»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2010 නොවැම්බර් 28දින
* 2010 නොවැම්බර් 21දින
* 2010 නොවැම්බර් 07දින
* 2010 ඔක්තෝම්බර් 31දින
* 2010 ඔක්තෝම්බර් 24දින
* 2010 ඔක්තෝම්බර් 17දින
* 2010 ඔක්තෝම්බර් 10දින
* 2010 ඔක්තෝම්බර් 03දින
* 2010 සැප්තැම්බර් 26දින
* 2010 සැප්තැම්බර් 19 දින
* 2010 සැප්තැම්බර් 12 දින
* 2010 සැප්තැම්බර් 05 දින
* 2010 අගෝස්තු 29දින
* 2010 අගෝස්තු 22දින
 
 
   
බෝසත් කථා පෙළ නැවත කියවමු
 

බෝසත් කථා පෙළ නැවත කියවමු

 

 

සිංහල භාෂාවේ නාම පද අතරත් සංඥා නාම නමින් පද වර්ගයක් වෙයි. ඒ බෙදීම පුද්ගලයන්, ස්ථාන, ප්‍රදේශ හඳුනාගැනීම සඳහා වෙන් වූවකි. කවර භාෂාවක වුව මේ බෙදීම පවතී. කෙනකු හෝ තැනක වෙන් කොට හඳුනා ගැනීම මේ සංඥා නාමයෙන් සිදු කෙරෙයි. එහෙත් එය සම්මුතියක් පමණි. මේ ගැන නොදැන නම ගැන බොහෝ පැටලිලි සාදා ගන්නා පුද්ගලයෝ ද මේ සමාජයේ වෙති. දිනපතා බොහෝ පුවත්පත්හි මුදල් ගෙවා දැන්වීම් පළ කරවමින් තමා භාවිත කරන සංඥා නාමය හෝ පරම්පරා නාමය වෙනස් කරන බව මහජනතාවට දැනුම් දෙන්නෝ කොපමණ වෙත්ද? සමහරු තම නම් ගම්, පරම්පරා නාමයන් ප්‍රසිද්ධියේ පළ කරන්නට අකැමැති වෙති. ඔවුහු සමාජයේ වෙනත් වෙනත් නම්වලින් පෙනී සිටින්නට ද උත්සාහ දරති.

මෑතකාලීන ව මුදල් පොලීකරුවන් රාශියකගේ නම් ගම් අනාවරණ වූයේ අන්වර්ථ නාමයෙනි. අපරාධකාරයෝ ද සමාජයේ පෙනී සිටිනුයේ ව්‍යාජ නාමයන්ගෙනි. සැබෑ නාමය වෙනස් කර ගැනීමෙන් සැඟවී සිටින්නට ඇතමකු උත්සාහ කළ ද කවදා හෝ ඔවුනට එසේ විසිය නොහැකි බව මෑතකාලීන නිදර්ශන රාශියක් ම අපට ප්‍රකට කරවයි.

මේ අතර ජනප්‍රිය ගීත රැල්ලේ එක් ගීතයකින් බොහෝ දෙනාගේ නම් ගම් හාස්‍යයට නැංවුණු අවස්ථාවක් ද අපට දැකිය හැකි විය. හාස්‍යෝත්පාදක ගීතයක් වුව එතුළ නාමය යනු සංඥාවක් බව ප්‍රකට කරවන්නට උත්සාහයක් දරා තිබූ බවක් නොපෙනුණි. මේ සියල්ල පිළිබඳ ඉතා වැදගත් විග්‍රහයක් අපට ජාතක පොතෙහි එන නාමසිද්ධි ජාතකයෙන් ඉදිරිපත් කළ හැකි වෙයි.

