දොස් - නිදොස් විශ්ලේෂණය
 

දොස් - නිදොස් විශ්ලේෂණය

 

ඩී. එෆ්. කාරියකරවන
 

කර්ම විභක්තිය

කර්තෘගේ ක්‍රියාවට යටත් වන පදය කර්ම විභක්ති ගනී.

පැරැණි වියරණ ඇදුරන්ට ඉතා සමීපතම වූ උදාහරණයයි පහත දැක්වෙන්නේ.

‘වඩුවා පුටුව සාදයි’

මෙහි, වඩුවා ගේ ‘සාදයි’ යන ක්‍රියාවට යටත් වන පුටුව කර්ම විභක්ති ගනී.

කර්ම විභක්ති ඒක වචනයට අයත් ප්‍රත්‍යයෝ මෙසේ වෙති: අ, ආ, උ, හු, ට, අට, අකු, අක්

නිදසුන්

- ගුරුවරයා පොත බලයි
- නයා මැඩියා ගිලියි
- අසුරුවා අසු මෙහෙයවයි
හු
- සතුරෝ රජහු මැරූහ
- දැරිය ගෙට ගියා ය
අට
- මිනිසා ගමට යයි
අකු
- ගහලයා මිනිසකු මැරී ය
අක්
- ඇමැතියා වරයක් ලදී

කර්ම විභක්ති බහු වචනයට අයත් ප්‍රත්‍යයෝ මෙසේ වෙති: අන්, ආන, උන්, න, ත්, නන්, නට, වල්

දසුන්

අන් - හේ දෙවියන් යදී.
ආන
- කිරලාන නො මරව්
උන්
- දෙගුරුන් පුදව
- සිය සුතන සුරකිව
ත්
- ඉතිරිත් සතරෙහි යොදමු
වල්
- ගොවීහු ඇළවල් කපති
නන්
- දුහුනෝ සේනන් සොයති
නට
- තිසර විල්නට වදිති

මෙහි මුලින් පළ වූ ඒක වචන ප්‍රත්‍යය දැක්වුණු නිදසුන් වලදී ‘හු’ ප්‍රත්‍යය හා සමඟ පළවූ ‘සතුරෝ රජහු මැරූහ’ යන වැකිය ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙතැයි මට සිතේ. එසේ සිතෙන්නේ ‘රජහු’ යන්න කර්ම විභක්තියෙහි යෙදීම ගැන ඇතැමකු තුළ විචිකිච්චාවක් ඇති විය හැකි බැවිනි. ‘රජහු’ යන්න කර්ම කාරක වන්නේ කෙසේ දැයි සැකයක් මතුවිය හැකි බැවිනි.

එතැන ‘හු’ ප්‍රත්‍යය අනුක්ත වන්නේ බහු වචනාර්ථයෙහි එසේ යෙදීම ඡේක ප්‍රයෝගයක් වන හෙයිනි. මෙසේ බහු වචන කර්මයට ‘හු’ යන්නෙන් අවසන් වන පද යෙදුණු තැන් සිංහලයෙහි බහුල ය.

නිර්වත්‍ය කර්ම

කර්තෘහු ගේ ක්‍රියාව හේතු කොට ගෙන අමුතුම යමක් හට ගැනේ නම් ඒ නිර්වත්‍ය කර්මයයි. “කෙල්ල පැඳුරක් වියයි” යන්න නිදසුනෙකි. කෙල්ලගේ ක්‍රියාව නිසා බිහි වෙන ‘පැදුර’ අමුතු ම දෙයකි. එහෙයින් ඒ වැකිය නිර්වත්‍ය කර්ම නම් වේ.

“කුමරිය පුතකු වැදුවා” යන්න තව නිදසුනෙකි. කුමරිය කළ වැදීම නම් වූ ක්‍රියාවෙන් බිහි වෙන පුතු එතැනම අමුත්තකු වන හෙයින් එය නිර්වත්‍ය කර්ම කාරක වේ.

විකාර්ය කර්ම

කර්තෘහු ගේ ක්‍රියාව හේතු කොට ගෙන යමක් වෙනස් වේ නම් ඒ, විකාර්ය කර්ම නම් වේ. “ගොවියා ගොම අළු කළේය” යනු එයට නිදසුනි. ගොවියා කළ ක්‍රියාවෙන් ගොම පිලිස්සී අළු බවට පත්වීම නිසා එය විකාර්ය කර්ම නම් වේ.

“අරක්කැමියා බත පිසයි” යන්න ද විකාර්ය කර්මයට තව නිදසුනෙකි. මෙහි වෙනස් වී ඇත්තේ බත ය. බත බවට පත්වූයේ සහල් ය. අරක්කැමියාගේ ක්‍රියාවෙන් සහල් බත් වූයේය. එහෙයින් එය ද විකාර්ය කර්ම නම් වේ.

ප්‍රාප්‍ය කර්ම

යම් කර්මයක් ඉහත කී දෙවර්ගයට අයිති නොවන්නේ හුදෙක් කර්තෘහු ගේ ක්‍රියාව හා සම්බන්ධ වේ නම් ප්‍රාප්‍ය කර්ම නම් වේ. ‘හඳ බලමු’ යන්න නිදසුනි. ‘හඳ බලමු’ යි කී විට හඳේ විශේෂත්වයක් නොමැති බැවින් එය ප්‍රාප්‍ය කර්ම නම් වේ.

අත්‍යන්ත යෝගය

ක්‍රියා, ගුණ, ද්‍රව්‍ය යන මොවුන් ගේ කාල, මාර්ග යන දෙදෙනා හා ඇති නිරන්තර සම්බන්ධය අත්‍යන්ත සංයෝගය නම් වේ.

නිදසුන්:

සතියක් දන් දුනිමි (කාල ක්‍රියා සම්බන්ධය)
ගව්වක් කතාව කීවෙමි (මාර්ග ක්‍රියා සම්බන්ධය)
සමසක් නියඟයි (කාලගුණ සම්බන්ධය)
සැතැප්මක් වක්වූ ඔයයි (මාර්ග ගුණ සම්බන්ධය)
මසක් බේත් කැවෙමි (කාල ද්‍රව්‍ය සම්බන්ධය)
යොදුනක් වනයයි (මාර්ග ද්‍රව්‍ය සම්බන්ධය)

ඉතිබු අරුත්හි

ඉතිබු අරුත්හි ද කර්ම විභක්තිය යෙදේ. ඉතිබු අරුත යනු “මෙසේවීය” යන අර්ථයි. යම් පැවැත්මක් පළමු තුබූ ප්‍රකාර හැර අන්‍ය ප්‍රකාරයකට පැමිණේ ද ඒ ඉතිබු අරුත් නම් වේ.

නිදසුන් : “අකීකරු පුතා පියාට හොඳ විය”

පුතා පළමු පැවැත්මෙන් වෙන් වී අත් ප්‍රකාරයකට පැමිණි හෙයින් ඉතිබු නම් වේ.

සමානාර්ථයෙහි

මෙන්, සේ, වැනි නිපාත හා සම්බන්ධ වන ශබ්ද ද කර්ම විභක්ති ගනී.
මෙන් - ‘දත් කොඳ කැකුළු මෙන් බබලයි.’
සේ - ‘ගොයකු සේ බඩ ගා නොයව‘
වැනි - ‘කෙසර පෙළ වැනි දුවන හසරළ’

ප්‍රයෝජ්‍ය ක්‍රියාවේදී

ප්‍රයෝජ්‍ය ක්‍රියාවේදී ලවා යන්න හා සම්බන්ධ වන්න ද කර්ම විභක්ති ගනී.
නිදසුන් : ‘ගුරුවරයා ශිෂ්‍යයා ලවා පොත ලියවයි’

සම්ප්‍රදානාර්ථයෙහි

නිදසුන් : ‘මට ඉවසුව මැන’ (මා ඉවසුව මැන) ‘මට’ යන්න කර්ම විභක්ති ගනී.

ආධාරාර්ථයෙහි

පසු කිරිය කරන්නහුගේ ක්‍රියාවට පෙර කිරිය ආධාර වන කල්හි ඒ පෙර කිරිය කරන්නා කර්ම විභක්ති වේ.

නිදසුන් : “හිමියා නුවරට යාදී බිරිඳ සැඟවී ගියාය”

මෙහි හිමියාගේ නුවර ගමන බිරිඳ ගේ සැඟවී යෑමට ආධාර විය. එහෙයින් ‘යා’ යන පූර්ව ක්‍රියාව කරන කර්තෘ ආධාරාර්ථයෙහි කර්ම විභක්ති ගනී.

මූර්ධජ ‘ණ’ කාරය යෙදෙන තවත් වචන

ඇඟුණු - දැනුණු, අවබෝධ වූ
ඇඹණී - ගරු බිරිය
ඇණය - යමක් සවි කර කැර
ඇණැවීම - අණ කිරීම
ඇණිය - සෙබළ පිරිස
ඇවිණී - අවුණන යන්නේ අතීතය
ඉක්මුණු - ගෙවී ගිය
ඉකිණි - උකුණාගේ ගෑනු සතා
ඉණ - 1. ඉඟ, 2. ඉණිමඟ
ඉණිමඟ - උඩට නඟින ආධාරකය
ඉදුණු - ඉදෙන යන්නෙහි අතීත පදය
ඉරණම - 1. දෛවය, 2. ඉළ ඇටය
ඉරුණු - ඉරෙන යන්නේ අතීත පදය
ඊක්ෂණය - හොඳින් බැලීම
උකුණා - හිසේ හැදෙන එනම් සතා
උකුණු - උකුණාට අයත්
උච්චාරණය - හඬ නඟා කියවීම
උණ - 1. උෂ්ණ, 2. එනම් රෝග, 3. එනම් ගස්
උණු - උෂ්ණ වූ, රත් වූ
උණඹ - ගැට අඹ
උණුසුම - උෂ්ණ ගතිය
උණ්ඩය - පතුරම, මූනිස්සම
උත්තීර්ණ - එගොඩ වූ
උත්පලවර්ණ - 1. එනම් දෙවි, 2. නිල් මානෙල් පාට
උද්ඝෝෂණ - ඝෝෂා කිරීම
උදාහරණ - නිදසුන්
උපකරණ - වැඩට ඇවැසි දේ
උපහැරණ - උපමා
උරණ - තරහ, කේන්ති
උවාරණ - උපකරණ
උපකරණ - උවාරණ
උෂ්ණ - උණුසුම්
එකෙණෙහි - ඒ ක්ෂණයෙහි
එරමිණියා - කටු ගසක්
එරුණු - එරෙන යන්නෙහි අතීත පදය
එළුණු - එළන ලද
ඒක්ෂණ - ඒ මොහොත
ඒදණ්ඩ - දිය පාර හරහා වැටුණු කොටය (යෑම් ඊම් සඳහා)
එරාවණ - ඉන්ද්‍ර දෙවියා ගේ ඇතා
කගමිණි - මඟුල් කඩුව
කගමුණ - කඩුවේ තුඩ
කඩ ඇණය - කරත්ත අලවංගු ඇණය
කණ - එක ඇසක් නොපෙනෙන
කණකොකා - කොක් වර්ගයක්
කණ අස්සන - ඇඟිලි අස්සන
කණින - හාරන
කණ්ණාඩිය - කැඩපත
කණාටු - නිසරු
කණිසම - වේලාව
කණ්ඩිය - 1. බැම්ම, 2. කණ්ඩායම
කණ්ඩායම - සමූහය
කණුව - ටැඹ
කදෝ පැණි - කනමැදිරි
කරණ - කාරණය
කරුණ - කාරණය
කරණ කොට - හේතු කොට
කර්ණ - කන
කරණම - පිනුම
කරණිය - කිරීමට සුදුසු, කළ යුතු