»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2010 නොවැම්බර් 28දින
* 2010 නොවැම්බර් 21දින
* 2010 නොවැම්බර් 07දින
* 2010 ඔක්තෝම්බර් 31දින
* 2010 ඔක්තෝම්බර් 24දින
* 2010 ඔක්තෝම්බර් 17දින
* 2010 ඔක්තෝම්බර් 10දින
* 2010 ඔක්තෝම්බර් 03දින
* 2010 සැප්තැම්බර් 26දින
* 2010 සැප්තැම්බර් 19 දින
* 2010 සැප්තැම්බර් 12 දින
* 2010 සැප්තැම්බර් 05 දින
* 2010 අගෝස්තු 29දින
* 2010 අගෝස්තු 22දින
 
 
   
සංගීතයෙන් පෙර’පර දෙදිග එක් කළ
 

සංගීතයෙන් පෙර’පර දෙදිග එක් කළ

 

රහ්මාන්

ස්ලම් ඩෝග් මිලියනර්” සිනමා කෘතිය හරහා පෙරදිගින් අපරදිගට ගිය මියුරු සංගීත රාවයක් වේ යැයි කිවහොත් නිවැරැදිය. ඉන්දියානු සංගීතය ගෝලීය භාෂාවක් වී විශ්වයට ගැලපෙන ලෙස ගලා යද්දී ඒ සංගීත රාවය බිහිකළ ශිල්පියාට ඔස්කා සම්මානය හිමිවිය.

මේ ඉන්දියානු ගාන්ධර්වයා ලෝක ප්‍රසිද්ධ ටයිම් සඟරාව විසින් හඳුන්වනු ලැබූයේ මදුරාසියේ “මොසාර්ට්” නමිනි.

2009 දී ටයිම් සඟරාව විසින් ලෝකයේ වඩාත්ම ජනතාවට බලපෑම් කළ හැකි පුද්ගලයින් සිය දෙනා අතරට ඔහු එක්කරන ලදී. මදුරාසියේ දෙමළ නිවේදකයින් ඔහු හඳුන්වන්නේ “ඉසයි පුයල්” (සංගීතයේ කුණාටුව) නමිනි.

මේ සංගීතයේ කුණාටුව ඉන්දියාවේ දකුණු දෙසින් ඉස්මතු වී උතුරු ඉන්දියාවට අවතීර්ණ වී මුළු භාරතයත් සංගීතයෙන් කළඹා මේ වන විට මුළු ලෝකයම ජයගෙන තිබේ.

1992 දී මනිරත්නම් ගේ රෝජා නම් දමිළ චිත්‍රපටියෙන් සිය සංගීත චාරිකාව ආරම්භ කළ ඔහු ඒ. ආර්. රහ්මන් නම් වෙයි.

1995 දී සංගීතයට කළ සේවාව උදෙසා මොරිෂස් ජාතික සම්මානය හා මැලේසියානු සම්මානය දිනාගත් ඔහු ජාතික සිනමා සම්මානය හතර වරක් දිනා ගත්තේය. ඉන්දියානු රජයෙන් පද්ම ශ්‍රී සම්මානය ද ලද ඔහු තමිල්නාඩු සිනමා සම්මානය හය වරක් ම දිනා ගත්තේ ය. මේ වන විට ඔහු ෆිල්ම් ෆෙයාර් සම්මාන දහහතරකට ද සංගීතය හා ගීත තනු උදෙසා පිදෙන දකුණු ඉන්දියානු ෆිල්ම් ෆෙයාර් සම්මාන හයකට ද හිමිකම් කියයි. 2000 දී විශ්ව සංගීතය සඳහා ඔහුට ස්ටැෆර්ඩ් සරසවියෙන් ගෞරව සම්මානයක් පුදන ලදී. 2009 දී ස්ලම් ඩෝග් මිලියනර් චිත්‍රපටයේ සංගීතය උදෙසා Critic Choice Award සම්මානය ද නිර්මාණාත්මක හොඳම සංගීතය සඳහා වූ Golden Globe සම්මානය ද හිමිකර ගත් රහ්මන් ඉන්පසු විශිෂ්ටතම සිනමා සංගීතය සඳහා පිරිනැමෙන BAFTA සම්මානය ද හොඳම නිර්මාණාත්මක සංගීතය හා හොඳම ගීතයට හිමි ඇකඩමි සම්මාන දෙකක් ද දිනා ගත්තේය.

2010 දී ඉන්දියානු පුරවැසියකුට හිමිවන තුන්වන උසස් ම පුරවැසි ගෞරව සම්මානය ද රහ්මන්ට ඉන්දියානු රජය විසින් පිරිනමන ලදී.

ඔහු මුලින්ම සංගීතය සැපයු රෝජා චිත්‍රපටයේ සංගීත හඬ පටය 2005 වසරේ හොඳම සංගීත හඬපට දහය අතරට ඇතුළත් විය. එය තෝරන ලද්දේ සුප්‍රසිද්ධ Time සඟරාව විසිනි. ඔහු ලැබු සම්මාන අතර ග්‍රැමී සම්මාන දෙකක් ද ඇතුළත්ය.

1966 ජනවාරි මස 6 දින ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ ද්‍රවිඩ ‘මුදලියාර්’ පවුලක ඔහු උපන්නේ. ඒ. ඇස්. දිලිප් කුමාර් නමිනි. ආර්. කේ. ශේඛර් නම් වූ ඔහුගේ පියා මලයාලම් චිත්‍රපට සඳහා සංගීතය මෙහෙයවූ සංගීතඥයෙකි. පියාගේ සංගීත භාණ්ඩ වලින් මුළු ගෙදරම පිරී තිබුණේය. උපන් දා සිට ඔහුගේ සවනත වැකුණේ මියුරු සංගීත රාවයයි. පියාගේ ආභාසය නිසාදෝ සංගීතය ඔහුගේ ජානවලට එක්වී තිබිණ.

කුඩා කලදීම පියා අහිමි වූ ඔහුගේ පවුලේ ආදායම් මාර්ගය වූයේ සංගීත භාණ්ඩ කුලියට දීමය.

හින්දු භක්තිකයකු වූ ඒ. ඇස්. දිලිප් කුමාර් නම් වූ දරුවාගේ බාල සොහොයුරියට කුඩා කලදී බලවත් අසනීපයක් වැළඳිණි. නොයෙකුත් වෙදුන් ගෙන් බෙහෙත් ගෙන දේවාල කෝවිල් කරා ගිය ද රෝගය සුව නොවීය. අවසානයේ පියා නැති මේ අසරණ මව මුස්ලිම් දේවස්ථානයක යාඥා කරමින් පිහිට පැතීය. මේ යාඥාවලින් දැරිය සුවපත් වූවාය. ඉන්පසු දිලිප් කුමාර්ගේ මව සිය දරුවන් සමඟ මුස්ලිම් ආගම වැළඳ ගත්තාය. ඒ. එස්. දිලිප් කුමාර්, ඒ. ආර්. රහ්මන් නැතහොත් අල්ලා රක්ඛා රහ්මන් විය. 1989 දී මෙසේ මුස්ලිම් ආගම වැළඳ ගනිද්දී ද රහ්මන් සංගීතය හදාරමින් සිටියේය. ඒ. ආර්. රහ්මන් නම්වූ අපූර්ව සංගීතඥයා භාරතයට දායාද වූයේ එසේය.

මුල් අවධියේදී සංගීතයට දක්ෂකම් දැක්වූ රහ්මාන් සංගීත කණ්ඩායම්වල ප්‍රධාන පෙළේ “කී බෝඩ්” වාදකයෙක් විය. ඔහු “Roots” නම් සංගීත කණ්ඩායමේ ප්‍රධාන සංවිධායකයා ලෙස ද කටයුතු කළේය. එකල ඔහුගේ මිතුරන් වූ සිවසාමි, ජෝන් ඇන්තනි, සුරේෂෂ් පීටර්ස්, ජොජෝ හා රාජු වැන්නවුන් එකල කණ්ඩායම් සංගීත රසිකයන් අතර ජනපි‍්‍රය අය වූහ.

ගිටාරය, හාර්මෝනියම් පියානෝ ආදි විවිධ සංගීත භාණ්ඩ වාදනයේ හපනකු වූ රහ්මන් චෙන්නායි හි “නෙම්සිස් ඇවනිව්” (Nemesis Avenue) නම් රොක් සංගීත කණ්ඩායමේ ආරම්භකයා වූයේය. විශේෂයෙන්ම සංගීතයත් තාක්ෂණයත් එකට මුසු කිරීමේ අති දක්ෂයකු බවට සංගීත ලෝකයේ ප්‍රකටය.

ඉතා කුඩා අවධියේදී මාස්ටර් ධන්රාජ් නම් ගුරුවරයකු යටතේ මුලින්ම සංගීතය හදාරන්නට පටන්ගත් රහ්මාන් වයස අවුරුදු 11 දී කී බෝඩ් වාදකයකු ලෙස ඉලෙයිරාජාගේ කණ්ඩායමට එක්වීම විශේෂයකි.

ඉලෙයිරාජා රහ්මන්ගේ පියාගේ සංගීත භාණ්ඩ කුලියට ගත් සංගීතඥයින් අතරින් එක් අයෙකි. ඉන් අනතුතරුව එම්. එස්. විශ්වනාදන්, රමේෂ් නායිදු හා රාජාකෝටි වැනි සංගීතඥයින්ගේ වාදක මණ්ඩලවල වාදනය කිරීමට රහ්මාන්ට අවස්ථාව සැලසිණ. ඉන් පසුව ඔහු ශකීර් හුසේන්, කේ. වෛද්‍යනාදන්, එල්. ශංකර් ආදීන් ගේ වාදන මණ්ඩලවලට එක්වී විදේශීය සංචාරවල යෙදුණේය.

අනතුරුව ට්‍රිනිටි සංගීත විද්‍යාලයෙන් ලද ශිෂ්‍යත්වයකට අනුව එහිදී බටහිර ශාස්ත්‍රීය සංගීතය පිළිබඳ උපාධියක් ලැබීය.

ඒ. ආර්. රහ්මාන් නම්වූ මේ සුවිශේෂී සංගීතධරයා ගේ සංගීත දිවියේ කඩඉමක් වශයෙන් සඳහන් කළ හැක්කේ ඔහු තමාගේ ම ශබ්දාගාරයේ සංගීත පටිගත කිරීම් හා සංගීත සංයෝජනයත් පටන් ගැනීමෙනි. ඔහු සිය නිවස පිටුපස මිදුලේ “පංචදන් රෙකෝඩ් ඉන්” නමින් ශබ්දාගාරයක් තනවා ගීත හා සංගීත පටිගත කිරීම් ඇරැඹීය. එය ඉන්දියාවේ තිබු නවීනතම උපාංගයන් ගෙන් යුතු ඉහළතම පටිගත කිරීම් පහසුකම් වලින් යුතු ශබ්දාගාරයකි. ඔහු එහිදී ඉන්දියානු රූපවාහිනි නාලිකා සඳහා සංගීතමය දැන්වීම් පටිගත කිරීම මුලින්ම ආරම්භ කළේය.

ඔහුගේ සංගීත දිවියේ තවත් කඩඉමක් සනිටුහන් කරමින් 1992 දී ම ඔහුට මනිරත්නම් නම් සුවිශේෂී දකුණු ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ “රෝජා” නම් දමිළ චිත්‍රපටයට සංගීත අධ්‍යක්ෂණය කරන්නට අවස්ථාව ලැබිණ.

මේ ඒ. ආර්. රහ්මන් නම්වූ ඒ සංගීතවේදියාගේ උපත ලෙස හැඳින්විය හැකිය. මනිරත්නම් ගේ රෝජා චිත්‍රපටයේ සංගීතය හා ගීත ඉන්දියානු ජනයා පමණක් නොව මුළු ලෝකයේම භාරතීය ගීත හා සංගීත රසිකයන්ට නවමු සිසිලක් ගෙන දුන්නා පමණක් නොව ඔහු සිය පළමු චිත්‍රපටයෙන්ම හොඳම සංගීත අධ්‍යක්ෂට හිමි ඉන්දියානු ජාතික සිනමා සම්මානයෙන් (National Film Awards) පිදුම් ලැබීය. එතැන් සිට ඔහු තවත් තෙවරක් ම ජාතික සිනමා සම්මානය දිනා ගත්තේය. ඒ 1997 දී ‘මින්සාර කනයු’ දමිළ චිත්‍රපටයේ, 2002 ‘ලගාන්’ හින්දි චිත්‍රපටයේ හා 2003 කන්නතිල් මුත්තමිටාල් දමිළ චිත්‍රපටයේ සංගීත නිර්මාණය හා අධ්‍යක්ෂණය වෙනුවෙනි.

රෝජා චිත්‍රපටයේ ගීත හා සංගීතය යුගයේ චිත්‍රපට සංගීතයේ කැපී පෙනෙන වෙනසක් හා නවමු බවක් ඇතිකළ බව භාරත චිත්‍රපට විචාරකයෝ පවසති.

ඊළඟට ඔහු ‘බොම්බෙ’ හින්දි චිත්‍රපටයේ ගීත හා සංගීතය තුළින් භාරත හින්දි සිනමා සංගීතයේ ද වෙනසක් ඇති කළේය. ඔහු චිත්‍රපට තේමාවන්ට සරිලන පරිදි සංගීතයේ වෙනසක් ඇති කිරීමට මහන්සි ගත් අයුරු කාදලන්, භාරතී රාජා කරුක්කම්මා, මෙන්ම විකට චිත්‍රපට ලෙස සැලකෙන මිස්ටර් රෝමියෝ හා ලව් බර්ඩ්ස් වැනි චිත්‍රපටවලට ඔහු නිර්මාණය කළ සංගීත රටාවලින් පෙනී යයි.

ඔහුගේ සංගීත නිර්මාණයට තමිල්නාඩු චිත්‍රපට කර්මාන්තයේ පිළිගැනීමක් ඇති වුණා සේම ලෝකය පුරා විවිධ තලවලට අයත් සංගීත රසිකයන් ඔහුගේ චිත්‍රපට කෙරෙහි විශේෂ ඇල්මක් දැක්වූ අයුරු පෙනේ.

ඒ. ආර්. රහ්මන් ගේ සංගීත නාද රටාවලින් බටහිර ශාස්ත්‍රීය, කර්නාටක සම්ප්‍රදායික දමිළ ගැමි මෙන්ම රෙගි්, ජෑස් හා රොක් සංගීත ආදි විවිධ ගීත සම්ප්‍රදායන්හි සුවඳ හමායන අයුරු දැනිය හැකිය. විවිධ සංගීත ශෛලීන් ග්‍රහණය කොට අර්ථවත් සංගීතයක් බිහි කිරීමට ඇති හැකියාව රහ්මන් ගේ විශේෂිත වූ දක්ෂතාවයකි.

මනිරත්නම් ගේ බොම්බෙ චිත්‍රපටයෙන් පසු ඔහු දිපා මේතා ගේ ‘ෆයර්’්, රාම් ගෝපාල් වර්මාගේ ‘රන්ගීලා’ යන චිත්‍රපටවල ඉතා උසස් ගණයේ සංගීත රටාවලින් හෙබි සංගීත නිර්මාණයක් බිහි කළේය. මුම්බායි චිත්‍රපටවලට රහ්මන්ගේ සංගීතයෙන් ලැබුණේ නව එළියකි.

චිත්‍රපට සංගීතයේදි විවිධ සංස්කෘතින්ට අයත් සංගීත රටා තුළින් නව අරුත් මැවිමට ඔහු දක්‍ෂ විය.

දිල්සේ, තාල් වැනි චිත්‍රපට තුළින් ජනපි‍්‍රය ගීත රැසක් බිහි කළ ඔහු නෙතාජී, සුභාස් චන්ද්‍ර බෝස් වැනි චිත්‍රපට තුළින් බිහි කළේ වෙනස් ආරක ආත්ම සංයමයෙන් යුතු සංගීත නාද රටාවන්ය.

සංගමම් හා ඉරුවර් වැනි සිනමා කෘතිවල ඇත්තේ කර්ණාටක ගායනා ශෛලීන් මෙන්ම වීණාව වැනි සංගීත භාණ්ඩ ප්‍රධාන කොටගත් වාදන භාණ්ඩ උපයෝගි කරගත් සංගීතයට ඊටම රොක් ගිටාරය හා ජැස් සංගීතය ද ඉතා සාර්ථකව අපූරුවට මිශ්‍ර කරන්නට රහ්මන් සමත් විය.

2000 දී ඔහු රජීව් මෙනන් ගේ ‘කණ්ඩු කොණ්ඩන් – කණ්ඩු කොණ්ඩන්,’ ‘අලෙයිපායුතේ’ අෂුතෝෂ් ගොව්රි තාර් ගේ ‘ස්වදේශ්’ හා ‘රංග් දේ බසන්ති’ වැනි චිත්‍රපටවල ද ඉතා ජනපි‍්‍රය ගීත රාශියක් නිර්මාණය කළේය.

2005 දි ලොව පුරා ඉතා ජනපි‍්‍රය වූ ‘වෝටර්’ චිත්‍රපටයට ඔහු නිර්මාණය කළේ හින්දි ශාස්ත්‍රීය ගායනා ඇසුරු කළ සංගීතයකි.

මතු සම්බන්ධයි


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා