»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2010 නොවැම්බර් 28දින
* 2010 නොවැම්බර් 21දින
* 2010 නොවැම්බර් 07දින
* 2010 ඔක්තෝම්බර් 31දින
* 2010 ඔක්තෝම්බර් 24දින
* 2010 ඔක්තෝම්බර් 17දින
* 2010 ඔක්තෝම්බර් 10දින
* 2010 ඔක්තෝම්බර් 03දින
* 2010 සැප්තැම්බර් 26දින
* 2010 සැප්තැම්බර් 19 දින
* 2010 සැප්තැම්බර් 12 දින
* 2010 සැප්තැම්බර් 05 දින
* 2010 අගෝස්තු 29දින
* 2010 අගෝස්තු 22දින
 
 
   
ගඟුලැල්ල
 

ගඟුලැල්ල

 

 

සමා වෙනු මැන...

කියනු කෙලෙසද සිත හඬන හැටි
කඳුළු නැති මුත් මා නෙතේ
ඔබේ සිත මට කැමැති නැති හැටි
පවක්දෝ කළ පුරුවේ
දිවා රැය හැම මොහොතක ම සිත
ඔබට පෙම් කළ කර්මයේ
ඵලය විදිනට සිතට සවි නැත
සසර ගමනයි දික් වුණේ
යසෝදරාවක ලබන්නට පින්
නොමැත මා සිදුහත් නොවේ
විශාඛාවෙනි තුටින් ඉනු මැන
හිතේ කහටක් නෑ අනේ
කියූ වදනින් බැලූ බැල්මෙන්
කිලිටි වී නම් සිත ඔබේ
සමා වෙනු මැන බොළඳ අසරණ
ඔබට පෙම් කළ මට නඟේ

දිනිත සඳමල් රාජකුලතුංග
කැලණිය සරසවිය


ඇයිද මේ වෙනස්කම?

මහ මෙර පලා ගෙන දිය කඳ ඇද හැලෙන
කටු අතු ඉරාගෙන සුවඳැති මල් පිපෙන
කොවුලන් ඇවිත් වන මැද සිට ගී ගයන
හිරු දෙවි උරණ වී මහ වැසි ඇත වැටෙන

මුදලට ලොවම වනයේ ගහකොළ කපන
ගජමුතු සොයා ඇතු මර මර බිම දමන
රසකර බුදින දිව දික්කර රස විදින
වනයේ සතුන් වෙඩි උණ්ඩෙට දිවි පුදන

කම්පාවෙලා මිහිකත උරණව සිටින
ගංගා ගලා ලොව ජලයෙන් යට කරන
ලැව් ගිනි දවාදෙන දඬුවම් අද විදින
ගිනි කඳු පුපුර පුපුරා උණුසුම බෙදන

වනයේ පිපුණ මල බිම දා පර කරන
ඉටියෙන් සදා මහ ඉහලින් එය කියන
ගල්වා සුවඳ වර්ණය ඇති මවිත වන
වනයේ පිපුණ මල හැකිවෙද පරදවන

අත්තිඩියේ නිමල් සිරි තිස්ස


හැරයාම

ගොම්මං වෙලාවේ තනිකම දැනෙන පැයේ
ඝනදුරු තිමිරයෙන් ගේපැල වැසී තියේ
කුටියක පාළු ගෙවෙනා විට කාන්සි යේ
සුපුරුදු සුවඳකිනි මා සිත පිරී ගියේ

සියොතුන් රෑන ගේ දොරකඩ මිය’ඹ ගසේ
මතකයි ගැයු ගී තනුදී මියුරු රසේ
ඉඳහිට ඇසෙන ඒ ගී රාවය පෙර සේ
දෙසවන වැකී මා සිත මොහතක් සැනසේ

ඔබ කළ සියලු දෑ නිවසෙහි හතර අත
දිස්වෙන විටදි මට වාවුනු නොහැක සිත
තැබුවද විරාමය මාහැඟි දිවිය වෙත
සුපුරුදු සුවඳ මා වට දැවටෙමින් ඇත

දැන දැන යළි නොඑන වග මේ ගේ පැලට
මඟ බල බලා ඉමි සසරේ පුරු ද්දට
දරු පැටවුන් පවා බැහැරක වෙසෙන විට
හව් හරණක් කොහෙද හිමියනි ඉතින් මට

ඇල්පිටිය
චන්ද්‍රා රෝහිණි කැටිපෙආරච්චි


ඉතින් අවසරයි

නටුව නොවෙයි මල සිඹින්න...
ඉතින් අවසරයි...
නටු පුරා තිබෙන... කටු ඇනේවි...
පරෙස්සම හොඳයි...

අප පියමැන යන මේ මාවත... මල් පිපී නැතී
කටු පඳුරු අතර සැඟවෙන මල්... සොයා ගමු අපී
ලොවට අයිති සුවඳට... වැට කඩොලු පල නැතී

ඔබෙ සිහින කන්ද... මහ මෙරටත් වැඩිය උස ඇතී
මගෙ සෙනෙහස ළඟ කුමරිය... ටජ්මහල් පල නැතී
සිහිනවලින් අවදිව... ලෝකය දකිමු අපී...