”නාමසිද්ධි” නමැති භික්ෂුවක් අරබයා බුදුහිමියෝ දෙව්රම් විහාරයේදී මේ ජාතකය දේශනා කළ බව දැක්වෙයි. “පාපක” නමැති තරුණයෙක් ශාසනයෙහි ළැදි ව පැවිදි වූ අතර, ඉන් පසු ඔහු හැඳීන්වූයේ “පාපක භික්ෂුව“ යනුවෙනි. බොහෝ දෙනා ඔහුට පාපක ය මෙහි එන්න, පාපක ය පිඬු සිඟා වඩින්න. ආදී ලෙස නිතර නිතර ආමන්ත්‍රණය කෙරෙති. මෙය ඉතා අමිහිරි ආමන්ත්‍රණයක් සේ සැලකූ පාපක භික්ෂුව ඉතා මිහිරි නමක් තබන්නැයි ආචාර්යයන් වහන්සේ වෙතින් ඉල්ලා සිටි අතර, “ඇවැත්නි නාමය සම්මුතියක් පමණි, ඒ ගැන නොසිතා වැඩ කරන්නැයි” ආචාර්යයන් වහන්සේ කියා සිටියහ.

මේ කථාව ඇසූ බුදුරදුන් පෙරදීත් මේ භික්ෂුව මේ නමින් ම පෙනී සිටි අර්බුදකාරී වූ අයුරු ඉස්මතු කරමින් අතීත තතු ගෙන හැර පෑහ. එහිදී මොහු තක්සලාවෙහි ශිෂ්‍යයෙක් විය. බෝසතාණෝ මහැදුරු වූහ. තරුණ මානවකයාගේ නම “පාපක” විය. සියල්ලන් ම ඔහුට පාපක, පාපක යයි අමතන විට එය ඉතා ළාමක ඇමතුමක් සේ සිතා ආචාර්යයන් හමු වී තමා හට වෙනත් නමක් තබන්නැයි ඉල්ලා සිටියේය. ගමෙහි සැරිසරා තමාට රුචි ඕනෑ ම නමක් සොයා එන්නැයි මානවකයාට පැවරීය.

ඔහු බොහෝ මිහිරි නම් සොය සොයා, සරන අතර එක්තරා පුරුෂයකු මියගොස් සිය ඥාතීන් විසින් සොහොනට ගෙන යනු ඔහුට හමුවිය. ඥාතීන්ගෙන් ඔහුගේ නම කුමක්දැයි විමසූ විට “ජීවක” යැයි කීය. අහෝ ජීවකලාත් මියැදෙන්නේදැයි සිත සිතා තවත් ඉදිරියට යද්දී, මෙහෙවර නිසි ලෙස නොකළ දාසියකට දඬුවම් දෙන ස්වාමියකු දැක පහර කෑ දාසියගේ නම කුමක්දැයි විමසීය. ධනපාලී බව කීය. ධනපාලියෝත් බැලමෙහෙවරෙහි යෙදෙන දුගී ස්වභාවයට පත් වන්නේදැයි සිතමින් පාපක තවත් ගමෙහි සැරිසරන්නට විය.

එවිට මංමුළා වී යන එන මං නොදැන ඇවිදින පුරුෂයකු හමු වී ඔහුගේ නාමය විමසීය. “පන්ථක” යයි දැනගත් විට අනේ පන්ථකයන්ටත් පාර සොයා ගත නොහැකි ව මංමුළා වන්නේදැයි ඔහු සිතන්නට වීය. ඇතැම් විට ඔහු තවත්, තවත් ඉදිරියට යන්නට ඇත. එවිට ඇතැම් විට ඔහුට මහ මඟ යදින ධනදාසලා ද, වෛරයෙන් ජීවත් වන ප්‍රේමදාසලා ද, දුෂ්ටකමින් පිරි කල්‍යාණවතීලා ද, අදැහැමින් ජීවත් වන ධර්මදාසලා ආදී විවිධ චරිත හමුවන්නට ඇත. මේ සියලු චරිත ඔහුට කියා දුන්නේ නාමය යනු සම්මුතියක් පමණක් බවයි.

අවසානයේ ඇදුරුතුමන් හමුවට එන පාපක මානවකයා වෙතින් සුදුසු නමක් සොයා ගත්තේ දැයි විමසූ විට ඔහු ප්‍රකාශ කළේ ඇදුරුතුමනි, ජීවකලාත් අජීවකලාත් මැරෙති. ධනපාලයෝත්, අධනපාලයෝත් දුප්පත් වෙති. පන්ථකයෝත්, අපන්ථකයෝත් මංමුළාවෙති. නමෙන් කමක් නැත. කළ දෑ නොකළ දෑ ම ගැන සිතා ජීවත් විය යුතු බවයි. එබැවින් තමාට වෙනත් නාමයකින් පලක් නොමැති බවයි.

මේ අනුව නාමසිද්ධි ජාතකය තුළ වඩාත් අර්ථ ගැන්වෙන්නේ පුද්ගල ක්‍රියාවේ මිස නමෙහි අරුත් විමසීම පලක් නොවන දෙයක් බවයි.

ශ්‍රී ලාංකේය සමාජයට මේ පාඩම ඉතා වැදගත් වෙයි. විශේෂයෙන් දෙමාපියන් තම දරුවකු ජන්මය ලද පසු නමක් තබා ගන්නට අකුරු සොය සොයා වෙහෙසෙති. අකුරට සුදුසු නම් දහස් ගණන් සොය සොයා වෙහෙසෙති. සැමියකු තම බිරියට දරුවකු ලද බව සැලවූ වහාම මහත් සේ සතුටට පත්වෙයි. ඔහු වහාම සිතන්නේ නමක් ගැනයි. එක් පියෙක් තම බිරිය දියණියක ප්‍රසූත කළ බව ඇසූ වහාම ඇය ජයග්‍රාහී මාතාවක් වූ බව කියා එය සමරන්නට ‘ජය සමරා’ යැයි දියණියට නම තැබීය. ඒ නම කෙතරම් අරුත්බරදැයි සිතා බැලීම වටී. අප එසේ විය යුතුය.

සිංහලයාගේ ඉතිහාසයෙහි නම් ගම් වහර විමසීමේදී එය සංස්කෘතික අනන්‍යතාවක් වූ බවද පෙනේ. බෞද්ධ බලපෑම නිසා ඉපැරැණි රජවරු ඊට ඔබින නම්වලින් පෙනී සිටින්නට උත්සාහ කළහ. බුද්ධදාස, ධාතුසේන, මුගලන්, කාශ්‍යප, වැනි රාජාවලිය ඊට නිදසුන් සපයයි.

නාමසිද්ධි ජාතකය පෙන්වා දෙන්නේ නාමයට වඩා ක්‍රියාව ම වැදගත් වන බවයි. අනෙක් අතින් ක්‍රියාවට ගැළපෙන නාමය ද වරදක් නොවේ.

සත්‍යපාලලා සැබැවින් ම සත්‍යපාලලා විය යුතු ය. සුමුදුලා සෞම්‍ය විය යුතු ම ය. ධර්මසේනලා දැහැමි විය යුතුªම ය. කරුණාවතීලා කරුණාබර විය යුතු ම ය. එසේ නැතහොත් නාමයට ද කැළලක් වනු ඇත.

ඇතැමුන් භාවාර්ථ නොදැන නම් ගම් භාවිත කිරීම නොගැළපේ. මොනරාගල ප්‍රදේශයේ එක් තැබෑරුමක් නම් කර ඇත්තේ “සුමධුර වයින් ස්ටෝර්ස්” යනුවෙනි. පාපියන්ගේ පානයක් සුමධුර වන්නේ කෙසේද? එසේම සිනිඳු හාඩ්වෙයාර්, සඳකැළුම් ගල්මෝල, අමර මල් ශාලාව වැනි යෙදුම් භාවාත්මක නොවනු ඇත.

එබැවින් භාෂාවෙහි නම් ගම් වහර හරඹයක් වී ඇති මේ යුගයෙහි නාමසිද්ධි ජාතකයෙහි නැවත කියැවීම අපට බොහෝ අර්ථ සිද්ධියක් ඇති කරවන බව පැහැදිලිය.

ලබන සතියට අත්ථස්සද්වාර ජාතකය

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා