මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»


මහනුවර සතර මහා දේවාල කප් සිටුවීමේ චාරිත්‍රය

මහනුවර සතර මහා දේවාල කප් සිටුවීමේ චාරිත්‍රය

කප් සිටුවීමේ චාරිත්‍රය පෙර රජදවස පටන් පැවත එන්නා වූ සිරිතකි. මහනුවර දළදා මාලිගාවේ නැකැත් මොහොට්ටාල විසින් දළදා පෙරහර හා සම්බන්ධ වන කප් සිටුවීම, කුඹල් පෙරහර පැවැත්වීම, දහවල් පෙරහර පැවැත්වීම ගෙවැදීම ආදි පෙරහර මංගල්‍යය අවසන් වීම දක්වා විවිධ සියලු චාරිත්‍ර වාරිත්‍ර නැකැත් වේලා දියවඩන නිලමේගේ අනුමැතිය අනුව සිදුවේ.

විශේෂයෙන් කප් සිටුවීම සතර මහ දේවාලයේ පමණක් සිදු කැරේ. කප් සිටුවීම සඳහා සුදුසු නැකැත් දළදා මාලිගාවේ නැකැත් මොහොට්ටාල පිළියෙල කර දෙයි.

පැරැණි රජදවස කප් සිටුවීමට තෝරා ගන්නා ලද්දේ ඇසළ ගසකි. අද මේ සඳහා තෝරා ගන්නේ ගෙඩි පල නොගත් ‍කොස් ගසකි. ඒ සඳහා රිකිලි 3 ක් සහිත කොස් ගසක් තෝරා ගැනීම සිරිතයි.

නැකැත් මොහොට්ටාල විසින් දෙන ලද නැකැතට අනුව ගෙඩි පල නොගත් එක අත්තේ රිකිලි 3 ක් සහිත කොස් ගසක් තෝරා ගෙන එම ගසේ දෙවියන් අධිගෘහිත නම් බැහැර වන ලෙස ආරාධනා කර විෂ්ණු දේවාලයේ වන්නකුරාළ නියමිත සුදු ඇඳුමින් සැරසී එම කොස් ගසෙන් දකුණු දෙස අත්තකින් අඟල් හතරක් පමණ විෂ්කම්භය ඇති අඩි 06 ක් පමණ දිග ලීයක් කපා ශුද්ධ කොට කපුටකුටවත් වහන්නට නොදී කට්ටකුමංජල් දුම් අල්ලා අත්ත පේ කර එය කෑලි හතරකට කපා සුදු රෙද්දක ඔතා නාථ දේවාලය ප්‍රධාන දේවාල හතරට බෙදා දෙනු ලැබේ.

සඳුන් කුඩම

දේවාල සතරෙහි සඳුන් කුඩම හෙවත් දේවගෘහයෙන් පිටත නියමිත නැකැත් වේලා අනුව අඩි දෙකක් පමණ උස් කොටසක එවන් උසට සකස් කළ ස්ථානයක අඟල් 5 ක් පමණ විෂ්කම්භය ඇති අඟල් හයක් පමණ ගැඹුරට වළක් සාදා නියමිත සුබ නැකැත් වේලාවෙහි දේවාලයෙහි කපු මහතුන් හා නිලධරයන් එකතුව එම දේවාල විහාරයන්හි වැඩවසන භික්ෂුන් වහන්සේගේ පිරිත් දේශනය හා කපු මහතුන්ගේ ස්තෝත්‍ර මැද සියලු දෙවියන්ට පහන් දල්වා සංඛ, මඟුල් බෙර, හේවිසි, හොරණෑ ආදි නාද පවත්වමින් සඳුන් කිරි පැන් ඉස කප් සිටුවා පොල් මල් හා ලෙලි සහිත පොල් ගෙඩි කප වටා තබමින් පුද පූජා සහිතව ඒ වටා දින පහක්ම පෙරහර පවත්වති.

මේ අයුරින් කප මුල්කොට කප වටා දේවාල මැදිකොට ඇතුළේ පෙරහර පැවැත්වීම දින පහක්ම සිදු කෙරේ. මුල් කාලයේ දින පහේම උදේ හා හවස මෙම ඇතුළු පෙරහැර පැවැත්වූ බව ප්‍රකටය.

ඇතුල් පෙරහර

දේවාල ඇතුල් පෙරහර දින පහක් පැවැත්වීමෙන් පසු දින පහක් කුඹල් පෙරහර ද දින පහක් රන්දෝලි පෙ‍රහර ද පැවැත්වේ. කුඹල් පෙ‍රහරේ විශේෂ චාරිත්‍රය වන්නේ රන්දෝලි ගෙන නොයාමත් බස්නායක නිලමේවරයා ගමන් නොකිරිමත් ය. සිටවූ කප ගැළවීම ද චාරිත්‍රානුකූලව සිදු කරනු ලබයි.

සිව් දේවාල පෙරහර ආපසු දේවාලවලට පැමිණ දේව පූජාවන් පවත්වා කපු මහතෙක් කුමාර ඇඳුමින් සැරසී සුවඳ දුම් කහ දියර කොතලය වැනි දේ ගෙන පෙරහරේ දේවාභරණ සහිත රන්දෝලි ද වඩම්වමින් මඟුල් බෙරහඬ මධ්‍යයේ කප ඉගිලීමේ චාරිත්‍රය ඉටු කරයි. පරවේණි හා නිලපංගුකරුවන් විසින් කප ගැළවීමෙන් පසු කප සුදු පිරුවටයක ඔතා රන්දෝලියට පිටුපසින් ගෙන යනු ලැබේ.

වට තිර ඇදීම

මේ අයුරින් සිව් දේවාල පෙරහර රන්දෝලි හා කප ද රැගෙන ගැටඹේ තොටට සිව් දේවාල කපු මහතුන් විසින් පාරුවකින් මහවැලි ගඟ ඉහළට ගොස් සුබ නැකැත් වේලාවේදී දේවාලයේ කපු මහතා අෂ්ටක කියා වට තිර මැදට වී රන් කඩුවකින් දිය කපා පැන් භාජනයකට පුරවා ගනී. සෙසු කපු මහත්වරු ද ඒ අනුව දිය කපා පැන් පුරවා ගනී.

දිය කැපුම් පාරුව දිය කපා අවසානයේ දී ගං ඉවුරට ළඟාවත්ම දිය කපන තොටේ කප තබාගෙන සිටින්නා කප රැගෙන ඔරුව යටිපහු කොට දිය යට කිමිද එම කප දියේ පා කර හැර නා පිරිසුදු වී හඳුන් කල්කයෙන් තිලක තබා තොටුපළේ තාවකාලිකව තබා ඇති රිට්ටා ගෙට යයි. කප් සිටුවීමේ චාරිත්‍රය එතෙකින් නිමාවට පත් වේ.

මෙම ලිපිය සැකසීමේදී සිරි දළදා සරණිය ග්‍රන්ථයෙන් තොරතුරු ලබාගත් අතර කප් සිටුවීමේ චාරිත්‍රයේ විශේෂ අවස්ථා විස්තර කළ පත්තිනි දේවාලයේ ජ්‍යෙෂ්ඨ බස්නායක නිලමේ රොහාන් සාලින්ද පරණගම මහතාට විශේෂ ස්තුතිය හිමි වේ.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්