මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»


එකම දොළ පාර හත් වරක් තරණය කරමින් සිංහ ගලට ගිය ගමනක්

එකම දොළ පාර හත් වරක් තරණය කරමින් සිංහ ගලට ගිය ගමනක්

ජන ප්‍රවාද අනුව නම් ලංකාවේ සිංහයකු සිට ඇත්තේ ‘සිංහලේ රාජ වනයේය.’ සිංහයා ලැග සිටි ස්ථානය ලෙස සඳහන් වන්නේ සිංහ ගලයි. ඉහළ ජෛව විවිධත්වයක් පිරි අසිරිමත් වන ලැහැබේ සුන්දර අත්දැකීමකට මුල පුරමින් සිංහගල තරණයට අවස්ථාවක් අපි පසුගිය දා උදා කරගත්තෙමු. පාරක් තොටක් නැති මහ වනයේ මඟ පෙන්වන්නකු ද නොමැතිව යෑම අවදානම්ය. එසේ කෙනෙකු සොයා ගැනීම ද ඉතා දුෂ්කර විය. ලංකාගමේ ඉලන්දාරියකු වූ සාගර අපේ ගමනට ශක්තියක් විය.

කඩිමුඩියේ උදේ ආහාරය ගිල දැමු අප බිස්කට් පැකට් කීපයක් ලුණු හා නිල් සබන්වලට අමතරව දිවා ආහාරය මල්ලක ඔබා ගත්තේ හැකි ඉක්මනින් පිටත් වීමේ අදහසිනි. හිස් වතුර බෝතලය පමණක් සාගර අත විය.

පෙරදා ඇද හැලුණු මහ වරුසාව නිසා පහළින් ගලන ගිං ගඟ බොර වී දිස් වන්නේ කහපාට රෙදි පටියක් ලෙසිනි. දකුණු ඉවුර දිගේ ආ අප ඉහළට විහිදී ගිය මඟකට සේන්දු වුණේ මඟ පෙන්වන්නා අනුගමනය කරමිනි. ගමන ආරම්භයේ වූ නැග්ම කණ්ඩායමේ පස් දෙනාටම දැඩි වෙහෙසක් ගෙන දුන්නේය.

පෙර මෙවන් අත්දැකීමක් නැති ක්‍රිශ්කාන්තන් මනසින් මෙන් ම ගතින් ද හොඳ හැටි හෙම්බත් වී ඇති සෙයකි. ඔහු මඟ අයිනේ ගලක් මත හිඳ ගත්තේ තව අඩියක් හෝ ඉදිරියට නොතබන බවට සපථ කරමිනි. අන් අයගේ දිරි දීමත් තොරතෝංචියත් නැති අවවාදත් ඉවසා සිටීමට නොහැකි වූ ඔහු අවසානයේ නැඟී සිටියේ අපේ කරච්චලයෙන් බේරීමටය.

අපිළිවෙළට විසිරී ඇති ගල්පිරි බොරලු මාවත ක්‍රමයෙන් කුඩා අඩි පාරක් බවට පරිවර්තනය වී තිබේ. සොබාදම් මෑණියගේ සොඳුරු අඩවියට පිවිසීමේ දොරටුව අබියසට අපි පිවිස සිටියෙමු.

වටිනාකම ගිණිය නොහැකි අනගි වන සම්පතක් වූ සිංහරාජයට ආවේණික සත්ත්ව විශේෂ 137 ක් හා ශාක විශේෂ 13 ක් සහිත ඉහළ ආර්ද්‍රතාවක් හිමිය. යෝධ හැකරැල්ලෝ එහි සුලබ දසුනකි. ගැට හොබ කටුස්සකු (Hump Nosed Lizard) ගස් බදාගෙන සිටියේ ගල් පිළිමයක් සේය. ඇළ දොළ ආශ්‍රිත නිර්මාණය වන සුකුමොල කැකුණ ඇල්ල, ඌරන් වැටුන ඇල්ල, බ්‍රහ්මණ ඇල්ල, දූවිලි ඇල්ල හා පතන් ඔය ඇතුළු දිය ඇලි ගණන 24 ආසන්නය.

බැලු බැලු අත තනි කළින් කිරි හැඹිලිය, තටබොඩ, බටුකීන, නවද, අරිද්ද හා ලියන් කුලුනු සේ ඉහළට විහිදුන මහ රූස්ස ගස් ය. අපි ඒ අතරින් එකා පිටුපස එකාවන්ව ප්‍රවේශමෙන් පියවර තැබුවෙමු. පුවක් බෙල්ලෝ ගස් දිගේ බඩගාන්නේ එකිනෙකා අබිබවමිනි.

අපේ හිස් මතින් ඇති ඝන තුරු වියන අතරින් පො‍ළොව සිඹින්නට හිරු කිරණට අවසර නැතුවා සේය. මුළු පරිසරයම වෙළාගෙන ඇත්තේ අඩ අඳුරු ස්වභාවයයි. පොළොවේ තෙත ගතිය ද වැඩිය. විසිරුණු ශාක පත්‍ර මතු වූ ගල් මුල් සඟවාගෙන සිටියි. ඒ මත අඩි තැබීමට පෙර දෙවරක් සිතිය යුතුය. කලෙකින් ලද ප්‍රණීත ආහාරයක ඉව වැටුණු කූඩැල්ලෝ හිස් කෙළින් කරමින් මේ අර අදින්නේ අපේ සිරුරුවලට ගොඩවීමටය. තැන්නේ ගමන කෙළවර වූයේ බෑවුම් සහිත සුළු නැග්මකිනි. ගලින් වට වූ කුඩා ලෙනක් අප ඉදිරියේය. අප එතැන තාවකාලිකව නැවතී කුඩැල්ලන් ඉවත් කළේ තරගයට මෙනි.

ගලනා දොළක හඬ යාන්තමට ඇසේ. පාසි බැඳි ගල් අතරින් හීනියට ගලා හැලෙන මේ දොළ සුවිශේෂිය. මේ ගමනේ දී එම දොළ හත් වතාවක්ම තරණය කිරීමට යළි හමුවන බැවිනි. දොළට පහළින් ජලය එක්රැස් වූ අලංකාර පොකුණකි. පදුරු ගුරුවා (Common Bush Brown), සේලරුවා (Common Sailler) නීල බෝමී (Blue Bottle) හා පස් බරු පියාසියා (Sri Lanka Five Bar Sward Tail) පොකුණට ඉහළින් අලංකාර රංගනයක යෙදෙති. එෂියන් ස්කිමර්, පින්ක් ස්කිමර් හා ස්පයින් ලෙග් රෙඩ් බෝල්ට් ආදි බත්කූරන්ට නම් ප්‍රියම්බිකාවන් පසුපස ලුහුබැඳීමට වඩා දෙයක් නැති ගාණය.

සෙවල බැඳි ගලක් මතින් දෙන්නා තුන්දෙනා ලෙසින් පෙළ ගැසී කඩිසර ගමනක යෙදෙන කඩි රැළකි. උන් මඳක් ඉදිරියෙන් ගුලියක් සේ එකතු වීම කුතුහලය දනවනසුලුය. හැදෙන කඩි ගුලියේ ඊළඟ අරමුණ ගොදුරක් ඩැහැ ගැනීමයි. කල් මර මරා බලා සිටියත් ඒ අත්දැකීම මඟ හැරුණේ කාල වේලා ගැටලුව හරහට සිටි නිසයි.

දිරා ඇද වැටුණු රූස්ස ගස් මතින් පැන යෑමටත් විටෙක රිංගා යෑමත් සොඳුරු අත්දැකීමකි. ළා පැහැයෙන් යුතු හරිත වර්ණ පාසී හා දිලීර දිරා ඇති කඳන් අණසකට යටත් කරගෙනය. කාන්දු වන හිරු කිරණින් පාසි මත පිනි බිංදු දිලිසෙමින් නෙත් වසඟ කරයි. වන සුන්දරත්වය අත් නොවිඳි අඩියක් තියන්න බෑ කිවු සගයා මන බන්දන දසුන්වලින් මෝහනයට පත් වූවා සේ ගමන් කරන්නේ අපටත් වඩා උද්යෝගයෙනි.

ගමනේ අඩකට ආසන්න දුරක් නොදැනීම ගෙවා දැමුවත් ගතට වෙහෙසක් දැනුණේ නැති තරම්ය. මඟ පෙන්වන්නා අත රැඳි බෝතලය තවමත් නොසිස්ය. මඟ දිගට හමුවන දිය කඩිතිවල සිසිල් දියෙන් තොලකට තෙමා ගත් අපි බෑවුම් ඔස්සේ ගමන් කෙළෙමු.

කඳ මහත මහ ගසක් ඉහළ සිට පහළ බෑවුමට වැටි තිබුණේ යා යුතු මඟ හරස් කරමින් හිතේ ගැස්ම වැඩි කරමිනි. ගස මතින් යාම හැර වෙන විකල්පයක් ද නැත. සුළු අතපසුවීමක දී අප නවතිනු ඇත්තේ අඩි 30 - 40 ක් පහළිනි. හිතේ බිය තද කර ගනිමින් ලිස්සන ගස්කඳට අප පය තැබුවේ අලුත් ත්‍රාසජනක අත්දැකීමක් විඳ ගන්නටය.

දිය සීරාව ඔස්සේ ගල් මතින් පැද්දි පැද්දි ආ අපව රැගෙන විත් තිබුණේ සොඳුරු ඉසව්වකටය. අලංකාර දොළ පළල්ව සීරුවට ගලා බසී. අඩි 2 - 3 වත් නොගැඹුරු ජලය ඉතා පැහැදිලිය. පිරිසුදුය. කුඩා ගල් අතරින් වැලි අඩියේ නිර්මාණය වී ඇත්තේ මවිත දවන අපූරු රටායි. ගල්පාසියන්, බුලත් හපයන්, තල්තොස්සන්, දෙපුල්ලියන් හා සිංහ රාජයට ආවේණික සෙසු සගයන් සමඟ තම වැයික්කියේ නිදහසේ එහෙ මෙහෙ පීනති. වර්ණවත් උඩවැඩියා දොළට එබී ජල කැඩපතෙන් රුව නරඹති. ගස්වල ප්‍රතිබිම්බය ජල මත මවා තිබුණේ නෙත පිනවන දසුන් පෙළකි. තුරුපත් අතරින් පෙවි එන හිරු කිරණ දොළේ දියට රිදී දිස්නයක් ලබා දෙයි. සොබාදම් මෑණිගේ මේ අපුරු මැවීම් පෙළ ඉදිරියේ මනසට දැනෙන සුවය අති මහත්ය.

ගත සිත වෙහෙස නිමා ගන්නට සීත දිය දහර කරන වශීකෘත ආරාධනය මඟ හැරීමට බැරි තරම් වුත් කාල වේලා ගැටලුව නිතරම හිතට වද දෙයි. සීත දියේ පාද ඔබා ගත් අප මදක් ඇල වුණේ වෙහෙස නිවා ගන්නයි. තැඹිලි වර්ණ පොරවාගත් විදුලි සේලයකු අප වටා පියාසර කරමින් පරීක්ෂණ චාරිකාවක් යෙදි සිටියි.

තැන්නේ ඉදිරියට ගිය අප පුදුමයට පත්වූයේ මල්ලක් කර තබා ගත් ගැමියකු අප ඉදිරියට හමුවීම නිසාය. රත්නපුර සිට එන ගැමියා අප අතීතයට රැගෙන ගියේය. ඉබන් බාතුතා සිරිපාදයට එදා ගිය මඟ අදටත් ගම්මුන් භාවිත කරන බවට ඒ හොඳම සාක්ෂියකි. වනය පීරා කෙටි දුරක් ආ ගමන අවසන් වූයේ දොළට දොළක් මුණ ගැහෙන සොඳුරු ඉසව්වක් අබියසයි.

දැන් ගමන දොළ දිගේමය. පාද වලට දැනෙන සිසිලස නහර දිගේ ශරීරය පුරා දිව යයි. අප දැන් දොළ පාර අවසන් තරණයට සූදානම්ය. ඉදිරියෙන් ඇති මඟ අති දුෂ්කර බැව් දුරට පෙනේ. කෙළින් අතට ඉහළට විහිදි ගිය මඟ හිතේ තිගැස්සීම වැඩි කරයි. අඩියෙන් අඩියට වෙහෙස තදින් දැනේ. ඉහළ ගල් අතරින් ගලා හැලෙන දිය පාරක් අසල අපි මඳක් නැවතුණෙමු. මල්ලේ අඩියේ සැඟවි සිටි බිස්කට් පැකැට්ටුව එළියට ආ විගසම අතුරුදන් විය. ගලන දියෙන් පිපාසාව නිවා ගත් අප යළි ගමනට සූදානම් වන විට දුටුවේ සාගර අත රැඳි හිස් බෝතලයට වතුර පිරෙන අයුරුයි.

ගල් මත බඩ ගාගෙන ඉහළට ඇදෙද්දී අපට පිහිටක් වූයේ දෙපස වූ ගස්වල අතුය. දුෂ්කර මගේ අභියෝග රැසකි. පැටළුණු නූල් පන්දුවක් සේ වැල් පිරි අකුලකි. රිංගා ඉහළට යාමට සුදුසු මඟ තමන්ම සකස් කර ගත යුතුය.

දැන් අප සිටින්නේ කඳු මුදුනේ

උච්චතම ස්ථානයේය. ඒ මුහුදු මට්ටමින් මීටර් 742 උසකිනි. බෑවුම දිගේ ඉදිරියට ආ අපට සැනසුම් සුසුමක් හෙළන්න ඉඩක් ලැබුණේ නැත. කම්පාවකින් සිත කීරි ගැහී ගියේ ඉදිරියෙන් ඇති දේ දැකීමෙනි. හිත් පිත් නැති කැති පොරෝ තලවල මුවහතින් අවසන් ගමන් ගිය ගස් රාශියක් සිසීකඩ බිම වැතිරගෙනය. උන්මත්තක වල්ලා පට්ටා පිපාසිතයන් මේ විනාශ කොට තිබුණේ අමිල ස්වභාවික වන සම්පතකි.

අපි ගමනේ අවසානයට කෙමෙන් කෙමෙන් ළං වුණෙමු. බෑවුම කෙළවර භයංකාර පල්ලමකි. පහළ පෙනෙන විට දෙපා වෙව්ලන්නේ ඉබේටමය. ඉදිරියට යෑමට නම් බැසිය යුතුමයි. පහළට එල්ලෙමින් තිබු ශක්තිමත් වැලක පිහිටෙන් පහළට බට අපි තවත් ත්‍රාසජනක අත්දැකීමක් ජීවිතයට එක්කොට ගතිමු.

අප කණ්ඩායම පැය 3 යි විනාඩි 38 කදී කිලෝමීටර් 9 හමාරකට ආසන්න දුරක් ගෙවා දැමුවෙමු. අපි දැන් සිංහගලට පය තැබීමට සූදානම්ය. විසල් තුරු වියනකින් සෙවණ ලබන කුඩා ගල් තලාවකින් සැදුම්ලත් සොඳුරු නවාතැනකි. එය පහළට කොටස් දෙකකින් බෑවුම දක්වා විහිදේ. ඉන් එහාට භයංකාර ප්‍රපාතයකි. වටේ හුදෙකලා ගල් පර්වත සුව පහසු ආසන සේය.

සොබා දහමේ අපූරු දසුන් පෙළක් දෑස් ඉදිරියේ දිග හැරේ. වනාන්තරයෙන් වැසුණු කඳු වළල්ල හරිත වර්ණය. ඊට පිටුපසින් ඇත්තේ නිල්වන් කඳු පෙළකි. ප්‍රපාතය හරහා හමා එන සුළං ගතේ සිතේ වෙහෙස උදුරා ගෙන කැලෑ වදින්නේ කැලෑ මකුළුවකු සේ දැල රිද්මයට පදවමිනි. සොඳුරු පරිසරයක් තුළ දැනෙන වින්දනය අත්විඳීමට බාධාවක් නැත. කාල වේලා නොදැනීම වේගයෙන් ගෙවී ගොසිනි. සොඳුරු ඉසව්වට සමු දීමට කාලය එළඹ තිබිණි. නැගී සිටියේ අකමැත්තෙන් වුවත් රෑ බෝවීමට ප්‍රථම නවාතැනට යා යුතුය.

කොළපත් මතට රූරා වැටෙන ජල බිංදුවක ‘ටක්’ යන සියුම් ශබ්දය හැරුණු විට වටපිටාවේ ඇත්තේ පුදුම නිශ්ශබ්දතාවයකි. කරච්චල්කාර රැහැයියන් නින්දට වැටී ඇති සෙයකි. කුරුල්ලකුගේ හඬක් නොඇසුණ අපට දුර්ලභ වත රතු මල් කොහා සහකරු සමඟ දැකගත හැකි වූයේ අහම්බෙනි.

සගයකුගේ අවධානය නිසාම මූකලන් තෙලිස්සකු පයට යට නොවී බේරුණේ නූලෙනි. සීත දොළෙන් ඇඟපත තෙමා ගත් කණ්ඩායම, ත්‍රාසය පිරුණ සුන්දරත්වය කැටි වූ ලෝක උරුම සිංහරාජය හෙවත් සිංහලේ මහ වනයෙන් ලැබු නව අත්දැකීම් ගොන්නක් තුරුලු කරන්, කලබලකාරී ලෝකයට යළි පය තබනවාත් සමඟම අපට ලැබුණේ මහ වරුසාවක ආශිර්වාදයකි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්