මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»


1936 රාජ්‍ය මන්ත්‍රණ සභා ඡන්දය:

1936 රාජ්‍ය මන්ත්‍රණ සභා ඡන්දය:

වර්ෂ 1931 සිට 1947 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූයේ ඩොනොමොර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවයි.

ඩොනෝමෝර් සාමිවරයාගේ සභාපතිත්වයෙන් යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කොමිසමක් මඟින් හඳුන්වා දුන් එම ආණ්ඩු ක්‍රමය අනුව සර්වජන ඡන්ද බලයෙන් මන්ත්‍රීවරු 50 ක් තෝරා පත් කර ගන්නා ලදී. තවත් මන්ත්‍රීවරුන් 8 දෙනෙක් ආණ්ඩුකාරයා විසින් පත් කරන ලදී.

1931 බලයට පත් ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව 1935 දෙසැම්බර් 7 වැනි දින විසුරුවා හැර දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා 1936 ජනවාරි 15 වැනි දින නාම යෝජනා බාර ගැනීම සිදු විය. මැතිවරණය පෙබරවාරි 22 සිට මාර්තු 07 දක්වා පැවැත්විණ.

මේ මැතිවරණය සඳහා විවිධ ප්‍රචාරක ක්‍රම උපයෝගී කර ගන්නා ලදී. කුඩා පෙරහර සැදී ගමන් කිරීම එක ප්‍රචාරක යාන්ත්‍රණයක් විය. මේ පෙරහරවල සුලභ දර්ශනයක් වූයේ කොටි නැටුම් ය. එසේ ම ප්‍රචාරක පත්‍රිකා සහ කවි මඩු ද රබන් කරත්ත ද දක්නට ලැබී ඇත. එසේ ම මැතිවරණය සඳහා ම විශේෂ වූ ප්‍රවෘත්ති පත්‍ර ද පළ විය.

1936 පෙබරවාරි මාසයේ නිකුත් වූ ජයබිම THE JAYABIMA නම් ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ පුවත් පත විමසා බලන විට එදා පැවැති භාෂාව, දැන්වීම් කලාව සහ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට පිළිවන.

1936 මැතිවරණයේ නාම යෝජනා දිනයේ දී නිතරගයෙන් මන්ත්‍රීවරු 07 ක් පත් විය. ඒ පිළිබඳ ප්‍රවෘත්තිය පළවන්නේ මෙසේ ය.

සිරස්තලය යොදා තිබෙන්නේ “වාසනාවන්ත මන්ත්‍රීවරු සත් දෙනා” යනුවෙනි. ප්‍රවෘත්තිය පහත සඳහන් පරිදිය.

වාසනාවන්ත මන්ත්‍රීවරු

“සමස්ත ලංකාවාසීන්ගේ ගෞරවයට පාත්‍ර වූ වාසනාවන්තයින් සත් දෙනෙකි. සිය කොට්ඨාසවල ගෞරවය දිනාගත් මහතුන් තරගයක් නොමැතිවම ඒ ඒ කොට්ඨාසවල මන්ත්‍රීවරුන් හැටියට පත් විය. කැලණියට ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මහතා ද, මිනුවන්ගොඩට ඩී. එස්. සේනානායක මහතා ද, වේයන්ගොඩට ඇස්. ඩබ්ලිව්. ආර්. ඩයස් බණ්ඩාරනායක මහතා ද, හලාවතට ජී. සී. ඇස්. කොරෙයා මහතා ද, කුරුණෑගලට ජේ. එල්. කොතලාවල (පසුව සර් ජෝන් කොතලාවල) මහතා ද, අනුරාධපුරයට එච්. ආර්. ප්‍රීමන් (උතුරු මැද පළාතේ හිටපු මහ දිසාපති) මහතා ද, කයිට්ස්වලට එස්. දොරේසාමි මහතා ද පත් වූ බැවින්, එම ජනහිතකාමී මහතුන්ගෙන් සිය රටේ අභිවෘද්ධිය පිණිස කළ යුතු සේවය නොපිරිහෙළා ඉටු කරනවාට සැක නැත. අපේ ගෞරවාදර ස්තුතිය ද හිමි වේවා.!”

1936 දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවට අවිස්සාවේල්ල වෙනුවෙන් පිලිප් ගුණවර්ධන මහතා තරග කෙළේය. ඔහු වෙනුවෙන් ලියැවුණු කවියකි මේ.

ඔලුවට පොලු පහර ආවත් හෙණ වදින
කිසි විට බිය නොවී තම යුතුකම ලෙසින
සමයට දෑ රටට නිතියෙන් වැඩ කරන
මැතිඳුට නුදුන්නොත් වරදකි හෙණ ගහන

නිදහස් අධ්‍යාපනයේ පියා වූ ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා එදා මතුගම ආසනයට තරග කෙළේය. ඔහු වෙනුවෙන් පළ කවි පෙළකින් එක කවියක් මෙසේ ය.

පැරකුම් දුටුගැමුණු ආදි දරුවන් නැති මේ කාලේ
මගෙ පෙම්බර ලක්මව වැලපෙද්දි පැටලී පඹ ගාලේ
ඇගෙ දොම්නස් නසාලන්ට උපන් මැතිද සැම කාලේ
සිරි සම්පත් ලබා සැරද පැලඳ මෙ කවි මල් මාලේ

සේනාධිපති ටී. ජි. ජයවර්ධන මහතා එදා බළන්ගොඩ ආසනයට තරග කෙළේය. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පියාගේ සහෝදරයකු වූ ටී. ජී. ජයවර්ධන මහතාට ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටින්නේ මේ අයුරිනි.

නිලය නොතකා වැඩ කළ ශ්‍රේෂ්ඨ මහජන මිත්‍රයා යන සිරස්තලය යටතේ මෙසේ සඳහන්ය.

“අවුරුදු කීපයක් තුළ දී අතිවිශාල මෙහෙයක් බළංගොඩ පළාත් වාසින්ට අත්කර දුන්, වීර සේනාධිපතිතුමා යළිත් එම ආසනයට අගති විරහිතව පත්කර ගැනීම කෙළෙහි ගුණ දත් ඡන්ද දායකයන්ගේ යුතුකමකි.

කෝට්ටේ සිංහයා - හොරණට

කෝට්ටේ සිංහයා යැයි නිදහස් සටනේ දී හඳුන්වන ලද ඊ. ඩබ්ලිව්. පෙරේරා මහතා තරගයට ඉදිරිපත්ව සිටියේ හොරණ ආසනය වෙනුවෙනි. ඒ මහතා වෙනුවෙන් පළවූ දැන්වීම මෙසේ ය.

“හොරණ ආසනයට නොව ලක්දිව කොයිම ආසනයක් වෙනුවෙන් වුවත් තරගයක් නැතිව පත්කර යැවිය යුතු ඊ. ඩබ්ලිව්. පෙරේරා මහතා සමඟ තරග කිරීමට දේශපාලනයෙහි අසමත් කෙනෙක් ඉදිරිපත්ව සිටිනු දැක්ම ඛේදයකි.

ඡන්දදායකයනි අගති විරහිතව කල්පනා කරනු මැනවි. මෙතරම් සුදුසු කෙනෙකු අත්හැර කාසියට ගමේකමට වාල් වුවහොත් රටටත්, ජාතියටත් තමුන්නාන්සේලා කරනු ලබන්නේ විපතක් බව සලකා සුදුස්සාට පුටුව දීමට තරයේ සිත්වලට ගනු මැනවි...”

සත්ගුණවත් ජයවීර කුරුප්පු

එදා රත්නපුර ආසනයට තරග වැදුණු ජයවීර කුරුප්පු මහතා පසු කලෙක අගමැති බණ්ඩාරනායක මහතාගේ රජයේ සංස්කෘතික ඇමැති තනතුරට පත්විය. 1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේ දී ජයබිම ‍පත්‍රයේ පළ වූ දැන්වීම මෙසේ ය.

“පොරොන්දු කඩ කළ හිටපු මන්ත්‍රීවරයාට විශ්‍රාම දී පළාතේම පදිංචිව සිටින සත්ගුණවත් ජයවීර කුරුප්පු මහතා රත්නපුර ආසනයට පත්කර ගැනීම පළාතේ ගෞරවය ආරක්ෂා කරන්නන්ගේ යුතු කමකි.”

