ආදි මිනිසාගේ සෙල් කලාව ලිහිණියාගල ලෙන
 

ආදි මිනිසාගේ සෙල් කලාව ලිහිණියාගල ලෙන

 

පුරාවිද්‍යාත්මක සාධක අනුව සහ පුරාතන ග්‍රන්ථ වල දක්වා ඇති ආකාරයට ශ්‍රී ලංකාවේ ප්‍රාග් බෞද්ධ මානව ශිෂ්ඨාචාරයක සාධක හඳුනාගත හැකි ය. ක්‍රි: පූ: 543 දී විජය කුමරුන් මෙරටට පැමිණ ජනාවාස පිහිටුවා ගැනීමට පෙර සිට ම බලිතරු, රාවණ වැනි ශ්‍රේෂ්ඨ රජවරුන් මෙරට පාලනය කළ බව කියැවේ. පුරාතන ග්‍රන්ථ වලට අනුව යක්ෂ, රාක්ෂ, නාග මෙන් ම නොයෙක් වර්ගයේ වැද්දෝ ද නග්න නිට්ටෑවෝ, මුක්කරුන් වැනි ම්ලේච්ඡ ජනකොටස් මෙරට ජීවත් විය.

ආචාර්ය පී. ඊ. පී. දැරණියගල සහ ආචාර්ය ශිරාන් දැරණියගල යන මහත්වරුන්ගේ සොයාගැනීම් වලට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයේ දිවි ගෙවූ බලංගොඩ මානවයා පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. කෙනඩි කළ විග්‍රහය අනුව නිසැක වශයෙන් ම ලංකාවේ වැදි ජනයා පැවැත එන්නේ බලංගොඩ මානවයා ගෙනි.

ආචාර්ය ශිරාන් දැරණියගලයන්ට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් චිත්‍ර කලාවක් දැකගත නොහැකි ය. පහතරට වියලි කලාපයේ හමුවන අර්ධ සංකේතාත්මක ගුහා චිත්‍ර වැද්දන්ගේ ඒවා බව බොහෝ විද්වතුන්ගේ මතයයි.

ශ්‍රී ලංකාවේ ආදි මානවයින් කොට්ඨාසයක් වන වැදි ජනයා විසින් නිර්මිත සෙල් කලාව වනාහී ඔවුන්ගේ දිවියේ එක් පැතිකඩක් බඳු ය. බුදු දහමෙන් ශික්ෂණය ලබමින් ගොඩනැගුණු ශ්‍රේෂ්ඨ සම්භාව්‍ය චිත්‍ර සම්ප්‍රදායක් අපගේ සංස්කෘතික උරුමයන් හා බද්ධ ව පවතී. ඒවා ගල් බිත්ති මත ක්‍රමානුකූල ව සකසා ගත් බදාම තවරා ඒ මත සිතුවම් කළ වර්ණ සිතුවම් කලාවකි.

ලිහිණියාගල චිත්‍ර සටහන්

ඒ ලෙසින් ගල් බිතේ බදාම නොතවරා සෘජු ව සායම ගල්බිත මතමැ තවරමින් ගොඩනඟන ලද ආදිවාසියාගේ චිත්‍ර කලාව හුදු නිර්ව්‍යාජ ය. ඒවා අර්ධ සංකේතාත්මක ගුණාංගයන්ගෙන් යුක්ත ය. මෙකී වූ චිත්‍ර සම්ප්‍රදාය බොහෝදුරට හඳුනාගත හැක්කේ පහතරට වියලි කලාපයේ හා උතුරුමැද කලාපයේ ය. මෙවැනි සිතුවම් සහිත ස්ථාන රාශියක් දැනට ලංකාවෙන් හමුවී ඇති අතර මෑතකදී ද එවැනි ස්ථාන හමුවී තිබේ. මෙයින් විස්තර වන්නේ ද අභිනවයෙන් සොයාගත් එවැනි ආදිවාසී චිත්‍ර සහිත ස්ථානයකි.

උතුරු මැද පළාතට හෝ පහතරට වියලි කලාපයට අයත් නොවන මෙකී ස්ථානය වඩාත් වැදගත් වන්නේ ඒ පිහිටීම නිසා ය. මධ්‍යම පළාතට ම ඇති ආදිවාසී චිත්‍ර සහිත එක ම ස්ථානය මෙයයි. පසුගිය දිනෙක “ලිහිණියාගල ලෙන” චිත්‍ර සහිත ස්ථානය අනාවරණය කරගැනීමට හැකි විය.

