කවිකාර කොම්බි
 |
30 |
එදා
මහ රාත්තිරියේ රාගන් අල්ලලා හීපද කියලා ලොකුබංඩගෙ සනිඅඬෙන් (නොනවත්වා කරන ඉල්ලීම
හෝ කන්කෙඳීරිය - සන්නිය හැදුන අයෙක් නඟන හඬ සන්නි+හඬ - සන්නි+අඩ - සනිඅඬ වී සනි අඬේ
වූ බැව් පෙනේ) බේරුනු කොම්බී පහුවෙනිදා පානුපැයට මූණ හෝදන්ඩ වැවට ගියා. වැවට යන
අල්ල පනල්ලේ ලොකු බංඩගෙ ගෙදරන් මේන් මේ කවිය ඇහුනලු.
කොට්ට වුනත් තෙල් අඩු නැත පොල් ගෙඩියේ
මල් බැන්දත් සුවඳක් නැත හක්ගෙඩියේ
දිය බැන්දත් මෙලෙකක් නැත කලගෙඩියේ
කල් බැන්දත් ලෙන්ගතු නැත නපුරු ලියේ
හල තියන කොට පහල වෙනවා කියන උපහැරනේ හැටියට කොම්බී එක්ක අවුරුදු ගානක් දීග කාපු
ලොකු බංඩටත් කව්යක්කාර කොම බෝවෙලා වෙන්ඩැති ඔය කවිය කියැවුනේ. ඔය මොන සුකුරුත්තන්
කෙරුවත් කොම්බී “නොපතන් පිරිමි මතු මතු” කියල මිග කියාපු කියමන බොරු කරන්ඩ
බැරිවුනා.
හීං බංඩ ගැන තිබිච්චි ලෙන්ගතුව බිඳුණත් පිරිමි කොපතන් කීවත් දවසේ සිල්ලර වෙළඳාම
අහවර කරලා කාගෙ හරි පිලක මඩුවක දපාතියන කොම්බිගෙ හිතට අලුත් වෙළෙන්දා නාපු දවසක්
නන් නැහැ.
කොයික කොහොම හිත අස්සේ ඉඳන් කෝලිත්තන් කරත් කොම්බිගෙ හිත අස්සේ තිබුණු ලෙංගතුකන්
එලියට පෙන්නුවේ නැතුවා. ඒ වංගියේ කැලෑතිරප්පනේ ලොකුබංඩගෙ හීපදේ අහගෙන වැවට ගියපු
කොම්බී එදා දාවලේ වෙළඳන් කරත්තේ බැඳගන යන අල්ල පනල්ලේ ලොකු බංඩා මුලිච්චි වුනා.
ලොකු එකා උදැල්ල කරතියාන පාරෙන් අහක් වෙන කොටම කොම්බිගෙ කවිකාර කට නලියන්ඩ
තිබාගත්තා.
උන්දෑ ගියත් මයෙ අත පය මං ළඟය
අප්පච්චිගේ උරුමය ගොවිතැන හුරුය
කොච්චර වුනත් පපුවේ ගින්දර ගොඩය
කාරිය කෙරුනු පසු හැම මිනිහම හොරුය
එදායින් පස්සේ නම් ලොකු බංඩගෙ කුඩි පස්සේ යාම (කාන්තා ඇසුර පතා ඔවුන් පසු පස යාම –
අඹුවගෙ ගෙදර බින්න බහින අයට ද කුඩි පාරේ යනවා කියති) නතර කරා.
ඒත් කොම්බී වගේ වගක් නැතුව තමුන්ගේ කරුමාන්තේ කොරාන හිටියා. අපුච්චගෙ ධන දේපළ
සම්බාරෙට තිබ්බත් ඉඩකඩන් වතුපිටි තිබ්බත් කොම්බී තමුන්ගෙ අතේ පයේ වැර වීරියෙන්
හරිහම්බ කොරාගත්තා. හරිහම්බ කොරන එව්වයින් දන් පිං කරා. අහල පහල ගංකූඩුවල රෑට රෑට
කෙරෙන බණ පිංකම් පොලවල් ගානෙම කොම්බිගෙ වෙළඳන් කරත්තේ දැක්කුවා.
