මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»


එලොවටත් යන මනසේ රෝග දුරුකරමු

ධර්ම සේවනය

එලොවටත් යන මනසේ රෝග දුරුකරමු

මිනිසුන් ලෙස අපට ලද හැකි පරම ලාභය නිරෝගීකම බව දහමේ සඳහන් ය. කායික හා මානසික වශයෙන් නිරෝගී බව දෙයාකාරය. ඒ අතර ගතින් නිරෝගී පුද්ගලයන් සොයා ගැනීම අපහසු නැත. එහෙත් මේ පුහුදුන් ලෝකයේ මනස නිරෝගී කෙනෙක් සොයා ගැනීම ඉතා අසීරුය.

මිනිස් සිතේ හට ගන්නා විවිධාකාරයේ සිතිවිලිවලින් මනස දූෂිත වේ. ලෝබ, දෝස, මෝහ ආදිය ඊට බලපාන ප්‍රධාන සාධකයන් ය. එම අකුසල් සිතිවිලිවලින් අපිරිසුදු වූ මනස පිවිතුරු බවට පත් කර ගැනීමට නම් අලෝබ, අදෝෂ, අමෝහ යන කුසල් මූලයන් මුල් කරගනිමින් කටයුතු කළ යුතුවේ. එසේ යම් පුද්ගලයෙක් කුසලයට මුල් තැන දුන් සිතින්, පහන් වූ සිතින් යමක් කියයි නම්, කරයි නම්, සිරුර නොහැර යන සෙවණැල්ල සේ ඔහු පසුපස සැපය ලුහුබඳින බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.

ධම්ම පදයේ එය වඩාත් විස්තර කරමින්, සිතේ හටගන්නා වූ කුසලාදී ධර්මයන්ට සිතම මුල්වන බව, ඒවා සිතම පෙරටු කොට, ශ්‍රේෂ්ඨ කොට පවතින බව, සිතින් ම උපදින බව පෙන්වා දුන්හ. කොපමණ ධන සම්පතින් ආඪ්‍යව සිටියද, කෙනෙක් මිය යන මොහොතේ මෙලොවින් කිසිවක් ගෙන යන්නේ නැති බව ධර්මයට අනුව අපි දනිමු. එහෙත් පරලොව ජීවිතය සාර්ථක හෝ අසාර්ථක බවට පත් කිරීමට සිතේ උපදින සිතිවිලි සමුදාය හේතු වේ. පුද්ගලයකු ගේ ජීවිතය ඉහළට හෝ පහළට ගෙන යන්නට හේතු වන්නේ ඒ සිතිවිලි මිස දෙව් බඹුන් ආදී බලවේග නොවේ. එහි වගකීම තමන්ටමය. ‘යාදිසං වපතේ බීජං - තාදිසං ලබතේ ඵලං’ යන ධර්ම පාඨය විමසන්න. තමන් වපුරන්නේ, එසේත් නැතිනම් සිටුවන්නේ කුමක් ද? ඊට අනුව එහි ඵල ලැබේ ය යනු එහි අර්ථයයි. ඉන් පැහැදිලි වන්නේ ද තමන් කරන කියන දෙයට අනුව තමන්ට ප්‍රතිඵල ලැබෙන බවය.

බුදුරජාණන් වහන්සේ එය තවත් විග්‍රහ කරමින්, සිය මව හෝ පියා හෝ වෙනත් හිතවත් ඥාතිවරයෙක් හෝ තමන්ට උදවු උපකාරවලට වඩා යහපත් මනසින් යුතුව කරන ක්‍රියාවලිය අපට උපකාර කරන බව පැහැදිලි කර ඇත. අප අද අත්විඳින ජීවිතයේ මෙන් ම මරණින් මතු ද අභිවෘද්ධිය තීරණය කරන්නේ එසේ නොකිලිටි සිතින් කරන ක්‍රියාවන් ය. අප ගේ ස්වාධීනත්වය අපට ම පවරා දුන් බුදුරජාණන් වහන්සේ අප මුහුණ දෙන්නා වූ අනේක විධ දුක්ඛ දෝමනස්සයන් ගේ මෙන් ම සැප බලයන්ගේ ද වගකීම අප සතු වන බව පෙන්වා දුන්හ. මේ නිසා මනස පිළිබඳව අවදියෙන් සිටීමත්, අපිරිසිදුවන්නට නොදී රැක ගැනීමත් ඉතා වැදගත් වේ. පිරිසිදු මනසක් ඇති කර ගන්නේ කෙසේ ද? අප ගේ මනස අපිරිසිදු වීමට, විකෘති වීමට බලපාන හේතු සාධක රැසක් බුදු දහමේ පෙන්වා දේ. මොහොතින් මොහොත ඉපදෙමින් අප පීඩාවට පත්කරන අතෘප්ති කර ආශාවන් එහිදී ප්‍රධාන වේ.

ආශාව නිසා අසහනයෙන් පෙළෙන මිනිසා ඒ ඔස්සේ හඹා යන්නට පටන් ගනී. ඒ හඹා යාම විසින් නිර්මාණය කරනු ලබන්නේ ද ලිහා ගත හැකි නොහැකි ගැටලුය. බලකාමයෙන්, යසස් කාමයෙන් අසහනයට පත්ව, ඒවා තමන් සතු කරගැනීම උදෙසා කරන අරගලය තව තවත් අප ආගාධයට ඇද දමනු විනා ඉන් ගලවා ගැනීමක් සිදු කරන්නේ නැත. ඒ සඳහා ඇති එකම මග මනස පාලනය කර ගැනීම ය. එහෙත් මනස පාලනය කිරීම ඉතා අසීරු කරුණකි. ඒ දීර්ඝ කාලයක් පුරා විවිධාකාරයේ අත්දැකීම් සමඟ මනස ක්‍රියාත්මක වීම නිසාය. එමනිසා මනස සංවර කරගත හැක්කේ ක්‍රමානුකූලවය.

මහ කැලෑවක වෙසෙන වල් අලියකු පිළිබඳව මොහොතකට සිතන්න. එම සතා එකවර අල්ලා හීලා කරගන්නට යාමෙන් ඇතිවන තත්ත්වය කෙබඳු‍ වේද? එය වටහා ගැනීම පවා අසීරුය. එහෙත් ක්‍රම ක්‍රමයෙන් ඒ සතා හීලෑ කර ගන්නට පුළුවන. එවිට ඒ සත්ත්වයා අපට අවශ්‍ය ආකාරයට මෙහෙයවා ගැනීම අසීරු නොවේ. අපගේ සිත ද මේ හා සමානය. කැලෑවේ වෙසෙන අලියාත්, හීලෑ වූ අලියාත් අතර වෙනස මහත් ය. කැලෑ අලියා සේ, අනාදිමත් කාලයක් පුරා සංසාරයේ එක් එක් ආත්ම බවයන් හි විවිධාකාර අත්දැකීම්ලින් ව්‍යාකූල වූ මනස එකවර සංවර කර ගැනීම අසීරුය. එය කළ යුතු වන්නේ ක්‍රමානුකූලව ය. පාරමිතා නමින් දැක්වෙන්නේ ඒ ක්‍රියාවලිය යි. පාරමිතාවෙන් පුරුදු පුහුණු කරන්නේ අදාන්ත වූ, අසංවර වූ මනස දාන්ත බවට, සංවර තත්ත්වයට පත් කිරීමය. ලෝබ සහිත සිතේ ලෝබය දුරු කරන්ට, රාගී බවින් දූෂිත සිත විරාගී බවට පත් කිරීමට මෙම පාරමිතාව උපයෝගී කරගත හැකිය.

ද්වේෂ සහගත සිතිවිලිවලින් දූෂිත වූ, කිලිටි වූ සිත පාරිශුද්ධත්වයට පත් කළ හැකි වන්නේ ද්වේෂයෙනි. මෝහයෙන් මුළා වූ සිත අඳුරුය. එවිට කරන්නේ කුමක් ද, කියන්නේ කුමක් ද යන්න වටහා ගැනීම අසීරුය. මෝහය දුරු කිරීමට නම් ප්‍රඥාව ලැබිය යුතුය. දාන පාරමිතා, මෛත්‍රී පාරමිතා, ප්‍රඥා පාරමිතා යන්නෙන් විස්තර කෙරෙන්නේ ලෝබ, දෝස, මෝහාදී සිතිවිලි ප්‍රහීණ කිරීමේ ක්‍රියාවලියයි. එය දිනක දී දෙකක දී නොව, මුළු ජීවිත කාලයේදී නොව ඉපදෙන බවයක් බවයක් පාසා පාරමිතාවක් ලෙස කාලාන්තරයක් පුරා පුරුදු පුහුණු කළ යුතු දෙයකි.

විවිධාකාර හේතු නිසා අප ගේ කය රෝගී වේ. සමහරවිට ඒ රෝගී බව ම මරණයට හේතුවේ. මරණයෙන් ඒ රෝගී ජීවිතය අවසන් වේ. එහෙත් අකුසල සිතිවිලි නිසා මනසේ හට ගන්නා රෝගී තත්ත්වය මරණයත් සමඟ අවසන් නොවේ. සංසාරය පුරාම අප පසුපස ලුහු බඳි. එමනිසා මනස සංවර කරගත යුතුවේ. එය තමන් විසින් ම කළ යුත්තකි. බුදුවරුන්ට පවා කළ හැකි වන්නේ ඒ සඳහා මාර්ගය පෙන්වා දීම පමණි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්