»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2010 නොවැම්බර් 28දින
* 2010 නොවැම්බර් 21දින
* 2010 නොවැම්බර් 07දින
* 2010 ඔක්තෝම්බර් 31දින
* 2010 ඔක්තෝම්බර් 24දින
* 2010 ඔක්තෝම්බර් 17දින
* 2010 ඔක්තෝම්බර් 10දින
* 2010 ඔක්තෝම්බර් 03දින
* 2010 සැප්තැම්බර් 26දින
* 2010 සැප්තැම්බර් 19 දින
* 2010 සැප්තැම්බර් 12 දින
* 2010 සැප්තැම්බර් 05 දින
* 2010 අගෝස්තු 29දින
* 2010 අගෝස්තු 22දින
 
 
   
හරියට හේනක් පදම් වුණොත් නිධානයක් පහළ වුණා වාගෙයි
 

හරියට හේනක් පදම් වුණොත් නිධානයක් පහළ වුණා වාගෙයි

 

අපේ කොටුගම්මානවල ඇත්තන්ඩ බත දුන්නේ කුඹුරෙන්. කිරි දීකිරි ගිතෙල් දුන්නේ ගව සම්පත. ඒ ඇරුණහම ගෙදරකට ඕනෑ කරන අනිත් කෑම වර්ග සියල්ල ම වාගේ ලැබුණේ හේනෙන්. යලට කොටන යල් හේන තල අස්වනු වලට විතරක් සීමාවුණා. මාස් කන්නේ කොටන හේනෙන් කුරහන් අබ, උඳු, මුං, තණ වාගේ සියලු ම බෝග ජාති ලබා ගත්තා.

යලට තල අස්වනු ගත්ත හේනේ පඳුරු කොටලා උදලු ගාලා අක්වැස්සට කුරක්කන් වැපුරුවා. මේකට කීවේ කනතු හේන කියලා. සායට කන්ඩ වපුරනවා කීවේ මේ කනතු කුරක්කන් වපුරන එකට. උඳුවප් දුරුතු මාසවල නොකඩවා වැහි වැටෙන කාලෙට කනතු කුරක්කන් පල දරනවා. ඒ කාලේ ගෙදරට කෑම හිඟ වෙනවා. ගමට ම සාගතේ.

එතකොට ඒ කනතු කුරක්කන් කපනවා. වේලන්ඩ බෑ වැස්ස. ඒක හින්දා කරන්නේ කුරක්කන් කරල් වංගෙඩියේ දමලා හිමිහිට කොටනවා. ඒකට කියන්නේ ඒල් කරනවා කියලා.

පස්සේ ඒවා අරන් වතුරෙන් හෝදලා නිවුඩ්ඩ ඇරලා කිරිපාට කුරහන් ඇට බේරාගන ඒවා ආයෙත් වංගෙඩියේ දමලා කොටලා පිටිකරගන්නවා. ඒ පිටිවලින් තමා රොටී පිට්ටු හදන්නේ. ඒ හැර වැස්සේ කපන කුරහන් දුම්මැස්සේ දමලා වේලාගන කොටලා පිටි අඹාරා ගැනීමත් කරනවා.

කනතු හේනට යාව පිහිටි නවදැලි හේනේ කුරක්කන් වපුරද්දී ඒ වපුරන කුරක්කන් වලට ඇට වර්ග කළවම් කරනවා. කැකිරි – පිපිඤ්ඤා – උඳු මුං මිරිස් ඇට (එදා තිබුණ වන්නි මිරිස් ඇට) පලා ඇට විතරක් නෙවෙයි සුදු දුරු මහදුරු ඇට පවා මේ කුරහන්වලට කලවන් කරලා තමා වපුරන්නේ. ඒ හැර වට්ටක්කා බණ්ඩක්කා වැටකොළු බඩඉරිඟු වාගේ ඇට වර්ග වෙනමම හිටවනවා.

මඤ්ඤොක්කා, බතල, රතුළූනු ආදිය හිටවන්නේ හුඹස් සහිත උස් බිම්වල පස පෙරළලා. කාලයක් කැලයට ඇරුණ දිරාගිය කොල තට්ටුව පිච්චුන අලු සහිත පොලවේ හොඳින් වැඩෙන මේ වගාවන් කුරක්කන් පැහෙන කාලේ එන විට සියල්ල ම පලදරනවා. කුරක්කන් කපාපු හැටියෙම කුරක්කන් බැද්දේ තියන වැඩුණු උඳු මුං වැල් ගළවලා කනු මදුවල එල්ලන්නේ ඒවා හොඳින් වේලීමට.

ඒ අතරේ කුරහන් යායෙන් උඩට නැඟී පැහී කරල් බරවුණ අබගස් කපලා තැන් තැන්වල ගොඩ ගහලා වේලුණාට පස්සේ ඒවා කමතට දමලා තලලා අබ අස්වනු ලබා ගන්නවා. ඊළඟට උඳු මුං වර්ග ද වැල් පිටින් කමතට දමලා තලාගෙන අස්වනු ලබා ගන්නවා.

මෙනේරි වාගේ අස්වනුත් ලබාගන්නේ කමතේ දමලා තැළීමෙන්. මෙනේරි ප්‍රමාණයෙන් වැඩි නම් මීහරක් යොදාගන පාවර ක්‍රමයට පාගා ගන්නවා. මේ සියලු කාර්යයන් හමාර වන විට මඤ්ඤොක්කා බතල අල එරී අවසන් ය.

කෙසේ නමුදු හේනක අස්වනු ගෙදරට ගෙන ඒමට කරත්තයක් අවශ්‍ය වේ. ඇතැම්විට කරත්තයක ගමන් වාර කීපයක් මේ සඳහා යෙදවීමට සිදුවෙයි. ඒ වන විටත් ඊළඟ වැසි කන්නයට අවශ්‍ය වන එලවළු වෑංජන ද සුරක්ෂිත කිරීමට කාන්තාව වග බලා ගනී.

බහුල ව වැවෙන බණ්ඩක්කා - වැටකොළු - වම්බටු - කරවිල ආදිය තුනීවට පෙති කපා අව්වේ වියළා ගන්නා අතර කැකිරි –පිපිඤ්ඤා – වට්ටක්කා ආදිය හොඳින් මේරූ පසුව මාස ගණන් කල් තබාගත හැකි අතර අවශ්‍ය නම් ඒවාද කපා පෙති ගසා අව්වේ වියළා ගන කල් තබාගත හැකිවේ.

මේ හැර කුරක්කන් කපන අතරවාරයේදීම හේනේ සකස් කරන කමතක දමා හොඳින් වියළා ගන්නා අතර ඒවා ගෝනිවල බහා නිවසට ගෙනවිත් කුරහන් අටුවට දමනු ලැබේ. කුරහන් අටුවට දැමීමට පෙර කැප්පෙටියා සහ කොහොඹ කොළ තට්ටුවක් දමා ඒ මත කුරක්කන් දමා පාගමින් ඒ කුරක්කන් මනාව ඇසුරුම් කරති...

කුඹුරෙන් එන වී හැර හේනක් කපා පාගා අස්වනු ගෙට ගන්නා විට ගෙදර සියලු අගහිඟ පිරි මැසී පවතී. මේ අනුව ගොවි ගෙදර ආහාර වේල බත් රොටී පිට්ටු වලට පමණක් සීමාවී නොපවතින බව පැහැදිලි වේ. කුරක්කන් හේනෙන් ගෙට ගන්නේ කුරක්කන් අස්වනු පමණක් නොවේ.

හේනෙන් ගෙට එන මෙනේරි අස්වැන්නෙන් පිසින මෙනේරි බත තෙල් සහිත රසවත් ආහාරයකි. එමෙන්ම තණ සහලින් ඉදෙන තණ බත ද ඖෂධීය ආහාරයකි. ඒ අනුව ගොවි ගෙදර ආහාර වේල විවිධ වෙයි.

මුං ඇට තැම්බීම හා මෑ ඇට තම්බා වේල පිරිමැසීමෙන් ද පෝෂ්‍යදායක ආහාර වේලක් සපයාගත හැකි ය. මේ හැර කුරක්කන් ශාකය ව්‍යාප්ත වීමට පෙර ප්‍රධාන බෝගයක් වශයෙන් ‘අමු’ නමැති ධාන්‍ය වර්ගය හේන්වල වගා කළහ. ‘අමු ගේන්ඩ ගියා වාගේ’, ‘අමු කැවිලා වාගේ’ යන උපහැරණ අපේ ජනවහරට එකවූයේ මේ අමු වගාව නිසා ය.

හේනේ පලදාව සියල්ල ම නෙළාගත් පසුවත් මාස ගාණක් යනතුරු හේනෙන් පලා වර්ග හා මිරිස් අස්වනු නෙළාගනී. හේනේ ප්‍රධාන බෝග වර්ග කපා පාගා ගෙට ගත් පසුව හේන සඳහා වූ භාරහාර ඔප්පු කිරීම කරනු ලැබේ.

හේනේ පිහිටි කිරි ඇති ගසක් යට කිරි උතුරවා දෙවියන් පිදීමෙන් ඒ බාර හාර ඔප්පු කරයි. මේ කිරි ඉතිරවීමේ දේව කාරියෙන් අනතුරුව හේනේ කටයුතු නිමා වන අතර ඉන්පසුව හේනට බැඳි වැටවල් කඩා ගවයන් ඇතුල් කරන්නේ ඊළග යල් කන්නයට තල වගාකිරීම සඳහා ය.

හේනේ ගස්වලට රෑන් ගිය ලබු කඩා මද ඉවත් කර ජලය රැගෙන යාමට බඳුන් සකස් කර ගන්නා අතර කුරහන් ඉපනැල්ල එකතු කර මිටි බැඳ නිවස ඇමදීමට සුදුසු පරිදි අත්තක් (කොස්සක්) බැඳගනී. මේ අනුව හේනක් යනු කුරහන් වලට සීමා නොවුණ ගොවි බිමකි. “හරියට හේනක් පදම් වුණොත් නිධානයක් පහළ වුණා වාගේ” යනුවෙන් ගොවීන් පවසන්නේ ඒ නිසා ය.