කවිතා ලතා
 

කුමන අරුම ද නරකෙසක් නැඟිලා!

 


 

අසූව

කුණු ගොඩකින් ඇහිඳ ගත්ත
කෑලිවලින් හදාගත්ත
බෝනික්කා නතර වුණේ
ප්‍රතාපවත් සරසවියේ

ගණිත මිනිත විද්‍යාව
ගාම්භීර දෘෂ්ටි වාද
ඔසවාගෙන ඊට පස්සෙ
බෝනික්කා අරගලයේ

කාලකන්නි කුණුගොඩ මැද
ලේ පාටැති කවන්දයක්
එය වටකර විකුණ ගන්න
පොටෝ ගහන මහත්වරුන්

ජගත් මාරසිංහ
 


සිතැත්තී

අඹර මිහිකත
අතර මහ දුර
ගෙවා යාවේ
සිතිජ මායිම

තුරු සිරස මල්
සුවඳ පාවේ
වැතිර සේයා
ළදලු තණබිම

නැගී ඉඳුසැවි
සෙමින් මුමුණයි
ගුවන බිම්පෙත
පෙම් පුරාවත

නෙතඟ කඳුළක්
කුමට බොළඳිය
කඳුළු පිසදා
සිනාසෙනු මැන

සරත්චන්ද්‍ර බණ්ඩාර
 


ඊ මේල් හූනියම

මායිමෙන් අඩි දෙකක් ගත්තාට,
ඊට නඩු දැම්මාට...
හය හතර නොතේරෙන
හතේ පංතියෙ ඉන්න,
ලොකු කෙල්ල ගැන ගමේ
කතන්දර හැදුවාට...
ගත් ණයට පොළී මග ඇරියාට...
ඉංගිරිසි නීතියට කොහෙද? ඉඩ,
දෙන්න දඬුවම් උන්ට...

නම ලියා බිත්තරේ - සමඟ හත් මාලුවද,
තබා මල් බුලත් තටුවක – යටින් දී, දුම් ද,
පෙරාතුව ජපකරන්නට - රැගෙන පන්සිල් ද,
ගෙන්නවා මහසෝන් පිල්ලිය ම
දින හතෙන් වැඩ සදන්නට
කට්ටඩින් සොයපු,
යුගේ ඉවරයි රෑට – නිදි මරපු...

ගාස්තුව ගෙවා - කේන්තිය සමඟ,
නම ගමද – විස්තර ද
ලැබිය යුතු දඬුවම ද,
ඊ මේල් කරන් සඳ -
මහසෝන් දිෂ්ටියට...
සැනින් ප්‍රතිඵල – පැමිණිලි කරුට..

ජයන්ත නිමල් සිරි
 


නුඹ

යෙනන’වුන් මඟ
ගිමන නිවාලන
පැන් පොදක් හා
සෙවණක් ද ඇති
අයිතියක්
කිසිවෙකුදු නොකියන
අතපය දිගැ’ර
දිගාවෙන්නට ද හැකි
අම්බලමක් ද නුඹ මට

යනෙ’න තැනක්
කිසිවකු නැතිවිට
වියපත් වූ කල
මාහට
සරණක්ද
නුඹ

සමන් හේරත්
 


වෙනසකි

ඔබ අත
දිනාගන්නට පෙර
මා අතින් ලියැවුණු
කවි රසවත් බව
හැඟේ මට
දිනාගත් පසු
කවි පමණක් නොව
ඔබද එතරම්
අගය නොදැනුණේ
කිම මට

එච්.එම්. කපිල

ජයවිලාල් හේරත්
 


පතොක් මල්

සිපිරි ගෙදර මැද මිදුලේ
ලස්සන එළියක් වැටිලා
විස කටු ඇති පතොක් ගහේ
පුරාවට ම මල් පිපිලා
හරියට සුදු නෙලුම් වගේ
ආඩම්බර සිනා සලා
රේණු නටයි පෙති අතරේ
කටු ගැන අමතක කරලා
පිපුණු මලේ රුව අතරේ
ලස්සන ඒ සිරි විඳලා
සිරගෙයි ලා උන් සැනසෙයි
පූදින සිත් මල් දැකලා
 

තලාතුඔය

ජගත් එස්. පිගේරා
 


සිදුහතුන් නොවෙමි ය...

පුරා සඳ සදිසි නුඹෙ
උවන මනරම්
දිගු නීල නෙතින් දුටු
ජීවිතය කියා දෙන,
උවම් මනරම්...
සෙනේහය අමුණා
ජීවිතය ගලපා
වියනවද ප්‍රේමයේ සොඳුරු මල්
රටා වියමන්...

හද වංග ගිරි අරණ
වෙහෙස නිවනු ව පිපුණු
නුඹ ය බිම් තඹුරු මල,
ඉනු මුතු කඳුළු කැට
නීල උපුලගින් ඉස
දිවිය මට පිදු මගෙ
චන්න කින්නරාවිය...

මගෙ ලේන පැටවුන්ට
සෙනේ කිරි දිය පොවා
උදම් ඇනු මා ලොවට
යශෝ රාවයයි නුඹ,
නුඹ සෙනේ දුර හැර
යා නොහැක බුදුවන්ට
සිදුහතුන් නොවෙමි ය
සෙනේ දම් නොදකින...

චරිතා සෙව්වන්දිනී

හංසමාලි

පේරාදෙනිය විශ්වවිද්‍යාලය
 


ජීවිතය

නිරුදක කරකස පොළව
සිප ගත්තු දිය දෝත
පැළ කෙරුව සිතුම් මල
නව අරුණලු සිතුවිල්ල
දලුලා වැඩේවි හෙමිහිට
ජීවිතය සොම්නස ආදරය

කසුන් නන්දන සමරකෝන්
 


කඳුළු

පින් කරන්ට
ඉඩක් නැති ව
කඳුළු ඉණු ව
උඹේ ඇසට
මං දැක්කා
දවසක් දා

මතු භවයෙදි
මම එන්නෙමි
නුඹේ කුසට
සඳුන් කැටය
අතේ දරා
හිනැහි හිනැහි

ඒ භවයෙදි
හිත පුරා ම
පින් කරන්ට
සිනා සෙන්ට
දෙමි ඉඩකඩ
මියෙන තුරා

කළුබෝවිල රාජ ශ්‍රී පීරිස්
 


සසර එතෙර වන තෙක්...

එකා පරයා නැගි සිටිමින්,
නිමක් නැති
මහා සංග්‍රාමයක ගැටෙමින්,
තැලි පොඩිවී
දහඩිය, කඳුළු අතරින්,
සොයමි
මොහොතක් පාසා
ශුද්ධ වූ නිර්මල “සතුට”,

විටෙක හමුවන “සතුට”,
අල්ලා ගත්තත් වැරෙන්,
ගිලිහී යන්නට නොදි
ඊළඟ මොහොතේ
නික්ම යයි,
දුක ම ඉතිරි කරමින්,

සොයමි, සොයමි,
නික්ම නොයන
ඒ,
සදාකාලික සතුට,
සසර පුරාවට.

පී.වයි. කුලතුංග
 


පියඹා යන්න ඔබ!

ඉරා මේ වා තලය
ඔබ පියඹා යන්න
සලා සුදු සුමුදු තටු
දුර ඈත පියඹන්න...

මගේ පෙම බර වැඩියි
බෑ ඔබට ගෙන යන්න
මේ කඳුලු සීතලයි
එය ම’වෙත රදවන්න...

නිල් ගුවන සිසාරා
ඉතින් පියඹා යන්න
කුරුලු රජු සේ තුටින්
සැහැල්ලු ව පියඹන්න...

බිඳුණු මා හද පතුල
උණුසුමක් රදවන්න
ඔබේ මතකය බිඳක්
ම වෙත රදවා යන්න...

දුර රටක හිම පියලි
අතර ඔබ පියඹන්න
උණුසුමක් ඇවැසි කල
මා සිතට අමතන්න...!

මල්කාන්ති ගුණතුංග
 


සුනේත්‍රා නම් වූ ඇයට

සඳුන්ගිර ගිනි ගනිද්දී
සද්ගුණාකාරය
පැතිර වූ
රිදී තිරංගනාවිය
ප්‍රේම පුරාණයක
මතක පොත
තුරුලට රැගෙන
විචිත්‍ර වීර්යයෙන්
සුචිත්‍ර චාරිකා
කරන්නි ය
බත් තරංග
දෙදරද්දී
පොදු පුරුෂයා
සමඟින්
සර්වකාලත්‍ර ප්‍රේමයෙන්
වෙළී
පියනි මණ්ඩප පුරා
පිය නඟන්නි ය
බුද්ධදාසී!
නුඹ
සැබවින් ම
නන්දිතයකි
සුබෝධාලංකාරයකි
සාහිත ලොවට
 

හර්ෂණී චන්දිමා ගමගේ
 


යෞවනය

මා පුතු
එරෙහි ව
ගිය දින
ඔහු තුළින්
දුටුවේ...
මගේ ම යෞවනය යි.

තිලක් පතිරණ