පසු කලෙක ශ්‍රී ලංකාවේ අගමැතිවරයකු වූ ඩඩ්ලි සේනානායක මහතා ඩී. ඇස්. සේනානායක මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයාය. ඩඩ්ලි සේනානායක මහතා 1936 මැතිවරණයේ දී දැදිගම ආසනයට තරග කෙළේය.

දැදිගම ආසනයට සුදුස්සා මැයෙන් වූ දැන්වීම මෙසේ ය.

රට, ජාතිය, ආගම, උදෙසා සිත, කය ධනය යොදවන කීර්තිමත් සේනානායක වීරවරයන්ට ගෞරව කිරීමක් වශයෙන් දැදිගම ආසනයට මෙතුමා පත් කර ගනිමු.

පරාර්ථකාමී ඩඩ්ලි

පරාර්ථකාමී අධිනීතිඥ ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක තරුණ මහතා,

අතිගරු සේනානායක මැති මෙන් ද සුරූ
නො අයුරු ඉඳුව ජාතික වැඩ වඩන සුරු
මැතිවරු මෙලක් පාලන රද සබට ගරූ
පිවිතුරු සුදුස්සෙක යනු කියනෙමි නොබොරු

වාමාංශික ව්‍යාපාරයේ නායකයකු වූ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ මහතා පිළිබඳව එන සඳහනකි මේ.

කන්කසන්තුරේට නඩේසන්

මොරවක හිටපු කථිකේශ්වර මන්ත්‍රීවරයා යළිත් පත්කර ගැනීමෙන් නුපුරුදු කෙරුන්කාරයන්ට වඩා යහපතක් සිදුවනවා ඇත. විසාරද දේශපාලන ඤාණයක් ඇති වික්‍රමසිංහ මහතාට ජය වේවා.

ද්‍රවිඩ අපේක්ෂකයන් පිළිබඳව ද මෙහි ප්‍රචාරයක් දී තිබේ. කන්කසන්තුරේ ආසනය එස්. නඩේසන් යාපනය ආසනය ඒ මහාදේව, හැටන් ආසනය එල්. රාජරත්නම් මහත්මිය, ත්‍රිකුණාමලය - මඩකළපුව ආසනය ඊ. ආර්. තම්බිමුත්තු, තලවකැලේ ආසනය ඩී. ඊ. හැමිල්ටන්, පේදුරු තුඩුව ආසනය සඳහා ජී. ජී. පොන්නම්බලම් යන මහත්වරුන් සඳහා ඡන්දය ලබා දෙන්නැයි මේ ප්‍රකාශනයේ ඉල්ලීම් කර තිබේ.

ජයබිම

ජයබිම පුවත්පතේ කර්තෘවරයා ඉඳුරුවේ දයානන්ද ජේ. ප්‍රේමතිලක නම් පුවත්පත් කලාවේදියෙකි. එහෙත් කාර්යාලයීය ලිපිනය අංක 110, දෙවන මරදානය. පත්‍රයේ කලාපයක මිල සත 15 කි.

කර්තෘවරයාගේ සටහනක් එහි පළව තිබේ. ඒ මෙසේ ය.

“මෙවර රාජ්‍ය මන්ත්‍රණ සභාවට යැවිය යුතු ඉතාම සුදුස්සන් අගති විරහිතව තෝරා ගෙන ඒ මහතුන්ගෙන් පින්තුර හෝ බ්ලොක් ඉල්ලා යවන ලද සමහර ලියුම්වලට පිළිතුරු මේ වනතුරුත් නො ලැබිණි. හේ කෙසේ වුවත් අපේ යුතුකම ඉටුකිරීමක් වශයෙන් පින්තූර නැති වුණත් ඒ ඒ ආසනවලට සුදුස්සා අසවලා යැයි හැඳින්වීමු. පමාවී ලැබුණු බ්ලොක්ස් වෙනම ඇතුළත් කරන්ට සිදුවූ බව කරුණාවෙන් සලකනු මැනවි. අපි සුළු යැයි සිතූ ප්‍රභූන්ට මින් පාඩමක් ඉගෙන ගන්ට ලැබීම ගැන ප්‍රීති වෙමු.”

දේශපාලනඥයන්ට ප්‍රචාරය

මෙම ප්‍රකාශනය මඟින් ප්‍රසිද්ධිය දී දේශපාලනඥයන් අතර මාතර ආසනයේ රාජා හේවාවිතාරණ, වැලිගම ආසනයේ ඩේවිඩ් වනිගසේකර, මහනුවර ආසනයේ ජෝර්ජ් ඊ. ද සිල්වා, ගලගෙදර ආසනයේ පී. බී. රණරාජා, ගම්පොළ ආසනයේ ටී. බී. පානබොක්කේ, බදුල්ල ආසනයේ ඩී. එච්. කොතලාවල, කළුතර ආසනයේ නීතිඥ ඇලෝසියස් ප්‍රනාන්දු, මොරටු ආසනයේ ඩබ්ලිව්. ආතර් ද සිල්වා, පාණදුර ආසනයේ සුසන්ත පොන්සේකා, ගම්පහ ආසනයේ නෝබට් පෙරේරා, උඩුගම ආසනයේ නීල් හේවාවිතාරණ, මාතලේ ආසනයේ බර්නාඩ් අලුවිහාරේ, ගාල්ල ආසනයේ හෙන්රි අමරසූරිය, පුත්තලම ආසනයේ ශ්‍රීමත් එච්. එල්. ද මැල්, නාරම්මල ආසනයේ සිරිපාල සමරක්කොඩි, බණ්ඩාරවෙල ආසනයේ පී. බී. බණ්ඩාරනායක, දුම්බර ආසනයේ ඒ. රත්නායක, නුවරඑළිය ආසනයේ ඊ. ඩබ්ලිව්. අබේගුණසේකර, බලපිටිය ආසනයේ රාජනීතිඥ ප්‍රැන්සිස් ද සොයිසා, උතුරු කොළඹ ආසනයේ දොස්තර ඇස්. ඊ. පෝල්, දකුණ කොළම ආසනයේ ආචාර්ය ඒ. පී. ද සොයිසා, බිබිල ආසනය එඩ්වින් ගුණසිංහ, කටුගම්පොළ ආසනයේ ආර්. එස්. තෙන්නකෝන්, මීගමුව ආසනයේ ටියුඩර් රණසිංහ, කෑගල්ල ආසනයේ ඩබ්ලිව්. ඊ. බැස්ටියන්, රුවන්වැල්ල ආසනයේ ඇඩ්ලින් මොලමුරේ ආදි අපේක්ෂකයෝ වෙති.

නීතිඥ ඇලෝසියස් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පළ කළ පහත සඳහන් දැන්වීම වඩාත් විශේෂ ස්ථානයක් ගනී.

“කළුතර ආසනයේ හිටපු මන්ත්‍රීවරයා ණය ගැතිවීම, මන්ත්‍රණ සභාවේ දී නිකන් ඉඳීම ආදිය නිසා කීර්තිය ලත් කෙනෙකි. එබැවින් ඒ මහතාට විශ්‍රාම දී නීතිඥ ඇලෝසියස් ප්‍රනාන්දු මහතා මෙවරට කළුතර මන්ත්‍රීවරයා හැටියට තෝරා පත්කර ගැනීම එම පළාත්වාසීන්ගේ භාග්‍යයකි...”

ඉංගිරියේ හරිශ්චන්ද්‍ර කවිතිලක නම් කවියකු විසින් රටවැස්සාගේ කෝපය නමින් ලියන ලද කවි පෙළකි.

හෙට්ටි ද බංගලි රට්ටු කෙරෙන්නෙය සල්ලි බලෙන් අරගත්තු
මන්ත්‍රි සබාවට රිංගු වෙලේ සිට හැංගි බයේ මළ කෝලම්
උන්දැ කරන්නෙ මොකක්ද කලත් නැති සංගෙ වැඩක් හරි නෑ
පන්න දමව් ලක මන්ත්‍රී සබා ජය භූමි වෙතින් උන්දැලා

හැත්ත බුරුත්ත බොහෝම විසල් මහ බක්කො කටින් පමණක් වේ
කන්ට අඳින්ට නිදාගෙන ඉන්නට යන්නට එන්ට තැනක් නෑ
ඒම එවුන් මැද මන්ත්‍රී සභා ජය ගත්ත නමුත් ගිය වාරේ
එන්ට එපා අද නම්බු පිටින් පවසම්හ මහත්වරු කාටත්


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්