»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2010 නොවැම්බර් 28දින
* 2010 නොවැම්බර් 21දින
* 2010 නොවැම්බර් 07දින
* 2010 ඔක්තෝම්බර් 31දින
* 2010 ඔක්තෝම්බර් 24දින
* 2010 ඔක්තෝම්බර් 17දින
* 2010 ඔක්තෝම්බර් 10දින
* 2010 ඔක්තෝම්බර් 03දින
* 2010 සැප්තැම්බර් 26දින
* 2010 සැප්තැම්බර් 19 දින
* 2010 සැප්තැම්බර් 12 දින
* 2010 සැප්තැම්බර් 05 දින
* 2010 අගෝස්තු 29දින
* 2010 අගෝස්තු 22දින
 
 
   
අහුපෑවත
 

අහුපෑවත

 

 බමුණ!

මම සුව ඇත්තෙමි

භාරත දේසේ කොසොල් දනව්වේ අතිශය සුන්දර වන ලැහැබේ බුදුන්වහන්සේ වැඩ සිටි සේක. එකල එක්තරා භාරද්වාජ ගෝත්‍රයට අයත් බමුණෙක් නැතිවූ ගොනුන් සොයමින් ඒ වන ලැහැබට පිවිසියේ, පලක් බැඳ වැඩවසන බුදුන් වහන්සේ දුටුවේය. ඒ බමුණා එය දැක උන්වහන්සේ සමීපයට පැමිණියේය. ඔහු මුමුණන බස බුදුන්වහන්සේට ඇසිණ.

”මාගේ ගොනුන් දාහතරදෙනෙක් නැතිවී දැන් ගෙවී ගිහින් දින හතරක්. තවමත් බැරිවුණා මට ඒ ගොනුන් හොයාගන්ට. මුන් වහන්සේට නම් එබන්දක් සිදුවී නැත! එබැවින් මුන්වහන්සේ සුව ඇත්තකු බව නිසැකයි!”

බුදුන්වහන්සේට මේ සියල්ලම ඇසිණ. නිහඬ ව සිටි සේක. බමුණා තව තවත් මිමිණීය.

”මේ මහණහට නම් තල වාගේ වගාවක් වත් තණ වාගේ වගාවක් වත් නැතිව ඇති. ඒ හෙයින් මුන්වහන්සේ සුවයෙන් සිටිනු ඇත නිසැකි”.

තවද,

”මාගේ ධාන්‍යාගාරය හිස්වෙලා. මීයෝ ලැගලා විනාශ කරලා. අමාරුවෙන් ඉතිරි කරගත් ධාන්‍ය ටික බේරගන්ට විදිහක් නෑ! උන් ඒවා කා යනවා. එහෙව් කරදර නැතිව ඇති මුන්වහන්සේට. ඒ නිසා ඒකාන්තයෙන්ම මුන්වහන්සේ සුවයෙන් වැඩ හිඳින කෙනෙකි”

තවද,

”මට අයත් තණබිම් වගාවට එයින්ම හටගත් පණුවන්ගෙන් රෝග ඇතිවෙලා - විනාශවීලා- එහෙව් කරදර මුන් වහන්සේහට කොහෙත්ම නැතුව ඇති. ඒ නිසා මුන් වහන්සේ සුවයෙන් වැඩ හිඳින කෙනෙකි.”

තවද

”මාගේ වැන්දඹු දූවරුන් හත්දෙනාගෙන් එකියකට එක් පුතකු ඇත. තවත් එකියකට පුතුන් දෙදෙනකු ඇත. මේ මහණුන්හට නම් ඒකාන්තයෙන්ම එබන්දක් කොහෙත් නැත. ඒ නිසා සුවයෙන් වැඩ හිඳින කෙනෙක් වේ.

තවද

”පිඟුවන්වූ තල කැලලින් ගැවසීගත් සිරුරක් ඇති මා බිරිය බැමිණිය මා නිදාගත් පසුව මා අවදිකරවන්නේ පයින් ගසා. මේ මහණහට නම් එබන්දක් නැති නිසා සුවයෙන් කල්ගෙවනු ඇත.”

තවද

”අලුයම් කාලේ මා හමුවන්නට ණයකරුවෝ එත්. මා අබියස හිඳ “දෙව්! දෙව්” කියමින් රොස් පරොස් බස් කියත්. මට වාගේ ඒ කරදර කිසිත් නැති, මහණ තෙමේ සුවයෙන් ඇත.

නිශ්ශබ්දතාවකි ගෙවී ගියේ. බුදුන් වහන්සේ බමුණාට මේ ලෙසින් කී සේක.

”බමුණාණනි,

තොපගේ ගොනුන් දාහතරදෙනෙක් නැතිවී අදට හතර දවසක් ගෙවී ගොස් ඇත.

සැබෑවකි,

මට එබන්දක් සිදුවී නැත්තේ එහෙයින් මම සුව ඇත්තෙමි.

තවද බමුණාණනි,

මට තල වගාවක් හෝ තණ වගාවක් හෝ නොමැත්තේ මය!

බමුණ එහෙයින් මම සුව ඇත්තෙමි.

බමුණාණනි

තොපගේ ධාන්‍යාගාරය හිස්වී ඇත්තේ මීයෝ තැන තැන දුවති පනිති. එබන්දක් මට නොමැත. බමුණ එහෙයින් මම සුව ඇත්තෙමි. බමුණ තොපගේ තණ ඇතිරිය ගහණව ඇත, එහිම උපන් පණුවන්ගෙන් . එබන්දක් මට නොමැත. බමුණ එහෙයින් මම සුව ඇත්තෙමි.

බමුණ මට තොපට මෙන් එක් පුතෙක් හෝ දෙපුතකු හෝ ඇති වැන්දඹු දූවරුන් නොමැත.

බමුණ එහෙයින් මම සුව ඇත්තෙමි.

තවද බමුණාණනි,

පිගුවන්වූ තල කැළලින් ගැවසී ගත් සිරුරක් ඇති තොප නිදිගත් විට පයින් ගසා තොප අවදි කරන තාගේවන් බිරියක් නැත. බමුණ එහෙයින් මම සුව ඇත්තෙමි.

බමුණ තොප වෙත අලුයම් කාලේ පැමිණෙන ණයකරුවෝ, “දෙව් දෙව්” කියමින් තොපට කරදර කරන්නෝ රොස් පරොස් බස් බණන්නෝ, එහෙව් ණය කරුවන් මහට නැත.

බමුණ එහෙයින් මම සුව ඇත්තෙමි.”

හිත ලතැවුල්ලෙන් මෙතෙක් වේලා බලා සිටිය භාරද්වජ බමුණාගේ සිත කෙමෙන් පහන් විය. සලිත වූ සිත - කෙමෙන් නිසල විය. දොහොත් මුදුන් දී බුදුන් වැඳ ඒ බමුණා මෙසේ කීය:

”භවත් ගෞතමයන් වහන්ස! ඉතා මැනැවි! ඉතා මැනැවි. මගේ සිත පහන් වීය! ඉතා මැනැවි! ඉතා මැනැවි.

භවත් ගෞතමයන් වහන්ස! යම්සේ යටිකුරු වූවක් උඩුකුරු කරන්නේ වේද වැසුණු දෙයක් විවර කරන්නේ වේද මංමුලාවූවකුට මඟ කියන්නේ වේද ඇස් ඇතියන් රූ දකින සේ තෙල් පහනින් එළි දක්නා සේ භවත් ගෞතමයන් වහන්සේ මට දහමක් පැවැසූහ.

මම

තවත් ගොයුම්හු ද ධර්මයද බික් සඟණ ද සරණ යමි. මගේ සිත නිදහස්ය. භවත් ගෞතමයන් වහන්සේ සමීපයේ පැවිද්ද ලබම්වා උපසපුව ලබම්වා.

මූලාශ්‍රය: සංයුත් සගිය බ්‍රාහ්මණ සංයුක්තය.

 මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා