මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»


අපට මොනවා ලැබුණත් වැඩක් නෑ... නිදහස නෑ...

අපට මොනවා ලැබුණත් වැඩක් නෑ... නිදහස නෑ...

අපේ සමහරුන්ට මහ මඟ හිඟා කන්න වෙලා

“ආදිවාසීන්” නොහොත් “වැද්දෝ” යන පදය ඇසුණු පමණින් අපේ සිත් සතන් තුළ මැවී පෙනෙනුයේ කොළ අතු හැඳ ගත්, දුන්න අතැති, පොරෝ කෙටිය උරෙහි ලා ගත් මිනිස් කොට්ඨාසයකි.

එහෙත් සියල්ල වෙනස් වෙමින් පවතින ලෝකයේ ආදිවාසීන්ගේ ඇවතුම් පැවතුම් මෙන් ම ගෝත්‍රික චර්යා පද්ධතීන්හි ද ශීඝ්‍ර වෙනසක් සිදුවෙමින් පවතින බැව් නොබෝදා එම ප්‍රදේශයේ කරන ලද සංචාරයකදී අපට දැක ගත හැකි විය.

ඉතිහාසයේ සඳහන් වන පරිදි බින්තැන්නෙන් පැතිර ගිය ආදි වාසීහු දඹාන, රතුගල, පොල්ලෙබැද්ද, හෙනානිගල ආදී ප්‍රදේශවලට වරින්වර සංක්‍රමණය වූහ.

19වැනි සියවසේ මුල් භාගයේ ඉංග්‍රිසි රජය යටතේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කළ ජෝන් ඩේව් විසින් ලියන ලදුව, ඇල්ලේපොල එච්.එම්. සෝමරත්න මහතා විසින් “ඩේව් දුටු ලංකාව” නමින් පරිවර්තනය කර ඇති ග්‍රන්ථයේ වැද්දන් ගැන සඳහන් කර ඇත්තේ මෙසේය.

“දිවයිනේ ගිනිකොනදිග කඳු සහ මුහුද අතරේ පිහිටි සුවිශාල කැලෑ වැද්දන්ගේ වාස භූමියයි. බින්තැන්නේ වැදි රට සහ ඌවේ මහ වැදි රට මොවුන් වෙසෙන ප්‍රදේශයන්ය. ඔව්හු මෙම ප්‍රදේශ තමන්ට ම අයත් යැයි සිතති. මොවුහු සාමූහිකව වාසය කරති. වන වැද්දන්ට ස්ථිර වාසස්ථාන නැත. ඔව්හු සමාජයී ගති පැවතුම් ඇති මිනිසුන්ට වඩා හුදෙකලාව වසන වන සතුන්ට සමාන වෙති. ඔවුන්ගේ නිවෙස් වූ කලී ගස් පොතුවලින් සාදන ලද පැල්පත් ය. මුව, ගෝන, වල් ඌරු හා තලගොයි මස් ද, තමා වවාගන්නා ඉරිඟු හා කුරහන් ස්වල්පයක් ද, කැලෑවෙන් හාරා ගන්නා ලද අල හා ඇතැම් දිය මානෙල් අල ද ඔවුන්ගේ ආහාරයයි. මීට අමතරව මී පැණි හා ඉටිද ඔවුහු භාවිතා කරති.”

දඹානේ ආදි වාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිලෑ ඇත්තෝ සිය වරිගයා අද මුහුණ පා සිටින අසරණ තත්ත්වය පිළිබඳව දුක්මුසු ස්වරූපයෙන් මෙසේ පැවසීය.

“මේ ගමේ මිනිස්සු ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. ඉස්සර කැලෑවට වැදිලා මී කැඩුවා. බඹර කැපුවා. අරළු බුළු, නෙල්ලි එකතු කළා. දැන් බැද්දට ගාටන්ට තහනම්.”

“වන ජීවි එකෙන් සත්තු එලා ගන්න දෙන්නේ නැහැ. ෆොරස්ට් එකේ අය අපිට ආයුධයක් අරන් කැලේට යන්න දෙන්නේ නැහැ. ගිනි පෙට්ටියක් අරන් කැලේට රිංගන්න දෙන්නේ නැහැ.”

“අපි ආදි වාසීන්. අපට නිදහසේ ජීවත් වෙන්න විදියක් නැහැ. අපිට අ‍පේ කැලෑවේ ඇවිදින්න බැහැ. සීමාවක් වෙන් කරලා දෙන්නේත් නැහැ. ඕස්ට්‍රේලියා‍ව වැනි රටවල ආදිවාසීන්ට ඔවුන්ගේ ජීවන රටාව අනුව ජීවත්වීමට සුදුසු පරිසරය රජය මඟින් ම සකස් කරදී තිබෙනවා.”

“අද ආදිවාසී ජනයා දෙස් විදෙස් සංචාරකයන්ගේ ප්‍රදර්ශන භාණ්ඩ බවට පත්වෙලා. අපේ වර්ගයාට ගොවිතැන එතරම් හුරු නැහැ. මෙම තත්ත්වය යටතේ අපේ වරිගයේ සමහරුන්ට මහ මඟ හිඟා කෑමට සිදුවී තිබෙනවා.”

ආදි වාසී නායකයාගේ මෙම ප්‍රකාශය මුළුමනින් ම සත්‍යයකි. දඹාන දක්වා දිවෙන මාර්ගයේ තැනින් තැන ආදි වාසීන් සිඟමන් යදින අයුරු අපට දැක ගත හැකි විය. සමහරු වන ඖෂධ වර්ග විකිණීමේ ද යෙදී සිටිති.

රජය මඟින් දඹාන ප්‍රදේශයේ වැව් තුනක් ඉදිකර ඇත. මීට අමතරව කෘෂි ළිං කිහිපයක් ද, පානීය ජලය ලබාගැනීම සඳහා ළිං කිහිපයක් ද ඉදිකරදී තිබේ.

එහෙත් මේ කිසිදු පහසුකමකින් ඔවුන් තෘප්තිමත් වී නොමැති බැව් ඔවුන්ගේ කතාබහෙන් මනාව පැහැදිලිවේ.

“අපට මේ මොනවා ලැබුණත් වැඩක් නැහැ. අපට ඕනැ නිදහසේ අපේ සුපුරුදු ජීවන රටාව අනුව ජීවත්වීමටයි. ආදිවාසී ජනතාවගේ එකම බලාපොරොත්තුව එයයි” ආදිවාසී නායකයා යළි කටහඬ අවදි කරමින් එසේ පැවසීය.

රොබට් නොක්ස් විසින් ලියන ලදුව, ඩේවිඩ් කරුණාරත්න සූරීන් විසින් එදා හෙළදිව නමින් පරිවර්තනය කර ඇති කෘතියේ වැද්දන් ගේ ජීවන රටාව පිළිබඳව සඳහන් කර ඇත්තේ මෙසේය.

“මේ වැද්දෝ කිසි විටෙක ගොවිතැන් නොකරති. දඩයමින් ම දිවි පෙවෙත රැක ගනිති. දුන්නෙන් විදීමෙහි දක්ෂයන් වූ ඔව්හු මී වද කඩා ගැනීමට රුක් බෙන සිදුරු කිරීම සඳහා කෙටි කෙටේරියක් පසෙක එල්ලාගෙන සිටිති.

මේ වැද්දෝ වනාන්තරය ද කොට්ඨාස වශයෙන් බෙදාගෙන ඇත්තාහ. එක් රංචුවකට සීමාවූ වන සීමාව ඇතුළත දඩයම් කරන්නට හෝ මී කඩන්නට හෝ ඵල නෙළන්නට සෙසු කිසිවෙකුට අවසර නැත.”

“මස් ආරක්ෂා කර තබා ගැනීමේ එක් විශේෂ ක්‍රමයක් මේ වැද්දන් හට ඇත්තේය. ‘පළමු කොට ඔරුවක් කොටන ඔව්හු එහි මී පැණි බහා, මී පැණි මත මස් පුරවා පියන්පතක් තබා ඇණගසා ආහාර අහේනියේ දී පරිභෝජනය සඳහා ආරක්ෂා කර ගනිති.”

රොබට් නොක්ස් මෙම කෘතිය රචනා කර ඇත්තේ 1696 ව‍සරේ දීය. නූතන ආදිවාසීන්ට ද අවශ්‍යව ඇත්තේ එහි සඳහන් ජීවන රටාව අනුව ජීවත් වීමටය.

ආදිවාසී දරුවන්ගේ අධ්‍යාපනය සඳහා දඹාන ගම්මානයේ රජයේ පාසලක් පිහිටුවා තිබේ. බාල මහලු ආදි වාසීන් සියලු දෙනාට ම පාහේ මිශ්‍ර සිංහල කතාබහ කළ හැකිය.

ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කෙරෙන දෑ ඇතුළත් කෞතුකාගාරයක් ද දඹාන ගම්මානයේ පිහිටුවා තිබේ.

දඹාන ගම්මානයට බැහැරින් වන නවීකරණයත්, නාගරීකරණයත් නිසා ආදි වාසීන්ගේ මති මතාන්තර සියල්ලම පාහේ වෙනත් අතකට යොමුවී ඇති බවක් පෙනෙන්නට තිබේ.

නූතන සමාජය හා සසඳා බලමින් ආදිවාසීන්ගේ ජීවිතය දුක්බර එකක් ලෙස සමහරුන් විසින් විග්‍රහ කරනු ලැබුවද, සැබවින් ම සත්ත්වයා සතු පූර්ණ නිදහස් සුවය අත් විඳි අවසන් මානව වර්ගයා ඔවුන් බැව් වැදි ගෝත්‍රික සමාජයෙන් බිහිවී උසස් අධ්‍යාපන වරම් ලද දඹානේ ගුණවර්ධනයන් විසින් ලියන ලද “වැදි ගී විමසුම” නමැති කෘතියේ සඳහන් කර ඇත. ආදි වාසී නායකයා පෙන්වා දෙන අන්දමට ඔවුන් ජීවත්වීම සඳහා සතෙකු දඩයම් කර ගන්නේ සත්ත්ව සංහතියේ පැවැත්මට කිසිදු හානියක් නොවන පරිදිය.

දඹාන ගම්මානයේ කළ සංචාරයේදී දැනගන්නට ලැබුණු පරිදි ආදිවාසී තරුණ තරුණියන්ට විවිධ අන්දමේ රැකියා හා ආදායම් මාර්ග ලබා දෙන බවට පොරොන්දු දෙමින් ඔවුන් නගරය කරා කැඳවාගෙන යන එක්තරා සංවිධානාත්මක පිරිසක් ද සිටිති. එසේ රැගෙන ගොස් නාගරික ජීවිතය පිළිබඳ අවබෝධයක් ලබා දෙන තරුණයන්ට යළි ගමේ පදිංචිය එපා කරවීමක් එමඟින් සිදු කෙරේ.

අපේ ආදිවාසී පරපුර රැකෙන දේශීය හා ඓතිහාසික අනන්‍යතාව තහවුරු කරදීම සමාජ විද්‍යාඥයන්ගේ වගකීමකි. මේ සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ අවධානය යොමු විය යුතුව තිබේ. එසේ නොකළහොත් තව වසර දහයක් දොළහක් ගත වන විට ආදි වාසී පරපුර මුළුමනින් ම අභාවයට යාම කිසිවෙකුටවත් වැළැක්විය නොහැකි වනු ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්