එකදොහක් හැන්දෑ කරුවල ගම්මැද්දට ගාටන අල්ල පනල්ලේ ඉහලගම ගමේ හිටන් කොම්බී කරත්තේ
දක්කාන එනකොට අලි රංචුව මහපාර පුරාම හක්කලන් කොරනවා. කරත්තේ බැඳපු ගොම්බාන කුලප්පු
වෙලා දඟලන්ඩ තිබාගත්තා. කැලේට වැහුණු හරියෙං අලි රංචුව ගොරබානවා. කොම්බී හීං රතේ
ගොම්බාන මේච්චල් කරාන කැලේ පැත්තට තිබුණු අඩිපාර දිගට කරත්තේ දැක්කුවා.
ගොම්බාන ලඳු පඳුරු බිඳගන කරත්තේ ඇදගනම ලහි ගමනේ දූගන ගිහුන් නැවතුනේ කුරහන් හේනක
දඬුවැට ගාව. ගොන් දෙන්නගෙ ගෙජ්ජිවැල්වල සද්දෙයි ඊමම ඇහෙන අලි රංචුවේ ගොරොජ්ජනේයි
(ගිරියෙන් නගන හඬ) හින්දා පැලෙම් බැහැපු හේනේ සකියා ජහ.. ජහ.. කියාගන දඬුවැට ගාවට
ආවා. දැන් හොඳ පදමට කලුවර මෝදු වෙලා.
”මොකාදෑ බොල මේ මහ රෑ වැට ගාව කරත්ත දක්කන්නේ” කියාග ආපු ඇත්තා දඬුවැට උඩට නැගලා
ලන්තෑරුම ඉහට ඉහලින් අල්ලාන බැලුවා. කලබල වෙලා බය බීත වෙලා දාඩිය පෙරාන හිටිය
කොම්බී “උඹ කවුද” කියලා එක හැරේට කට මෝදු කොරා.
”හපෙ අප්පේ මේ අපේ කොම්බි අක්කනි. මම බොලන් ගල්මඩුවේ මුදලිහාමි උන්දගෙ බාල එකානි”
කියලා කියන කොට තමා කොම්බිගෙ පපු කුහරෙට හුස්ම වැටුනේ.
”මලේ මං අලි රංචුවට මැදිවුනා. රංචුවට මංතර අහනවැයි. ඒ වෙලා ගොන් දෙන්නත් කුලප්පු
වුනා.
උන්දෙන්නා කරත්තෙත් ඇදගෙන පඳුරු ලන්ද මැදින් අඩිපාරෙ දිග මෙහෙට්ට ආවා” කියාගන
කොම්බී කරත්තෙන් බැස්සා. බැහැලා ගොන්දෙන්නා ලිහලා තෝන් ලනු දෙක පඳුරක ගැට ගැහුවා.
කරත්තෙට අඩ තියලා අප්පුරාල මලයා ළඟට ආවා.
”මලේ මට දිය තත්තේ.. දිය ඩිංගක් දීපන්”කොම්බී කීවා.
”හා යමන් අක්කේ කලල්ගෙට” කියාල අප්පු ඉස්සර වුනා. පැල පාමුල හදාපු හීං කලල්ගේ
(අතුපැල) කෝටුමැස්ස උඩ දපාතියාපු කොම්බී යහමින් වතුර බීලා හති අරින්ඩ ගත්තා.
”මලේ මට අහේනියි. වෙලඳන් කරත්තේ අඩුවැඩිය ඇතුවා. දිය මුට්ටියක ලිපේ තියලා කෝපි
වක්කරපං. විකුණන්ඩ ගෙනාපු ඉස්කෝත්තු ඇතුව හකුරු ඇතුවා. කෝපි කුඩු ඇතුවා”
”හා එහෙනන් ඉස්කෝතු කාල කෝපි බීපන්. මයෙ බත් මුලත් ඇතුවා. බෙදාගෙන කාලහිටිමු.