ඒ. ඩී. එස්. ඉන්ද්‍රාණි


කාට ද? මේ

කළ ගුණ නොද ත්තු
පුදුමයි හරිම සත්තු
අමන වෙස් ගත්තු
කෑම දුන් අත සපන පුත්තු

ඉහළ තළයක සිට
පහළට එබී බැලු විට
තමන් සිටි නිලයට
නිගා දෙන්නොත් සිටිති ඉඳහිට

සුළු වැඩකට වුවද
අල්ලස් ගනිති රොද බැඳ
ඒවා පුදන්නද
පිරිස සූදානමින් ඇත අද

තමන් ලද වැටුපට
සේවය වුවද නොම කොට
පොදු දේත් අවැඩට
යොදන්නන් සිටිනවා හරියට

දයා ගුණවර්ධන


නිමිත්ත

වැව පුරා ම
නෙළුම් පිපී
සුදිලෙන කොට
නෙතට සොඳුරු දසුනක් ම ය
මල් වරලා
බටු හැළිලා
කොළ දඬු මෝරා කුණු වී
වැව පුරා ම
විසිරුණ විට
නෙතට කටුක දසුනක් ම ය
අනිත්‍යය සිහි ගන්වන
ලෝ දහම කියා දෙන
හොඳ ම හොඳ නිමිත්තකි
වැවද, නුඹ

ජයසේන සේනානායක


තිස්ස මහ වෙහෙර
සංහිඳ පාමුල සිට

පුදසුන් බවට පත්කොට වන තණ බිස්ස
නිරිඳුන් පුද දුන්න සිරි කාවන් තිස්ස
සදහම් දිය දහර වපසරියෙම ඉස්ස
මනරම් සෑය නමදිම් වෙහෙරෙහි තිස්ස

වම් දළදා නිදන් කළ හිමි පහස විඳ
සම් බුදු අංකුරය මෙහි පැල කරන ලද
චන් දන තුවරලා කුංකුම සුවඳ මැද
තුන් බෝදියම පුද පෙළහර ලබති අද

රහතුන් දොළොස් දහසක් සමවත වැදුණු
ඇවතුම් වලින් බොදුදන සුසිරිත බැඳුණු
වියතුන් දහස් ගණනකි දහමින් හැදුණු
නැවතුම් හලකි මොක් මැදුරකි සිත රැඳුණු

සව් නේ ගෙවා දත් සමිඳුගෙ දසුන මත
සව් වන් සැවොම බුදු බැතියෙන් වැතිර ඇත
ගව් ගණනක් එහා සිසිලස නොමැත හිත
වැව් පුරවමිය පුද දෙයි සිය විජිනි පත

වැලිපටන්විල රංජිත් සමරසූරිය


අසම්මතය

තවමත් නැත මැකී ම සිතින්
කෙළිදෙළෙන් ගත කළ පුංචි සන්දිය
විටක සොයුරියක ලෙස
කලක ගුරුවරියක මෙන්
තෙවසරක් ඉදිරියෙන් ඔහුට
පා තබන මුත් මම
කෙසේ නවතාලන්න ද?
රහසේ නැඟෙන පේ‍්‍රමය...

ගුණවත්, නැණවත්
දැරිවියක යැයි මම
පවසන විට දෙමාපියෝ
ඔහු සිතනු ඇත එය...
ගරුබිය හදපිරි උතුම් සිසුවකු ලෙස
හිස නමයි ඔහු
මා සිනාසෙන විට...

කෙසේ හඬගා කියන්න ද මම
වියළි කතරේ ගී‍්‍රෂ්මය මැද
සුවඳ මල් පිපෙන බව
බඹරු එහි ඇදෙන වග
සුපිරිසිදු හදක් වෙත
ආදරය දිවෙන බව...

පේ‍්‍රමයට කෙදිනක සැඟවෙනු බැරි ය කී මුත්,
බොඳ වෙන්නේ ඇයි මගේ
හද දවන පේ‍්‍රමය
ඔහු ලියූ සොඳුරු පිටු මත...?

එන්. ප්‍රනාන්දු,
කැලණිය විශ්වවිද්‍යාලය


නෙත් හී සැර

ඉඟි කර කරා පොඩි දරුවකු පරිදි එදා
හිනැහුණු හැටි අගෙයි මා වෙත දෙනත විදා
පෙම්බස් දොඩා එදවස මතකයෙහි රඳා
අද කොතනකද ඔබ හා මා ඉන්නෙ සදා

උස් කඳු පේළි දිගටම මට පෙනෙන විට
මිහිදුම ටිකෙන් ටික බිම ඇද හැළෙන විට
උණුසුම නිවී සීතල ගත දැනෙන විට
අමතක කිරීමට ඔබ නුපුළුවන මට

උතුරා ගලද්දී සෙනෙහස නැමති ගඟ
මම මැඩ ගතිමි ආසාවන් තිබුණු වග
ඇගේ නෙත් කැළුම් මා හද තුළ ඉහළ නැග
ආවෙමි මෙතෙක් ජීවිතයෙහි නොකර දඟ

නොමියන අනාගතයක සුබ ලකුණ දිගේ
දුටුවෙමි දෙනෙත් ගොළු හදවත රැඳුණු ඇගේ
ලෝකය දැකීමට ලියකගෙ මහිම අගේ
පැවසිය හැකි ද කා හට ඇය රඟන රඟේ

කට්ටියාවේ
කේ. ජී. සමරකෝන්


මා මළ පසු...

මගේ දිවි සුසුම් පොද
සැඟ ව ගිය දිනක
කිසිවකුත් නොලියාවි දුක් ගීත
මගෙ සොහොන් කොත මත...

නිහඬ වූ ගුප්ත වූ පාළුවක ගිලුණ
සොහොන් කොත් අතර
නිස්කාන්සුවෙ නිදන...

මගේ තනි නොතනියට
දම්පාට මල් පිපුණ
පුංචි මිනිමල් පඳුරු
ළඟ ඉදී හැමදාම...

හාත්පස අඳුර රජයන
පාළුවූ සුසානයෙ මා දමා ගිය
මගෙම ළබැඳි නෑසිය පිරිවර
යළි මෙහි නොඑන බව දැන...

සුදු ම සුදු මල් පිපිණු
විසල් අරලිය තුරු පෙළ
මල් තියයි හැමදාම
මගෙ සොහොන් කොත මත...

ස්වර්ණා ද සිල්වා


ආපසු ඒම

පාළුව ගලා එයි දස අත දුක රැගෙන
මේ ලොව කිසිත් නෑ මට සතුටක් ගෙනෙන
ජීවිත කතාවේ අවසන් දින ගෙවන
තවමත් නොමැත හිත සැනසීමක් දැනෙන

කණකොක් රෑන ගෙයි අහසේ හිඳ හඬන
උඩු බුරලමින් බලු රෑනක් හඬ නඟන
වෙන නෑ හඬක් ඒ හැර සවනට වැකෙන
මූසල කමයි හැම තැන පැතිරී ඇදෙන

කඳුලැළි නෙත් අඟින් නොනවත්වා ගලන
හද රැඳි සෙනෙහසේ රූ එකිනෙක මැවෙන
දා බිඳු නළල් තලයේ සිට බිම වැටෙන
ගියහෙන් මවාගත් දහිරිය විය මිලින

දා බිඳු සමඟ කඳුලැළි පිසදා ගතිමි
ලියු හසුන් පත ඉරලා විසි කළෙමි
වසා තිබුණු දොර කවුළුත් හැර ගතිමි
හුස්මක් අරන් යළි ජීවිතයක් ලදිමි

මාධවි සඳහමිණි
වෙත්තසිංහ


පිනෙනි මා නුඹ දුවණි වූයේ...

සිත තෙමාලන අසිනි වැසි වී
නුඹේ සෙනෙහස හද බිමට වැහැලා
සිත් දෑල දුර ගොඩ ගලා ගඟ
ඒ දියට මුළු පපුතුර ම තෙමිලා

අපමණක් වුව මා කෙරේ බැඳි
අමිල ළෙන්ගතු බව ඔබේ
වරෙක නෙත් යුග තෙමෙන තරමට
දයාබරකම මට දැනේ

නුඹේ තුරුලේ සුව නැතත් අද
කොඳුරනා හඬ මට ඇසේ
පිනෙනි මා නුඹ දුවණි වූයේ
ගෙවෙන සසරේ අනන්තේ

දකින තුරු නුඹෙ සෙනෙහෙ ඉතිරෙන
සුනිල්වන් නෙතු සඳැල්ලේ
නොනිමි මවු පෙම හදේ රන්දා
මඟ බලන් නෙත හිඳින්නේ

ධනංජනී පුෂ්පමාලි


පරාර්ථය

උදුරා සියලු පටු සිතුවිලි ඉවත දමන්
වෙහෙසී වැඩ කළොත් දියුණුව පිණිස තමන්
යහපත සැදෙයි එය එලෙසම කෙරෙන ගමන්
අනුනට සෙත ද සැලසිය යුතු නැණැස යොමන්

තම දියුණු ගැන ම සිතලා කරන දෙයින්
අනුනට කරදර ද - වැලකිය යුතු ය එයින්
වදනෙන් සිතින් වාගෙම සංවරව කයින්
දෙලොවම දිනයි ඉන් හොඳ පල ලැබෙන හෙයින්

තුරුලිය සිසාරා රට හැම තැනම යවා
දහඩිය හෙලන කොයි කාගෙත් වෙහෙස නිවා
සේවය සදන නොවෙනස්වම උදය හවා
පරහිතකාමි වෙයි හමනා සුළඟ පවා

ලොව පැවතුමට මොන රට වුව පෙර අපර
ඇළ දොළ නදී වැව් පොකුණු ද මහ සයුර
ආවත් දැඩි නියං වැනි බාදක කවර
පරහිතකාමි සේවය නොකරයි නතර

පේ‍්‍රමදාස නුගේගොඩ


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා