මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»


ගැමි රස කතා

ගැමි රස කතා

හොරු ඇල්ලීම

මෙය මා කුඩා කාලයේ දී එනම් පනහේ දශකයේ අග භාගයේ දී පමණ අපේ ගමේ සිදුවූ සිද්ධියකි. පිටිසර ගමක් වූ අපේ ගමේ එවකට කුඩා සිල්ලර කඩ දෙකක් තිබුණි. බොහෝ දුරට ස්වයංපෝෂිත වූ ගම් වැසියන් කඩයෙන් මිලදී ගත්තේ පොල්, කරවල, ලුණු, සීනි, ලාම්පු තෙල් වැනි භාණ්ඩ කීපයක් පමණි. ගමේ කඩයේ බඩු මිල අධික වූ බැවින් සමහරෙක් සැතැපුම් පහක් පමණ දුර ගෙවා ආසන්නතම නගරයට පයින් ගොස් සති කීපයකට සෑහෙන භාණ්ඩ මිලදී ගැනීමට පුරුදු වී සිටියහ. එක් කඩයක හිමිකරුගේ නම ඒබ්‍රහම් වුවත් කවුරුත් ඔහු හැඳින් වූයේ ඒබරම් ලෙසිනි. අනෙක් කඩයේ හිමිකරු වූයේ බණ්ඩා මුදලාලිය. මේ දෙකම සිල්ලර කඩ වුවත් අවශ්‍ය නම් තේ කෝප්පයක් වුව ද බීමට පහසුකම් තිබුණි. ගමේ ප්‍රධානියා වූයේ ආරච්චිල නොහොත් ගම් මුලාදෑනි මහතාය. ඔහුගේ නිවසේ ඉදිරිපස බිත්තියේ “විලේජ් හෙඩ්මෑන්” යනුවෙන් ඉංග්‍රීසියෙන් ලියු පුවරුවක් සවිකර තිබුණා මට මතකය.

එක් දිනක උදෑසන ඒබරම් මුදලාලී ගම්මුලාදෑනි නි‍ෙවසට පැමිණ පෙර දින රාත්‍රියේ කිසිවකු තම කඩයේ වහලයෙන් බැස එහි තිබූ මුදල් සොරකම් කරගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් කළේය. ඉණිමඟක් රැගෙන විත් එය වහලයට තබා ඇතුළට බැස ඇති බව ද එම ඉණිමඟ දමා ගොස් ඇති බවට ද පැමිණිල්ලෙන් සඳහන් කළේය. එය ගමේ සිටි නමගිය හොරෙකු වූ බගිඩියාගේ වැඩක් විය හැකියැයි මුදලාලි පැවසුවත් ගම් මුලාදෑනි එය ප්‍රතික්ෂේප කළේ බගිඩියා කිසි දිනක ගමේ සොරකමක් නොකරන බවට ද ඔහු සිදුකරන්නේ නගරයකට ගොස් තරමක් විශාල පරිමාණයේ සොරකම් බවට ද ඔහු තුළ තිබූ විශ්වාසය නිසාය. ගම් මුලාදෑනි ඒබරම් මුදලාලිට උපදෙස් දුන්නේ ඉණිමඟ අයිති කාටදැයි සොයා ගතහොත් සොරා අල්ලා ගැනීමට පහසු වන බවය. ඉණිමඟ අයිතිකරුම සොර විය හැකි බවට ඔහු පූර්ව නිගමනයකට බැස්සේය.

