මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»


මට තරහ ගියොත් උඹ මා අතින් මැරෙයි

මට තරහ ගියොත් උඹ මා අතින් මැරෙයි

මට හදිසියේම ඇහැරිණ. සිහිනයක් දැක බිය වූ බව මතකයෙහි වූ නමුත් මා දුටු සිහිනය කුමක්දැයි මට මතක් කර ගැනීමට නොහැකි විය. අඳුරේම, රාත්‍රියේ දී පානය කිරීම සඳහා ඇඳ මත තබා ගන්නා ප්ලාස්ටික් බෝතලය සොයා ගත්ත ද, එහි වතුර අවසන්ව තිබිණ. බෝතලය පුරවා ගැනීම සඳහා මා කාමරයෙන් පිටව යා යුතුය. නොඑසේ නම් නාන කාමරයට යා යුතුය. එහෙත් යහනෙන් බිමට බැස ගැනීමට නොහැකි තරමේ බියක්, සාංකාවක් මට දැනේ.

නිවස පසුපසින් ඇති වනාන්තරය දෙසින් ඇසෙන බකමූණකුගේ හඬ මා බිය ගන්වයි. එපමණක් නොව සවන් දී සිටිය දී බොහෝ නිශාචර සතුන්ගේ හඬවල් එකිනෙකා පරයමින් නැගී එයි. මෙතෙක් දිනක් ද මෙම හඬවල් මෙලෙසින්ම ඇසෙන්නට ඇති නමුත් කිසිම දිනෙක ඒ හඬවල් ඇසුණු බවක් මගේ මතකයේ රැඳී නැත. නොඑසේ නම් තනිකමක්, බියකින් තොරව නිදි යහනට වත් සැණින් නින්දට වැටෙන මට එම හඬවල් නෑසෙන්නට ඇත.

මම නැගිට යහන මත හිඳ ගතිමි. සියුම් කුසගින්නක් මගේ උදරය තුළින් නැගී එන්නාක් මෙන් දැනේ. රාත්‍රී ආහාර පිළියෙල කරන්නට ඇත්තේ සුබා විය යුතු. පමණට වඩා ලුණු වැඩි වූ දියාරු පරිප්පු හොද්දක් ද, පාන් පෙති කිහිපයක් ද ඇය මා වෙත ගෙන ආව ද, ඉන් එක් පාන් පෙත්තක් තරම්වත් ආහාරයට ගැනීම මට රුචි නොවීය. හිස් බඳුන් ගෙන යෑම පැමිණි සුබා ඉතිරිව ඇති ආහාර දෙස බැලුවේ ශෝකී දෑසින් යුතුවය.

“අද මමයි ඉව්වේ. කෑම රස නැතිව ඇති.”

තමාට මෙන් පවසා ගත් ඇය බන්දේසිය ද රැගෙන ගිය ආකාරය මට මැවී පෙනිණ.

කිසිවකු කලබලයෙන් පඩි පෙළ නැග එන හඬ ඇසුණු මගේ හදවත නතර වූවාක් මෙන් මට දැනිණ. මාතාව හෝ කමලා නොමැති උඩු මහලේ තනිව සිටි නමුදු මා පසු වූයේ මහත් බියකින් යුතුවය. එම බියට හේතුවක් නොවූවද, මටම වටහා ගත නොහැකි අන්දමේ තැති ගැන්මක් මගේ සිත තුළ විය.

උඩු මහලට නැග ආ පියවර හඬ මගේ කාමරය අසල නතර විය. ඉහළට ගත් හුස්ම පහළ හෙළිය නොහැකිව මම බලා සිටියෙමි. තත්පර කීපයක් ගත වන්නට ඇත. කිසිවෙක් සෙමෙන් දොරට තට්ටු කරන හඬ ඇසිණ. මම නිහඬවම සිටියෙමි.

“මිස්... මිස්. අනේ මිස්. දොර අරින්නකො.”

කාමරයට පිටතින් ඇස‍ුණේ සුබාගේ කටහඬයි.

“අනේ නිදිද මිස්. චුට්ටක් දොර අරින්නකො.”

මම නැගිට විදුලි පහන දල්වා කාමරයේ දොර හැරියෙමි. රාත්‍රී ඇඳුමින් සැරසී සිටි සුබා දොරකඩ සිටගෙන සිටියාය. කොට්ටයක්, ඇඳ ඇතිරිලිත් එක පොදියට තුරුලු කරගෙන සිටි ඇගේ හිසකෙස් අවුල්ව තිබිණ.

“ඇයි සුබා?”

“මට තනියම ඉන්න බයයි මිස්. අනේ මම මේ කාමරේට ඇවිත් නිදා ගන්නද?”

මම මොහොතක් සුබා දෙස බලා සිටියෙමි. සුබා, කමලා හා මා හැරෙන්නට වෙනත් ස්ත්‍රීන් මෙම නිවසේ නොමැති බවත්, සේවකයින් කිහිප දෙනෙකුම මෙම නිවසේ සේවය කළ බවත් මම දැන සිටියෙමි. තනිව නිදන්නට බියවන සුබා කෙරෙහි අනුකම්පාවක් මසිතෙහි ඇති විය.

“කමක් නැද්ද මිස්? මං මෙතනින් බෙඩ් ෂීට් එකක් එළා ගන්නම්.”

මගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් බලා සිටි සුබා පැවසුවාය.

“කමක් නෑ. බයනම් සුබා මෙහෙන් ඉන්න.”

සිනාසුණු සුබා ඇඳ ඇතිරිල්ලක් මගේ යහන පාමුල බිම එළා ගත්තාය. අනතුරුව ඒ මතට කොට්ටය දමා වැතිරුණාය. මම විදුලි පහන නිවා දමා යහන මත වැතිරුණෙමි. මෙතෙක් පැවැති බිය පහව ගියාක් මෙන් මට දැනිණ. තනිව සිටිද්දී මා තුළ වූයේ ද සුබා තුළ වූ බියටම සමාන බියක් නොවේදැයි මම කල්පනා කළෙමි.

සැහැල්ලු සිතින් යුතුව නින්දට ගිය මගේ දෙනෙත්වලට ඉක්මනින්ම නින්ද ළං වන්නට ඇත. එහෙත් මා පිබිදුණේ කිසිවකු උගුර යටින් කෑගසන හඬක් ඇසීමෙනි. ඒ හඬ ඇසුණේ කාමරයට පිටතින් නොව කාමරය තුළිනි. මා අවදිව බලද්දී සුබා බිම හිඳගෙන සිටින අයුරු මම කාමරය තුළට පතිත වී තිබූ සඳ එළියෙන් දුටුවෙමි.

“සුබා. ඇයි කෑගහන්නෙ?”

“මං හීනෙන් බයවුණා.”

සුබාගේ සිහින් කටහඬ යහන පා මුලින් ඇසිණ.

“සද්දෙට මමත් හොඳටෝම බය වුණා. මේ... තවම වෙව්ලනවා.

“අනේ... සමාවෙන්න මිස්. හිතලා කරපු දෙයක් නෙමෙයි.”

“පන්සිල් අරගෙන නිදා ගන්න.”

මම පැවසුවෙමි. සුබා පන්සිල් මුමුනන හඬ ඇසෙමින්ම මගේ දෙනෙතට යළිත් නින්ද ළං වන්නට ඇත.

යළිත් සුබා සිහිනෙන් බිය වී කෑගසන හඬ මට ඇසිණ. මට ඇය ගැන ඇති වූයේ තරහකි. මම නින්ද ගිය ආකාරයෙන්ම පසු වූයෙමි. යළිත් සුබා පන්සිල් සමාදන් වන හඬ යහන පාමුලෙන් ඇසෙමින් මගේ දෙනෙත්වලට නින්ද ළං වන්නට ඇත.

එකිනෙකට අසම්බන්ධ සිහින කීපයක් දකිමින් සිටි මට යළිත් හදිසියේම ඇහැරිණ. කිසියම් ශබ්දයක් කාමරයට පිටතින් එක්වරම ඇසුණු අතර, යළිත් එම ශබ්දය නෑසිණ. මම ශබ්ද නොනැගෙන සේ යහන මත හිඳ ගතිමි. යහන පාමුලට මගේ දෙනෙත් යොමු වුව ද, සුබා බිම අතුරන ලද ඇතිරිල්ල මත නොවූවාය. මගේ කාමරයේ දොර ද විවරව තිබිණ. මා පිබිදෙන්නට ඇත්තේ දොර විවෘත කරන හඬ නිසා වන්නට ඇතැයි මට සිතිණ. සැකයක් හා බියක් මගේ සිතට පිවිසියේ නිතැතිනි.

“සුබා...යි හඬ නගා කතා කරන්නට සිත් වුව ද නිහඬවම ඇය කොතැනක යන්නට ඇත්දැයි සොයා බලන ලෙස මගේ සිත මට පවසන්නාක් මෙන් විය. මම හඬ නොනැගෙන සේ යහනින් බිමට බැස්සෙමි.

කාමරයෙන් පිටව යද්දී සුබා දුරකතනය අසල හිඳ කිසිවෙකුට ඇමතුමක් ගන්නා අයුරු මම දුටුවෙමි. මම පුටුවකට මුවා වුණෙමි.

“අනේ මැඩම්...”

සුබා සෙමෙන් පවසන හඬ ඇසිණ.

“මට බයයි. කීප සැරයක්ම මම බයවෙලා ඇහැරුණා.”

සුබා ‘මැඩම්’ යයි අමතනු ඇත්තේ ශාමලාට විය යුතුය. ඇගේ කටහඬ ඇසෙන්නේ යන්තමිනි.

“මැඩම්ට නම් හිනා. හීනෙන් ලොකු මැඩම් ඇවිත් දෙතුන් පාරක්ම මගේ බෙල්ල මිරිකනවා දැක්කා.”

මගේ සිරුරෙහි හිරිගඩු පිපිණ. දණ ගාමින් ඉදිරියට ගමන් කරද්දී සුබා කතා කරන හඬ මට පැහැදිලිව ඇසිණ.

“මැඩම් කියපු විදියට තමයි මම කළේ. මනහාරි මිස් ආවෙ රෑ... අමාරු බවක් නම් කිව්වෙ නෑ.”

මගේ ගත වෙව්ලන්නාක් මෙන් මට දැනිණ. ශාමලා සහ සුබා එක්ව කිසියම් භයානක දෙයක් සිදු කරන්නට ඇත්දැයි මට සිතිණ. මගේ තොල කට වියළී ගියේය.

“පෙති දෙකම දැම්මා මැඩම්. මනහාරි මිස් කියපු විදියට නම් ලොකු මැඩම්ට තවම සිහි නෑ.”

මට සියල්ල අවබෝධ විය. ශාමලා, සුබා ලවා කිසියම් පෙති වර්ගයක් මාතාවගේ ආහාරවලට හෝ පාන වර්ගයකට මිශ්‍ර කරන්නට ඇතැයි සිතෙද්දී වහා දිවගොස් සුබාට පහර දී ඇයගෙන් සියල්ල අසා ගත යුතුයයි සිතුණ ද, මම තවදුරටත් ඉවසුවෙමි.

“මැරෙයි. මැරෙයි. එහෙම වුණොත් මැඩම් මාව බේර ගන්නවා නේද? මැඩම් කිව්ව විදියට...”

සුබාට ඉතිරි වදන් පවසා ගත නොහැකි විය. අඳුර මැදින් දිව ආ කිසිවෙක් සුබා පෙරළාගෙන ඇයට පහර පිට පහර එල්ල කළ අතර සුබා මහ හඬින් කෑගැසුවාය.

සැබවින්ම මා කළ යුතුව තිබුණේ නිවා දමන ලද විදුලි පහන් සියල්ල දැල්වීමත්, පහර දෙන තැනැත්තානේ සුබා ගලවා ගැනීමත් වුව ද, හිඳගෙන සිටි තැනින් සෙලවීමට නොහැකි තරමේ වික්ෂිප්ත භාවයක් මට දැනෙමින් තිබිණ.

“මනහාරි.”

අඳුර අතරින් මට ඇසුණේ මිගාරගේ කටහඬයි. මිගාර මෙහි පැමිණෙන්නට ඇත්තේ කවර වේලාවක ද යන්න මම නොදැන සිටියෙමි. මගේ මුළු සිරුරම ගැහෙන්නාක් මෙන් මට දැනිණ. ආයාසයෙන් නැගී සිටිත්ම කිසිවෙක් විසිත්ත කාමරයේ විදුලි පහන දැල්වූයේය. මිගාර... මිගාර සුබාගේ කෙස් වැටියෙන් අල්ලාගෙන සිටියේය. කෙඳිරියක් හෝ නොනැගූ සුබා සිහි විසඥව සිටින්නේදැයි මට සිතිණ.

“මනහාරි මෙතන?”

මා දුටු මිගාර ප්‍රශ්න කළද, මට වදනක් හෝ පවසා ගත නොහැකි වූයේ තවමත් මගේ ගත ගැහෙමින් තිබූ බැවිනි.

“මෙන්න මේකිට සිහි නැති වෙලා. ගිහින් වතුර ටිකක් ගේන්න.”

මම කාමරයට දිව ගියෙමි. නාන කාමරයට දුව ගොස් හිස් වතුර බෝතලය පුරවා ගන්නට මට මඳ වේලාවක් ගත විය. ඒ වනවිට සුබා බිම දිගා කර තිබිණ. මිගාර වතුර ඉස සුබා සිහි ගැන්වීමට තැත් කළේය.

“මොකද වුණේ?”

ස්වල්ප වේලාවකට පසු මම ඇසුවෙමි.

“මුන්... මුන්... මුන් ප්ලෑන් කරලා තමයි අම්මව...”

මිගාරට කතා කර ගත නොහැකි විය. ඔහුගේ මුහුණ තද කළු පැහැයට හැරී තිබිණ. මම සුබා දෙස බලා සිටියෙමි. ඇය කෙමෙන් සිහිය ලබමින් සිටින බව පෙනේ. සුබා කෙරෙහි තරහ මැඬගෙන අනුකම්පාවක් මගේ සිත තුළ නැගී එනු මට දැනිණ. වරද සුබාගේ නොව ශාමලාගේය.

ශාමලා පවසන දෑ දේව වාක්‍ය මෙන් පිළිගන්නා සුබා ඇයට පැවරූ කාර්යය කරන්නට ඇතත්, ඉදිරියේ දී සිදුවන්නේ කුමක්දැයි සිතන්නට නැත.

“සුබා... සුබා...”

මිගාර සුබාගේ දෙකොපුලට තට්ටු කළේය. සුබා සිහින් කෙඳිරියක් නැගුවාය.

“සර්... සර්....”

දෑස් හැර කිසිවක් පවසන්නට තැත් කළ නමුදු සුබා හිටිහැටියේම අඬන්නට පටන් ගත්තාය.

“දැන් මට මුකුත්ම කියන්න එපා. මට තරහ ගියොත් උඹ මා අතින් මැරේවි.”

මිගාර පැවසුවේ දත් කූරු කමිනි.

“කරුණාකරලා... කරුණාකරලා... දැන් පලයන් පහළට... පලයන් කිව්වෙ.”

නැගී සිටි සුබා හඬමින්ම පහළට දිව ගියාය. මා මිගාර දුටුවේ යක්ෂාවේශ වූවකුගේ විලාශයෙනි.

“මට කියන්න මිගාර. ඔයා කොහොමද මෙහාට ආවෙ?”

ලබන සතියට


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්