»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2010 නොවැම්බර් 28දින
* 2010 නොවැම්බර් 21දින
* 2010 නොවැම්බර් 07දින
* 2010 ඔක්තෝම්බර් 31දින
* 2010 ඔක්තෝම්බර් 24දින
* 2010 ඔක්තෝම්බර් 17දින
* 2010 ඔක්තෝම්බර් 10දින
* 2010 ඔක්තෝම්බර් 03දින
* 2010 සැප්තැම්බර් 26දින
* 2010 සැප්තැම්බර් 19 දින
* 2010 සැප්තැම්බර් 12 දින
* 2010 සැප්තැම්බර් 05 දින
* 2010 අගෝස්තු 29දින
* 2010 අගෝස්තු 22දින
 
 
   
බස වැඩීම හා මැඬීම
 

බස වැඩීම හා මැඬීම

 

 

බසෙකැ වැඩීම ඇති වන්නේ ඒ බසෙහි නිසි වියරණ නියර රැකීමෙන් හා බසෙහි වදන් පමණ පුළුල්වීමෙන් ද වේ. ඒත් සිංහල බසෙහි මෙ තතු මීට හාත්පසින් මැ වෙනස් වියැ යුතු යැ යි හඬ නඟන පිරිසක් ද වෙති. ඔවුන් ගේ මතය අනුවමැ වියරණය මැරීම සිංහල බස වැඩීමට හේතු වෙයි. එය බසේ පරිණාමය ලු. සකු, පාළි, ඉංගිරිසි ඈ පර වදන් වළකා එ පිණිස සිංහල වදන් යෙදීම සිංහල බස සිරගත කිරීමක් ලු. නො බෝ දා සිළුමිණේ පුන්කලසේ පළ වූ ඇතැම් ලිපිවලින් ද මේ අදහස ඉස්මතු කොටැ දක්වා තිබිණ. මෙය අද ඊයේ ඇති වූ මතයක් ද නො වේ. ඉංගිරිසි පාලන සමයේ අගැ හරියේ සිට මැ මේ මතය ගත්තෝ හිඟ නුවුහ. එ කලැ එ වැන්නකු නැඟූ තර්කයකට පිළිතුරු දෙමින් කුමරතුඟු මුනිදස් මහ වියතාණන් විසින් ද “සිංහලයෙහි වනාහි විශේෂ ලක්ෂණයෙකි දැනීම විහිළුවෙකි. නොදැනීම පණ්ඩිතකමෙකි” යි ලියා තිබෙනු දිටිමි. එය අදටත් එ සේ මැ යැ. හඩු බසින් ලියැවුණු පබඳ ද එ වැනි පබඳ කළවුන් ද සම්මානයෙන් පුද ලබන්නේ ඒ නිසා යැ.

සිංහල රට යටත් විජිතයක් කැරැ ගත් ඉංගිරිසියා බෙහෙවින් උනන්දු වූයේ සිංහලයා ගේ බස වැනැසීමට යි. සිංහල බසින් ඉගැන්වීම කැරුණු පාසල් වර්නර්කුලර් ස්කූල්ස් (ඍඥපදචජභතචප ඉජඩධධතඵ) හෙවත් වහල් බස් පාසල් යන නමින් හඳුන්වන ලද්දේ ද ඒ නිසා යි. උසස් තැන දුන්නේ ඉංගිරිසියෙන් ඉගැන්වීම කැරෙන පාසලට යි. “සුද්දා කවර දා හෝ මේ රට හැරැ යන්නේ, සුද්දාට වඩා හොඳින් යටත්විජිත වහල්බව රැකැ ගන්නා කළු සුද්දන් පිරිසක් සාදා තබාලා යැ” යි අනගාරික ධර්මපාල තුමන් ද වරක් පවසා ඇත්තේ මේ තත්ත්වය එ තුමන් ද තේරුම් ගෙනැ සිටි නිසා යි. අයිවර ජැනිංසු ගුරු කුලය පිහිටුවන ලද්දේ සිංහල බස මැඬීමේ කාරිය සිංහලයා ලවා මැ කැරැවීමේ අරමුණ ඇති වැ යි. අයිවර ජැනිංසු පුවසුරුවන් මෙහි එවන ලද්දේ සුදු පාලකයා ගේ ඒ අරමුණ හොඳින් ඉටුකිරීමට යි. එ තුමෝ එය මැනැවින් ඉටු කොටැ ගියහ. සිංහලය හරි හැටි නො දත්, ඒත් හොඳ ඉංගිරිසියෙන් සිංහලය ගැනැ යමක් ලියා දක්වන්නට සමත් ඉංගිරිසි උගතුනට සිංහල බස පිළිබඳ ඉහළ මැ පට (උපාධිය) පිරිනමන ලද්දේ ඒ සඳහා යි. අද එහි පල මැනැවින් දක්නට ඇත්තේ යැ.

”සිංහලයේ වියරණය මරන්නට එපා” යැයි කියන විටැ “වියරණය වැටෙකි. එයට කොටු වී සිටිමින් හොඳ නිර්මාණ බිහි කළ නොහැකි යැ යි මොර දෙන්නේ ඒ ගුරු පරපුරේ ඇත්තෝ යි. කියන දැය තේරුණා නම් ඒ ඇතැ යි කියන එ පිරිස, ඉංගිරිසියෙන් ලිවීමේ දී ඒ මඟ නො ගනිති. ඉංගිරිසි වදනක් හෝ සකු වදනක් හෝ පාළි වදනක් හෝ වෙනුවට නිසිතම සිංහල වදනක් දුන් විටැ එය පොළොන්නරු අවදියේ බසට මිසැ අද බසට නොනිසි යැ යි කියමින් සෘග් වේද අවදියේ සිටැ පැවැති සකු වදනක් පෙරට ඇදැ ගන්නෝ ද ඔහු මැ වෙති.

බයිසිකලය සඳහා පා පැදිය යන වදන දුන් විටැ එ දා එයට සිනා සී අවමන් කළ පිරිසක් සිටියහ. ඒත් අද ඒ වදන වහරට වැටී නැද්ද? එ මතු ද? මෝටර සයිකලයට ද යතුරු පැදිය යන නම අද ජන වහරට වැටී තිබේ. සාත්තු සේවිකාව යන නමින් එදා හැඳින්වුණු නර්ස් නෝනා අද හෙදිය නමින් හැඳින්වෙන්නේ නැති ද? විශ්වවිද්‍යාලය යන පර වදන වෙනුවට සරසවිය යන සිංහල වදන අද ජන වහරට වැටී නැති ද? ඒත් මේ වදන් මුලින් මැ ඉදිරිපත් කැරුණු අවදියේ අයිවර ජැනිංසු ගුරු කුලය එයට දැක්වූ සැලැකිල්ල කෙ බඳු වී ද? තතු එ සේ නම් “ජංගම දුර කථනය වෙනුවට “සල බණුව“ යැයි පැවැසීමට සිංහලයන් හුරුකිරීම ප්‍රායෝගික කටයුත්තක් නො වේ” යැ යි කියන්නේ කෙ සේ ද? පුදුමය නම් බස කලට නිසි පරිදි වෙනස් විය යුතු යැ යි කියන්නන් ද මේ ඇත්තන් මැ වීම යැ. වෙනස් වියැ යුත්තේ හඩු බසක් බවට පත්වන පැත්තට තල්ලු වීමට පමණක් ද? හොඳ අතට හැරීම පිණිස කැරෙන වෙනස්වීම නො ඉවැසීමේ රහස කුමක් ද?

බස හරි හැටි නොදන්නවුන් වැරැදි වදන් නො නිසි වදන් වහරට ගෙනැ බස කිළිටි කැර ඇති තැන් නිවැරැදි කිරීම වරදක් ද? බස නොදන්නවුන් යොදන සත්තු වත්ත ගුවන් පාලම, මාර්ගස්ථ මඟී, දැනුවත් කිරීම, සෞඛ්‍ය හේතුªමත කුණු දැමීම වැනි හඩු වදන් නිවැරැදි කිරීම නුමුසු හෙළ බසෙහි සිරගතවීමෙකැ යි කියන්නේ කෙ සේ ද? ඒ තැන් සතුන් වත්ත හෝ තිරිසන් උයන, මුලුන් පාලම, අතරමැඟි, දැනුමැති කිරීම හෝ දැනුම්වත් කිරීම, සෞඛ්‍ය හේතු නිසා යන සැටියෙන් නිවැරැදි කිරීම හෙළ බසෙහි හිරවීමක්ද? වැසි කලට ගඟැ දිය බොර වන්නා සේ, ඇළ වේලි කැඩී යන්නා සේ කට වහරේ පවතින බසකට ඇතැම් විටෙකැ හඩු වදන් එකතුවීමත් වියරණය බිඳුණු තැන් ඇතිවීමත් සබා යි. බොර දිය පෙරා පිරිසුදු කොටැ මිස නෑමට හෝ බීමට හෝ නො ගන්නා සේ හඩු වදන් නිවැරැදි කොටැ වියරණය බිඳුණු තැන් සකසා බස නිරවුල් කිරීම වරදක් වන්නේ කෙ සේ ද?

පර වදන් වරා සිය බසෙහි වදන් සවිය වැඩි කළ විටැ බස වැඩෙයි. පර වදන් වහරට ගෙනැ සිය බසේ වදන් පිටුදැකීමෙන් බස මැඩෙයි. කවුරුන් කුමක් කීව ද ඒ පිළිබඳ ඇත්ත නම් එය මැ යි. එ හෙයින් සිය බසට ළැදියන් ගේ් යුතුකම වන්නේ් හැකි පමණින් සිය වදන් මැ වහරට ගෙනැ පර වදන් බැහැර කිරීම යි. අපේ පැරැණියෝ එය මැනැවින් කළහ. අපට සිය බස යැ යි බසක් මෙ පමණින් වත් ඉතිරි වී ඇත්තේ් ඒ නිසා යැ.

දඹදිවින් මෙහි වැඩියේ බුද්ධ උත්තමයාණෝ යි. මෙහිදී එ තුමන් බුදු හාමුදුරුවන් වී යැ. ඔබින් මොබට වන් බසෙහි වූවෝ සිද්ධාර්ථ කුමාරයාණෝ යි. එ තුමන් මෙහි දී සිදුහත් කුමරු වී යැ. එහි බාරාණසිය මෙහිදී බරණැස වියැ. එහි බ්‍රහ්මදත්ත මෙහිදී බඹදත් වියැ. එහි දේවදත්ත මෙහිදී දෙව්දත් වියැ. එහි සැරිපුත්ත මෙහිදී සැරියුත් වියැ. මොග්ගල්ලාන මුගලන් වියැ. ශක්‍ර දේවේන්ද්‍රයා සක් දෙවිඳු වියැ. සුද්ධෝදන සුදොවුන් වියැ. මහා බ්‍රහ්මයා මහ බඹු වියැ. මහින්ද මහා ස්වාමීන් වහන්සේ, මිහිඳු මා හිමි වියැ. දන්ත ධාතුන් වහන්සේ දළදා වහන්සේ වියැ.

දැයෙකැ අබිමන වැඩෙන්නේ පර බසින්වන් දෑ එ සේ සිය බස් මුහුණුවර ගන්වා සිය බසෙහි පිහිටුවා ගැනීමෙනි. ලොවේ කවර බසකටත් පොදු මේ දහම සිංහල බසට පමණක් වෙනස් වන්නේ කෙ සේ ද? එය නුමුසු හෙළ බසෙහි හිරගතවීමක් වන්නේ කෙ සේ ද? බස වැඩෙන්නේ එ මඟිනි. සිය බස් වහරට ඉඩ නො දී පරවදන එ සෙයින් මැ ගැනීමෙන් සිය බස මැඩෙයි.

”පැරැණියන් ගත් මඟ
ගැන්මේ කවර වරද ද
එමඟැ දැන් නොපැරැණියෝ
නොපැරැණියනෙව් යෙත් නම්”


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා