»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2010 නොවැම්බර් 28දින
* 2010 නොවැම්බර් 21දින
* 2010 නොවැම්බර් 07දින
* 2010 ඔක්තෝම්බර් 31දින
* 2010 ඔක්තෝම්බර් 24දින
* 2010 ඔක්තෝම්බර් 17දින
* 2010 ඔක්තෝම්බර් 10දින
* 2010 ඔක්තෝම්බර් 03දින
* 2010 සැප්තැම්බර් 26දින
* 2010 සැප්තැම්බර් 19 දින
* 2010 සැප්තැම්බර් 12 දින
* 2010 සැප්තැම්බර් 05 දින
* 2010 අගෝස්තු 29දින
* 2010 අගෝස්තු 22දින
 
 
   
පරාජය
 

පරාජය

 

ඒයි ජයේ නැගිටින්න. අද වැඩට යන්නේ නැද්ද හොඳටෝ ම දවල් වෙලා.’

’මොකක්ද දෙයියනේ ඔයාට වෙලා තියෙන්නෙ. තාම එළිය වැටුණෙත් නෑ. මට තව ටිකක් නිදාගත්තෑකි.’

මම කුසීනකමින් යුතුව ඇඳේ අනෙක් පසට හැරී දෑස පියාගතිමි. බිරිය කුමක්දෝ වැදගත් කරුණක් කීමට මෙන් ඇඳේ පසෙකින් හිඳගනු මට යන්තමින් දැනිණ.

’දවල් වෙලා නෑ? දැන් හයත් පහුවෙලා. නැගිටල ලේස්ති වෙනකොට වෙලාව හරියාවි.’

බිරිය මගේ උරිස්සට අත තබනු මට යන්තම් දැනේ.

’මේ ඔයා දන්නවයි වැඩක්. ඊයෙ රෑ මහේෂි ජයන්තත් එක්ක පැනල ගිහින්ලු අනේ.’

’මොනව පැනල ගිහිල්ල?’

’ඔව් මෙයා අන්න දෙගොල්ලම ගිනි විජ්ජුම්බරේට හොයනව. ඊයෙ හවසත් මං දැක්ක ඔය දෙන්න තාප්පෙ ළඟ මුකුළු කොර කොර ඉන්නව. හොඳ වැඩේ ඕකුන්ට. දැන් තමයි දෙගොල්ලන්ටම ගිනි පත්තුවෙල තියෙන්නෙ.’

බිරිය නැවතත් ජනේලය අසලට ගොස් බෙල්ල දිගුකොට මහේෂිලාගේ නිවස දෙස බලා සිටියි.

’ඔය මහේෂිලාගෙ ගෙදර මහ ගෑනි මහ ආඩම්බර උලව්ව. ඕකුන්ගෙ පළලෙ යන්නත් එක්ක හොඳ වැඩේ ඔහොම වුණු එක.’

’කවුරු කා එක්ක පැනල ගියාම අපේ මොකෝ රම්‍යා? උන් අපේ කවුද? අපි මොනවටද උන්ගැන ඔයහැටි කලබල වෙන්නෙ.’

බිරියගේ අවලාද අසා සිටිය නොහැකි තැන මම පවසමි.

’අපේ කවුරුවත් නොවන බව හැබෑව. ඒත් මහේෂිලගෙ මහ ඈයො අහසින් යන්න හදන්නෙ. බිම ඉඳගෙන උඩම අත්ත අල්ලන්න හදන්නෙ.’

බිරියගේ කරච්චලය අවසන් නොවන බැවින් මම ඇඳෙන් නැගිට එහිම හිඳ ගතිමි.

’ඔයා ඔහොම හිතුවට රම්‍යා මේ ලෝකෙ මිනිස්සු වැඩි හරියක් ඔහොම තමා. කොහොමහරි තමන් දියුණු වෙන්නයි බලන්නෙ. ඒ වගේම අනුන්ගෙ සැපතට අකුල් හෙළනව. අනුන්ට ඊර්ෂ්‍යා කරනව.’

’ඒක තමා මාත් කියන්නෙ. ඔය මහේෂිලගෙ මහ ඈයො අපිත් එක්ක ඉරිසියයි. ඔයා වැඩට යනවට ඉරිසියයි. ළමයි හොඳ ස්කෝලවලට යනවට ඉරිසියයි. කොටින්ම අපි කාල ඇඳල ඉන්නවටත් හරිම ඉරිසියයි.’

මම තේ කෝප්පය අතට ගෙන ඉන් උගුරක් ගිල දමමි.

’ඒවයින් අපට වැඩක් නෑ රම්‍යා. ඉරිසියා කළාට අපේ ඇඟේ ඇලෙනවයැ. අපි අපේ වැඩක් බලාගනිමු.’

බුරුසුවට දත් බේත් ස්වල්පයක් තවරා ගත් මම මුහුණ සෝදා ගැනීම සඳහා පයිප්ප කරාමය අසලට ළංවීමි.

’ළමයි නැගිටින්නෙ නැද්ද? හ්ම්! ඉක්මන් කරල තේ බීල ලෑස්ති වෙනවල. හ්ම්! ඉක්මන් කරනව.’

බිරියගේ විධානයේද ඇත්තේ පෙර නොවූ තරමේ කලබලකාරී බවකි. ඈ කඩිමුඩියේ ළමුන් නිදා සිටින කාමරයට දුවයි. නැවත මුළුතැන්ගෙට වැදී ලිප තැබූ ව්‍යාංජනයක් හැඳිගායි. නැවත මිදුලට බැස මහේෂිලාගේ නිවස දෙස මොහොතක් බලා සිටියි.

ළමුන් දෙදෙනා නිදිබර සෝමාරි මුහුණු එල්ලාගෙන මුළුතැන්ගෙට ඇතුළු වනු මට පෙනේ. උදෑසනින්ම ළමුන් දෙන්නා නැගිටුවීමට බිරිය අපමණ වෙහෙසක් කරයි. කෙතරම් බෙරිහන් දුන්නත් උන්දෙන්නා නින්දෙන් නැගිටුවා පාසලට යැවීමට සූදානම් කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.

’ඉතින් මොකද තවමත් නිදි කිර කිරා බලා ඉන්නෙ? තේ එක බොනව. බීල යනව බාත් රූම්. හ්ම් ඉක්මනට.’

බිරියගේ විධානය පෙරට වඩා වේගවත්ය. තර්ජනාත්මකය.

’ඊයෙත් හරියට දත් මැදල තිබුණෙ නෑ. කම්මැළි නැතුව හොඳට දත් මැදල මූණ හෝද ගන්නව. අපිරිසිදුවට හිටියම ගුරුවරු බනින්නෙ දෙමව්පියන්ට.’

මම කාර්යාලයට යාමට සූදානම් වන අතරේ බිරිය ළමුන් දෙදෙනාගේ මුහුණු කට සෝදා පිරිසිදු කරයි.

මම ළමුන් දෙදෙනා යතුරු පැදියේ නංවාගෙන ඔවුන් පාසල් දෙකට හැරලවා කාර්යාලයට ගියෙමි. ඒ යන අතරතුරද මට සිහිවූයේ බිරියගේ මේ අසාමාන්‍ය හැසිරීම් විලාසයයි.

කාර්යාලයේදී මම කුමන හෝ අවශ්‍යතාවයකට බෑගය විවර කළෙමි. එය වෙනදාට වඩා සැහැල්ලුය. මම නැවත ඒ තුළ සෝදිසියෙන් බැලීමි. කෑම පාර්සලය බෑගය තුළ නැත.

’අපේ මනුස්සයට තිබුණෙ පුදුම ගායක්. අර මඟුලක් ගැන හිත හිතා ඉඳල කෑම එක අමතක කරල. අදත් ඉතින් කැන්ටිමේ ජරාවට තමයි සල්ලි පූජ කරන්න වෙන්නෙ.’

ට්‍රී.. ටි‍්‍රං... ට්‍රිං...

ප්‍රධාන ලිපිකරුගේ මේසය මතවූ දුරකථනය නාද දෙයි.

’හලෝ’

’ඔව් ඉන්නව. පොඩ්ඩක් ලයින් එකේ ඉන්න.’

’ජයේ මෙන්න ඔයාට කෝල් එකක්.’

ප්‍රධාන ලිපිකරුවා මා අමතයි. මම රිසීවරය වෙත ගමන් කරමි.

’හලෝ’

’ඔව් ඔව්’

’ඉතින් ඔයාට උදේ හොඳ සිහියක් තිබුණයි.’

’නෑ එපා මං කඩෙන් කන්නම්.’

’නෑ එපා’

’එනව නම් මගේ මොකෝ’

’හා හරි හරි’

’ඇයි ජයේ මොකද කරදරයක් ද?’ ප්‍රධාන ලිපිකරු මගෙන් විමසයි. සියල්ලෝ මා දෙස බලාසිටිති.

’නෑ. මේ අපේ නෝනා. එයාට උදේ කෑම එක දාන්න අමතක වෙලා දැන් කෑම එක එවනවළු.’

ප්‍රධාන ලිපිකරු මුවඟට සිනාවක් නඟා ගනියි.

’පේනව නේද? ස්වාමි පුරුෂයන්ට ආදරේ ඇති බිරින්දෑවරු.’

ඔහු තරුණ යතුරු ලියන්නිය දෙස යටැසින් ඉඟි කරමින් පවසයි.

බිරිය ප්‍රධාන දොරටුවෙන් ඇතුළුවී පඩිපෙළ නැඟ කාර්යාලයට ඇතුළු වෙයි. ඇගේ මුහුණ විඩාබරව, හිස කෙස් අවුල්ව ගොස් ඇත. ඇය දකුණතේ බෑගයක් එල්ලාගෙන වමතින් අවුල්ව ගිය හිසකෙස් සකස් කරමින් මා අසලට පැමිණේ. ඇගේ අමතකවීම ගැන දොස් පැවරීමට සිතා සිටි මගේ සිතෙහි ඇය කෙරේ අනුකම්පාවක් ජනිතවේ.

’මං කිව්වනේ එන්න එපා කියල. ඇයි ආවෙ?’

’නෑවිත් පුළුවනෑ? කෑම එක අපරාදෙ අනිත් එක කඩෙන් කන්න ගියාම කීයක් වියදම්ද?’

බිරිය අත වූ ලේන්සුවෙන් ගෙලෙහි නැගි දහදිය බිදු පිස දමයි.

’ඇයි මනුස්සයො, එන්න යන්න බස් ගාස්තු? මහන්සිය? මම තරයේ පවසමි.

’මහන්සිය වගේ යැ? කඩෙන් ජරාව කන්න සල්ලි ගෙවන එක. ජරාව කන්නෙ මොකටද ගෙදර කෑම තියෙද්දි’

බිරිය මා ඉදිරියේ අසුනක හිඳගෙන අතවූ ලේන්සුවෙන් පවන් සලා ගනී. මම ඇය ඉදිරියේ අසුනකට බර වෙමි.

’ඒකයැ ජයේ, අරුන් අර පැනල ගිය ජෝඩුව සොයන්න පළාතම දෙවනත් කරනව. පොලිසියෙන් ඇවිල්ල ගෙවල් ගානෙ සොයනව.’

බිරිය අවස්ථාවක් ලද විගස සිතයට පැසවමින් තිබූ තොරතුරු හෙළි කරන්නට පටන් ගනී. ඈ එම හෙළිදරව්වෙන් ආත්ම තෘප්තියක් ලබාගන්නට සැරසෙන අයුරු පෙනීයයි.

’ආ එහෙනම් ඒ ගොල්ලො ළඟ මරාගෙන මැරෙන බෝම්බ ඇති නැත්නම් මොකටද ඔය තරම් හොයන්නෙ?’

’ඔයාට නම් විහිළු, ඒ පැත්ත ගිනිවැදිල වගේ. මහේෂිලගෙ අප්පච්චි වෙඩිකාපු ඌර වගේ එහෙ මෙහෙ දුවනව.’

’මේ.. මේ.. ඔයාට වැඩක් නෑ රම්‍යා අනුන්ගෙ පව්වලට කරගහන්න තමන්ගෙ වටිනා කාලය කැප කරන්න. ඔයා පරිස්සමෙන් ගෙදර යන්න. නැත්නම් ප්‍රෙෂර් වැඩිවෙල මට තමයි ඒකටත් විඳින්න වෙන්නෙ.’

ඇගේ සිත සන්සුන් කරන අටියෙන් කියමි.

බිරිය විඩාබර මුහුණින් යුතුව මගෙන් සමුගෙන පඩිපෙළ බසී. සවස රාජකාරි අවසන්වී නිවසට පැමිණි මම ඇඳුම් මාරු කොට මුහුණකට සෝදා ගැනීමට පයිප්පය අසලට ගියෙමි. බිරිය ඉස්පාසුවක් නොමැති අයුරින් මා පසුපසින්ම එකෙල මෙකෙල වෙමින් සිටී. ඇගේ සිත තුළ වැමෑරීමට බොහෝ දේ ඇති බැව් හැඟේ. මුහුණ කට සෝදාගත් මා එදින පුවත්පත අතට ගෙන ස්තෝප්පුවේ හාන්සි පුටුවකට බරදුනිමි. බිරිය උණු තේ කෝප්පයක් අතැතිව මා ඉදිරියට පැමිණෙයි.

’ජයේ අද මෙහාට පොලිසියෙන් ආවනෙ.’

බිරිය අලුත්ම ආරංචිය පවසයි.

’ඇයි මොනවද? මෙහේ හොර බඩු හංගල තියෙනවද කියල බලන්නද?’

මම කෝප සහගත ස්වරයෙන් අසමි.

’නෑ අනේ ඒ දෙන්න යන දිහා අපිටවත් කියල ගියාද කියල අහන්න.’

මගේ කෝපය ඉහවහා යයි. පුටුවෙන් නැගිට ගොස් මහේෂිලාගේ අප්පච්චියට හොඳවයින් දෙකක් කථා කිරීමට මට සිතේ. මම ඒ අදහස ආයාසයෙන් මැඩගත්තෙමි.

’හරි වැඩක්නෙ මේක, හොරෙන් පැනල යන එකා කිය කිය යනවද යනදිහා? අනික මේ අපිට? කවුද ඔය ප්‍රශ්න අපහු බූරුව?’

’හා! හා! ඔයා ඕව ගණන් ගන්න එපා. අපේ මොකෝ සෙව්වහම.’

බිරිය මා කෝපයට පත්වූ බව දැන මා අස්වසයි.

’ඔය මහගෑනි හිතා හිටියෙ දූ රාජ කුමාරයකුට දෙන්න. ඒ දවස්වල කොළඹ ලොකු බිස්නස් කාරයෙක්ගෙ පුතෙක් ආව මහ තඩි ඉන්ටර්කූලර් එකකින්. ජයට මඟුල් කන්න බලාගෙන හිටියෙ. ඒ දවස්වල ඔය ගෑණි අපේ මූණවත් බැලුවෙ නෑ. ආඩම්බරකාර බඩුව.’

මට රම්‍යාගේ අන්තවාදී අදහස්වලට එකඟවිය නොහැකිය. එක් සිදුවීමක් දෙකක් අරගෙන සියලු ගතිසිරිත් මැනීමත්, එක් පුද්ගලයකුගේ හෝ පවුලක ස්වභාවය ගෙන සියලු සමාජය මැනීමත් ඇයගේ ස්වභාවය බව මම සිතමි. මිනිස් සමාජයේ වැඩි දෙනෙකු ක්‍රියා කරන්නේ මෙවැනි සංකීර්ණ ගති ස්වභාවයෙන්ය යන්න ඇය විශ්වාස නොකරයි. මෙවැනි අවස්ථාවල නිහඬව ඈට කන්දීම සුදුසුම ක්‍රියාව බව මසිතට වැටහේ.

පසුදාත් ඇගේ හැසිරීමෙහි කලබලකාරී ස්වභාවය පහව ගොස් නොතිබුණි. රහසේ පැනගිය යුවළට සිදුවී ඇත්තේ කුමක්ද? ඔවුන් ආපසු නිවෙස් වලට පැමිණේද? ඒ පිළිබඳව වැඩිහිටියන්ගේ ප්‍රතිචාර කෙබඳුද? ඔවුන්ගේ අඬදබර කෙළවරවේද? යන ප්‍රශ්න රම්‍යාගේ් සිතෙහි කැකෑරෙමින් ඇත.

’අද නම් මතක ඇතුව කෑම එක බෑග් එකට දානව. ඊයෙ වගේ අවසිහිය නැතුව.’

මම විධාන කරමි. බිරිය දෑස් විදහා මා දෙස බලා සිටියි.

’අපෝ ඕක මොකක්ද?’

’ඕක මොකක්ද නෙවි. ඊයෙ වගේ හතිදාගෙන කෑම එක අරගෙන එන්න වේවි. ඔය වගේ අවසිහියෙන් හිටියොත්.’

බිරිය මා සමඟ කථාකරන අතරතුර මහේෂිලාගේ නිවස දෙස බලයි. ඇතැම්විට ඈ ගෙමිදුලට නිතර යන්නේද ඒ පිළිබඳව විපරම් කිරීමට මෙන් එදෙස බලමිනි.

මහේෂිලාගේ මවත් පියාත් කොහොමත් මාන්නක්කාර ගති පැවතුම් ඇති උදවියයි. ඔවුන් අප සමඟ හෝ අසල්වැසියන් සමඟ හෝ කිට්ටු ඇසුරක් නැත. හදිසියේවත් කථා බහක යෙදුණොත් ඒ වරදක් පෙන්වාදීමට හෝ ගතුකීමකට සීමාවේ. වැටේ ඉන්නක් සම්බන්ධව කලකට පෙර අපට බැණ වැදුණා පමණක් නොවි පොලිසියට පැමිණිලි කොට රාජකාරියක්ද කළහ. කාලයත් සමඟ ඒ සිදුවීම මා මතකයෙන් බැහැර කළද එය රම්‍යාගේ සිතේ තදින් කා වැදී ඇත.

ඉන්පසු දින කීපයක් ඉක්මගියද ඉහත සිදුවීම්වල කිසිදු ප්‍රතිඵලයක් අසන්නට නොලැබුණි. මෙම සිදුවීම පිළිබඳව බිරියගේ ද මුලදී තිබූ උනන්දුව අඩු වූ සෙයක් දක්නට ලැබුණි.

ඊළඟ සෙනසුරාදා නිවාඩු දිනයක් වූ බැවින් මම නිවසේ කිසියම් කාර්යයක නිරතව සිටියෙමි. බිරිය ලහි ලහියේ මා වෙත පැමිණියාය.

’ඒකයැ ජයේ අර ජෝඩුව හම්බවෙල. කෑගල්ලෙ ජයන්ත ළගෙ නෑ කෙනෙක්ගෙ ගෙදර ඉඳල.’

මම විශ්මිත දෙනෙතින් ඇය දෙස බලා සිටියෙමි.

’ඉතින් ජෝඩුව කැන්දගෙන ඇවිල්ල නැද්ද?’

බිරිය දෙනෙත් අයා විශ්මයෙන් බලයි.

’එහෙම කැන්දන්එයිද? කැන්දන් ආවත් ඉතින් වැඩක් නැහැනෙ.’

’ඒකනෙ අපි කිව්වෙ. ඕව බොරු සෝබන කියල. හෙට අනිද්ධ කැන්දගෙන එයි යස අපූරුවට. එතකොට ඔයාලගෙ කටවල් වැහෙයි.’

බිරියගේ මුහුණ කළු වී යනු මට පෙනේ. මහේෂිලාගේ පලායාම ඇගේ සිතට මහත් අස්වැසිල්ලක් මෙන්ම ආස්වාදයක් ගෙනදුන් කරුණක් විය. ඔවුන්ගේ හමුවීම හා සිද්ධීන් සමාදානයෙන් විසඳා ගැනීම ඇය නුරුස්සන්නක් බව ඇයගේ හැඟීම් පිරික්සීමෙන් මට වැටහිණි.

’ඔව් කැන්දගෙන එයි. ඇවිත් පාවඩ දාලා පිළිගනියි බලා ඉන්න එහෙනම්.’

බිරිය නෝක්කඩුවෙන් පවසා ගස්සාගෙන ඉවත යයි.

තවත් දින කීපයක් ගතවුණේ කිසිදු වාර්තාමය සිදුවීමකින් තොරවය. බිරියද සුපුරුදු පරිදි නිවසේ කටයුතු කළා විනා විශේෂ තොරතුරක් මා වෙත ඉදිරිපත් නොකළාය.

එක් දිනක් මා කාර්යාලයේ සිට නිවසට පැමිණෙන අතරතුර මහේෂිලාගේ නිවස දෙසට නෙත් යැවීමි. මහේෂිලාගේ මිදුලේ මෝටර් රථ කීපයක් නවතා ඇත. ගෙතුළත් ගෙමිදුලේත් කිහිපදෙනෙකු ගැවසෙනු මට පෙනුණි. කිසියම් හෝ අමුත්තක් ඒ නිවසේ සිදුවී ඇතැයි මගේ සිතට හැඟිණි.