ඒබරම් මුදලාලි ද ඉණිමඟ කාගේ දැයි විපරම් කළත් සොයා ගත නොහැකි විය. එහෙත් පුදුමයකට මෙන් ඊට පසු දින උදේ බලන විට එම ඉණිමඟ අතුරුදන් වී තිබුණි. එදින උදෑසන ගම්මුලාදෑනි නිවසට පැමිණි බණ්ඩා මුදලාලී තම කඩයට ඉණිමඟක් තබා සොරෙකු ඇතුළු වී මුදල් සොරාගෙන ගොස් ඇති බවට ද ඉණිමඟ දමා ගොස් ඇතිබවට ද පැමිණිල්ලක් කෙළේය. එයින් පුදුමයට පත්වූ ගම් මුලාදෑනි පැවසුවේ සොරකම් දෙකම කරන්නට ඇත්තේ එකම සොරකු බවය. ඒ සඳහා කවුරුත් එකතු වී ඉණිමඟ අයිතිකරු ඉක්මනින් සොයා ගත යුතු බවත් ඉන් පසුව ඔහු පොලීසියට බාර දෙන බවත් ගම්මුලාදෑනි පැවසුවේය. ඉණිමඟ අයිති කාටදැයි බණ්ඩා මුදලාලි සමඟ ගමේ ඇවිද සොයා ගෙන එන ලෙස තම නිවසේ මෙහෙකරු ලෙස සිටි මුදියන්සේ ද පිටත්කර හැරියේය. මුදියන්සේ ගිය පයින් ම ආපසු ආවේ “ඉණිමඟ අයිතිකාරයා නම් හොයා ගත්තා දැන් ඉතින් පොලීසියට අල්ලලා දෙමු” යි කියා ගෙනය. “දැන්ම ම මං පොලිසි යනවා ඊට ඉස්සර ඕකට පාර තුන හතරක් නෙළන්ට හිතයි. ඊට ඉස්සර ඉණිමඟ කාගෙද කියාපන්” යි ගම් මුලාදෑනි සතුටෙන් ඉපිළෙමින් ඇසුවේය. “ඒක තමුන්නාන්සේගේ ගෙදර දර මඬුවේ තිබ්බ ඉණිමඟ” යි මුදියන්සේ සිනාසෙමින් පැවසුවේය.

පාලම් කොඩි මට්ටු කිරීම

මළ ගෙයක් වූ විට ඒ බව දැනුම් දීම සඳහා ද මරණය සිදුවූ නිවසට යන පාර පෙන්වීමි සඳහා ද කීප පොළකම පාලම් කොඩි දැමීම සෑම ගමකම අනිවාර්යයෙන් සිදු වේ. පාලම් කොඩිවල පාර හරහා වැටෙන තිරස් කොටස ද දෙකෙ‍ළවරින් පහතට එල්ලා වැටෙන සිරස් කොටස් දෙක ද දක්නට ලැබේ. මෙහි සඳහන් ගමේ ද මළ ගෙයක් සිදුවී මරණාධාර සමිතිය මඟින් මහා මාර්ගයේ සිට මරණය සිදුවූ නිවස දක්වා හන්දිවල එම කොඩි ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන ලදී.

එය තද සුළං සහිත කාලයක් වූ බැවින් කොඩිවල සිරස් කොටස් සුළඟට පැද්දී මඟ යන්නන්ගේ සිරුරුවල ද වාහනවල ද අවට ගස්කොළන්වල ද වෙලී පැටළෙන්නට වීම ගැටලුවක් විය. කොඩිවල සිරස් කොටස් ඉරි යාමට ද එය හේතුවක් විය. මේ තත්ත්වය නිරීක්ෂණය කළ මරණාධාර සමිතියේ නිලධාරීන් කීප දෙනෙක් එය වැළැක්වීම සඳහා කොඩිවල එල්ලා වැටෙන සිරස් කොටස්වල අග කිසියම් බරක් එල්ලා තබන්නේ නම් සුළඟට ඔරොත්තු දීමට සැලැස්විය හැකි බව තීරණය කළහ. ඒ අනුව අවටින් අහුලා ගත් ගල් කැට කොඩිවල සිරස් තීරුවල ගැට ගසා තැබීමට කටයුතු කරන ලදී. ඉන් පසුව කොඩිවල කොටස් පැද්දීම අඩු විය. එහෙත් නොසිතූ පරිදි කුණාටුවක් වැනි සුළඟක් හමා ගියේය. එහි ප්‍රතිඵලය වූයේ ඒ අවස්ථාවේ කොඩි යටින් ධාවනය කරමින් තිබූ එක් වාහනයක වා මුවා වීදුරුව (වින්ඩ් ස්ක්‍රීන්) සුළඟින් පැද්දී ආ කොඩි කෙළවරක තිබූ ගලක් වේගයෙන් වැදී කුඩු වීමය. මේ ලෙසින්ම තවත් වාහනයක පැති වීදුරුවක් ද කුඩු විය. මේ සිදුවීමෙන් පසුව ගල් එල්ලීමට මුල් වූ අය ගල් ඉවත් කිරීමට කටයුතු කළත් ඔවුනට බැණුම්වලින් හා සමච්චලයෙන් බේරීමට නොහැකි විය.

ආරච්චිලට පාඩමක්

උඩරට ප්‍රදේශයේ පැරැණි ගම්වල වැඩිහිටි පිරිමින්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ගොවිතැන වූ අතර එකල සෑම ගමකම යහමින් තිබූ කිතුල් ගස්වල මල් මැදීමෙන් ද අමතර ආදායමක් උපයා ගැනීමට ඔවුනට හැකි විය. කිතුල් මල් මැදීමෙන් ලබා ගන්නා ඇල්තෙලිජ්ජ උණුකර හකුරු හෝ පැණි ලබා ගැනීමට හැකි වූ අතර ඇතැමෙක් ඊට අමතරව රා නිෂ්පාදනයට ද පෙලඹී සිටියහ. එහෙත් රා නිපදවීමත් විකිණීමත් නීතියෙන් තහනම් වූ අතර අවට පොලීසිවලින් ගම්වලට පැන රා මදින්නන් අල්ලා ගැනීම් ද විරල නොවීය. මේ සඳහා එවකට ගම් බාරව සිටි ආරච්චිලට ද කිසියම් කාර්යභාරයක් පැවරී තිබුණි. මෙහි සඳහන් කතාව එවැනි ආරච්චිල කෙනකු හා රා මදින්නකු පිළිබඳවය.

සිරිපාල එවකට තරුණ වියේ පසුවිය. ඔහු පුරුද්දක් ලෙස කිතුල් මල් මැද ලබා ගත් තෙලිජ්ජ වැඩි කොටසක් රා නිෂ්පාදනය සඳහා යොදා ගත් අතර සුළු ප්‍රමාණයක් පැණි හා හකුරු සෑදීමට යොදා ගත්තේය. එවකට ගමේ සිටි ආරච්චිල රා බීමට ගිජුකමක් දැක්වුවත් ගමේ අය රා නිෂ්පාදනයට උනන්දු කළේ නැත. ඒ ගමේ රා පොලීසියට අසුවුවහොත් පොලීසියෙන් හා කෝරාලගෙන් තමන්ට දොස් ඇසීමට සිදුවන නිසාය. එක් දිනක් සවස සිරිපාල රා මුට්ටියක් රැගෙන යමින් සිටියදී ආරච්චිලගේ අතටම අසු විය. ඔහු රා මුට්ටිය බිම දමා ඉවතට ගිය අතර ආරච්චිල රා මුට්ටියට කට තබා බීගෙන බීගෙන ගියේය. ඇතිතරම් රා බීමෙන් පසු ඔහු සිරිපාල එපා කියා කෑගසද්දීත් මුට්ටියට පයින් ගසා කුඩුකර ආයෙත් රා වක්කර අසුවුවහොත් බලා ගන්ට පුළුවන් කියා වෙරි මරගාතේ යන්නට ගියේය. මෙම සිද්ධිය නිසා සිරිපාල ආරච්චිල ගැන දැඩි කේන්තියකින් සිටියේය. දිනක් සැලසුම් කළ ලෙස සිරිපාල ආරච්චිල එන මඟට රා මුට්ටියක් ගෙන දුව ගියේය. ආරච්චිල දැක බියපත් බවක් පෙන්වා රා මුට්ටිය බිම දමා ඔහු පලා ගියේය. එදින ද ඇතිතරම් රා බී ගත් ආරච්චිල සිරිපාලට බැණ වදිමින් මුට්ටිය ද කුඩුකර යන්නට ගියේය. එදින ජාපාල ඇට යෙදු සිරිපාලගේ රා බීමෙන් හොඳහැටි බඩ විරේක කරගත් ආරච්චිල ඉන් පසු සිරිපාලගේ රා බීවේ වත් ඔහුට කරදර කළේ වත් නැත.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්