»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2010 නොවැම්බර් 28දින
* 2010 නොවැම්බර් 21දින
* 2010 නොවැම්බර් 07දින
* 2010 ඔක්තෝම්බර් 31දින
* 2010 ඔක්තෝම්බර් 24දින
* 2010 ඔක්තෝම්බර් 17දින
* 2010 ඔක්තෝම්බර් 10දින
* 2010 ඔක්තෝම්බර් 03දින
* 2010 සැප්තැම්බර් 26දින
* 2010 සැප්තැම්බර් 19 දින
* 2010 සැප්තැම්බර් 12 දින
* 2010 සැප්තැම්බර් 05 දින
* 2010 අගෝස්තු 29දින
* 2010 අගෝස්තු 22දින
 
 
   
ගෙදර බුදුන් අම්මා මවු ගුණ ගී සරණිය
 

ගෙදර බුදුන් අම්මා මවු ගුණ ගී සරණිය

 

 

සම්පාදක - චාමික මුණසිංහ

ප්‍රකාශනය - ‘හොඳ හිත’ සමූහ ව්‍යාපාරය ධර්ම දානයකි.

මවු ගුණ අනන්තය, දරුවකු මේ ලොව එළිය දුටු දා සිට එම දරුවා හට මවගෙන් සිදුවන මෙහෙය මෙතෙකැයි කියා කිව හැකි නොවේ. අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ අම්මා යන සංකල්පයට අසුදාරත්වයකින් වර්ණනා කරයි. හැම දරුවකු ම තමන්ට හැකි හැකි හැම අයුරින් ම මාතෘත්වයට ගරු කරනු ලැබේ.

චාමික මුණසිංහ විසින් සම්පාදනය කර ඇති “ගෙදර බුදුන් අම්මා” නැමති ගී සරණිය යථොක්ත පසුබිමෙහි ලා විශේෂ වෙයි. කවියකු ගීත රචකයකු ග්‍රන්ථ කර්තෘවරයකු හා මාධ්‍යවේදියකු වන චාමිකගේ නිර්මාණවලියේ නවතම කෘතිය “ගෙදර බුදුන් අම්මා” නම් වෙයි.

මේ කෘතියේ ප්‍රකට මව්ගුණ ගීත සියයක් ඇතුළත් වෙයි. අසා හුරු පුරුදු දන්නා කියන ප්‍රවීණ හා ආධුනික රචකයන් ලියූ ප්‍රකට ගායක ගායිකාවන් විසින් ගයන ලද ගීත මෙහි ඇතුළත් ය. මව් ගුණ ගීත පිළිබඳ ව විමර්ශනය කරන කෙනෙකුට මතු නොව මව් ගුණ හඳුනන හා නොහඳුනන හැම කෙනෙකුට ම ළඟ තබා ගැනීමට උචිත වූවක් වශයෙන් දැක්විය හැකි යි.

මව් ගුණ ගීතවලට අමතරව විද්වත් අය විසින් මාතෘත්වය පිළිබඳ ව දක්වා ඇති අදහස් ද ඇතුළත් වේ. “වැඳූ මවත් උපන් බිමත්, ස්වර්ග රාජ්‍යයයි මගේ” යනුවෙන් මාදුළුවාවේ සෝභිත හිමියන් දක්වා ඇති අදහස් අතරින් පහත දැක්වෙන පාඨය උපුටා දැක්වීමට කැමැත්තෙමි.

අම්මා ප්‍රාර්ථනා කළ සැටියෙන් මම හොඳ හාමුදුරු කෙනෙක් වී යයි මට සිතේ. මා පන්සලේ ගොඩනැඟූ ධර්ම ශාලාව විවෘත කරන්නේ කා අතින් දැයි දායක සභාවේ සාකච්ඡා වනවිට ඒ සඳහා කොතෙකුත් යෝජනා ඉදිරිපත් විය. සියල්ල අසා සිටි මට මගේ අම්මා අතින් ධර්ම ශාලාව විවෘත කිරීමට මගේ ඇති බලවත් කැමැත්ත ප්‍රකාශ කළෙමි.

මගේ දායක දායිකාවන් සියලු දෙනා මගේ කැමැත්ත අනුමත කළ දිනය මගේ ජීවිතයේ ලොකු ම විජයග්‍රහණය ලද දිනයක් යැයි මම සිතමි. මගේ වයෝවෘද්ධ අම්මා සුදු සාරියක් ඇඳ මහා සෙනඟ මැද ධර්මශාලාව විවෘත කළ මොහොත තරම් මා සතුටට පත්වූ මොහොතක් තවත් නැත” පිට 21

ගිහි ජීවිතයෙන් සමුගත් යතිවරයකු වුව ද මාතෘත්වය පිළිබඳ ව දක්වන සිංහල සංස්කෘතික බන්ධනය කෙබඳු සහගත ද යන්න හෙළිවෙයි. බුදු රජාණන් වහන්සේ විසින් මාතෘත්වය පිළිබඳ ව කරනු ලැබූ දෙසුම් හා ඒ ඇසුරින් සකස් වූ ආකල්පවලින් පිරිපුන් මිනිසුන්ගෙන් පිරි සමාජයක් හැටියට සිංහල සංස්කෘතිය ඉදිරියට එයි.

කෘතියෙහි ආරම්භක ගීතය හැටියට චාමික මුණසිංහ ගොනු කරනු ලබන්නේ යට දැක්වෙන ගීතයයි.

“මිහිමඬලේ

අඳුරු කුසේ

දිය උල්පත අම්මා

අහස් තලෙන්

මරු කතරට

වහින වැස්ස අම්මා

නිල් දෙරණේ

තුරුලිය මත

මල් සම්පත අම්මා

තුරුලිය මත

පිපිකුසුමේ

ජල සම්පත අම්මා//

පද - අධිනීතිඥ ඩබ්.ඒ. අබේසිංහ

ස්වර හා හඬ - විශාරද නන්දා මාලිනී

ගෙදර බුදුන් අම්මා, පිට, 43

බුදුරජාණන් වහන්සේගේ දහම අනුව පරිසරය, ගහ කොළ ද, ස්වාභාවික හැම සම්පතක් ම ද අම්මා ය.” මේ ලෝකය ‘මවන්නේ ද හැඩරුවෙන් සරසන්නේ ද අම්මා ය. කුඩා දරුවකු ලෝකය දකින්නේ ද අවබෝධ කර ගන්නේ ද, යුතු අයුතු දෙය විසඳන්නේ ද අම්මා නිසා ය. මවක තරම් හිත දායක කෙනෙකු සමාජ ප්‍රවාහය තුළ දකින්නට නොමැති තරම් ය. මාතෘත්වය පිළිබඳ ව විවිධ ගුණ අරුත් විමසමින් ගේය කාව්‍ය රචකයෝ ගී ලියූහ. නැළවිලි ගී ඇසුරින් කාව්‍ය රස විඳ පිළිබඳ වූ මුල් පාඩම උගත් ළමයා ලොකු මහත් වී ලියුවේ මවගේ ගුණ වැනුමක් ය.

මාතෘත්වයේ අගය නොදැනෙන කෙනෙකු ඉරහඳ යට සිටිය නොහැකි ය. කොයි කාගේත් මව් වරු මළ ගම් ගිය අවස්ථාවේ බුදු බණ කියා සිත් සනසන යතිවරයකුට වුව සිය මවගේ මරණය හිත වාවනු බැරි අරුමයක් වන අවස්ථා තිබිය හැකි ය. සිය මවගේ මළ ගමේ බණක් කියන්නට අවස්ථාව ලදහොත් ඒ බණට කියන්නේ මොනවාද?

“කසාවත ගත දැවටි ඇති මට

නුඹේ මළ ගමදී

වටා පතගෙන නුඹේ ගුණ කඳ

කියනු බැහැ අම්මේ//

පද කැටවල බුද්ධසිරි හිමි,

ස්වර - අශෝක කොවිලගේ

හඬ - ටී.එම්. ජයරත්න

ගෙදර බුදුන් අම්මා - පිට 18

මාතෘත්වය පිළිබඳ ව ලියැවුණු ගීත තව තවත් හැදෑරිය යුතු ය. සිංහල සංස්කෘතිය මාතෘත්වය හා කෙබඳු අරුතකින් බැඳී ඇත්ති ද යන්න මැනවින් වටහා ගත හැක්කේ එවිට ය.

අම්මා වඳින්නට සිංහල සංස්කෘතියේ ගාථාවක් සකස් වී තිබේ. එහි දැක්වෙන්නේ කුස තුළ තබා ගෙන පෝෂණය කොට, අභිවෘද්ධිය ප්‍රාර්ථනා කළ මවට සියක් ආයු ලැබේවා යන්නයි. සිංහල ජන වහරේ එය උසුරුවනු ලබන්නේ සියක් ආයු ලැබ මගෙ ආයුසත් ගෙන බොහෝ කාලයක් ජීවත් වන්න යනුයි.

“සියක් ආයු ලැබ - මගෙත් ආයු ගෙන

මටත් වඩා කල් - ඔබ ජීවත් වේවා

මෙතේ බුදුන් කළ - ලොවේ උතුම් ළඳ

විශාඛාව වේවා//

පද - රඹුකන සිද්ධාර්ථ හිමි

හඬ - ටී.එම්. ජයරත්න

ස්වර - එච්.එම්. ජයවර්ධන

ගෙදර බුදුන් අම්මා නැමති කෘතිය නොමිලයේ බෙදා දීම සඳහා සකස් කළ සප්‍රමාණ වත් කෘතියකි. සියලු බර පැන දරා ඇත්තේ හොඳ හිත මහත්මයා විසිනි.

අභාවප්‍රාප්ත කුසුමා ලියනගේ මාතාවගේ උදාරත්වය මතු නොව සියලු ම අම්මාවරුන්ගේ උදාර ගුණයට උපහාරයක් වශයෙන් කෘතිය සකස් කරනු ලැබ ඇත්තේ චාමික මුණසිංහ නැමති ලේඛකයා විසිනි. ග්‍රන්ථ කිහිපයක් ම ලියා හුරු පුරුදු නමක් ඇති ඔහු විසින් සැකසූ මේ කෘතිය කොයි කාටත් අගනා කෘතියක් වශයෙන් හැඳින්විය හැකි ය.

 

අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා