»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2010 නොවැම්බර් 28දින
* 2010 නොවැම්බර් 21දින
* 2010 නොවැම්බර් 07දින
* 2010 ඔක්තෝම්බර් 31දින
* 2010 ඔක්තෝම්බර් 24දින
* 2010 ඔක්තෝම්බර් 17දින
* 2010 ඔක්තෝම්බර් 10දින
* 2010 ඔක්තෝම්බර් 03දින
* 2010 සැප්තැම්බර් 26දින
* 2010 සැප්තැම්බර් 19 දින
* 2010 සැප්තැම්බර් 12 දින
* 2010 සැප්තැම්බර් 05 දින
* 2010 අගෝස්තු 29දින
* 2010 අගෝස්තු 22දින
 
 
   
අපේ ශ්‍රේෂ්ඨ ලේඛකයන් විශ්වයට නොයෑම කනගාටුවක්
 

අපේ ශ්‍රේෂ්ඨ ලේඛකයන් විශ්වයට නොයෑම කනගාටුවක්

 

එඩ්මන්ඩ් ජයසූරිය

ඔබේ මණ්ඩපයේ විශාරදයෝ බොහෝ ය දවස පුරා ම එහි ගී ගැයේ එහෙත් මේ ආධුනිකයාගේ සරල ගීයෙන් ඔබේ දයාව අවදි වී ලෝකයේ සම්භාව්‍ය සංගීතය සමඟ මුසු වූ එය දුක්මුසු සරල ගීයක් වී...

1913 දී ප්‍රථම වරට ආසියාවට නොබෙල් ත්‍යාගය හිමිකර දුන් ‘ගීතාංජලී’ කෘතියෙහි පිළිබිඹු වන ඨකූරයන්ගේ කවිත්වයේ සුවිශේෂිතා ඔබ හඳුනාගන්නේ කෙසේ ද?

ඨකූරයන්ගේ කවිත්වය පිළිබඳ අවධානය යොමු කිරීමේදී දෙඅංශයක් පිළිබඳ ව කතා කළ යුතු වෙනවා. ඨකූර් නිසැක වශයෙන් ම ආසියානුතික වගේ ම උපනිෂද් දහමෙන් පෝෂණය ලද කවියෙක්.

ඔහුගේ කවිවල ඒ ආභාසය තිබෙනවා. ඨකූර්ගේ කවිවල අර්ථය පමණක් නොවේ, දර්ශනය ගැනත් සිතිය යුතුයි. මම ගොඩක් ම එකඟ වන්නේ ගීතාංජලිය ප්‍රංශ බසට පරිවර්තනය කළ ආන්ද්‍රේ ජිද් එක්ක. ඔහු මෙහෙම කියනවා.

‘මට කිසියම් දවසක ඨකූර්ගේ ගීතවලට අර්ථකථනයක් දෙන්න පුළුවන් වුණත් මම ඒක කරන්න උත්සාහ ගන්නේ නැහැ. මොකද මේ කවි ලියන්න ඨකූර්ගේ මනසේ ඇතිවුණු චිත්ත ස්වභාවය ඉතාමත් කලාත්මක ලෙස ප්‍රකාශ කිරීමට ඔහුට තිබුණු හැකියාවයි, මගේ සිත් ගන්නේ.” එයයි වැදගත්.

අපි හිතමු නාට්‍යයක් ගැන. නාට්‍යයක පිටපතක් බලලා ලබන රසයයි නාට්‍ය බලලා ලබන රසයයි දෙකක්. සිනමාව වුණත් එහෙමයි. කවියක දර්ශනයයි, අර්ථයයි සොයලා ලබන රසය එකක්. කවිය කියන්නේ තවත් එකක්.

‘ගීතාංජලී’ මුද්‍රණය කිරීමට මුල් වුණු කවියා තමයි අයිරිෂ් ජාතික ඩබ්ලිව්. බී. යේට්ස්. ඔහු කියනවා ‘මේ කවි කාන්තාවන්ගේ කාමරවල, ලස්නනට මුද්‍රණයට කරලා, ජීවිතය කලකිරුණු වෙලාවට කියවන්න තියෙන කවි නොවෙයි කියලා.