අප්පු දිය මුට්ටියක් ලිපේ තියලා වෙලඳන් කරත්තෙන් හකුරුයි ඉස්කෝතුයි අරන් ආවා. වතුර
හැලිය පෑස්සෙනකල් බත්මුල ලිහලා කොටහක් මැටි කෝප්පෙට දමලා කොම්බිට දුන්නා.
බඩගින්න ඉහවහ ගිහුන් හිටිය කොම්බී බත් ටික කටට දෙකට ගිලලා ලෑලි මැස්සේ ඇඟ
දිගෑරගත්තා (ඇලවුනා) අප්පු බත් ටිකත් කාලා කෝපි වැක්කුරුවා. දෙන්නා එක්කහු වෙලා
ඉස්කෝතු කාල කෝපි බීලා කතාව පුරා ගත්තා.
විට කකා කතාව. අලි රෑන වැට මග දිගට හක්කලමේ. දුරුතු හීතල හන්කිචිකවන මහරෑත්තිරියේ
අප්පු කඩ අඬ පපා අලි රංචුවේ ගමන හරස් කොරනවා. සැරින් සැරේ දඬුවැට ගාවට ගිහුන්
වෙළඳන් කරත්තෙයි ගොන්බානයි බලලා ගිනි මැලේ ගාවට එන කොම්බී අප්පු දිහා බැලුවා.
අප්පුගෙ ඇස් කොම්බිගෙ ලපැත්ත දිහාට්ට හැරිලා. තිහ පැන්නත් රූප සොබාවේ අඩුවක් නැති
කොම්බී හීතලේ ගැහෙන අප්පුගෙ ඇස්වලට පෙනුනේ රාජකුමාරිකාවක් ගානට.
”මලේ උඹේ බැල්මනන් මයෙ හිතට අල්ලන්නෑ” කියලා කොම්බී ගිනි මැලේ ළඟින් නැගිට්ටා.
කිලච්චි වෙලා ආවේසේ හැදිලා හිටිය අප්පු වලහ කඩාපැන්නා වාගේ පැනපු ගමන් කොම්බී දෑතට
උහා ගත්තේ දරුපැටියෙක් වඩාගන්නා වාගේ. කොම්බී දැඟලුවා කෑගැහුවා.. ඒත් ඒ කෑගැහිල්ල
මහ මූකලානේ ගස් අස්සේ හැංගිලා ගියා.
කරල්ගේ අස්සේ තිබුණු කෝටුමැස්ස දස වද විඳිද්දී අප්පුගෙ යස්ස ආවේසේ වහන් වෙලා
කොම්බිට පිංසේන්ඩු වෙන්ඩ පුරාගත්තා. “අනේ අක්කේ මේන් වැන්දා අහිතක් හිතන්ඩෙපා. මං
පව්කාරයා වුනා. මං.. මං.. අප්පුගෙ ඇස්වල කඳුලු දැකලා කොම්බී කට කොනකින් හිනාවෙලා
චීත්තේ ඉඟවට පටලා ගත්තා.
කටු ගැලවුන හැට්ටේ හරිගස්සාන ගිනි මැලේ ගාව ඉඳගත්තා.
”අප්පුවෝ තොගෙ නොසන්ඩාල කුලප්පුව හින්දා දීග ඇරුනුදා හිටන් රැකපු සීලේ කැඩුනා. දැන්
ඉතින් නහෙන් ඉහළ වියතක් ගැලුවත් එකයි බඹයක් ගැලුවත් එකයි” එහෙම කියාන නැගිටලා
ගිහුන් කෝටුමැස්සේ ඇලවුනා. අප්පුත් වට පිට බලලා ගිහුන් කෝටු මැස්සට බරදුන්නා.
කට්ටඹුවාගම
විජයපාල කුමාරසිංහ
සිතුවම්:- හර්ෂ
|