මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

මහින්ද පරදවන්න ඕනෑවී ඇත්තේ කාටද?

මහින්ද පරදවන්න ඕනෑවී ඇත්තේ කාටද?

ත්‍රස්තවාදී සංවිධානයක් සම්පූර්ණයෙන් ම පරාජය කළ ලොව ප්‍රථම හා එකම රාජ්‍ය නායකයා වූ මහින්ද රාජපක්ෂ මහතා 2009 මැයි මස ජාතිය අමතමින් මින් ඉදිරියට මේ රටේ සුළු ජාතීන් සහ මහ ජාතීන් කියා දෙකොටසක් නැති බවත් ඇත්තේ රටට හිතවත් හා රටට විරුද්ධ කොටස් පමණක් බවත් ප්‍රකාශ කළේ ය.

21 වැනි සියවසට ‍උචිත දේශපාලන දර්ශනයකින් සන්නද්ධ වුණු පරිණත රාජ්‍යය නායකයකු වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මේ ප්‍රකාශය ගැඹුරෙන් සලකා බැලීම මේ මොහොතේදී අප විසින් ගත යුතු නිවැරැදි මඟ තෝරා ගැනීමට උපකාර වෙතැයි සිතමි.

රාජපක්ෂ මහතා මෙවන් ප්‍රකාශයක් කරන්නේ තිස් වසරක් තිස්සේ මෙරට ජනතාව දැඩි ලෙස පීඩාවට පත් කළ බෙදුම්වාදී යුද්ධය නිමා වී‍මත් සමඟ ම ය.

ස්ථිරසාර සාමයක් ඇති කිරීමට ත්‍රස්තවාදය පරාජය කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව ද ඒ සඳහා බෙදුම්වාදී න්‍යාය ද තීරණාත්මකව පරාජය කිරීම ද අත්‍යවශ්‍ය සාධකයක් බව එතුමා දැන සිටියේ ය. අන් බොහෝ නායකයින් මෙන් බෙදුම්වාදයට විසඳුම් බෙදුම්වාදී ආකෘතියක් තුළින් ම සොයාගත හැකි වෙතැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විශ්වාස නොකළේ ය.

එසේ විසඳුම් සෙවීම තුළ ම මහ ජාතිය හා සුළු ජාතීන් යන සංකල්ප වැඩිදුරටත් ඉස්මතු වී රටක් බෙදී වෙන් වීමේ ඛේදවාචකය කරා යොමු වීමේ අවදානමක් ඇති බව එතුමා අත්දැකීම් තුළින් ම තේරුම් ගෙන සිටියේ ය. එ නිසා ය එතුමා විජයග්‍රහණයෙන් පසුව ජාතිය අමතමින් තමා සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් සුරකිනවා යයි නොකියා මින් ඉදිරියට මේ රටේ සුළු ජාතීන් සහ මහ ජාතිය කියා දෙකොටසක් නැති බව ප්‍රකාශ කළේ.

එදා සිට අද දක්වා එතුමා ක්‍රියාකර ඇත්තේ සුළු ජාතීන් ගේ හෝ මහ ජාතියේ ‍ හෝ ප්‍රශ්න විසඳීමට නොව මෙරට ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ය. යුද්ධ ජයග්‍රහණ කළ ද දෙමළ ජනතාව දිනා ගැනීමේ වැඩ පිළිවෙළක් රට තුළ නැත යන චෝදනාව එල්ල කරන ඇතැම් දේශපාලනඥයන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් මෙන් ම උගතුන් බුද්ධිමතුන් මෙන් පෙනී සිටින්නන් ද එසේ කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නව‍ දේශපාලන දැක්ම ග්‍රහණය කර ගැනීමට ඔවුන් තවමත් සමත් වී නැති බැවිනි. විසිවැනි සියවසේ බටහිරින් ආනයනය කළ දේශපාලන සංකල්ප තුළින් මිදී මේ දෙස බලන්නකුට පමණි. මෙරට සිදු වූ මහා දේශපාලන පෙ‍රළියේ යථාර්ථය තේරුම් ගත හැකි වන්නේ.

ගෝත්‍රවාදය

ත්‍රස්තවාදය පරාජය කිරීම තුළින් ම රාජපක්ෂ මහතා නො කළ හැකි දෙය කරන රාජ්‍ය නායකයකු බව ලොවට ම පෙන්වීය. ත්‍රස්තවාදය පරාජය කරනු ලැබ ඇති නමුදු දෙමළ ජාතිවාදය සම්පූර්ණයෙන් ම පරාජය වී නොමැති බව නම් සත්‍යයකි. ඔවුන් අද වනවිට ක්‍රියාකාරී වන්නේ ප්‍රධාන වශයෙන් ම විදේශ රටවල්වල සිට බව මෙරට‍ දේශපාලනය ගැන උනන්දුවක් දක්වන බුද්ධිමතුන් පාඨකයාට අමුතුවෙන් පහදා දිය යුතු නොවේ.

ඉංගිරිසින්ගේ පාලනය යටතේ දහනව වන සියවසේ අවසන් කාලයේ සිට කෙමෙන් වර්ධනය කරවන ලද මෙරට දෙමළ ජාතිවාදය සම්පූර්ණයෙන් ම පරාජය කිරීමට තවත් දිගු කාලයක් ගතවනු ඇත. එය කළ හැකි වනුයේ මෙම ප්‍රශ්නය දෙස බලන ආකල්පයන්ගේ වෙනසක් ඇති කිරීම තුළින් මිස ඔවුන් දිගින් දිගටම සුළු ජාතින් ලෙස ම සලකමින් වෙනම කොටසක් ලෙස ගෙන ප්‍රශ්න විසඳීමට උත්සාහ ගැනීමෙන් නොවේ. මින් පසු මෙරට මහ ජාතියක් හෝ සුළු ජාතීන් හෝ නැතැයි යන ජනාධිපතිතුමාගේ ප්‍රකාශය විමසිල්ලට ලක් කර යුත්තේ මෙවන් වූ අර්ථයකිනි.

එතුමා ඉන් අදහස් කළේ ගෝත්‍රවාදය ඉක්මවා යන ජාතිකත්වය හා සභ්‍යත්වය මත සකස් වුණු නව මානයකට මේ රට නැවත රැගෙන යා යුතු ය යන්නයි. සැමුවෙල් හංටින්ටත් 21 වැනි සියවසේ දේශපාලන ගැටුම් විස්තර කිරීම සඳහා රචනා කරන ලද The clash of civilization and the remaking of the world history නම් ග්‍රන්ථයේ ජාතික රාජ්‍යයන් තුළ ව්‍යාජ බෙදීම් රේඛා නිසා ගැටුම් ඇති වීමට ඉඩ ඇති බව පෙන්වා දෙයි.

මෙවැනි ගැටුම් ඇතිවීම වළක්වා ගැනීමට ය මහින්ද රාජපක්ෂ මහතා සුළු ජාතීන් සහ මහ ජාතීන් නොමැති රටක් යෝජනා කරන්නේ‍. විසිවන සියවසේ දී මෙවැනි ගැටුම් නිරාකරණය කිරීමේ දී බොහෝ විට යොදා ගැනුණේ එම ව්‍යාජ බෙදුම් රේඛා යථාර්ථය ලෙස ගෙන බලය බෙදා හැරීමයි.

මෙවන් වූ ව්‍යාපෘති සඳහා බටහිරයන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන් ම ලැබෙන්නේ මෙම ව්‍යාජ බෙදුම් රේඛා ඔවුන් විසින් ම නිර්මාණය කරන ලද ඒවා වන බැවිනි. බණ්ඩාරනායක - චෙල්වනායගම්, ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම, ඉන්දු ලංකා ගිවිසුමෙන් පසුව සිදු කෙරුණ 13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙන් ම චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියගේ ‘පැකේජය’ හා ඇය ජනාධිපතිනිය වශයෙන් ඉදිරිපත් කළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදන යෝජනා ද මෙවන් වූ ආකල්පයකින් ‘සුළු ජාතීන්ගේ’ ප්‍රශ්න විසඳීමට ඉදිරිපත් කරන ලද යෝජනාවන් ය.