“ලිහිණියාගල ලෙන” පිහිටියේ මධ්‍යම පළාතේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රා. ලේ. කොට්ඨාසයේ, කීර්ති බණ්ඩාරපුර, නිල්දණ්ඩාහින්නෙහි ය. ඒ සිතුවම් සහිත ස්ථානය මෙතෙක් සිතුවම් හඳුන්වා දෙමින් හෝ විධිමත් ව ලේඛනගත වී හෝ නොමැත. 2009.03.09 වැනි දින රුවන් නන්දික මහතා ද සමඟ මේ චිත්‍ර ගවේෂණයෙහි නිරත විය.

කීර්තිබණ්ඩාරපුර බෙලිහුල්ඔය පාලම අසලින් ඔයත් සමඟ ම ගලන ගුරු පාර දිගේ ඉතා අලංකාර හෙල්මැලි කුඹුරු යාය මැදින් ලිහිණියාගල පන්සල වෙත පියමැනිය යුතු ය. ලිහිණියාගල පන්සල මුලින් ම හමුවුවද චිත්‍ර සහිත ලෙන පිහිටා ඇත්තේ අසල වූ කඳුගැටය මුදුනෙහි ය. මේ ගමනේදී අපට මාර්ගෝපදේශකයින් ලෙස ගම්වාසී ආර්. එම්. ආර්. ජී. නිමල් සහ පී. ජී. රත්නායක යන තරුණ මහතුන්ගේ නොමද සහයෝගය ලැබිණි. ඉතා වෙහෙසකාරී ගමනක් වුවද චිත්‍ර නැරැඹීමේ මූලික අරමුණ ඇතිව ගමන් ඇරැඹීමු. කඳු ගැටයේ මද දුරකින් කුඩා ලෙනක් හමුවේ. එය පරීක්ෂා කර බැලූව ද එහි කිසිදු චිත්‍රයක සේයාවක්වත් හමු නොවිණි.

ලිහිණියාගල සිතුවම්

චිත්‍ර දැක ගත හැකි ඉහතින් වූ ලිහිණියාගල විශාල ලෙන වෙත ළඟාවෙත් ම මධ්‍යහ්නය පසුවී හෝරා දෙකක් පමණ ගතවී තිබිණි.

ලිහිණියාගල ලෙන අති විශාල කටාරම් කොටන ලද ලෙනකි. සීයකට වැඩි පිරිසකට කිසිදු අපහසුතාවයකින් තොර ව ලෙනෙහි ලැගුම්ගත හැකි ය. ලෙනට ළඟාවෙත් ම අකලට වට මහ වරුසාවක් ඇද හැලෙන්නට විය. අපද මොහොතකට ආදිවාසීන් සේ ලෙනෙහි සරණ පැතිමු.

අතිදැවැන්ත ලෙනෙහි දකුණුපස කෙලවරට වන්නට එක් ස්ථානයකට ගාල්කොට චිත්‍ර කිහිපයක් ඇඳ තිබේ. ඒවා තරමක් විශාල ඉතා උනන්දුවෙන් ගොඩනඟන ලද බව පෙනේ.

අර්ධ සංකේතාත්මක රේඛාත්මක චිත්‍ර (ස්ටික් ෆිගර්ස්) ඉතා නිර්මාණාත්මක හැඩතල මතු කරයි. මානව රුව චලන ඉරියව්, මුගුරක්, දුන්නක් හෝ ආයුධයක් රැගෙන සිටින චරිත හා ද්වන්ද සටනක හැඩතල මෙන් ම විවිධ සංකේත ද ඉදිරිපත් කොට තිබේ. ඉතා කුඩා ප්‍රදේශයක් චිත්‍ර ඇඳීම පිණිස භාවිතා කොට තිබේ. ඒවා හඳුනාගත හැක්කේ ලා රෝස පැහැයෙනි. සමහර විටෙක රක්ත වර්ණ යොදාගෙන චිත්‍ර ගොඩනැඟුවද කල්ගත වීමේදී වර්ණ දුර්වර්ණ වී ගියා විය හැකි ය. ගල් බිත මත සෘජු ව ඇඟිල්ලෙන් හෝ ඝන පතුරක් වැනි දෙයකින් සායම තැවරූ බවක සේයා ගෙනේ. වර්ණ සායම සාදාගෙන ඉතා ගණට ම බිතෙහි තැවරූ බවට සාධක හමුවේ. ඇඟිල්ලෙන් හෝ පතුරකින් රවුම් කෝටුවකින් වර්ණ පදාස තැවරූ විට දෙපසට යන ආකාරයෙන් මේ බව හඳුනාගත හැකි ය.

ඒ චිත්‍ර ඇඳ ඇත්තේ සාමාන්‍ය පුද්ගලයකු ලෙනෙහි සිටගත් විට අත එසවූවත් අතෙහි නොගෑවෙන තරම් උස් මට්ටමකිනි. එය වඩා වැදගත් කාරණයකි. ලෙනෙහි පොලව මත යම් දෙයක් තබා ඒ මතට නැග ඇන්දා විය හැකි ය. සමහර විටෙක මිනිසෙකුගේ උස ප්‍රමාණයට වඩා ඉහළින් ඇන්දේ ඒවා ආරක්ෂා වීම වෙනුවෙන් ද නොමැතිනම් යම් චිත්‍රමය සංකල්පයන් අනුව ද යන්න සලකා බැලිය යුතු ය. අප තර්කයට බඳුන් කළ යුතු කරුණ වන්නේ මෙතරම් විශාල ලෙනක ඉතා කුඩා ප්‍රමාණයක චිත්‍ර කිහිපයක් පමණක් ඇන්දේ මන්ද යන කාරණයයි. එයින් ලිහිණියාගල ලෙනෙහි විසූ ආදි මානවයන්ගේ ආකල්ප පිළිබඳ හඳුනාගත හැකි ය.

ලිහිණියාගල ලෙන

තන්තිරිමලේ, බිල්ලෑව වැනි ස්ථානවල ඇති රේඛාත්මක චිත්‍ර හා මේවා හාදකමක් පෙන්වයි. වෙන් වෙන් ව සැලකූ විට චිත්‍ර 13 ක් හඳුනාගත හැකි ය. බොහෝවිට සෑම රේඛාවක් ම පාහේ බැලූ බැල්මට දිස්වන්නේ එක ම ප්‍රමාණයකිනි.

පසුකාලීන ව අයෙක් මේ චිත්‍ර වටා හුණු රේඛාවක් ඇඳ තිබේ. චිත්‍ර සියල්ල වටකර විශාල හුණු ඉරක් ද ඇඳ තිබෙනුයේ පසුකාලීන ව ය. ඒ චිත්‍ර පැහැදිලි ව මතුකර පෙන්වීමට විය යුතු ය. එය ආදිවාසී චිත්‍රවලට කර ඇති අකටයුත්තකි. අප සමඟ ගිය ගම්වාසීන් පැවැසුවේ ඒවා පසුකාලීන ව අඳින ලද දේවල් බවයි. ඒ අනවශ්‍ය රේඛා ඉවත්කර චිත්‍ර සංරක්ෂණය කරමින් ස්ථානය රැකබලා ගැනීම අදාළ බලධාරීන් සතු යුතුකමකි.

ලිහිණියාගල ලෙනෙහි අපගේ ආදිවාසීන් පවුලක් හෝ පවුල් කිහිපයක් දිවි ගෙවා තිබේ. ඔවුන් නිරත්තර ව ස්වකීය දිවිපෙවෙත ගෙන ගියේ සොබාදහම හා එදිරි වෙමින් නොව එයට හාද වෙමිනි. නිල් ජල දහරාවෝ, ගහකොළ, සතාසීපාවා තමාට උචිත පරිදි වෙනස් කිරීමට නොසිතු ආදිවාසියා සරල ව දිවි ගෙවී ය.

ඔවුන්ගේ පරිභෝජනය සිදුවූයේ සොබාදහම නොරිද්දවමිනි. ස්වාභාවික ගල් ලෙන් ස්වකීය දිවිපෙවෙතේ නවාතැන් පලක් පමණක් ම කර ගත්හ. ආදිවාසී සෙල් සිතුවම් වනාහී ඒ නවාතැනෙහි දිවි ගෙවන විට සිතට ගලා ආ නිර්ව්‍යාජ හැඟීම් ධාරාවන්ගේ නිර්මාණ පිළිබිඹුවක් විය.