නිකාය සංග්‍රහය
 

නිකාය සංග්‍රහය

 

ගම්පොළ සමයේ දී අභිනව විෂයයක් යටතේ ලියැවුණු නව මගක් ගත් තවත් කෘතියක් ලෙසින් ‘නිකාය සංග්‍රහය’ හැඳින්විය හැකි ය. ථූපවංශය, බෝධිවංශය, දළදා සිරිත වැනි පොත් යම් අයුරකින් ඉතිහාස කථා ගණයේ ලා ද ගත හැකි වුවත් නිකාය සංග්‍රහය යනු ඉතිහාස ප්‍රවෘත්තියක ලීලාවෙන් ම ලියැවී තිබෙන පුස්තකයකි.

එතෙක් සෘජු ව ලේඛනගත ව නො තිබූ බුද්ධ ශාසනයේ ඓතිහාසික පුරාවෘත්තය ග්‍රන්ථාරූඪ කිරීම මේ කෘතියේ අභිප්‍රායය වී ඇත. කතුවරයාණන් මෙහි ආරම්භයේ දීත් අවසානයේ දීත් කෘතිය හඳුන්වා දී ඇත්තේ ‘නිකාය සංග්‍රහ නම් වූ ශාසනාවතාර චරිතය’ යනුවෙනි. ඒ අනුව ශාසනයේ ලා ඇතැම් භික්ෂුන් වහන්සේ නිකාය හෙවත් කණ්ඩායම් වශයෙන් විවිධ ලෙස හැසුරුණු ආකාරයන් පිළිබඳ තතු සංග්‍රහ කොට දැක්වීම මූලික කොට ගත් ශාසන පැවැත්මේ කථාව යන්න මේ ග්‍රන්ථ නාමයෙන් ප්‍රකාශ වේ.

නිකාය සංග්‍රහයේ ආරම්භක ඡේදයෙන් ම මෙහි කර්තෘ කාලය අභිප්‍රායය ආදි වූ කාරණා රාශියක් ප්‍රකාශ වෙයි. ‘... ශුද්ධ බෞද්ධ ශ්‍රද්ධාවන්ත රාජරාජමහාමාත්‍යාදින්ට ආයුරාරෝග්‍යාදි වූ සකලාභිවෘද්ධි වර්ධනය පිණිස... මහා ස්ථවිරවරයන්ගේ පූර්ව ලිබිතය හා ඇසු දුටු ප්‍රත්‍යක්ෂ කාර්ය මාර්ගය ආශ්‍රය කොට ගෙන, ජිනවර පරිනිර්වාණයෙහි පටන් පස්වන භුවනෙකබාහු පසළොස් වනු මෙවක් පෙර පැවැති ශාසන ප්‍රවෘත්තිය සැකෙවින් හඟවනු පිණිස, දේවරක්ෂිත ස්ථවිරාභිධාන පූර්ව නාම ප්‍රකාශිත ජයබාහු මහා ස්ථවිරපාදයෝ නිකාය සංග්‍රහ නම් වූ ශාසනාවතාර චරිතයක් ගෙන හැර දක්වත්, එද වනාහි ධර්මානුගත කථා ප්‍රබන්ධයක් ම ය.’

මේ අනුව බලද්දී මේ කෘතිය කර ඇත්තේ විශේෂ ආරාධනයකින් නො ව රජු සහ අමාත්‍යවරුන් වෙත සෙත් සැපත් සහිත අභිවෘද්ධිය අපේක්ෂා කරමිනි. වෙනත් ඇතැම් කෘති මෙන් ම මෙය පාලි කෘතියක පරිවර්තනයක් හෝ අනුවර්තනයක් හෝ නො ව මූලාශ්‍රයයන් උපයෝගී කොට ගෙන සහ කතුවරයාගේ ප්‍රත්‍යක්ෂ දැනුම මෙහෙයවා කරන ලද්දකි.

අන්තර්ගතයේ කාල වකවානුව සම්බුද්ධ පරිනිර්වාණයෙහි පටන් සිරිලක පස්වැනි භුවනෙකබාහු රාජ්‍ය කාලය දක්වා වන අතර රජුගේ අභිෂේකයෙන් පසළොස් වැනි වර්ෂයේ දී මෙය රචනා කොට තිබේ. කතුවරයාණන් වූ දේවරක්ඛිත ජයබාහු හිමිපාණෝ යනු ගම්පොළ සමයේ වැඩ විසූ දෙවැනි ධර්මකීර්ති නමින් ප්‍රකට ව සිටි පණ්ඩිත මහා ස්ථවිරයෝ ය. ග්‍රන්ථාත්තරයෙහි ‘ද්වීතිය ධර්මකීර්ති මහා ස්වාමිපාදයන්’ යනුවෙන් ද ග්‍රන්ථාවසාන ගාථාවල ‘ධම්මකිත්ති මහාථේරෝ’ යනුවෙන් ද ඒ නාමය සඳහන් වේ. බාලාවතාර සන්නස සහ සද්ධර්මාලංකාර ද මුන් වහන්සේ ගේ ම කෘති බවත් නිකාය සංග්‍රහය පළමුවෙන් ලියූ කෘතිය බවත් පිළිගැනේ.

නිකාය සංග්‍රහයේ අන්තර්ගතය එක ම දීර්ඝ රචනාවක් ලෙසින් ලියැවී තිබුණ ද එය පිළිවෙළින් ථේරිය නිකාය, වජ්ජි නිකාය, සතළොස් නිකාය, නව නිකාය, ධර්මරුචි නිකාය, සාගලිකා නිකාය, වාජිරිය වාදය, නීලපට දර්ශනය, නිකාය සාමගි‍්‍රය, ශාසන ශෝධනය යන කථා ප්‍රවෘත්තිවලින් යුක්ත වේ. මෙසේ වූ ශාසන ඉතිහාසය දැක්වීමේ දී ඒ හා බැඳී යන දඹදිව ඇතැම් ඉතිහාස ප්‍රවෘත්ති සහ ලක්දිව රජ කළ නරපතියන් සහිත මෙරට ඉතිහාස ප්‍රවෘත්තිය ද සැකෙවින් දැක්වේ. එබැවින් මේ කෘතිය සඳහා අනෙකුත් මූලාශ්‍රයයන් අතුරෙහි මහාවංශය ප්‍රධාන තැනක් ගනී. එහි උද්ධෘත ගාථා ද සමග ‘... කියන ලදු යේ මැයි මහාවංශයෙහි... කියන ලදුයේ මැයි චූළවංශයෙහි...’ යනුවෙන් පැවසීමෙන් ම ඒ බව තහවුරු වේ.

පැරැණි සිංහල ග්‍රන්ථ අනුගත පිළිවෙත පරිදි නිකාය සංග්‍රහය ද ආරම්භ වනුයේ බුද්ධ චරිතය සැකෙවින් ප්‍රකාශ කිරීමෙනි. එහි සංක්ෂිප්ත භාවය කෙසේ වේ ද යත්, සුමේධ තාපස ප්‍රවෘත්තියේ පටන් සම්බුද්ධ පරිනිර්වාණය දක්වා වූ කථාව ප්‍රකාශ වනුයේ, පූර්ව ක්‍රියාවලින් ඒකාබද්ධ වූ එක ම දීර්ඝ වාක්‍යයකින් සැදුම් ලද එක ම ඡේදයකිනි. පරිනිර්වාණයත් සමග පැවසෙන සුභද්‍ර නම් භික්ෂුවගේ අභද්‍ර වචන පාදක කොට ගනිමින් කතුවරයා ක්‍රමවත් ව ස්වකීය ප්‍රස්තුතය කරා ප්‍රවේශ වේ.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු සියයක් ගත වෙද්දී වජ්ජි නිකාය නිමින් වූ එක් අන්‍ය නිකායක් ශාසනයෙහි මතු වී පැවතුණ ද එය මර්දනය කොට තවත් අවුරුදු සියයක් ගත වෙද්දී එවැනි නිකාය දහහතක් රෝපණය වී තිබු බැව් මෙහි පැහැදිලි කෙරේ. ඒ නම්, මහාසාංඝික, ගෝකුලික, ඒකපබ්බෝහාරික, ප්‍රඥප්තිවාදී, බාහුලික, වෛතුල්‍යවාදී, මහිංසාසක, වජ්ජිපුත්‍ර, ධර්මකාරික, වාදනිකාය, ඡන්නාගාරික, සම්මිත්තික සර්වාස්තිවාදි, ධර්ම ගුප්තික, කස්සපී, සංඛප්පි, සුක්‍රවාදී වූ බැව් නම් වශයෙන් ම දක්වා තිබීම ආගමික ඉතිහාසයේ ලා වැදගත් දුර්ලභ තොරතුරකි.

එපමණක් නො ව මහායානයික භික්ෂුන් විසින් ලියන ලද විශාල ධර්ම ශාස්ත්‍රීය සාහිත්‍යයක් ද තිබූ බැව් අනාවරණය වේ. ඒ අතර වර්ණ පිටකය, අංගුලිමාල පිටකය, ගූඪවෙස්සන්තරය, රට්ඨපාල ගර්ජිතය, ආලවක ගර්ජිතය, ගූඪවිනය ආදි ධර්ම ග්‍රන්ථ ද මායාජාලතන්ත්‍ර, සමාජතන්ත්‍ර, මහාසමයතත්ත්ව, තත්ත්ව සංග්‍රහ, භූතචාමරය, වජ්‍රාමෘතය ආදි වූ බොහෝ තන්ත්‍ර ග්‍රන්ථ ද මරිචි කල්ප, හෙරම්බකල්ප වශයෙන් කල්ප ග්‍රන්ථ ද රත්නකූට, අක්ෂරසාරි ආදි වූ ශාස්ත්‍රන්තර, සුක්‍රාන්ත රචනා ද වූ බැව් ප්‍රකාශ වීම අගනා බෞද්ධ සාහිත්‍යමය තොරතුරකි.

ලක්දිව සාහිත්‍ය ඉතිහාසයෙහි ලා ද ඇතැම් තොරතුරු නිකාය සංග්‍රහයෙන් විද්‍යමාන වේ. මහානාම රජු දවස වැඩම කළ බුද්ධඝෝෂ අටුවාචාරීන් වහන්සේගේ සිට වැඩ වාසය කළ ප්‍රකට අප්‍රකට මහ පඬි ලේඛන හිමිවරුන් රාශියකගේ නම් සඳහන් කොට ඇති නිකාය සංග්‍රහ කතුවරයාණන් දඹදෙණි සමය හා ඒ තදාසන්න කාලයේ හුන් ගිහි පැවිදි පඬිවරුන් සමහරෙකු ගැන සඳහන් කරනුයේ ‘එසේ ම ශ්ලෝක සිද්ධාර්ථ ය, සාහිත්‍ය විල්ගම්මුළ ය, අනුරුද්ධ ය, දීපංකර ය, මයුරපාද ය, ධර්මසේන ය යනාදි ස්ථවිරවරුන් හා ශූරපාද ය, ධර්මකීර්තිපාද ය, ධීරනාගපාද ය, රාජමුගා රි ය, කවිරාජශේඛර ය, ගුරුළු දැමි ය, ආගම චක්‍රවර්ති ය, පරාක්‍රම පණ්ඩිත ය, අග්‍රපණ්ඩිත ය යනාදි වූ ගෘහස්ත පණ්ඩිත ජනයෝ ධර්මානුගත ශ්ලෝක ප්‍රබන්ධ හා විචිත්‍රාර්ථ ප්‍රකාශ වූ සන්න ගැටපද හා නොයෙක් ධර්ම ව්‍යාඛ්‍යාන හා ඉපද වූහ’ යනුවෙනි.

නිකාය සංග්‍රහය ලියැවී ඇත්තේ ශබ්ද රසයට මුල් තැනක් දුන් සංස්කෘත තත්සම වචන බහුල වූ භාෂා විලාසයකින් වුණත් රජුන්ගේ නම් ආදි ඇතැම් දෑ හුදු හෙළ වදනින්ම ප්‍රකාශ වේ. අති දීර්ඝ වාක්‍ය බොහෝ සෙයින් දකින්නට ලැබේ. ඉතිහාස කථා ප්‍රවෘත්තියක් ප්‍රකාශ වන බැවින් මේ කෘතියේ වාර්තා කථන ස්වරූපය නිරන්තර ව ප්‍රකට වුව ද කතුවරයා යම් යම් තැන්හි දී සංවාද පවා උපයෝගී කොට අවස්ථා නිරූපණය කරනු දකින්නට ලැබේ.

මෙය වාර්තා ස්වරූපය පළ කෙරෙන කෘතියක් වුණ ද හැකි සෑම විටදීම උපමා ආදිය ද උපයෝගී කොට ඇතැම් තැන් රසවත් ව ඉදිරිපත් කිරීමට කතුවරයා උත්සාහ දරා ඇති බැව් පැහැදිලි ය. ‘ජය මහා බෝධියෙන් බට ලහටු කැටියක් සේ... ගගන ගංගා ප්‍රවාහයක් සේ සුපරිශුද්ධ ව... අමෘත මහා මේඝයක් සේ මුළු ලෝ සනසමින්... තෘණ ලවයන් නෙළා හැර ශාස්‍ය ජාතයන් රක්නා ඇල් ගොවියන් සේ...’ ආදි වශයෙන් වූ උපමා ඒ බව සනාථ කරයි.

ශාසන ඉතිහාසය ද සාහිත්‍ය ඉතිහාසය ද ලංකා ඉතිහාසය ද යන ඉතිහාසත්‍රයට ම අදාළ කෘතියක් ලෙසින් පමණක් නොව බෙහෙවින් ස්වාධීන නිර්මාණය ගණයට ගැනෙන සේ සිංහලෙන් ලියැවුණු මුල් ඉතිහාස පොතක් ලෙසින් ද ශාසනවංශය ප්‍රකාශ කෙරෙන පැරණිතම සිංහල ලේඛනය ලෙසින් ද නිකාය සංග්‍රහය සිංහල ග්‍රන්ථාවලියෙහි විශේෂ ස්ථානයක් හිමි කර ගන්නා ප්‍රබන්ධයකි.