මෙවන් යෝජනාවන් ක්‍රියාත්මක කිරීමේ දී බෙදුම්වාදී න්‍යාය ශක්තිමත් වීමෙන් ඇති වන රට දෙකඩ වී යෑමේ අවධානය ‍ඉතාමත් ප්‍රබල ය. සන්ධීය රාජ්‍යයක අවශ්‍යතාවය මත නිර්මාණය වුණු සාර්ථක ලෙස සන්ධිය රාජ්‍යයන් පවත්වා ගෙන යන ස්විස්ටර්ලන්තය, ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල අත්දැකීම සමඟ අපේ අවශ්‍යතාවන් සසැඳිය නොහැක. වාර්ගික පදනමක් මත කෙරෙන බලය බෙදීමේ යෝජනා තුළින් රට තවදුරටත් බෙදුම්වාදය කරා යොමු විය හැකි ආකාරය පිළිබඳව විවිධ රටවල් උදාහරණයට ගනිමින් කෙරුණු කදිම විග්‍රහයක් මෙරට පහළ වූ විශිෂ්ට ගණයේ බුද්ධිමතකු වූ මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා විසින් රචනා කරන ලද ‘ගනඳුරක සිහිවටන’ නම් වූ කෘතියේ සඳහන් වෙයි.

බෙදුම්වාදී ව්‍යාපාර පවතිනු ඇත්තේ මෙම සුළු ජාතික මහ ජාතික මානසිකත්වය පවතින තුරු පමණි. බලය බෙදීම මෙන් ම සන්ධිය රාජ්‍යයන් ද අදාළ පාර්ශ්ව යොමු කරන්නේ සුළු ජාතික මානසිකත්වය වඩාත් හොඳින් වර්ධනය වීමට අනුබල දීමට යි. මෙවන් වූ විසඳුම් හරහා රටවල් බෙදී වෙන් වීමෙන් කෙළවර වීමට ඇති ඉඩකඩ බොහෝ ය. යුරෝපයේ ජාතික රාජ්‍යයන් පහළ වීමට බොහෝ කලෙකට පෙර සිට ම ජාතික රාජ්‍යය සංකල්පය ක්‍රියාත්මක වුණු මෙරට තුළ මෙවන් යෝජනා සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි වෙතැයි සිතීම අපහසු ය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අනුව සුළු ජාතීන් මෙන් ම මහ ජාතියක් ද නොමැති රටට ඇත්තේ රටට හිතවත් දේශප්‍රේමී බලවේග හා රටට විරුද්ධ දේශදෝහී බලවේග පමණි. මෙම මූලික කරුණු සිතෙහි තබාගෙන ඇති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හඳුන්වා දෙන අයුරින් රටට විරුද්ධ බලවේග සඳහා ගැනීමට උත්සාහ කරමු.

මෙරට යම් ජන කොටසක් තුළ සුළු ජාතික හෝ මහ ජාතික මානසිකත්වයක් වර්ධනය වීමට අනුබල දෙන අයුරෙන් ක්‍රියා කරන ඕනෑම විදේශ රටක්, පුද්ගලයකු හෝ දේශපාලන පක්ෂයක් රටට විරුද්ධ බලවේගයන් ලෙස සැලකිය හැක. මන්ද ඔවුන් ඒ තුළින් සුළු ජාතික මානසිකත්වයට සාපේක්ෂව මහ ජාතික මානසිකත්වයක් වර්ධනය වීමට ද අනුබල දෙන අතර ඒ තුළින් වර්ගවාදී සහ රට බෙදී යෑමේ අනතුරට අත වනන හෙයිනි.

දේශපාලන ප්‍රවණතා

යුද්ධය නිමා වීමෙන් පසුව ද බෙදුම්වාදී න්‍යායට අනුබල දෙන බලවේග නිවැරැදිව හඳුනා ගැනීමට උත්සාහ කරමු. අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විරුද්ධ බලවේග අතරින් ප්‍රධාන ම තැන ගන්නේ බටහිර අධිරාජ්‍යය යි. මෙහිදී මා බටහිර යන්න අර්ථ දක්වන්නේ සැමුවෙල් හංටින්ටත් විග්‍රහ කරන අයුරින් ම ඇ‍ෙමරිකා එක්සත් ජනපදය හා බටහිර යු‍රෝපීය රටවල්ය.

තවදුරටත් ලොව සංස්කෘතික හා ආර්ථික ආධිපත්‍යය රැක ගැනීම සඳහා සටනක යෙදී සිටින බටහිර ඔවුනට විරුද්ධව එල්ල වූ ප්‍රබල ම අභියෝගය එල්ල කරනු ලද්දේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානය, දෙමළ ඩයස්පෝරාව, යුරෝපා සංගමය, රාජ්‍ය නොවන සංවිධාන මෙන් ම බටහිර තානාපති කාර්යාල හරහා රාජපක්ෂ මහතාට විරුද්ධව සිදු කරනු ලබන විවිධ මෙහෙයුම් අද වනවිට ලොව දේශපාලන ප්‍රවණතා ගැන අවදියෙන් සිටින බුද්ධිමත් පාඨකයන්ට රහසක් නොවේ.

මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව ක්‍රියා මාර්ගයක් ගැනීම බටහිර න්‍යාය පත්‍රයේ අනිවාර්ය අංගයක් වනුයේ මින් ඉදිරියට කිසිම අවශේෂ රාජ්‍යයක රාජ්‍ය නායකයකු හට තම හිතූ මතයේ බටහිර බලවේග වලට විරුද්ධව ක්‍රියා කිරීමෙන් වළකන ලෙස පාඩමක් ඉගැන්වීමට යි.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව අගමැති බවට පත් වෙතැයි සඳහන් කරන රනිල් වික්‍රමසිංහ මහතා යුද්ධය අපහාසාත්මකව විවේචනය කළ අතර යුද්ධය අතර මඟ නතර කර දැමීමට අවශ්‍ය වාතාවරණයක් රට තුළ ඇති කිරීමට ද විශාල වෙහෙසක් දැරී ය. යුද්ධයෙන් පසුව ද පළාත් සභාවලට පොලිස් බලතල හා ඉඩම් බලතල දීම ද උතුරේ ආරක්ෂාව ගැන ද නොතකා හමුදා කඳවුරු ‍ඉවත් කළ යුතුය යන බෙදුම්වාදයට වාසි සහගත වන ස්ථාවරයක සිටියේ ය.

අද වුව ද වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සංධානය සමඟ එළඹ ඇතැයි තිස්ස අත්තනායක මහතා ඉදිරිපත් කළ ගිවිසුම ව්‍යාජ අස්සන් යොදන ලද ලියැවිල්ලකැයි ප්‍රතික්ෂේප කරනු ලබන නමුදු ගිවිසුමේ අඩංගු ආරක්ෂක වියදම් අඩු කිරීම, උතුරු ප්‍රදේශයෙන් හමුදා ඉවත් කිරීම, මානව හිමිකම් කඩකිරීමේ චෝදනා ඉදිරිපත් කරන රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම, 13 ඉක්මවා යන බලය බෙදා හැරීමකට එකඟ වීම යන ප්‍රතිපත්තිමය කරුණු මේ දක්වාත් ප්‍රතික්ෂේප කොට නැත. එමෙන් ම වොෂින්ටනයෙන් කෙළින් ම ලබාගන්නා උපදෙස් මත රට කරනවා යැ’ යි පවසන රනිල් වික්‍රමසිංහ අයත් වන්නේ මෙරටට හිතැති පිරිසට ද රටට විරුද්ධ පිරිසට ද යන්න තේරුම් ගැනීම එතරම් අපහසු නොවේ.

රට රැකගත් රණවිරුවන් අපහාසයට ලක්වන අන්දමේ ප්‍රකාශ පවා නිකුත් කර ඇති හිටපු රාජ්‍ය නායිකාව වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ දිනයේ පැවැති පුවත්පත් සාකච්ඡාවට සහභාගි වෙමින් ඇය විසින් ඉදිරිපත් කරන ලද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම ගැන කම්පා වූ අතර, අවශ්‍ය නම් තවමත් එය ක්‍රියාවට නැංවීම පිළිබඳව සලකා බැලිය හැකි බවත් ප්‍රකාශ කළා ය.

මෙය බෙදුම්වාදයට අනුබල දෙන ඒකීය රාජ්‍ය සංකල්පය ප්‍රතික්ෂේප කරන සහසංධිය ව්‍යවස්ථාවක් යෝජනා කරන්නක් බව මෙරට ජනතාවට තවමත් අමතක වී නැත. මේ සඳහා සහයෝගය දක්වමින් රාජ්‍ය නොවන සංවිධාන සමඟ එකතුව සුදු නෙළුම් හා තවලම් වැනි ව්‍යාපාර සංවිධානය කළ මංගල සමරවීර මහතා මෙන් ම රාජිත සේනාරත්න මහතා ද සෑම විටම බෙදුම්වාදී න්‍යායක් වෙනුවෙන් පෙනී සිටියේ ය. මෙම තත්ත්වය යටතේ මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඒකීය රාජ්‍යයක් ගැන කිසිම සඳහනක් නොවීම පුදුමයට කරුණක් නොවේ.

අම්පාර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාවට වෙන ම පරිපාලන දිස්ත්‍රික්කයක් ලබා ගැනීම සඳහා කරන ලද ඉල්ලීම මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව මුස්ලිම් කොන්ග්‍රසය පොදු අපේක්ෂකයාට සහයෝගය දැක්වීමට තීරණය කළේ ඇයි ද යන්නත්, මෙරට දෙමළ ජනතාවගේ නොව විදෙස්ගත දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයන් මෙන් ක්‍රියා කරන දෙමළ ජාතික සන්ධානය තම බෙදුම්වාදී ඉල්ලීම් වලට වඩාත් යහපත් ප්‍රතිචාරය දක්වන දේශපාලන ප්‍රවාහය සමඟ සෑම විටම එකඟ වන බවත් අමුතුවෙන් කිව යුතු නොවේ.

ඒකීය රාජ්‍යය

පොදු අපේක්ෂකයා වටා සන්ධානගතව සිටින පිරිස තවමත් 2009 ට පෙර මෙරට භාවිතා වූ යල් පැන ගිය දේශපාලන රාමුවක තවමත් හිර වී සිටින බැවින් ඔවුන් මෙම යෝජනා සමඟ එකඟවීම බලාපොරොත්තු විය යුත්තකි.

හැම විට ම මෙරට ජාතිකත්වයට විරුද්ධව පෙනී සිටි කලාකරුවන් පිරිසක් ද මොවුන් වටා එකතු වී සිටිති. මොවුන් ගෙන් වැඩි දෙනකු යුද සමයේදී රණ විරුවන්, ජාතිකත්වය මෙන් ම සංස්කෘතිය ද අපහාසයට ලක් කරමින් සිනමා සාහිත්‍ය හා කාව්‍ය නිර්මාණකරණයේ යෙදෙමින් ද සාහිත්‍ය කලා විචාරයේ යෙදෙමින් ද ඍජුව ම හෝ වක්‍ර ව හෝ බෙදුම්වාදයට ආ වැඩූ පුද්ගලයන් ය.

මීට අමතරව උගත් යැ යි සම්මත නාගරික මැද පන්තියේ කොටසක් ද පොදු අපේක්ෂකයා වටා එකතු වී සිටිනු දක්නට ලැබේ. මාර්ටින් වික්‍රමසිංහ මහතාට අනුව 1956 දී ජනතා ජයග්‍රහණය සමඟ බමුණු කුලය බිඳ වැටුන ද අදත් අප අතර බමුණු කුලයේ දෙවැනි පන්තියේ අනුකාරකයන්ගෙන් නම් අඩුවක් වී නැත.

උගත් කම තුළින් බමුණු කුලයක් වීමට තතනන, බුද්ධිමතුන් ලෙස පෙනී සිටින ජාතිකත්වය පිළිකුල් කරන ඔවුන්ගේ නොගැඹුරු මනස් තුළ බටහිර මතවාදයන් වැපිරීම පහසු ය. යල් පැන ගිය සටන් පාඨ පුනරුච්චාරණය කරමින් ජනමතය වෙනස් කිරීමට උත්සාහ දරන මෙම උගතුනට අනුව ඔවුනට නිදහසේ ජීවත් වන්නට තරම් මෙරට යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස සහ මානව අයිතිවාසිකම් නොමැති නිසා වෙනසක් සිදු කළ යුතු ය. ඒවා දිනා ගැනීම සඳහා විධායක ජනාධිපති ධූරය ද අහෝසි කළ යුතු ය. මීට අමතරව කලක් ජාතික මතවාදය සමඟ සිටි සුළු පිරිසක් ද ජනතා විමුක්ති පෙරමුණ ද මේ පිටුපස සිටිති.

බමුණු කුලය

මහින්ද රාජපක්ෂ මහතා අද නොව, මීට වසර පහකට පෙර එනම් 2009 දී කරන ලද විග්‍රහයට අනුව මොවුන් සියලු දෙනා ම රටට විරුද්ධ කොටස් ලෙස සැලකීමට සිදුවේ. ඔවුන් මේ වනවිටත් ඉදිරිපත් කර ඇති මැතිවරණ ප්‍රකාශනය මෙන් ම ඔවුන් වෙනත් පාර්ශ්වකරුවන් සමඟ ඇති කර ගත්තා යැයි කියන විවිධ ගිවිසුම් මඟින් ද මෙම තත්ත්වය පැහැදිලි වෙතැයි සිතමි. මොවුන් සියල්ලන් ම එකම පෙරමුණකට ගොනු වී සිටින නිසා හඳුනා ගැනීමේ ද අපහසුවක් නැත.

එබැවින් මෙරට බුද්ධිමත් පොදු ජනතාවට ගන්නට ඇත්තේ ඉතා ම පහසු තීරණයකි. උදා වූයේ 2015 වසරයි. කුමන්ත්‍රණ, පාවාදීම්, චරිත ඝාතන, බොරු පොරොන්දු මධ්‍යයේ ගිවිසුමක් මඟින් අපේ රට ඉංගිරිසින්ට පාවාදී හරියටම වසර 200 ක් ගත වී ඇත.

එතෙක් වසර දෙදහසකටත් වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩව පැවැති ලොව පැරණිම එකම සභ්‍යත්වයක් මත පදනම් වුණු ජාතික රාජ්‍යයක අවසානය එය විය. 1948 දී අපට ආපසු ලැබුණේ සුළු ජාතීන් සහ මහ ජාතීන්ගෙන් සැදි රටකි. මේ තත්ත්වය තේරුම් නොගත් සියලුම දේශපාලනඥයන් සුළු ජාතීන්ගේ සහ මහ ජාතියේ ප්‍රශ්න විසඳීමට උත්සාහ කළ හ.

එය කෙළවර වූයේ මහා ඛේදවාචකයකිනි. වාසනාවකට මෙන් එම ඛේදවාචකය සමථයකට පත් කිරීමට සමත් වූ රාජ්‍ය නායකයකු මෙරට බිහි විය. ඉදිරියේ දී මෙවන් තත්ත්වයක් ඇති වීම වළක්වා ගැනීම සඳහා සුළු ජාතීන් සහ මහ ජාතීන් නැති රටක් නිර්මාණය කිරීමේ දැවැන්ත වූ ද උදාර වූ ද භාර දූර්ය කාර්යයට එතුමා උර දී ඇත. මෙම දුෂ්කර ගමනේ දී එතුමා තනි නොකිරීම මෙරටට හිතැති සියලු දේශප්‍රේමී ජනතාවගේ වගකීම ද යුතුකම ද වෙයි.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්