ඨකූර්ගේ කවිවල තියෙන ලොකු ම දේ තමයි අපේ ම ප්‍රතිරූපය අපි ඒ කවිවලින් දැකීම. ඊට හේතුව අපේ ම කටහඬ පළමු වතාවට සාහිත්‍ය ඔස්සේ අහන්න ලැබීම.’ යේට්ස් පවසන දේ සත්‍ය බව අපටත් හැඟෙනවා. මේක තමයි ඨකූර්ගේ කවිවල තියෙන අපූර්වත්වය.

ඨකූර්ගේ සිතිවිල පරම්පරාව සමහර විදෙස් පරිවර්තනවලදී නියමාකාරව එළිදැක්විලා නෑ. මගේ පොතට ප්‍රස්තාවනාව ලියපු නිසා නොවෙයි මේ කියන්නේ, ඨකූර්ගේ සිතිවිලි නියමාකාරව තේරුම් ගත් කෙනෙක් තමයි ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ. ඔහු තරම් හොඳට ඨකූර් ගීත ගැන අර්ථකථනයක් දුන්නු විචාරකයෙක් මම දැකලා නැහැ.

විචාරකයන්ගේ අපි‍්‍රයකර ගොරහැඬි මිනුම් දඬුවලින් ඨකූර් ගීත මැනීම නුසුදුසු යැයි මානවසිංහයන් මේ කෘතියේ ප්‍රස්ථාවනාවේ සඳහන් කරන්නේ ඒ කවිවල ඇති ඕජෝ ගුණය ඔහු හඳුනාගත් නිසා විය යුතුයි.

පැහැදිලි ව ම. ඨකූර් සමහර වෙලාවට දෙවියන්ට මිතුරා කියනවා, එහෙමත් නැතිනම් කවියා කියනවා. දේවයන් වහන්ස කියනවා. ඔහුගේ දෙවියා අපි කියන දෙවියන් වහන්සේ නොවෙයි.

ඒක සමහර වෙලාවට ලෝකායත තත්ත්වයට ලක් වූවක්. ඨකූර්ගේ මහා ලොකු ගූඪවාදයක් තියෙනවා කියලා විචාරකයෝ කිව්වට සමහර ගී තියෙනවා පැහැදිලි ව පෙනෙන මතුපිට අර්ථය පමණක් තියෙන. මේ ගීතය ගැන සිතන්න.

පාළු නදී තෙර උස් තණ පඳුරු අතර සිටි මම

ඇගෙන් මෙසේ ඇසීමි...

මගේ නිවෙස අඳුරු ය පාළු ය

ඔබේ පහන මට දෙන්න

සිය අඳුරු දෑස මොහොතකට ඔසවා

අඳුර තුළින් ම දෙස බැලු ඇය මෙසේ කී

බටහිර අහසේ හිරු එළිය මැකී යන කල්හි

මගේ පහන නදියෙහි පාකර හැරීමට පැමිණියෙමි’

මේ කවියේ මහා ලොකු ගැඹුරක් හෝ ගූඪවාදයක් නැහැ. මිනිස්සු තම තමන්ගේ මතිමතාන්දර අනුව එක් එක් ඇදහිලි විශ්වාස අනුගමනය කරනවා. නමුත් තවත් මිනිසකුගේ අවශ්‍යතා හෝ හැඟීම් ගැන අවධානයක් නැහැ.

විචාරකයෝ ලොකු මිනුම් දඬු අරන් මෙවැනි දේ මනින්න යනවා. එහෙම අවශ්‍ය නැහැ. කවියේ රසය විඳීමට අපට හැකිවිය යුතුයි. ආන්ද්‍රේ ජීද් ගේ කියමන එක්ක මම එකඟ වෙන්නේ ඒකයි.

කවිය හා ගීතය බසෙහි ව්‍යංජනා ශක්තිය, සංකල්ප රූප, ව්‍යංගාර්ථ ආදිය ඉතා සූක්ෂ ම ව භාවිතයට ගන්නා නිර්මාණද්වයක් බැවින් එය වෙනත් බසකට පරිවර්තනය කිරීම ඉතා අසීරු කාර්යයක් නොවේ ද? ගීතාංජලිය පරිවර්තනය කිරීමේදී මෙය බොහෝ බලපෑම් කරන්නට ඇති.

ඇත්තෙන් ම ඔබ නැඟු ප්‍රශ්නය මටත් තාම ප්‍රශ්නයක් ඒක මම මගෙන් ම අහන ප්‍රශ්නයක්. ඇත්තෙන් ම ඒක නිර්මාණාවේශයක් වගේ දෙයක් නිසා සිදු වූවක්. මමත් මගෙන් ම අහන ප්‍රශ්නයක් තමයි කොහොමද මේක කළේ කියලා.

ඔබ ‘ගීතාංජලී’ සිංහලයට නඟන්නේ ඔබට වයස අවු. 24 දී. 1960 වැනි මීට දශක 5 කට පෙර කලකදී ඔබ කළ පරිවර්තනය නැවත කියවා බලද්දී, පරිණත නොවූ වයසකදී කළ නිසා නැවත සකසා යම් යම් වෙනස්කම් කිරීමට සිතුණේ නැත්ද?

මම මේ පරිවර්තනය බොහොම ළාබාල වයසෙදි කළ එකක්. බොහෝ දේ කියවලා, ඇසුරු කරලා පරිණත වූ මේ වකවානුවේ කළ දෙයක් නොවෙයි. ඒ බව මානවසිංහයන්ගේ ප්‍රස්ථාවනාවේ සටහන් ව ඇති දිනයෙන් සනාථ වෙනවා. මේ පරිවර්තනය බොහෝ කාලයක් තිස්සේ මුද්‍රණය නොවී මා අත පැවතුණා.

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දරයන්ගේ බලවත් ඉල්ලීම අනුවයි මෙය ප්‍රකාශනය කළ යුතුයි කියලා මම හිතුවේ. මම මුද්‍රණයට බාර දෙන්න පෙර මුල් පිටපත අතට අරන් බැලුවා යම් යම් වෙනස්කම් සිදු කළ යුතු ද කියලා.

හැබැයි මට කිසිම දෙයක් වෙනස් කරන්න හිතුණේ නැහැ. මට ඒකට බලපෑම් කරපු කරුණු දෙකක් තිබුණා. එකක් මට එහි වෙනස්කම් කිරීමට බය හිතුණා. එහෙම කළා නම් එහි ගලායන ගතිය වෙනස් වන්නට ඉඩ තිබුණා. අනෙක මානවසිංහයන් මේ ප්‍රස්ථාවනාව ලිව්වේ මම වයස 24 දී කළ පරිවර්තනය වෙනුවෙන්. ඔහු ප්‍රස්ථාවනාවේ මගේ පරිවර්තනයේ යම් යම් කොටස් උපුටා දක්වනවා.

මම වයසට ගිහින් එකේ යම් යම් වෙනස්කම් කරලා මානවසිංහයන් ලියපු ප්‍රස්ථාවනාව යටතේ පළ කිරීම වැරැදියි කියලා මට හිතුණා. එහි යම් ආචාරශීලි නොවන ගතියකුත් තියෙනවා.

මම මේ පරිවර්තනය කළේ උපාධියට පෙර විභාගයට සූදානම් වන අතරේ, පාසලේ තාවකාලික ව උගන්වමින් සිටිද්දී. ඇත්තෙන් ම එවැනි වයසකදී මේ ලෙස සූක්ෂම ව මේ පරිවර්තනය කිරීමට හැකිවීම පිළිබඳ මමත් පුදුම වෙනවා.

ඨකූරයන් ගීතාංජලී මුලින් ම නිර්මාණය කරන්නේ වංග බසින්. ඔබ සිංහලයට නඟන්නේ වංග බසින් ඉංගිරිසි බසට නැගුණු ගීතාංජලියයි. එහිදී වංග බසින් කෙරුණු මුල් නිර්මාණ කෘතියට සාධාරණයක් ඉටු වූවා යැයි ඔබ සිතනව ද?

මට එහෙම දෙයක් දැනුණේ නැහැ. ගීතාංජලී තවත් භාෂා කිහිපයකට ම පරිවර්තනය වුණා. ඔවුන් ඇසුරු කළෙත් ඉංගිරිසි පිටපතයි. එතනදි වංග බසින් කළ මුල් නිර්මාණයට කිසිදු හානියක් සිදු නොවූවා යැයි අපට උපකල්පනය කළ හැකි තවත් සාධකයක් තියෙනවා.

ඒ තමයි මෙහි ඉංගිරිසි පරිවර්තනය කර තිබෙන්නෙත් ඨකූරයන් ම වීම. වෙනත් ලේඛකයෙක් එය ඉංගිරිසියට නැඟුවා නම් යම් වෙනස්කම් සිදුවීමට ඉඩ තිබුණා.

චෙකොෆ් ගේ නාට්‍යයක් හරි කෙටිකතාවක් හරි අපි සිංහලයට නඟන්නේ දෙවැනි නිර්මාණකරුවකු විසින් ඉංගිරිසියට නඟන ලද්දක්. හරියටම චෙකොෆ් ගේ නිර්මාණය ද අපි සිංහලයට නැඟුවේ කියලා එතකොට අපිට හිතෙනවා. නමුත් මේ පරිවර්තනය ඨකූරයන්ගෙමයි.

ඉන්දියාවේ නිදහස් චින්තනය බිහිවීමට ඨකූරයන්ගෙන් ලැබුණු පිටුබලය කවරාකාර ද?

ඨකූර් හරි ම ස්වාධීන චින්තකයෙක්. ඔහු බ්‍රහ්ම සමාජ් කියන දෙයට සම්බන්ධ වුණත් එයින් ගත්තේ උපනිෂද් ධර්මයේ පවතින හරය පමණයි. ඉන්දියානු නිදහස් අරගලයේදී ගාන්ධිතුමා කියන සමහර දේවල් සමඟ ඨකූර් එතරම්ම එකඟ වුණේ නැහැ.

ඔහුගේ ස්වීය චින්තනය ඒ මතවාදවලට වඩා ප්‍රබල ව නැඟී සිටියා. ඔහුගේ මේ කවි වලින් පෙනෙන්නේ ඔහුට නිදහස් සිතක් තිබු බවයි. ඔහුට අනුව පුද්ගලයා කිසිම කෙනෙකුට යටත් වන්නෙක් නොවෙයි.

කිසිම කෙනෙකුට බැතිමත් ව සිටින කෙනෙකුත් නොවෙයි. ඔහු බොහෝම සරල දෙයින් වින්දනයක් ලබන නිර්මාණකරුවෙක්. ඔහු මේ නඟන්නේ ඔහුගේ හඬ පමණක් නොවේ, අපේත් හඬයි.

මීට පෙර ගීතාංජලී පරිවර්තන හතරක් පමණ නිකුත් වී තිබෙනවා. ඒ පරිවර්තන හා ඔබේ මේ පරිවර්තනය අතර පවතින වෙනස්කම් පිළිබඳ ඔබේ අදහස කුමක් ද?

මම මීට පෙර කරපු එකම පරිවර්තනයක්වත් කියවලා නැහැ. පරිවර්තන 4 ක් තියෙනවා කියලා දැනගත්තෙත් මෑතකදී. අනෙක් කාරණය ඒ පරිවර්තන මේ මෑත කාලයේ කරපු ඒවා. මම මෙය පරිවර්තනය කළේ 1960 දී. අන්තිමට ම මුද්‍රණය වුණාට ගීතාංජලී මුලින් ම සිංහලයට නැඟුවේ මම කියලයි මට සිතෙන්නේ.

ගීතාංජලී ඇසුරින් ගීත කිහිපයක් ම නිර්මාණය වුණා. අඳුරු කුටිය තුළ..., පටු අදහස්... එහෙව් නිදහසේ ස්වර්ග රාජ්‍යයට... වැනි ගීත බිහිවුණේ ගීතාංජලිය ආභාසයෙන්. ලාංකේය ගේය පද රචකයන්ට, සංගීතවේදීන්ට ඨකූරයන්ගෙන් ලැබුණු අනුප්‍රාණය ගැන ඔබේ අදහස.

ගීත රචනයට නම් ඨකූර්ගෙන් අනුප්‍රාණයක් ලබාගත් අය බොහොම අල්පයි. සංගීතයට නම් විශ්ව භාරතීයෙන් ඉගෙන ගත් අයට ඒ ආභාසය ලැබුණා, ආනන්ද සමරකෝන්ගෙන් පටන් ගෙන ඉදිරි පරම්පරාව දක්වාම. මටත් මේ පරිවර්තනයෙන් පස්සේ මේ පද මාලා උපයෝගී කරගෙන තවත් නිර්මාණයකට යා හැකි යැයි හැඟීමක් ආවේ නැහැ.

ඔබ සිංහල නිර්මාණ විශ්ව සාහිත්‍යයට ගෙන යාමේ අරමුණින් සිංහල කෘති ඉංගිරිසියට පරිවර්තනය කළත්, ඉංගිරිසි කෘතියක් සිංහලයට නැඟු ප්‍රථම අවස්ථාව මෙය යැයි මා සිතනවා.

මෙය මගේ ප්‍රථම අවස්ථාව වගේ ම ඉංගිරිසි කෘතියක් සිංහලයට නැඟීමේ අන්තිම අවස්ථාවත් වෙනවා. ඉංගිරිසි කෘති සිංහලයට හරි ලස්සනට පරිවර්තනය කළ පරිවර්තකයෝ පිරිසක් අපිට හිටියා. ඒ. පී. ගුණරත්න, අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල, වගේ අය. මනුතාපය, රොමාගේ වාසනාව වගේ කෘති ඉංගිරිසි කෘති කියලා කියන්න බැරි තරමට හොඳට සිංහලයට පරිවර්තනය වෙලා තිබුණා. එවැනි හොඳ පිරිසක් සිටි නිසා මමත් එය ම කළ යුතු වුණේ නැහැ.

දෙවැනි එක මගේ හිතේ නිතරම අභ්‍යන්තර අරගලයක් තිබුණා. මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර, කේ. ජයතිලක ඇතුළු නිර්මාණකරුවන්ගේ නිර්මාණ පිළිබඳ ව විශ්ව සාහිත්‍යයේ කතා නොකරන්නේ ඇයි? මගේ දැනුම අනුව සමහර ඉංගිරිසි පොත් කියවපුවම තේරෙනවා, මේ අයට ළං වෙන්නවත් බැරි නිර්මාණකරුවෝ ගැනත් විශ්ව සාහිත්‍යයේ බොහෝ කතාබහට ලක්වෙන බව.

මම මේක ඉතාමත් නිර්භය ව කියන්නේ, බුකර් සම්මානය හෝ නොබෙල් සම්මානය ලැබුණු සමහර සාහිත්‍ය කෘති මම කියවලා තියෙනවා, ඊට වඩා බොහෝ උසස් නිර්මාණ සිංහල බසින් ලංකාවේ තිබියදී මේ ලේඛකයන්ට විශාල අසාධාරණයක් සිදුවන්නේ. මම මේ කෘති විශ්වයේ අවධානයට යොමු කරවන්න හදන්නේ ඒකයි. මම මේ ගන්නා වෑයම ඉතාමත් ක්ෂුද්‍රයි. මේක රජයෙන් විය යුතු දෙයක් මිසක් තනි පුද්ගලයකුට කළ හැකි දෙයක් නොවේ.

සැළලිහිණිය මම ඉංගිරිසියට පරිවර්තනය කළා. මට රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබුණා. මම ‘සෙදෝනා’ ඉංගිරිසියට පරිවර්තනය කළා. ඊට ග්‍රේෂන් සම්මානය හිමි වුණා. මට ඕනෑ වුණේ සුලබ දෙයින් දුලබ දෙයට යන්න.

මෑත කාලයේ වුණත් අපිට ගාමිණි වියන්ගොඩ, චින්තා ලක්ෂ්මී සිංහආරච්චි ආදි වශයෙන් වූ හොඳ පරිවර්තකයන් සිටිනවා. නමුත් අපේ කෘති විශ්වයට අරන් යන්නේ කවුද? වික්‍රමසිංහයන්ගේ විරාගය, වහල්ලු කෙටිකතා සංග්‍රහයේ තියෙන කෙටිකතා ලෝක පූජිත මට්ටමේ ඒවා නොවෙයි ද? මගේ සැළලිහිණි සන්දේශ පරිවර්තනය එංගලන්ත විශ්වවිද්‍යාලවල පෙරදිග සාහිත්‍ය අධ්‍යයන ක්ෂේත්‍රයේ අත්පොතක් බවට පත් වී තිබෙනවා.

ඉංගිරිසිය කියන්නේ මගේ දෙවැනි භාෂාව. පරිවර්තනයේදී පිළිගත් දෙයක් තියෙනවා ඉතාමත් හොඳට පරිවර්තනය කළ හැක්කේ වෙනත් භාෂාවකින් තමන්ගේ මව් බසටයි කියලා. මම යන්නේ අනෙක් අතට.

‘කව්සිළුමිණ’ හොඳ ඉංගිරිසියට පරිවර්තනය කළහොත් ඊට ළංවිය හැකි කෘතියක් විශ්ව සාහිත්‍යයේ නැහැ. out sider concept කියන එක වන්නේ කොහෙන් ද? අපේ ජාතක කතා බොහොමයක තියෙන්නේ ඒ පිටස්තර යන සංකල්පය නොවේ ද? ගැටලුව වී තිබෙන්නේ මේවා විශ්වයට යන්නේ නැති වීමයි.