මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

අඹුව ඉල්ලුවම අඹුව වුණත් දෙන විපක්ෂෙටයි දෙමළ, මුස්ලිම් පක්ෂ ගිහින් තියෙන්නෙ

අඹුව ඉල්ලුවම අඹුව වුණත් දෙන විපක්ෂෙටයි දෙමළ, මුස්ලිම් පක්ෂ ගිහින් තියෙන්නෙ

පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මෙධානන්ද හිමි

දෙමළ සන්ධානයත් මුස්ලිම් කොංග්‍රසයත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සමඟ එක්ව මේ ඒකීය ශ්‍රී ලංකා රාජ්‍යය තුනට කැඩීමේ ව්‍යාපෘතියක යෙදී සිටින බව පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද නාහිමියෝ පවසති. පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් මෙසේ පවසා සිටියේ එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳ සිළුමිණ සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි. එහිදී සිළුමිණ ඇසු ප්‍රශ්න කීපයක් සහ ඒවාට මේධානන්ද හිමියන් දුන් පිළිතුරු මෙසේ ය.

ජනාධිපතිවරණය උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙන මේ දවස්වල ඔබ වහන්සේ රටපුරාම යන එන සංඝයා වහන්සේ නමක් විදිහට ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කාට හිමිවේවි කියා ද සිතන්නෙ?

මම මේ වන විට ලංකාවේ දකුණු පළාත හැර අනෙකුත් පළාත්වල විශාල ප්‍රදේශයන්හි, වවුනියාව, මුලතිව්, මන්නාරම, කිට්ටුවට යනතුරු වගේම පුත්තලම, අම්පාර, පානම, මොනරාගල, බදුල්ල, පදවිය, සිරිපුර ආදී මේ හැම ප්‍රදේශයකම ඇවිද තිබෙනවා. ඒ ඇවිද්දේ නිකම් නෙමෙයි.

මං ප්‍රකාශනයක් ගහලා තිබුණා. ඒ ප්‍රකාශනයත් බෙදමින් හැම පන්සලකටම ඒ ප්‍රකාශන තැපැල් කිරීමත් කළා. ඒ ඇවිදීමෙන් දැනුම්වත් කිරීමෙන් මට පෙනුණේ අනිවාර්යයෙන්ම ඇස්වහක් කටවහක් නැහැ රත්නත්‍රයේ හා සියලු දෙවියන්ගේ පිහිටෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙනවා කියන එකයි.

එය ජනතාවගේ කතාබහෙන් පැහැදිළිව පෙනෙනවා. ඔය කවුරු මොනවා කිව්වත් එතුමා කෙරෙහි මහජනතාවගේ විශ්වාසය තිබෙනවා. මෙවර ජනාධිපතිවරණයෙන් ජනාධිපතිතුමා ජයග්‍රහණය කරනවා ඒකාන්තයි.

මේ වන විට ආණ්ඩු පක්ෂයට සහාය දැක්වූ ඇතැම් සුළු ජාතීන්ගේ පක්ෂ ආණ්ඩුව අතැර යන බවක් පෙනෙනවා. මේ ගැන ඔබ වහන්සේගේ මතය කුමක් ද?

දැන් බලන්න, හිඟන්නෙකුට වුණත් ඉල්ලන දේ දෙන්න බැහැනෙ. හිඟන්නෙක් ගෙදරකට ඇවිත් ගෙහිමියා ගෙන් තමුසෙගේ භාර්යාව මට හිඟමනට දෙනව ද කියලා ඉල්ලුවොත් දෙන්න පුළුවන් ද? දෙන්න බැහැනෙ.

එතකොට ඒ විදිහටම රජයකට වුණත් තමන්ට සහාය දක්වන පක්ෂයක් ඉල්ලන දෙයක්, දෙන්න පුළුවන් දේත් තියෙනවා. දෙන්න බැරි දේත් තියෙනවා. නමුත් සමහර උදවිය දෙන්න බැරි දේ දීලා හරි තම අරමුණ ඉටුකරගන්න කටයුතු කරනවා.

දැන් බලන්න ජනාධිපතිතුමාගේ ආණ්ඩුව මේ සුළු පක්ෂ සඳහා දිය හැකි හැමදේම මෙතෙක් දීල තිබෙනවා. ඉදිරියටත් දෙනවා. ඒ සැලකිලි මුස්ලිම් දෙමළ ජනතාවට කිසිම අඩුවක් නැතිව ලබා දී තිබෙනවා. වෙන කිසිම දෙයක් අවශ්‍ය නැහැ.

උදාහරණයක් විදිහට නිකමට අපි මෙහෙම හිතමු. සුනාමියෙන් විනාශ වූ කින්නියා ගම්මානය සුරක්ෂිත කරලා එතැන ඉඳල හැතැප්ම 50 ක් 60 ක් දිගට ඈදෙන්න තිබෙන කලපු ටිකට පාලම් ටික දාලා මුස්ලිම් ගම්මාන ටික එකට එකතු කරල දීපු එකම ප්‍රමාණවත් නැත්ද? මං අහන ප්‍රශ්නය එයයි.

දැන් අද ත්‍රිකුණාමලේ ඉඳලා වාහනයක නැංගාම චීන වරාය ඔස්සේ සේරුවිල දක්වාම මේ කලපු තරණය කරල යන්න පුළුවන් අංග සම්පූර්ණ දර්ශනීය පාලම් හරිගස්සල ඒ පැත්තම මුස්ලිම් ජනතාව ජීවත්වන ප්‍රදේශ අලංකාර කරලා තිබෙනවා. යටිතල පහසුකම් සියල්ලම සම්පූර්ණ කරලා තිබෙනවා.

මේ රටේ අවුරුදු 66 ක් පිරුණු එජාපයට පුළුවන් වුණා ද ඔය මුස්ලිම් මිනිස්සුන්ට එක පාලම් කෑල්ලක් හදලා දෙන්න. ඒත් ජනාධිපතිතුමා මුස්ලිම් ධීවර ජනතාවට අවශ්‍ය කරන සියලු පහසුකම් සලසා දී තිබෙනවා. ඇස් පෙනෙන ඕනම කෙනකුට අද මේ මොහොතෙ වුණත් ගිහිල්ල බලන්න පුළුවන්. මේවා බොරු ද කියලා. මේ විදිහට ජනාධිපතිතුමා සලකා තිබෙනවා. ඉතින් ඊළඟට දෙන්න තියෙන්නේ මොනවා ද? මට පෙනෙන හැටියට දැන් මුස්ලිම් පක්ෂ ඉල්ලන්නේ හිඟා කන්න ගිය මිනිහා ගෙදර මිනිහගේ නම්බුව ඉල්ලුව වගේ දෙයක්.

උතුරු නැ‍ඟෙනහිර පළාතේ ගිනිිකොණදිග කලාපය මුස්ලිම් ජනතාවට දෙන්න කියලයි මේ අය ඉල්ලන්නේ. ඕක කරන්න පුළුවන් කෙනෙක් ඉන්නව ද? මේ ලංකාවේ කිසිම කෙනකුට මේ දේ කරන්න බැහැ. මේ රට දෙකඩ කරන ව්‍යාපාරයට අනුබල දෙන්න බැහැ. මේ විදිහට මුස්ලිම් කොංග්‍රසය ඉල්ලන අග්නිදිග මුස්ලිම් කලාපය දෙන්න බැහැ කියපු නිසා තමයි අර අඹුව ඉල්ලුවොත් අඹුවත් දෙන විපක්ෂයට මේ මුස්ලිම් කොංග්‍රස් පක්ෂය ගිහිල්ලා තිබෙන්නේ.

මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ සහයෝගයත් මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා වෙත ලබා දී තිබෙනවා. මෙලෙස දෙමළ ජාතික සන්ධානය කටයුතු කරන්නේ ඇයි?

ප්‍රභාකරන් ඉල්ලා හිටියේ උතුරු පළාත හා නැ‍ඟෙනහිර පළාත දෙමළ නිජබිම බවත් ඒ නිජබිමේ ස්වයං පාලන අයිතිය ඔවුනට ලබාදිය යුතු බවත් කියලයි. ඔවුන්ගේ සටන් පාඨවල එකක් වුණේ මෙයයි.

ප්‍රභාකරන් තිස් අවුරුද්දක්ම සටන් කළේ ඔය ඉල්ලීමට. අපේ ජනාධිපතිතුමා අභීතව කිව්වා කාටවත් රට කෑලි කෑලිවලට බෙදන්න දෙන්නේ නැහැ කියලා. මෙය ඒකීය රාජ්‍යයක් ලෙසයි පාලනය වෙලා තිබෙන්නේ. කෑලි කෑලි වශයෙන් යටත් කරගන්න කාටවත්ම ඉඩ දෙන්නේ නැහැ කියලා. එතුමා කිව්වේ, කිසිඳු භේදයක් නැතිව සිංහල, දෙමළ, මුස්ලිම් ආදි වශයෙන් අපි කවුරුත් මේ රටේ එකට ජීවත් වෙමු කියලයි. ඒ කීමට පටහැනිව තමයි ප්‍රභාකරන් යුද්ධ කළේ.

තිස් අවුරුද්දක් යුද්ධ කළත් ඔවුන්ට මෙය දිනාගන්න ලැබුණේ නැහැ. ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, විජේතුංග, චන්ද්‍රිකා, රනිල් වැනි අය යුද්ධය කේවල් කර කර හිටියා. කොටි පෝෂණය කළා මිසක් ඔවුන්ගෙන් මේ රට මුදා ගෙන එක්සේසත් කරන්න කිසිවෙකුට වුවමනාවක් තිබුණේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙලා මහජනතාවගේ ඉල්ලීම මතයි මේ රට එක්සේසත් කරලා ඒකීය රාජ්‍යයක් බවට පත් කළේ. නැවත වරක් හකීම් මහත්තයා නැ‍ඟෙනහිර පළාත මුස්ලිම් අග්නිදිග කලාපය ලෙස ඉල්ලනවා. එතුමාට අශ්රොෆ් මහත්තය මේ දේම ඉල්ලුවා. එතුමා සප්ත කන්‍යා කඳුවැටියෙ හැපිලා විනාශ වෙලා ගියා.

දැන් දෙමළ සන්ධානයත්, උතුරු පළාත සහ නැ‍ඟෙනහිර පළාත ලංකාවෙන් වෙන් කරලා දෙමළ නිජබිමක් විදියට පිළි අරගෙන ඒක පාලනය කරන්න අපිට දෙන්න කියලා ඉල්ලනවා. මෙහි පෙරමුණ ගෙන ඉන්නේ දෙමළ සන්ධානයේ නායක සම්බන්දන් මහත්මයා.

කොටි ත්‍රස්තවාදීන්ගේ හොරණෑව තමයි සම්බන්දන් මහත්තයා ප්‍රමුඛ කොට ඇති දෙමළ සන්ධානය. ඒ අය ඉල්ලුව ඉල්ලීම්වලට ජනාධිපතිතුමා කිව්වේ මේ රට දෙමළ මුස්ලිම් කොටස්වලට කඩන්න බැහැ කවුරුත් එකා වගේ සියලු දෙනාගේම ප්‍රශ්න අපි විසඳගෙන සහෝදරත්වයෙන් ජීවත්වෙමු කියලයි. ඔන්න! සම්බන්දන් මහත්තයට ඒක හරි ගියෙ නැහැ. සම්බන්දන් මහත්තයට ඕන මේ රට දෙකඩ කරන්නයි.

මෛත්‍රීපාල සිරිසේනට ළඟට ගිහින් ඇහුවා අපිට දෙනව ද උතුරු නැ‍ඟෙනහිර උරුමය? කියලා. එතුමා හරි! දෙනවා කියල කියපු නිසා නෙමෙයි ද මේ ගොල්ලන් ඒ පැත්තට ගියෙ. දෙනව කියල කියන්න ඇති ඒකාන්ත වශයෙන්ම කියන්ඩ ඕනෙ.

මෛත්‍රීපාල මහත්තයා ඒ ඉල්ලීමට එකඟ වුණු නිසා තමයි එතුමාට සහාය දක්වන්න මේ අය ගියේ. මෙයින්ම පැහැදිලිව පෙනෙනවා ලංකාව තුනට කැඩෙන ව්‍යාපෘතියක් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ පොදු අපේක්ෂකත්වයේ තීරණය කර තිබෙනවා කියලා.

උතුරු පළාත ද්‍රවිඩ සන්ධානයට අග්නිදිග කලාපය මුස්ලිම් ජනතාවට අනික් ටික අනෙක් ජන කොටස්වලට. මේ තත්ත්වය මෛත්‍රීපාල සිරිසේන පිළිගත්ත නිසා තමයි හකීම් මහත්තය වගේම සම්බන්දන් මහත්මයත් එතුමාට උදව් කරන්න මේ විදිහට සූදානම් වෙන්නේ. මම මේ වෙලාවේදී කියනවා මේ රටේ මොළේ මංචාඩි ඇටයක් තරම්වත් තිබෙනවා නම් මේ රටේ ඉන්න සිංහල ජනතාවට (මේ අය ජාතිවාදය කතා කරනවානම් අපිටත් එතැනට එන්න සිද්ධ වෙනවා) පැහැදිලිව කියනවා වළේ වැටෙන්න එපා.

අපේ ඡන්ද ටික මහින්ද රාජපක්ෂ මහත්තයට දෙන්න ඕනැ. නුදුන්නොත් එහෙම ඒ සාපය සදාකල් මේ රටේ දූ දරුවන්ට පවා අත්වෙනවා කියන එක පැහැදිලිවම මට දිව්‍යඥානයෙන් වාගේ කියන්න පුළුවන්. මේ රටේ ජනතාවට මම කරුණාවෙන් ආරාධනා කරනවා මෙයට නිසි පිළිතුරක් 8 වැනිදාට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්දය දීමෙන් ලබා දෙන්න කියලා.

විපක්ෂ අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති මාලාව ඔබ වහන්සේ මේ රටට ගැළපෙනවායි හිතනවා ද?

විපක්ෂ අපේක්ෂක තුමා ඉදිරිපත් කරල තිබෙන ප්‍රතිපත්ති මාලාවේ එකම එක කරුණක් වත් මේ රටේ ජනතාවගේ යහපත පිණිස පවතින ඒවා නොවන බව පැහැදිලිවම එය කියවද්දී පෙනෙන්නට තිබෙනවා. සහමුලින්ම අරගෙන බැලුවොත් එය පැහැදිලි වෙනවා. ඒ මොකද ඒ ප්‍රතිපත්ති මාලාව හදලා තිබෙන්නේ මේ ගොල්ලන්ට වාසිදායක ලෙසයි. දැන් බලන්න, එජාපයට ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න සුදුසු අපේක්ෂකයෙක් නැහැ.

පසුගිය ජනාධිපතිවරණයේදීත් එජාපයේ කිසිවෙක් ඉදිරිපත් කරන්න නැති නිසා සරත් ෆොන්සේකාව ඉදිරියට දාලා ඇඟ බේරා ගත්තා. දැන් මේ ජනාධිපතිවරණයේ දී එජාපයෙන් ඉදිරිපත් වෙන්න කවුරුත්ම නැහැ. සුදුසුකමක් ඇත්තෙත් නැහැ.

ඒ නිසා තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තය ශ්‍රීලනිපයෙන් ගලවාගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් කළේ. එතකොට මෙතැන දැන් මෛත්‍රීපාල සිරිසේනගේත්, සරත් ෆොන්සේකාගේත්, රනිල් වික්‍රමසිංහගේත්, මේ හැම දෙනාටම උල්පන්දන් දෙන චන්ද්‍රිකා කුමාරතුංග ගේත් එකම අපේක්ෂාව වී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගෙන් පළිගැනීමයි.

එතුමාගෙන් පළිගැනීම තමයි ඔවුන් ඔය සිදුකරන කතාබහෙන් පැහැදිලි වන්නේ. ඔවුන් එකතු වී ඉදිරිපත් කර තිබෙන මේ ප්‍රතිපත්ති මාලාවෙන් සම්පූර්ණයෙන්ම පැහැදිලි වන්නේ එයයි. පෞද්ගලික වෛරයක් පිරිමැහීම සඳහා ඉදිරිපත් කර තිබෙන සියලු ප්‍රතිපත්ති මාලාවෙන් පැහැදිලි වන්නේ වෛරයයි. ඒ වෛරයෙන් රටට වැඩක් වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම රට විනාශයට පත් වෙනවා. රට පිරිහෙනවා.

ජනාධිපතිතුමා ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති මාලාව මෙරට සංවර්ධනයට ගැළපේ ද?

ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපති බවට පත්වන්නේ රටේ ජනතාවගේ කැමැත්තෙන්. නැතිව එතුමා මෙතැනට ආවේ එතුමාගේ ආසාවට නෙමෙයි. එතුමා දේශපාලන ක්ෂේත්‍රයේ වැඩ කරගෙන ආවා.

රටේ ජනතාව මහා සංඝයා වහන්සේ බැලුවා මේ රටේ ජනතාවට ත්‍රස්තවාදය පරාජය කරලා සාමය ළඟා කර දෙන්න පුළුවන් පුද්ගලයා කවුරුද කියා. රනිල් වික්‍රමසිංහට චන්ද්‍රිකාට ප්‍රේමදාස මහත්තයට කිව්වා.

ඒත් ඒ එක්කෙනකුටවත් මේ යුද්ධය නිමා කරන්න බැරි වුණා. මේ අයට කරන්න බැරිවුණු නිසා මහජනතාව තීරණය කළා මේ දෙයට හොඳම මනුෂ්‍යයා දකුණෙන් ආ මහින්ද රාජපක්ෂ උත්තමයා කියලා. මහා සංඝයා වහන්සේලාත් මහජනතාවත් මහින්ද මහත්තය ජනාධිපතිවරණයට ඉදිරිපත් කරමු කියලා තීරණය කළා.

ඔවුන්ගේ ඉල්ලීම මතයි මහින්ද මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ. ඒ ඉල්ලීම භාර ගෙන මේ රටේ අස්සක් මුල්ලක් නෑර පැතිරී තිබුණු ලේ ගංගා ගලා යන ත්‍රස්තවාදය මුලිනුපුටා දමා සාමය ඇති කිරීමෙන්ම ජනතාව තේරුම් ගත්තා මේ රටේ ජනතාවට වැඩක් කරන්න පුළුවන් එකම නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියලා.

අද‍ මේ රටේ ඇස් පෙනෙන ඕනෑම කෙනකුට ඇවිදලා බලන්න කියලා මම අභියෝග කරනවා මේ රට දැනට අවුරුදු 4 කට 5 කට කලින් තිබු තත්ත්වයට වඩා මේ රට දියුණු වෙලා නැද්ද? කියලා. එලෙස ජනතා හිතවාදී පුද්ගලයෙක් ලෙස මහින්ද චින්තනය මත පදනම් වුණු එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ රටේ ජනතාවගේ අනාගත සුබසිද්ධිය උදෙසා ඒකාන්තයෙන්ම හේතු වාසනා වන බව පැහැදිලිවම මම කියනවා.

සමාජයේ වෙන දේවල් දිහා බලලා, එහි යථාර්ථය සොයා නොබලා මිනිස්සු බොහෝ වෙලාවට නිකරුණේ බනින්නේ ජනාධිපතිතුමාට. මෙය ඇත්තටම වැරැද්දක් නෙමේ ද?

ඇත්ත වශයෙන්ම පුදුම හිතෙනවා මිනිස්සු ඒ කියන කතාවලට. මිනිස්සු මේ විදිහට කටයුතු කරන්නේ අනවබෝධය නිසයි. ජනාධිපතිතුමාට යම්කිසි කාර්යභාරයක් තිබෙනවා. ජනාධිපතිතුමා ඒ වැඩපිළිවෙළ යෙදුවට පස්සේ ඒවා ක්‍රියාත්මක කරන්න පිරිසක් පත්කරල ඉන්නවා. මැති ඇමැතිවරු ඉන්නවා.

ඒ යටතේ ක්‍රියාත්මක වීමට නිලධාරීන් පිරිසක් ඉන්නවා. ඒ නිලධාරීන් ඒ කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක කරන්නේ නැති වුණාම ඒ වගේ පොඩි පොඩි අඩුපාඩු හිටියහම මේ මිනිස්සු ඔක්කොම චෝදනා කරන්නේ ජනාධිපතිතුමාට. එයට හොඳ නිදර්ශනයක් මම කියන්නම් ගිය සුමානෙ මම ත්‍රිකුණාමලයේ ගෝමරන්ඩකවල ප්‍රදේශයේ ඇවිදින්න ගියා. ඒ යන කොට ගෝමරන්කඩවල තිබෙන කෘෂි සේවා මධ්‍යස්ථානයේ මිනිස්සු දෙතුන් සීයක් පිරිලා. මම එතැනට ගොඩ වුණා.

මිනිස්සු මාව වට කරගෙන කියන්න පටන් ගත්තා හාමුදුරුවනේ මේ ආණ්ඩුව ජනාධිපතිතුමා මේ පෝර මිල වැඩි කරල, කියලා මිනිස්සු කෑගහන්න පටන් ගත්තා.

එතැන පෝර දෙන්න හිටියා කාන්තාවන් දෙන්නෙක්. මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා මම ඇහුවා ඒ අයගෙන්. ඒ අය කිව්වා මේ පෝර මිල වැඩි කරලා නෙමෙයි, රක්ෂණ මුදලයි බදු මුදලයි ප්‍රවාහන කුලියයි සේරම පෝර මිලට එකතු කරල බිල හදල දෙනව අර මිනිස්සුන්ට. එතකොට අර මිනිස්සු කියන්නෙ මේ පෝර මිල වැඩි වෙලා කියලා.

එතකොට බදු මුදල හරි රක්ෂණ මුදල හරි ප්‍රවාහන කුලිය හරි ඒක වෙනම අය කරගන්න ඕන එකක්නෙ. මේ මෝඩ නිලධාරීන් උපදෙස් දීල තියෙනවා මේ ඔක්කොම එකට දීලා ගාණ අය කර ගන්න කියලා.

එතකොට රුපියල් හත් අටසිය ගණනක් වෙනවා පෝර මුදල. රු. 400 ට විතර ගන්න පෝර ටිකම හත් අටසීයක් මුදල් ගෙවන විට මිනිස්සු කියන්නේ ආණ්ඩුව පෝර මිල වැඩි කරල කියලා. ඉතින් ජනාධිපතිතුමාට නිකරුණේ බණිනවා. මේක සාධාරණ ද? අද රටේ මේ වගේ දේවල් හුඟක් වෙනවා.

මේ වගේ ඒ වැඩේ භාරගෙන කරන උදවිය නිසි පරිදි ඒවා නොකරන කොට ජනාධිපතිතුමාට චෝදනා කරනවා. අනෙක මේ හැම දේකම වාර්තා ජනාධිපතිතුමාට යන්නෙත් නැහැනෙ. ඒක නිසා පොඩි අඩුපාඩුවක් වුණාම මේ තරම් හොඳට වැඩ කටයුතු සංවිධානය කරල තියෙන නායකයෙකුට චෝදනා කරන එක අන්තිම වැරැදියි.

ආගමික නායකයෙකු ලෙස ඔබ වහන්සේ පොදු ජනතාවට මේ මොහොතේ ලබා දෙන පණිවුඩය කුමක් ද?

මම කියන්නේ, අපි ආගම්වාදීවත්, ජාතිවාදීවත් ඇවිස්සෙන කතා කියන්නත්, කරන්නත් කැමැති නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් කියන හැම දෙනාම සහෝදරත්වයෙන් සලකලා ජාතීන් වශයෙන් බොහොම සමඟි සම්පන්නවයි මේ වන විට කටයුතු කරන්නේ. මේ අතර මුස්ලිම් දෙමළ කොට්ඨාසවල ජාතිවාදී අදහස් මතු කරල ජාතිවාදීව මේ දෙය බලන සමහර මුස්ලිම් හා දෙමළ කොටස් ඉන්නවා.

දැන් මම වවුනියාවට ගිහිල්ලා වවුනියාවේ දෙමළ මහත්මයෙක් එක්ක කතා කරපුවහම ඒ දෙමළ මහත්මයා කිව්වා ස්වාමි! මහින්ද රාජපක්ෂ තමා අපිට ඉන්න එකම මුනිය! කියලා. ඉතින් එතකොට පේනව නේද දෙමළ ජනතාව අපිත් එක්ක ඉන්නව කියන එක.

ඒ වගේම මුස්ලිම් සමහර ජන කොටස් එක්ක කතා කරපුවහම ඒ ගොල්ලොත් කියන්නේ අපිට ජනාධිපතිතුමා හොඳයි කියලා. එහෙම නම් මුස්ලිම් හා දෙමළ කියන ජන කොටස් අතර සමහර කොටස් ඉන්නවා. අපි එක්ක සහෝදරත්වයෙන් මේ ක්‍රියාවලිය ගෙන යන්න කැමැති අය. එහෙම නැති කොටස් ඉන්නවා ඒ වගේ අය තමයි දැන් ඔය මෛත්‍රීපාල පිලට ගිහින් ඉන්නේ. ඒක නිසා සිංහල බෞද්ධ ජනතාවට මම කියන්නේ ඒ අය එහෙම කරනවානම් බෞද්ධ ජනතාවත් කල්පනා කළ යුතුයි මොනව ද කළ යුත්තේ කියලා.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්