ මූලික ප්‍රතිවිරෝධතාවේ පැති දෙකක් තිබෙනවා. ලෝක සිතියම ගත්තම පෙනෙන දෙයක් තමයි ලංකාව ලෝක සිතියමේ හරි මැද පිහිටා තියෙන්නේ. ඒක එක්තරා අන්දමක දෛවෝපගත කාරණයක්. ඉතිහාසයේ වෙළඳ සේද මාවත ගත්තොත් එහි ගොඩබිම් මාර්ගයත් මුහුදු මාර්ගයත් ලංකාව ආසන්නයෙන් යන්නේ.

විශේෂයෙන් මුහුදු සේද මාවත ලංකාව ඉන්දියානු සාගර මධ්‍යයේ පිහිටා තිබෙනවා. ඉන්දියානු සාගර මධ්‍යයේ කියන්නේ නැ‍ඟෙනහිර හා බටහිර මධ්‍යයේ. ඉතිහාසයේ නැ‍ඟෙනහිර හා බටහිර යා කිරීමේ මධ්‍යස්ථානය විදියට ලංකාව භාවිත වුණා.

මේ කේන්ද්‍රීය පිහිටීමේ අසුබවාදී පැත්තකුත් තියෙනවා. ඒක තමයි මේ නිසාම ලංකාවේ මූලෝපායික වැදගත්කම ඉතා ඉහළ තලයක තිබීම. මූලෝපායික වැදගත්කම විදියට අපි දකින්නේ ඉන්දීය සාගර මධ්‍යයේ තියෙන මේ පිහිටීම පෙර අපරදිග පාලනය කිරීම සඳහා යුදමය වශයෙන් වැදගත් වීම.

මේ නිසා තමයි ලංකාවේ ස්වාධීනතාවට ඓතිහාසිකව තර්ජන එල්ල වුණේ. මේ කාරණය මම කැමතියි වත්මන් ජනාධිපතිවරණය සම්බන්ධ කරන්න. වර්තමාන ජනාධිපතිවරණයේදී රටේ ස්වාධීනතාව පිළිබඳ කරුණ මතුවෙලා තියෙනවා කියන එක ඔප්පු කරන්න මේ කාරණය අපට යොදාගත හැකියි.

වර්තමාන ජනාධිපතිවරණයේදී මේ රටේ ස්වාධීනතාවය පිළිබඳ ප්‍රශ්නයක් විදියට මතු වන්නේ ලංකාවේ මූලෝපායික වැදගත්කම නිසයි. එල් ටී ටී ඊ ය කියන්නේ ලංකාවේ පවතින මේ කේන්ද්‍රීය බලය පාලනය කිරීමට විවිධ විදේශීය බලවේග අටවාගෙන තිබුණ විෂම බලවේගයක්. එහි පසුබිමේ මේ රටේ දෙමළ ජනතාව පිළිබඳ ප්‍රශ්නය හැම වෙලාවකම මවාපාන ලද්දක්. ඒක තහවුරු කරන්න යොදාගන්න පුළුවන් දෙයක් තමයි යටත්විජිත යුගයේ මේ රට බෙදා පාලනය කිරීමේ උපාය මාර්ගයක් අනුගමනය කිරීම.

එහිදී පේන දෙයක් තමයි මෙරට ජනතාව අතර නිරන්තරයෙන් ගැටුමක් පවත්වාගෙන ගියොත් හැම වෙලාවෙම කේන්ද්‍රීය බලය පාලනය කිරීමේ හැකියාව විදේශිකයන් අතට යනවා. අදත් මේ උත්සාහය තියෙනවා.

මේ තත්ත්වය මැදයි 2009 දී ත්‍රස්තවාදය පරාජය කර සාමය දිනාගත්තෙ?

ඒක තමයි බටහිරට එල් ටී ටී ඊ හිතවාදී ඩයස්පෝරාවට ප්‍රශ්නය වෙලා තියෙන්නේ. ඇත්තටම මේ අර උපාය මාර්ගයම 21 වැනි ශතවර්ෂයේත් මේ අය යොදා ගන්නවා. දැන් මේ කාරණය දිහා වර්තමාන ජනාධිපතිතුමා බැලුවේ කොහොම ද? අපි දන්නවා 1980 පමණ සිට ඉදිරියට ආපු සියලුම ආණ්ඩු එල් ටී ටී ඊ සංවිධානයට මුහුණ දීමේදී මේ විදේශ උපක්‍රමයන්ට යටත්ව ක්‍රියා කළා. ලංකාවේ ස්වාධීනතාවයට පටහැනිව කටයුතු කළා.

ජේ. ආර්. ජයවර්ධන මහතා 1987 දී ඉන්දියාවටත්, ඉන්දියාව හරහා ආ බටහිර බලවේගවලටත් යටත් වුණා. එතනදී එල් ටී ටී ඊ සංවිධානයට මුහුණ දීමේදී ඔහු මෙරට මධ්‍යම ඒකීය රාජ්‍යය බිඳ දැමීමට කටයුතු කළා.

ව්‍යවස්ථාමය වශයෙන් එයින් සදාතනික අවුලක් රට තුළ ඇතිකළා. ඒ අය හදපු ව්‍යවස්ථාව තව අවුලකට රට දැම්මා. ඉන්දීය හමුදාවට මේ රටේ උතුරු නැ‍ඟෙනහිර පාලනය බාර දුන්නා. මේක අපි ඉතිහාසයේ කවදාවත් දැක්කේ නැති කාරණයක්.

ප්‍රේමදාස මහතාගේ සමය වන විට ප්‍රේමදාස මහතාම කිව්වා මට බාරගන්න වුණේ දෙකොණ පත්තු වුණ විලක්කුවක් කියලා. මේ කාලය වන විට ජනතා විමුක්ති පෙරමුණ සිදුකළ ම්ලේච්ඡ ක්‍රියාවනුත් ඉතාම ඉහළ මට්ටමකට ඇවිල්ලා තිබුණා. මේ කාලය වන විට ප්‍රේමදාස මහතා දිගින් දිගටම එල් ටී ටී ඊ යේ උපාය මාර්ගවලට අසුවුණා. රැවටුණා. ඔහු එල් ටී ටී ඊ යට විශාල ආයුධ ප්‍රමාණයක් හා මුදල් දුන්නා. එල් ටී ටී ඊ ය ඒවා ලංකාවේ හමුදාවට හා මෙරට ජනතාවටත් පහරදීමට යොදාගත්තා.

පසුව බලයට ආ චන්ද්‍රිකාටත් ත්‍රස්තවාදය පරාජය කරන්න බැරිවුණා නේද?

ඔව්. ඒ වුවමනාවවත් වාසනාවවත් චන්ද්‍රිකාට තිබුණේ නැහැ. චන්ද්‍රිකා බෙදුම්වාදය කරපින්නාගෙන ආ නායිකාවක්. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිදහස් කර ගැනීම ගැන කතා කළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ස්ථාපිත වුණ ඓතිහාසික ජාතිකවාදී මතය පක්ෂය තුළින් විනාශ කර දැම්මේ ඇයයි.

එයා කරපු දේවල් අතර සුදු නෙළුම් ව්‍යාපාරය, සුනාමි සහන මණ්ඩලය පිහිටුවීම, බෙදුම්වාදී ව්‍යවස්ථා යෝජනා හා ජාතිකත්වයට ප්‍රසිද්ධියේ පහරදීමත් දැකිය හැකි වුණා. මේ සියල්ල හරහා එයා ඉටුකර ගන්න උත්සාහ කළේ මේ බලපෑම්වලට යටත් වෙමින් රටේ මධ්‍යම රජයේ බලය බිඳ දැමීම විනාශ කර දැමීම.

රනිල්, චන්ද්‍රිකා, මෛත්‍රීපාල, චම්පික රණවක මේ සියලු දෙනා අද ආණ්ඩුවට විරුද්ධව එක පෙළට සිටිනවා...?

අදත් ඔවුන් පෙළ ගැසී සිටින්නේ රටට විරුද්ධවයි. මහින්ද රාජපක්ෂ මහතා දක්වා හිටපු මේ සියලු නායකයන් එල් ටී ටී ඊ සංවිධානයේ උපාය උපක්‍රමවලට අසුවුණා. බටහිර බලවේගවලට නතු වුණා. රටේ ස්වාධීනතාවය නැතිකළා. දැන් අපට පේන දේ තමයි අසූව දශකයෙන් පස්සේ ඊට වෙනස්ව අභීතව ක්‍රියා කළ එකම නායකයා වර්තමාන ජනාධිපතිවරයා පමණක් වීම.

ඔහු එල් ටී ටී ඊ ය සමඟ ගනුදෙනු කිරීමේදී මේ රටේ ස්වාධීනතාවය පාවා දුන්නේ නැහැ. එල් ටී ටී ඊ සංවිධානයේ උපක්‍රමවලට අසුවුණේ නැහැ. එල් ටී ටී ඊ ය පසුබිමේ හිටපු අධිරාජ්‍යවාදී බලවේගවලට යට වුණේ නැහැ. බලවේගවලටත් ඒ අයට සහාය දෙන විදේශීය බලවේගවලටත් අවශ්‍ය ප්‍රධාන කාරණයක් තමයි ජනාධිපතිවරයා පැරදවීම. ඒ නිසා තමයි මම කියන්නේ මේ ජනාධිපතිවරණය ලංකාවේ ස්වාධීනතාවය පිළිබඳ තීරණාත්මක ගැටලුවක් විදියට.

එකතු වෙන්න බැරි අයත් අද එකට එකතු වෙමින් නේද ඉන්නේ.

මේ නිකන් රංචු ගැසීමක් මිසක් සන්ධානයක් නෙවෙයි. දැන් මේක පෙන්වන්න පුළුවන් මේ මැතිවරණයේත් විපක්ෂ කණ්ඩායම්වල හැසිරිම තුළින්. අපේ මේ ඉතිහාසයේ 2005 ට එහා තිබුණේ දේශපාලන පක්ෂ හා ප්‍රතිපත්ති අතර ගැටුමක් විදියට. එක පැත්තකින් ජනාධිපතිතුමා කරගෙන ගිය වැඩපිළිවෙළ අනුව විපක්ෂයට ජනතාව ඇමතීමේ සදාචාරාත්මක හා යුක්ති සහගත පසුබිම නැතිවෙලා ගියා.

නිර්භීතව වගේ ම බටහිර බලවේග ක්‍රියාත්මක වෙන්නට කලින් ඔවුන්ගේ උපක්‍රමවලට ඉදිරියෙන් ගොස් අවුරුදු 3 ක් වැනි කෙටි කාලයක් තුළ අවුරුදු 25 ක් තිස්සේ විශාල වර්ධනයක් ලබා තිබු එල් ටී ටී ඊ ය පරාජයට පත්කළා. රටේ ස්වාධීනතාවය ස්වෛරී භාවය, අඛණ්ඩතාවය යළි පිහිටෙව්වා. බටහිර රටවල් එරෙහි වෙද්දියි අපට මේ ශක්තිමත් තත්ත්වය ඇතිකර ගන්න පුළුවන් වුණේ. ලංකාවේ තත්ත්වය එක පැත්තකින් 1980 න් එහා තිබුණ සාමකාමී තත්ත්වයට ගෙන ගියා.

ආර්ථිකමය වශයෙන් හා භෞතික සංවර්ධනය අතින් 21 වැනි සියවසෙනුත් ඉදිරියට රැගෙන ගියා.

ප්‍රධාන කොන්දේසිය වුණේ රටේ ජාතිකත්වය, දේශීයත්වය හා නිදහසයි. දැන් කාටත් තේරෙනවා මෙතුමා ඉවත් කර දැමීම නැවත කෙක්කෙන් හෝ කොක්කෙන් මේ ලංකාවේ ස්වාධීනතාව නැති කරන්නයි මේ උත්සාහ ගන්නේ.

ආණ්ඩුව කියන්නේ අද විපක්ෂයට සටන් පාඨ නැතිවෙලා කියලයි...?

ඇත්ත.

විපක්ෂ පක්ෂවල තර්කවල ප්‍රතිපත්තිවල පදනමක් නැතිවෙලා. ඔවුන්ට කියන්න දෙයක් නැතිව ගිහින් තියෙනවා. යූඇන්පීයේ දීර්ඝ කාලීන පරාජයට හේතුව මොකක්ද කියන එක කාටත් රහසක් නෙවෙයි. රනිල් චන්ද්‍රිකා පාලන සමයේ එන් ජී ඕ ලෙස පෙනී සිටින අන්තර්ජාතික බලවේගවලට යටත් වෙමින් මේ රට බෙදීමට ක්‍රියාත්මක වුණ බලවේගවල වුවමනා ඉටුකළා.

දැන් මේ රටේ බුද්ධිමත් ජනයා ඉතා පැහැදිලිව තුලනාත්මකව මේ යුග දෙක දකිනවා. ඒ නිසා දේශපාලනයට එන්න ඒ අයට තර්ක නැහැ. එජාපයෙන් අපේක්ෂකයෙක් දාන්න බැරි තත්ත්වයට ඒ පක්ෂය අද පිරිහිලා. යූඇන්පීය මේක ප්‍රසිද්ධියේ පිළිගන්නවා. අපිට තනියම බැහැ කියලා.

ආණ්ඩවුව මේ විපක්ෂය ප්‍රබල චෝදනා ඉදිරිපත් කරනවා?

මේ දූෂණ චෝදනා ඔප්පු කරන්න බැරි නිකම්ම චෝදනා විතරයි. පවුල් පාලනයක් මේ රටේ එදා ඉඳලම හිටපු නායකයන්ට එල්ල වුණ චෝදනාවක්.

එතකොට දැන් පෙරළන්න බැරි මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය පෙරළන්න ජාත්‍යන්තරයට ඇති උපක්‍රමය මොකක්ද කියන එකයි ප්‍රශ්නය. දැන් ඔවුන් පාවිච්චි කරන්නේ සම්‍යක්ප්‍රයෝග. දැන් අපට පැහැදිලිව පේනවා ආණ්ඩුව පැත්තෙන් රටේ ස්වාධීනතාවයටත් රටේ සංවර්ධනයටත් රට ඉදිරියට ගෙන යාමටත් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා. විපක්ෂය පෙන්වන්නේ සම්‍යක්ප්‍රයෝග විතරයි.

ධර්ම රාජ්‍යයක් පැතූ හෙළ උරුමයත් අද එජාපය සමඟ එකතු වෙලා?

මේක දෛවයේ සරදමක්.

ජාතික හෙළ උරුමය ඉපදුණේ. එජාපයේ ජාතික හා සංස්කෘතික විනාශයට පිළිතුරක් විදියට. අද ඒ හෙළ උරුමය එජාපය එක්කම එක වේදිකාවක ඉන්නවා. නමුත් එහි පදනම එතන නැති බව පැහැදිලියි. නව පරස්පරතාවක් තමයි පාඨලී චම්පික රණවක හිටපු ඇමැතිවරයා දැන් කියනවා වර්තමාන ජනාධිපතිවරයා ප්‍රභාකරන්ටත් වඩා භයානකයි කියලා.

මේ ප්‍රකාශය විකට සහගත ප්‍රකාශයක්. මේක ජනතාව හිතාගන්නේ කොහොම ද කියල හිතුවොත් මේ පරස්පරතාව කොයිතරම් ද කියල හිතාගන්න පුළුවන්. තව එකක් ජේවිපීයේ ලක්ෂයක් තරුණයන් ඝාතනය වුණා. අද ඒ පක්ෂය යූඇන්පීය වෙනුවෙන් ප්‍රතිපත්ති විරහිතව ඡන්ද එකතු කරනවා.

තවත් පරස්පරයක් තමයි මේ ව්‍යවස්ථාව හදපු මේ ව්‍යවස්ථාව අවභාවිතාවේ යොදාගත් එක්සත් ජාතික පක්ෂය ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කරනවා. ධර්ම රාජ්‍යයක් හදන්න යන හෙළ උරුමයත් මේ එක්ක යනවා. අනිත් කට්ටිය වෙනම රාජ්‍යයකට යනවා.

තව පැත්තක් තමයි චෞර රැජන කියල පොත් ගහපු කට්ටිය චෞර රැජන ඉස්සරහට දාගෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කරන්න කියල යනවා. දැන් අපට මේ කාගෙත් ප්‍රතිපත්ති විරහිත භාවය පේනවා.

කාට ද රට භාර ‍ෙවන්නේ කියන එකයි අද තියෙන ප්‍රශ්නය?

මා හිතන්නේ අදත් ජනතාව ඉන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පැත්තේ. පෞද්ගලික වෛරය තමයි අද තියෙන මේ රංචු ගැසීම්වල පදනම වෙලා තියෙන්නේ. කුමන්ත්‍රණ තමයි මූලිකව සිදුවෙන්නේ. ආණ්ඩුව තුළින් මෛත්‍රීපාල සිරිසේන මහතා ඇද ගැනීම තමයි හොඳම උදාහරණය. ඊට පසුවත් දේශපාලකයන් එහාට මෙහාට යාම සිදුවුණා. හුඟක් දෙනා මේ තත්ත්වය තේරුම් අරන් තියනවා. විශාල මුදලක් අද මේ රට අස්ථාවර කිරීම සඳහා විදේශවලින් විපක්ෂ පක්ෂවලට පොම්ප කරමින් ඉන්නවා.

සරලම ප්‍රශ්නය බටහිර ජාතීන් එල් ටී ටී ඊ බෙදුම්වාදීන් කවුරු දිනනවාට ද කැමැති කියන ප්‍රශ්නයට දෙන පිළිතුරෙන් පැහැදිලි වෙනවා ඒ අයව මෙහෙයවන්නේ කවුද කියලා. මේ තත්ත්වය රටේ ජනතාව හොඳින් තේරුම් ගෙන තිබෙනවා. අපට කියන්න තියෙන්නේ විශාල ඝෝෂාවක් යනවා. නමුත් ජනාධිපතිතුමා දැමු පදනම දිගේ මේ රට සෞභාග්‍යය හා ස්ථාවරත්වය කරා ඉදිරියටම ගමන් කරනවා. මේ මැතිවරණයෙන් යළි ජනාධිපතිතුමා යන ගමන තහවුරු වන බව අපට සහතිකයි.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්