මම තවමත් රැඩිකල් චරිතයක්
 

 මම තවමත් රැඩිකල් චරිතයක්

 

අනුල ද සිල්වා

ලේක් හවුසියෙන් ලේඛනයට පිවිසි අනුල ද සිල්වා මිහිර, තරුණී, සිරිකත, වනිතා විත්ති, සිසුබිම, හඳමාමා හා යව්වන යන පුවත්පත්වල සඟරාවල කතු පදවිය දැරූ ප්‍රවීණ ලේඛිකාවකි. මේ වනවිට සාහිත්‍ය කෘති හැටකට අධික ප්‍රමාණයක් නිර්මාණය කොට ඇති ඇය, පාඨකයනට වඩාත් සමීප වූයේ පරිවර්තන සාහිත්‍ය හේතුවෙනි.

ස්වනිර්මාණ පහළොවකට අධික සංඛ්‍යාවක් රචනා කොට තිබුණ ද, පාඨකයන් ඇය පරිවර්තිකාවක් ලෙස වඩාත් පිළිගැනීම පිළිබඳ ඇයට ඇත්තේ නොසතුටකි.

නිර්මාණ සාහිත්‍යයේදී හා මාධ්‍යකරණයේදී කාන්තාවනට පැනැවෙන සීමා මායිම් පිළිබඳ ඇය මෙවර පුන්කලස මුවදොර වදනට මෙසේ අදහස් දක්වයි.

වෘත්තීය පුවත්පත් කලාවේදිනියක ලෙස ලේක් හවුසියෙන් බිහිවන ඔබ මාධ්‍යක්‍ෂෙත්‍රයේ ප්‍රචලිත වන්නේ විප්ලවවාදී චරිතයක් ලෙසින්.

ලේක් හවුස් ආයතනයෙන් අලුත් ළමා පුවත්පතක් ආරම්භ කිරීම සඳහා කැඳවුම්කරුවන් 40 කට ලිඛිත පරීක්‍ෂණයක් පැවැත්වූවා. එම විභාගයෙන් පස්සේ මට දෙවැනි කැඳවීමත් ලැබුණා.

හැමදාමත් පරක්කු වෙන කෝච්චියේ ගොස් පැය භාගයක් පමණ පරක්කු වී කැඳවීම් ලිපියත් රැගෙන ගිය මට, අලුතින් ඇරැඹෙන ළමා පුවත්පතේ කර්තෘවරයා වූ ශි‍්‍ර ලාල් හික්කඩුව ලියනගේ මහතා ‘අද සම්මුඛ පරීක්‍ෂණය නොපැවෙත්වෙන බව‘ කිව්වා. අපි ව රස්තියාදු කිරීම පිළිබඳ ව මම ඔහුට දැඩිසේ දෝෂාරෝපණය කළා. නමුත් දින තුනකට පසුව මිහිර ළමා පුවත්පතේ සහය සංස්කාරිකාවක වශයෙන් මට පත්වීම ලැබුණා. මම පටන් ගත්තේ එහෙමයි.

පත්තරකාරයෙක් වෙන්න නම් ඉවසීම අවශ්‍යයයි. නමුත් හැමදාමත් ඉවසලා හරි යන්නෙත් නෑ.

ගෙදරදි ගොඩක් ඉවසුවට පත්තර කන්තෝරුවේදි නම් ඕනෑවට වඩා ඉවසුවොත් ඒක මේ රස්සාව කරන්න නුසුදුසුකමක්. මට රස්සාව ලැබුණෙත් මම අසාධාරණයට විරුද්ධ ව කතා කිරීම නිසා කියලයි මට හිතෙන්නේ.

ඔබ ඔය කියන කාලයේදී එනම් 60 දශකයේදී මාධ්‍ය ක්‍ෂෙත්‍රයට කාන්තා ආගමනය ඉතා විරලයි නේද?

ඔව්. එදා සිංහල පුවත්පත් කලාවේදිනියන් සිටියේ ඉතාම අතළොස්සයි. ශි‍්‍රයා රත්නකාර, ඊවා රණවීර, සුමනා සපරමාදු, සිබිල් වෙත්තසිංහ, හේමා ගුණවර්ධන වගේ කිහිප දෙනෙක් විතරයි හිටියේ. එදා සමාජයේ කාන්තාවන් රැකියාවන් කිරීම සම්බන්ධයෙන් පිළිගැනීම තිබුණේ ගුරු වෘත්තියට හා හෙද වෘත්තියට විතරයි. ඒ නිසා මගේ මවුපියන් මම මේ රස්සාව කරනවාට විරුද්ධ වුණා. සමාජය එදා පත්තර රස්සාව දැක්කේ සෙල්ලක්කාර රස්සාවක් විදියට.

අද සමාජ, සංස්කෘතිය අපි ඉඳපු කාලයට වඩා වෙනස්. ඒ නිසා අද මාධ්‍යවේදිනියනට මුහුණ දෙන්න තියෙන්නේ වෙනත් ගැටලුවලට. ඒ වගේම අද තරුණියන් එඩිතරයි. එදා සමාජය අපි මේ රැකියාව කිරීම නිසා අපි දිහා බැලුවේ විනයක් නැති, ශීලාචාරකමක් නැති, ඕනෑම දෙයක් කළ හැකි ගැහැනු විදියටයි. මේ රස්සාව කරන්න නම් ගැහැනු ළමයෙකුට පුදුම ආත්ම ශක්තියක් තියෙන්න ඕන. ඒක එදාටත් අදටත් පොදු කාරණයක්.

කාන්තාවන් මාධ්‍ය ක්‍ෂෙත්‍රයේ හා නිර්මාණ ක්‍ෂෙත්‍රයේ යම්කිසි අවතක්සේරුවකට ලක්වීමට පුරුෂාධිපත්‍ය හා සංස්කෘතිය බලපෑම් කරන බව ඔබ පසුගියදා පුවත්පතකට ප්‍රකාශ කොට තිබුණා.

ඇත්තට ම මේ ක්‍ෂෙත්‍ර දෙක ම කාන්තාවන්ට ඉතාම අමාරු ක්‍ෂෙත්‍ර දෙකක්. විවාහයට පෙර බොහෝ කාන්තාවන් සරල ව සැහැල්ලුවෙන් නිර්මාණකරණයේ නිරත වෙනවා. නමුත් බොහෝ දෙනෙකුට විවාහයෙන් පස්සේ ඒ පිළිබඳ තහංචි පැමිණවෙනවා. මට නම් එහෙම වුණේ නැහැ. අපිත් එක්ක ම පත්තර කලාවට ආ සමහරු මේ ගැටලු නිසා රස්සාවෙන් සමුගත්තා. මොකද බහුතරයක් පිරිමි කැමැති නැහැ කාන්තාව ඉස්මතු වෙනවට හා කැපී පෙනෙනවට. ඒ නිසා ලේඛිකාවකට නම් තමන් සියයට දෙසීයක් වටහා ගත් ස්වාමි පුරුෂයකු ලැබීම ඉදිරියට යන්න හොඳ අත්වැලක් වෙනවා.

නිර්මාණ සාහිත්‍යයේදී බොහෝ පාඨකයන් ඔබ හඳුනාගන්නේ පරිවර්තිකාවක් ලෙස. නමුත් ඔබ ස්වතන්ත්‍ර නිර්මාණ බොහොමයක් කළ ලේඛිකාවක්.

මම හරි ම කනගාටුවෙන දෙයක් තමයි ඒ. ඇත්තෙන් ම මම පටන් ගත්තෙත් පුවත්පත් කලාවේදිනියක් විදියටනේ. ‘උන්මත්තකයෝ’ කියන පොතෙන් තමයි මම පටන් ගත්තේ. මම ස්වතන්ත්‍ර නිර්මාණ පහළොවකට අධික සංඛ්‍යාවක් කරලා තියෙනවා. මේවායින් බහුතරය පුවත්පත්වල කොටස් වශයෙන් පළ වූ ඒවා. මම මිහිර පත්තරේට ළමා කතා දහසකට වඩා ලිව්වා. ගොඩක් ඒවා මුද්‍රණයත් කළා. මගේ ම නිර්මාණවලින් තමයි මම පටන් ගත්තේ.

මම පරිවර්තන සඳහා යොමු වුණේ ඉංග්‍රීසි පොත් කියැවීමෙන් ලද ආස්වාදය හා කියැවීමට රුචි නොවූ පරිවර්තන කියැවීම නිසයි. බහුතරයක් පරිවර්තන කෘති කියවන්න මේ තරම් අමාරු ඇයි කියලා මට හිතුණා. මේවා හරි ම නීරසයි. ඒ නිසා මම පරිවර්තනයක් කරලා බලන්න ඕන කියලා මට හිතුණා. මම ඉස්සෙල්ලා ම කළේ නව වසර කියන පොත. ඒක මුලින් ම කිහිප දෙනෙකුට කියවන්න දුන්නා. මෑතකදි අපෙන් සමුගත් ලක්ෂ්මන් කහටපිටිය මහත්මයා මේක කියවලා කිව්වා හරි ම අපූරු කතාවක්. අපි මේක මුද්‍රණය කරමු කියලා. පරිවර්තනයක් විදියට එය සාර්ථකයි කියලා මට හිතුණා. ඊට පස්සේ මම පරිවර්තන කිහිපයක් කළා. ඊට පස්සෙ මට ම කියලා යම් යම් කෘති පරිවර්තන කරගන්න බොහෝ දෙනා උත්සාහ කළා.

මූල කෘතියට හා ඉලක්ක කෘතියට අදාළ භාෂා ද්විත්වය පමණක් දැන සිටීම පරිවර්තනයක් කිරීම සඳහා ප්‍රමාණවත් වේ යැයි ඔබ සිතනව ද?

කොහෙත් ම නැහැ. අදාළ වෙන භාෂා ද්විත්වය පමණක් දැන පරිවර්තනය කිරීම නිසා තමයි අපේ පරිවර්තන මේ තරම් නීරස වී තිබෙන්නේ. මූල කෘතියේ එන සමාජ, සංස්කෘතික, දේශපාලන මතවාදයන් පිළිබඳ දැනුමක් පරිවර්තකයාට අවශ්‍යයයි. මේ දේවල් සේරම තිබුණත් පරිවර්තනයක් කරන්න නොහැකි අය සිටිනවා.

ඔබ පවසන්නේ පරිවර්තකයා පරිවර්තනයෙන් ඔබ්බට ගිය නිර්මාණ ශිල්පියකු විය යුතුයි කියන අදහස ද?

පැහැදිලි ව ම. අනිවාර්යයෙන් ම ඔහු නිර්මාණ කෞශල්‍යයක් සහිත වූවෙක් විය යුතුයි. ඒ වගේ ම භාෂාව නිවැරදි ව පරිහරණය කිරීමේ නිපුණතාවක් තියෙන්න ඕන. මූල කෘතියේ එන නිර්මාණය හා තමන්ගේ භාෂාව නිර්මාණාත්මකව මිශ්‍රණය කර ගැනීමේ හැකියාව ඔහුට හෝ ඇයට තිබෙන්නට ඕන. මූල කෘතිය කියවද්දී ම අපිට ගොඩනැඟෙනවා, මතක් වෙනවා අපේ භාෂාවේ වචන.

උදාහරණයක් විදියට ඉංග්‍රීසි පොත්වල තියෙන ‘Young boy’ යන යෙදුම මම සිංහලට ගන්නේ ‘ඉලන්දාරියා’ කියලයි. නැත්නම් ‘තරුණ කොල්ලා’ කියලා නොවෙයි. ‘boy’ කියන එක මම සිංහලට ගන්නේ ‘කොල්ලා’ කියලයි. අපේ සංස්කෘතියට අදාළ භාෂාව අපිට හදාගන්න පුළුවන්.

සංක්ෂිප්ත, අසංක්ෂිප්ත පදානුගත ආදි පරිවර්තන විධික්‍රමවලින් ඔබ සාර්ථකයැයි සිතන්නේ කුමන ක්‍රමය ද?

සංක්ෂිප්ත පරිවර්තනයෙන් පාඨකයාට අසාධාරණයක් වෙනවා. එය සාර්ථක ක්‍රමයක් නොවෙයි.

එහෙත් ‘මොබි ඩික්’ නම් කෘතිය සිරිල් සී. පෙරේරා මහතා ‘නිල් තල්මසා ගේ කතන්දරය’ නමින් සංක්ෂිප්ත පරිවර්තනයක් ලෙස ඉදිරිපත් කොට තිබෙනවා. ඒ වගේ ම ‘ලේ මිසරාබ්ලෙ ‘මනුතාපය’ වශයෙන් සංක්ෂිප්ත පරිවර්තනයක් ලෙස ඊරියගොල්ල මහතා ඉදිරිපත් කොට තිබෙනවා. මේවා පාඨකයන් වැලැඳ ගත් කෘති.

එහෙම සාර්ථක සංක්ෂිප්ත පරිවර්තන කිහිපයක් තිබෙනවා. Herman Melvine ගේ මොබි ඩික් මුල් කෘතිය දිර්ඝ පරිසර වර්ණනාවලින් යුත් නීරස කෘතියක්. නමුත් එය සිරිල් සී. පෙරේරා මහතා අර්ථයට හානියක් නොවන පරිද්දෙන් රසවත් ව පරිවර්තනය කරලා තියෙනවා. මනුතාපය ගත්තොත් එය පාසල් සඳහා නිර්දිෂ්ට ග්‍රන්ථයක් වූ නිසා සංක්ෂිප්ත කිරීමේ වරදක් මම දකින්නේ නැහැ. නමුත් මම එය අනුමත කරන්නෙ නැහැ. මගේ ‘කටු කුරුලු හඬ’ පරිවර්තනයේදී කොටස් කිහිපයක් අඩුකිරීම සම්බන්ධ ව පාඨකයෝ මට අකැමැත්ත ප්‍රකාශ කළා. ඒ කියන්නේ පාඨකයන් අපෙන් සංක්ෂිප්ත පරිවර්තන බලාපොරොත්තු වෙන්නේ නැහැ.

පරිවර්තනයේදී ඔබ විශේෂයෙන් සැලැකිලිමත් වන වෙනත් විධික්‍රම මොනවාද?

මූල කෘතිය සම්පූර්ණයෙන් පරිවර්තනය කිරීම ඉතා ම වැදගත්. සමහර පොත්වල තිබෙනවා හානියක් නොවන ලෙසින් ඉවත් කළ හැකි කොටස්. මොබි ඩික් කෘතියත් එහෙම එකක්. පදානුගත පරිවර්තනය කියන්නෙත් සාර්ථක පරිවර්තන ක්‍රමයක් නොවෙයි. එහෙම කරපු ඒවානේ මේ කියවන්න බැරිවෙලා තියෙන්නේ.

බොහෝ පරිවර්තකයන්, කරුණු එක්රැස් කොට කරන පරිවර්තනය, කරුණු ඉවත්කොට කරනු ලබන පරිවර්තනය හා වැරැදියට කරනු ලබන පරිවර්තනය යන තිවැදෑරුම් දෝෂ නිරන්තරයෙන් ම කරනවා. මෙය ඒකභාෂික පාඨකයාට වංචා කිරීමක් නේද?

ඇත්තෙන් ම පරිවර්තන කියවන බහුතරයක් දෙනා ඒකභාෂිකයි. ඔවුන්ට ඉංග්‍රීසි කෘතිය කියවන්න බැහැ. මූල කෘතිය කියවලා මුළුමනින් ම අවබෝධ කොට ගත නොහුණු පිරිසකුත් ඉන්නවා. මේ දෙගොල්ලො ම විශ්ව සාහිත්‍ය ඇසුරු කිරීමේ පිපාසයෙන් පෙළෙන අය. ඒ නිසා අපි මේ පාඨකයාට වංචා කරන්න හොඳ නැහැ.

නිර්මාණ සාහිත්‍යයේදී ඔබට වඩාත් පහසු ස්වතන්ත්‍ර නිර්මාණකරණයේ යෙදීම ද? නැත්නම් පරිවර්තන කිරීම ද?

වඩාත් පහසු ස්වතන්ත්‍ර නිර්මාණවලට වඩා පරිවර්තන කිරීමයි කියලා මට දැනෙනවා. මට භාෂාව හැසිරවීමේ පහසුව ප්‍රගුණ වෙලා තියෙන නිසා අදාළ වදන් ආයාසයකින් තොර ව ගලා ගෙන එනවා. අනෙක් කාරණය මම දැන් භාවනා කිරීමටත් යොමු වෙලා තියෙනවා. හිත නිස්කලංක වැඩි නිසා මට දැන් තරහා යනවා අඩුයි. ඒ නිසා ම මට ලිවීමේ පහසුවක්, ඉක්මන්කමක් දැනෙනවා. ඒ වගේ ම සංයමයක් තියෙනවා.

මුල් කාලයේ ඔබගේ තිබූ විප්ලවකාරි ගතිගුණ පරිණත වීමත් සමඟ සංයමයක් බවට පෙරැළි ඇති බව භාවනා කිරීමට යොමු වීම මඟින් පෙනෙනවා.

නෑ, මම තවමත් රැඩිකල් චරිතයක්. තවමත් මට භාවනාව අමතක වෙන වේලාවල් තියෙනවා. අසාධාරණය දැක්කම තවමත් මට ඉන්න හිටින තැන් අමතක වෙනවා.

ඔබ පරිවර්තනය කිරීම සඳහා තෝරාගන්නා කෘතිවලත් මේ රැඩිකල් බව බෙහෙවින් දක්නට ලැබෙනවා.

මට පොතක් පරිවර්තනය කරන්න නම් ඒක හදවතින් විඳින්න ඕන. මම විඳින්නේ ඔබ ඒ පැවැසූ ආකාරයේ පොත්. මගේ බොහෝ පොත්වල තියෙන්නේ ගැහැනු චරිතයේ අධිෂ්ඨානශීලී ගමන් මගනේ. එකම විදියේ ඒවා කරන්නේ ඇයි කියලත් මට චෝදනා ආවා. හැම පොතක් ම පරිවර්තනය කරන්න බැහැ.

අර්නස්ට් හෙමිංවේ ගේ ‘The old man and the Sea’ නම් කෘතිය ‘මහල්ලා සහ මුහුද’ නමින් පරිවර්තනය කරමින් සිරිල් සී. පෙරේරා මහතා එහි පෙරවදනේ සඳහන් කරනවා, මෙය පරිවර්තනයක් නොව මුල් බසින් කරන ලද මුල් කෘතියේ ප්‍රතිනිර්මාණයක් ය’ කියලා. පරිවර්තනය ප්‍රතිනිර්මාණ කාර්යයක් යැයි ඔබ සිතනවාද?

පරිවර්තනයක් ප්‍රතිනිර්මාණයක් වෙන්නෙ නැහැ කොහෙත් ම. ප්‍රතිනිර්මාණයක් වශයෙන් ඔහු හැඳින්වූයේ කුමන අර්ථයකින් ද යනු මට ගැටලු සහගතයි. අපි කොහොමද පරිවර්තනයකදී මූල කෘතියේ චරිත, සිද්ධි වෙනස් කරන්නේ. එය මූල කෘතියට කරන අසාධාරණයක්. ප්‍රතිනිර්මාණය කරනවා නම් එය කළ හැක්කේ භාෂා භාවිතයෙන් පමණයි. කතාව, හැසිරීම් රටා, සමාජ, ආර්ථික, දේශපාලන විෂමතා ආදි කිසිවක් වෙනස් කිරීමේ හැකියාව අපට නැහැ. පදානුගත පරිවර්තනයක් නොවී නිර්මාණාත්මක භාෂා භාවිතයක් සහිත පරිවර්තනයක් යනුවෙනුයි සිරිල් සී. පෙරේරා මහතා අදහස් කරන්නට ඇත්තේ.