කාමරයට වැදී ඇඳුම් මාරුකළ මම මුහුණ සෝදා ගැනීම පිණිස සුපුරුදු ලෙස කරාමය අසලට ගියෙමි. බිරිය පෙනෙන තෙක් මානයක නැත. ළමුන් දෙදෙනා පමණක් මිදුලේ සෙල්ලම් කරමින් සිටියහ. ඇඟපත සෝදා ගැනීමෙන් පසු මුළුතැන්ගෙය දෙසට පිය නැගුවෙමි. බිරිය මුළුතැන්ගෙයි බිම හිඳගෙන පලා මිටියක් සුද්ද කරමින් සිටියි. මා ඇය අසලට ළංවුවද ඇය හිස නොඔසවාම කරමින් සිටි කාර්යයේම නිරත වෙයි. මම ඇය අසලින් හිඳ ගතිමි.

’මොකද අද කථා නැත්තෙ? මොනවද අලුත් ආරංචි?’

එවර බිරිය හිස ඔසවා මා දෙස බලයි.

’අබුද්දස්ස කාලෙට වෙන දේවල් තමා අලුත් ආරංචි.’

’ඇයි මොකද? අබුද්දස්ස කාලෙට ලබුත් තිත්ත වෙලාද?’

’තිත්ත වෙලා නෙවි තිත්ත වෙච්ච ලබු පැණිරහ වෙල.’

බිරියගේ පිළිතුරෙන් කුමක් හෝ හදිසි විපර්යාසයක් සිදුවී ඇති බැව් මට පැහැදිලි විය. එය අන් කිසිවක් නොව මහේෂිලාගේ පලායාම පිළිබඳව සිදුවී ඇති විපර්යාසයක් බවද පැහැදිලිය.

මම විශ්මයෙන් යුතුව බිරියගේ ඉරියව් දෙස බලා සිටියෙමි.

’ඇයි මොකද වෙලා තියෙන්නෙ.’

බිරියගේ් නිහඬතාවය දරා සිටිය නොහැකි තැන මම අසමි.

’මොකුත් වෙලා නැහැ. අර පැනල ගිය ජෝඩුව ආපසු ඇවිල්ල දැන් දෙගොල්ල බොහොම හොඳයි කිරි පැණි වගේ.’

මට ‘බකස්’ ගා සිනායයි. මා සිනාසෙන විට එය ඔච්චම් හිනාවක් බව අවබෝධ කරගත් බිරිය මා දෙස ඔරවා බලයි.

’කමෝන්, කමෝන් ඔය තියෙන්නෙ අපූරුවට. අපි ඕව කියන කොට ඔයා අපි නෝන්ඩි කළා. දැන් මොකෙද වෙලා තියෙන්නෙ? අපි කියන ඒව බොරුද නංගී.’

මම උපහාසයෙන් යුතුව හඬ නගා සිනාසෙමි. බිරියගේ මුහුණෙහි පරාජිත සේයාවක් ඇඳී ඇත. ඈ මුහුණ පුම්බාගෙන ඉවත බලා සිටී.

’කවුද අනේ ඔහොම මිනිස්සුය කියල හිතුවෙ? දෙගොල්ල පහුගිය දවස්වල ගහ මරාගත්තු විදිහට. දැන් කිරි පැණි වගේලු. ළඟදි මඟුල් කන්නත් සූදානම් වෙනවලු.’

බිරිඳ ආරෝවක ස්වරූපයෙන් පවසයි.

’අම්මට සිරි! ඒකෙන් මේකෙන් මටයි තට්ටුවෙන්නෙ?’

බිරිය විශ්මයෙන් යුතුව මා දෙස බලයි.

’ඇයි ඔයාට මොකොද?’

’ඇයි මනුස්සයො. දැන් මඟුල් ගෙදර යන්නත් වෙනවනෙ. මඟුල් ගෙදරට සාරි බාරි. කනකර ගන්නත් එපාය. ඉතින් මගේ පර්ස් එකට නෙවිද තට්ටුවෙන්නෙ?’

බිරිය දෑස් අයා ඔරවා බලයි.

’මඟුල් ගෙදර? මඟුල් ගෙදර යයි මගේ බල්ල.’

බිරිය මට ඔරවා ගස්සාගෙන මුළුතැන්ගෙයින් පිටවී කාමරයට ගියාය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා