සෝමාවතී ස්ථූපයත් වළගම්බා රජුත් අතර සබඳතාවක් නෑ
 

සෝමාවතී ස්ථූපයත් වළගම්බා රජුත් අතර සබඳතාවක් නෑ

 

බුදුරැස් විහිදෙන සෝමාවතිය නමින් වර්තමානයේ වඩාත් මහජන ගෞරවාදරයට පත්ව ඇති පොළොන්නරුව හා ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්ක දෙක වෙන් කෙරෙන සීමාවෙහි ස්ථානගත වන ඉහත කී සෝමාවතිය ස්තූපය පිළිබඳ ව ශාස්ත්‍රීය පුරාවිද්‍යා අධ්‍යයන මඟින් තහවුරු කර ගැනුණු කරුණු ස්වල්පයක් ඉදිරිපත් කිරීම මේ ලිපියේ අරමුණයි. පොළොන්නරුව නගරයේ සිට කිලෝමීටර් 40 ක් පමණ උතුරු දෙසට ගිය විට සෝමාවතී රක්ෂිතය මැද මේ චෛත්‍යය පිහිටා තිබෙනු පෙනේ.

සෝමාවතිය ස්තූපයේ ඓතිහාසික විකාශය පිළිබඳ සාකච්ඡා කිරීමේදී හුදෙක් ම මේ පුරාවිද්‍යා ස්ථානය තනි ව ගෙන කරුණු ඉදිරිපත් කිරීම සාර්ථක නොවනවා සේම එය අපහසු කරුණක් ද වේ. එසේ හෙයින් මද වශයෙන් හෝ මේ මහා ථූපය ඉදි කිරීම කෙරෙහි බලපෑ සමකාලීන සමාජ ආර්ථික හා පාරිසරික පසුබිම (Socio - Economic and Environmental Back Drop) ද සාකච්ඡාවට බඳුන් කළ යුතු ව පවතියි.

සෝමාවතිය ස්තූපය පිළිබඳ ව කරුණු සාකච්ඡා කිරීමේදී සාහිත්‍ය හා පුරාවිද්‍යා යන මූලාශ්‍ර දෙක ම උපයෝගී කර ගත හැකි ය. ඒ අනුව පාලි සාහිත්‍යය මූලාශ්‍රය යටතේ මහාවංශය, දීප වංශය, ධාතු වංශය හා ජිනකාල මාලි යන ග්‍රන්ථ කෙරේ අවධානය යොමු කෙරෙන අතර ශිලා ලේඛන හා ස්තූපය ආශි‍්‍රත ව දක්නට ලැබෙන පුරාවස්තු පුරාවිද්‍යා මූලාශ්‍ර යටතේ සාකච්ඡා කළ හැකි ය. මෙහිදී වඩාත් වැදගත් පාලි සාහිත්‍ය මූලාශ්‍රය දෙක වනුයේ ධාතුවංශය හා ජිනකාල මාලි ය යි. ධාතුවංශය හා ජිනකාල මාලීය සෝමාවතිය ස්තූපය ඉදි කිරීම පිළිබඳ ව ලුහුඬු විස්තරයක් ඉදිරිපත් කර තිබේ. එකී විස්තරය ක්‍රිස්තු පූර්ව දෙවන සියවස තරම් ඈත යුගයකට එනම්, වසර 2300 ක් පමණ අතීතයට අපගේ අවධානය යොමු කරවයි.

ක්‍රිස්තු පූර්ව දෙවන සියවස මෙරට යුදමය වාතාවරණයක් නොපැවැතිය ද රටෙහි ඒකීය බවක් දක්නට නොලැබේ. එනම් අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් එළාර නමැති දෙමළ ආක්‍රමණික පාලකයා මහවැලි නදියෙන් උතුරු පෙදෙස පාලනය කළ බව ඓතිහාසික තොරතුරුවලින් සනාථ වේ. අනුරාධපුර නගරය සිය පාලන මධ්‍යස්ථානය වශයෙන් තබා ගනිමින් පාලන කටයුතු කළ එළාර රජුගේ දේශපාලනයට විරුද්ධ ව නැගී සිටි කැපී පෙනෙන දේශපාලන චරිතය වූයේ ශ්‍රී ලංකාවේ දකුණු දිශාවේ එනම්, පැරැණි රෝහණ රාජ්‍යයේ මාගම මුල් කර ගනිමින් පාලන කටයුතු කළ කාවන්තිස්ස රජු ය. මේ රජුගේ පාලනය ප්‍රදේශය උතුරෙන් මහවැලි නදිය දක්වා ම ව්‍යාප්ත ව පැවැති බව වංසකතා තොරතුරු වලට හා පුරාවිද්‍යාත්මක සාධකවලට අනුව පැහැදිලි වන්නකි.

ඒ අනුව මෙරට භූ විද්‍යා හා පාරිසරික විද්‍යාඥයින් විසින් හඳුනා ගෙන ඇති පැරැණි මහවැලි නදිය වර්තමාන සෝමාවතිය ස්තූපයට කිලෝමීටරයක් පමණ උතුරු දෙසින් නැගෙනහිරට බර ව ගලා ගොස් ඇත. ධාතුවංශ හා ජිනකාල මාලිය වැනි මූලාශ්‍රයවලට අනුව සෝමාවතිය හා සේරුවිල යන ස්තූප දෙක ම ඉදි වනුයේ ද යට කී පැරැණි මහවැලි නදියෙන් දකුණු දෙසට වන්නට ය. එනම් පැරණි රෝහණ රාජ්‍යයට අයත් ව ය. වර්තමාන මහවැලි නදිය අද ගලා යන මාර්ගය අදින් වසර 1000 කට පමණ පෙර අවධියක දී ප්‍රබල ජල ගැල්මකින් ස්වකීය ගමන් මාර්ගය චෛත්‍යයට දකුණු දෙසින් තෝරා ගෙන ඇත. සෝමාවතිය ස්තූපය පිළිබඳ සිදු කෙරෙන පුරාවිද්‍යාත්මක හෝ ඓතිහාසික අධ්‍යයන වලදී වැඩි අවධානයක් මහවැලි ගංගාවට හා එහි වෙනස් වීම් පිළිබඳ යොමු කළ යුතු ව පවතින්නේ එබැවිනි.

කරුණු මෙසේ හෙයින් වර්තමාන මහවැලි ගංගාවට අනුව සෝමාවතිය ස්තූපය පැරණි රජ රටටත් පැරණි මහවැලි නදියට අනුව එය නිවැරදි ව ම රෝහණ රාජ්‍යයටත් අයත් වන බව පෙන්වා දීමට පුළුවන. පැරණි මහවැලි නදිය දෙපස සෝමාවතිය ස්තූපය ඉදි කෙරෙන කාල පරිච්ඡේදය වන විට නාගරික ජනාවාස පැවැති බවට මා විසින් මේ රක්ෂිත ප්‍රදේශයේ සිදු කරන ලද පුරාවිද්‍යාත්මක ගවේෂණවලින් පැහැදිලි විය. ඒ සඳහා ප්‍රබල නිදර්ශන ලෙස කළු මැටි බදුන් (Black Ware) රතු මැටි බදුන් (Red Ware) සහිත විශාල ජනාවාස ගොඩැලි පෙන්වා දීමට පුළුවන.

දැනට ශේෂ ව ඇති විවිධ පුරාවස්තුවලට අනුව පෙනී යනුයේ සෝමාවතිය ස්තූපය ඉදි කෙරුණු කාල පරිච්ඡේදය වන විට වර්තමානයේ වනාන්තරයක් බවට පත් ව ඇති සෝමාවතිය ස්තූපය අවට ප්‍රදේශය ලක්ෂ 2 - 3 ත් අතර ජනතාවක් වාසය කර ඇති බවයි. ඒ ජනතාවගේ සමාජ - ආර්ථික පසුබිම නියෝජනය කළ පිරිසකගේ අවශ්‍යතාවය මත බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදාව වැනි සුවිශේෂි ධාතුවක් තැන්පත් කොට සෝමාවතිය ස්තූපය ඉදි කෙරෙන්නට ඇතැයි සිතීම සාධාරණ ය. අනෙක් අතට බුදුන්ගේ ප්‍රධාන ධාතුන් වහන්සේලා තැන්පත් කොට ප්‍රමුඛ පූජනීය භූමි ඉදි කෙරෙනුයේ ද මහවැලි නදිය ආශි‍්‍රත ව වීම ද මෙහිදී සැලැකිය යුතු කරුණකි.

ඒ අනුව සේරුවිල ස්තූපයේ බුදුන්ගේ ලළාට (නළල්) ධාතුවත්, සෝමාවතිය ස්තූපයේ දකුණු දළදාවත්, මහනුවර දළදා මාලිගයේ වම් දළදාවත් මහවැලිය ඇරැඹෙන බිම් කඩෙහි උතුම් ශ්‍රී පාදයන් පිහිටා තිබීම මහවැලි නදියේ ඓතිහාසික අගය තව දුරටත් විශද කරවයි. මේ කරුණු සැලැකිල්ලට බඳුන් කිරීමේදී පෙනී යනුයේ සෝමාවතිය ස්තූපය ගොඩනැගෙනුයේ වඩාත් සංකීර්ණ සමාජ පසුබිමක බව ය.

පාලි ධාතුවංශයට හා පාලි ජිනකාලමාලියට අනුව කාවන්තිස්ස රුහුණේ මාගම් නුවර පාලන කටයුතු සිදු කළ බව පැහැදිලි වේ. තිස්සමහාරාමයේ වර්තමාන අකුරුගොඩ ආශි‍්‍රත ව සිදු කොට ඇති පුරාවිද්‍යාත්මක කැණිම් මගින් මේ රජුගේ සමය හා සබැඳෙන නාගරික සභ්‍යත්වයක තතු අනාවරණ වී තිබීම ද මෙහිදී සුවිශේෂි කරුණකි.

ඔහු මාගම්පුරය පාලන කටයුතු මෙහෙයවන අතරතුර අනුරාධපුර එළාරටත් මේ කාවන්තිස්සටත් අවනත නොවූ හෝ ස්වාධීන කුඩා පාලන ඒකක කීපයක් ම මෙකල වීය. කැලණිය, සේරු නුවර, ලෝණ නුවර හා ගිරි නුවර යනු එයින් ප්‍රකට ප්‍රාදේශීය පාලන ඒකක කීපයකි. මේ අතරින් සෝමාවතිය ස්තූපය ඉදි කිරීම සම්බන්ධයෙන් වඩාත් වැදගත් වනුයේ කැලණිය ප්‍රදේශීය පාලන ඒකකයයි.

එහි විසූ ශීව මහරජුගේ බෑනා වූ අභය විවාහ කර ගනුයේ කාවන්තිස්ස රජුගේ නැගෙණිය වූ සෝමා දේවියයි. තම විවාහයෙන් අනතුරු ව ගිරි නුවරට පදිංචිය පිණිස යන මේ යුවල පසු කලෙක එහි විසුම අතැර දමා ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ සේරු නුවර පාලකයා වූ ශිව වෙත පැමිණෙයි. ධාතුවංශය හා ජිනකාල මාලිය පවසන්නේ දුටුගැමුණු මලය දේශයට පිටත් කරන ලද්දේ කාවන්තිස්ස විසින් බව ය. නමුත් මහා වංශය පවසනුයේ ගැමුණු කුමරු පියරජු හා ඇති කරගත් ගැටුමක් හේතුවෙන් මලය රටට පලා ගිය බවකි. කෙසේ නමුත් මේ ගිරි නුවර දී ගැමුණු හා අභය (පසුව ගිරි අභය) අතර වාදයක් ඇති වූ අතර ඒ හේතුව සෝමා දේවියටත් ගිරි අභයටත් ඒ ප්‍රදේශය හැර යාමට බල පෑ ආසන්න සිද්ධිය බව පැහැදිලි වේ.

සේරුනුවර පාලකයා ශීව විය. ඔහුගේ ද අනුග්‍රහ ඇතිව ඉදි කෙරුණු නගරය සෝම නුවර විය. ධාතුවංශය පවසන පරිදි සේරු නුවර ඉදි වී තිබුණේ වරාහ නමැති විලක් ආශි‍්‍රත ව ය. සෝමා නගරය ඉදි කෙරෙනුයේ ද ඒ විල් කෙළවර ය. සැබැවින් ම මේ නගර දෙක ම එක් විලක දෙකෙළවර පිහිටියේ යැයි සිතීම අප්‍රායෝගික ය. එක ම විල් දෙකෙළවර ප්‍රාදේශීය රාජ්‍ය දෙකක් පැවැතිය නොහැකි ය. ධාතු වංශය හා ජිනකාල මාලියට අනුව ගිරි අභයට මහරජ යන්න යොදා තිබෙනු පෙනේ. මේ නගර දෙක ම එක් විලක් අසල පිහිටි ආසන්න නගර විය නොහැක්කේ එබැවිනි. අවම වශයෙන් කිලෝමීටර් 30 ක පමණ පරතරයක් හෝ මේ නගර දෙක අතර පැවැතිය යුතු ය.

වර්තමාන සෝමාවතිය ස්තූපය ආශි‍්‍රත ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක අවශේෂවලින් පෙනී යනුයේ නගරයක් බිහිවීම සඳහා බලපාන ලද අත්‍යවශ්‍ය සාධක රැසක් මෙකී කලාපයේ පැවැති බවයි. මේ සඳහා තවත් ප්‍රබල කරුණක් වේ. සේරුවිල මංගල මහා ථූපය ඉදි කළ කාවන්තිස්ස රජු එය සඟසතු කිරීමේ පුණ්‍ය මහෝත්සවයට සම්බන්ධ වනුයේ සෝම නුවර සිට ය. එදින පස්වරුවේ ලෝණ නුවර මහානාග නම් පාලකයාත්, සේරු නුවර ශිව පාලකයාත් සෝම නුවර ගිරි අභයත් කාවන්තිස්ස රජු සමඟ මේ ගමනට සම්බන්ධ වූහ. චන්ද්‍රයා උදා වන පස්වරු කාලයේ පැවැත්වෙන මේ උත්සවයට පැය 3 කින් පමණ යා යුතු ව තිබිණි. ගමන සිදු වූයේ ද අසුන් හා ඇතුන් පිටිනි.

වර්තමාන සෝමාවතිය ස්තූපයට නැගෙනහිරින් ඊසාන දෙසට බරව පැය දෙක හමාරකින් පමණ ළඟාවිය හැකි පැරැණි මාවතක් වේ. ඒ නන්දකාඩු, කුම්භනාච්චි, ත්‍රිකෝණමඩු හරහා ය. මෙකී කරුණුවලින් වඩාත් විශද කෙරෙනුයේ පැරණි සෝම නුවර වර්තමාන සෝමාවතිය ස්තූපයට ආසන්න ප්‍රදේශයේ පැවතුණු බවකි. මේ සෝම නගරයට නුදුරු ව මෙන් ම ඉතා ළං නොවී ඉදි වූයේ සෝමාවතී ස්තූපයයි. ඒ සෝමා දේවියගේ ඉල්ලීම පරිදියි. මහා අරිට්ඨ නම් සංඝ පරම්පරාවෙන් පැවත එන මහින්ද නම් තෙර කෙනෙක් මේ ප්‍රදේශයේ වාසය කළ බවත් උන්වහන්සේ සමීපයේ බුදුන්ගේ් දකුණු දළදා වහන්සේ වැඩ සිටි බවත් ධාතුවංසය හා ජිනකාල මාලිය තව දුරටත් කරුණු පවසයි. ඒ අනුව සෝමාවතිය ස්තූපය ඉදි කරන ලද්දේ බුදු රජුන්ගේ දකුණු දළදාව තැන්පත් කොට වීම මෙහිදී සුවිශේෂි සිද්ධියකි.

බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව දඹදිව අශෝක අධිරාජයා හා මෙරට දේවානම්පියතිස්ස අතර සමීප සබඳතා පැවතුණි. මහා අරිට්ඨ යනුවෙන් හැඳින්වෙනුයේ බුදු දහම මෙරටට හඳුන්වා දුන් මුල් අවධියේ සිටි දේවානම්පියතිස්ස රජුගේ බෑණා විය හැකි ය. ඔහු පසු ව පැවිදි වූ අතර දකුණු දළදාව පරිහරණය කළ ධාතුවංසයේ එන මහින්ද තෙර ඒ සංඝ පරම්පරාවෙන් පැවැත ආ කෙනෙකු වීමට පුළුවන. මෙකී කරුණුවලට අනුව මහාවංසයේ සඳහන් වන්නා වූ වම් දළදාව ශ්‍රී ලංකාවට වැඩම වීමට වර්ෂ 500 කට පමණ පෙර දකුණු දළදාවක් මෙරට පැවත තිබේ.

වම් දළදාව මෙරට දේශපාලන නායකත්වයේ අනන්‍යතාව මහ ජනතාවට ඔප්පු කරන සාධකය වූ නිසාත් එය ස්තූපගත නොවූ නිසාත් ඒ පිළිබඳ ව විවිධ පොත පත රචනා විය. අනුරාධපුර පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කෝට්ටේ හා මහනුවර ආදි වශයෙන් පැවැති පැරැණි රාජධානිවල දළදා මන්දිරයක් හමු වූයේ ඒ බැවිනි. ඒ නිසා සෝමාවතිය ස්තූපයේ තැන්පත් දකුණු දළදාවට වඩා මහනුවර දළදා මාලිගාවේ වැඩ සිටින වම් දළදාව වඩාත් ජනපි‍්‍රය වී යැයි සිතීමට පුළුවන. නමුත් වම් දළදාව ශ්‍රී ලංකාවට ගෙන එනතුරු ම අනුරාධපුර ප්‍රධාන පාලකයින් විසින් සෝමාවතිය ස්ථූපයේත් දකුණු දළදා වහන්සේගේත් සුරක්ෂිතාවය පිණිස විශාල අනුග්‍රහයක් සිදු කරන ලද බව ශීලා ලේඛන සාධකවලට අනුව පෙනී යයි.

ක්‍රිිස්තු පූර්ව දෙවන සියවසේදී කාවන්තිස්ස රජුගේ නැගෙණිය විවාහ කර ගනු ලැබූ කැලණියේ ශිව නම් පාලකයාගේ බෑණා වූ අභය විසින් කලෙකදී ඉදි කෙරුණු සෝමාවතිය ස්තූපය වළගම්බා රජුගේ දිවියේ සිදු වීමත් සමඟ වරදවා තේරුම් ගැනීමට සමහරු පෙලැඹී ඇත. වළගම්බා යනු සද්ධාතිස්ස රජුගේ පුතෙකි. සද්ධාතිස්ස රජුගේ පියා කාවන්තිස්ස ය. කාවන්තිස්ස ගෙන් අනතුරු ව සිහසුනට පත් වූයේ දුටුගැමුණු ය. ඔහුගේ ඇවෑමෙන් රජු වූ සද්ධාතිස්ස රජුට පුතුන් සිවු දෙනෙකි. ථුල්ලථන, ලජ්ජතිස්ස, ඛල්ලාටනාග හා වලගම්බා යනු ඔවුන් ය.

වළගම්බා රජු වනුයේ සිය වැඩිමල් සොයුරන් තිදෙනාටත් පසුව ය. ඒ අනුව මේ සිදුවීම අතර වසර 150 ක පමණ කාල පරතරයක් පවතියි. එනම් වළගම්බා රජු ඉපදීමත් වර්ෂ 150 කට පමණ පෙර ය. සෝමාවතිය ස්තූපය ඉදි වී තිබෙනුයේ. එසේ ම වළගම්බාගේ රථයෙන් බිමට බැස අවස්ථානුකූල ව කටයුතු කළ සෝමා දේවිය සිහිපත් වීම සඳහා කරන ලද ථූපය වර්තමානයේ අනුරාධපුරයේ ලංකාරාමය ලෙස පැහැදිලි ව ම හඳුනාගෙන තිබේ. කරුණු මෙසේ හෙයින් වළගම්බා රජුත් සෝමාවතිය ස්තූපයත් අතර කිසිදු සබඳතාවක් නැතැයි පෙන්වා දීමට පුළුවන.

සෝමාවතිය ස්ථූපය ආශි‍්‍රත ව අනාවරණය වී ඇති ශිලා ලේඛන නවය අතරින් පැරැණි ම ලිපිය ක්‍රිස්තු පූර්ව පළමුවන සියවසට පමණ අයත් වේ. එය කූටකණ්ණ තිස්ස රජුට අයත් වූවකි. ඊට අමතර පළමුවන ගජබාහු, කනිට්ඨ තිස්ස වැනි ප්‍රබල පාලකයන්ට අයත් ශිලා ලේඛන මේවා අතර වේ. සෝමාවතිය ස්ථූපය අසලින් හමු වූ මෑත කාලීන ලිපිය පොළොන්නරුව රාජ්‍ය සමයට අයත් වේ. එනම් මහා පරාක්‍රමබාහු රජුගේ බිසව වූ ලීලාවතී විසින් කරන ලද විහාර පූජාවක් පිළිබඳ ව තොරතුරු එහි ඇතුළත් වේ. විශේෂයෙන් ම පොළොන්නරු රාජ්‍ය සමය වන විට සෝමාවතී නමින් ප්‍රදේශයක් ජනපි‍්‍රය ව පැවැති බවට තොරතුරු මහාවංසයේ හෙළිදරව් වේ.

මහාවංශයට අනුව මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ගිරිතලා නම් වැවෙන් කදුරුවඩමන් කඩාගයට සම්බන්ධ වූ කාවේරී නම් ඇළක් ද කදුරුවඩමන් වැවෙන් බැස අරිමද්ද විජය ගමට සම්බන්ධ වූ සෝමාවතී නම් ඇළක් කරවූ බව පැවැසේ. (ම.ව. 79 පරි : 57 - 58) මෙහි එන ගිරිතලා වැව ගිරිතලේ යන්නට සමාන බවත් කදුරුවඩමන් යන්න වර්තමාන කදුරුවෙල යන්නට සමාන බවත් පෙන්වා දීමට පුළුවන. මෙහි එන සෝමාවති නම් මාතිකාව (ඇළ) වැටී ඇත්තේ කදුරුවඩමන් වැවටත් අරිමද්ද විජය ගමටත් අතර ය.

ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ සෝමාවතිය ස්ථූපය පිහිටා තිබෙන්නේ ද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උතුරු සීමාවේ ය. වංසකථාවේ සෝමාවති යන සම්පූර්ණ නාමය යෙදී තිබෙන්නේ ද පොළොන්නරු රාජ්‍ය සමයට අයත් තොරතුරු අතර ය. මහා පරාක්‍රමබාහු රජුයට ඒ නමින් බිරිඳක් වූ බවට ද සාක්ෂි නැත. මෙයින් පෙනී යනුයේ පොළොන්නරු රාජ්‍ය සමය වන විට සෝමාවති නමින් ප්‍රදේශයක් ප්‍රසිද්ධ ව පැවැති බව ය.

මෙනමින් ප්‍රදේශයක් හෝ ගමක් හැඳින්වීමට කිසියම් ප්‍රබල ඓතිහාසික සිද්ධියක් බලපාන්නට ඇත. (මේ ගැන දීර්ඝ විමසුමක් මේ ලිපියේ කර්තෘ විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයට ඉදිරිපත් කර ඇති, “සෝමාවතිය ස්ථූපය හා ඒ ආශි‍්‍රත ප්‍රදේශය පිළිබඳව පුරා විද්‍යාත්මක අධ්‍යයනයක්” යන ශාස්ත්‍රීය නිබන්ධනය මගින් පෙන්වා දී ඇත.)

සෝමාවතිය ස්ථූපය ආශි‍්‍රත ව දැනට අනාවරණය වී ඇති සෙල්ලිපි වල අන්තර්ගත කරුණු විමසුමට බඳුන් කිරීමේදී ඒ සියලු ම ලිපිවලින් හෙළිවන පොදු කරුණක් වේ. එනම් ඒ සෑම ලිපියකින් ම පැවැසෙනුයේ ඇළ මාර්ගයක්, කෙත් යායක් හෝ තොටුපලවල්හි ආදායම් පිදීමත් පිළිබඳවය. මහවැලි ගංගාවේ විවිධ ස්ථානවල පිහිටි තොටුපලවල් හරහා විශාල වෙළෙඳ හුවමාරු කටයුතු සිදු කෙරුණු අතර ඒවායේ ආදායම සෝමාවතිය ස්ථූපයේ නඩත්තුවට, මෙන්ම භික්ෂුන්ගේ ප්‍රයෝජනය පිණිස ලබා දුන් අයුරු කනිට්ඨතිස්ස රජුට අයත් ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසට අයත් ලිපියෙන් පැහැදිලි වේ.

සෝමාවතිය ස්ථූපය ආශි‍්‍රතව දක්නට ලැබෙන මෙකී සෙල්ලිපියේ දැනට ශ්‍රී ලංකාවෙන් අනාවරණය වී ඇති විශාලම දඩ මුදලක් පිළිබඳව ද කරුණු අනාවරණය වේ. මෙමඟින් පැහැදිලි වනුයේ කහවණු 500 ක දඩ මුදලකි. එබඳු විශාල දඩ මුදලක් නියම කිරීමෙන් හැඟෙනුයේ සෝමාවතිය ස්ථූපයට අනුරාධපුර යුගයේ පාලකයින් දැක් වූ විශේෂ ගෞරවයයි. අනුග්‍රහයයි.

මේ අනුව වම් දළදාව ලංකාවට රැගෙන එන තුරුත් ඉන් පසුවත් මෙරට දේශපාලන ප්‍රභූන් විසින් දකුණු දළදාව තැන්පත් සෝමාවතිය ස්ථූපයට, එහි අඛණ්ඩ සංවර්ධනයට දායකත්වය සපයා තිබේ. මේ චෛත්‍ය සහිත පූජනීය පෙදෙස මෙන් ම පැවැති ගම් හා නගර වර්තමානයේ දක්නට ලැබෙන වනාන්තර බවට පත් වීම කාලිංග මාඝ ආක්‍රමණයෙන් පසුව ක්‍රමික ව සිදු වන්නට ඇත. විශේෂයෙන් ම රටේ දේශපාලන නායකත්වය නිරිත දිගට එනම් දඹදෙණිය, යාපහුව ආදි ප්‍රදේශවලට සංක්‍රමණය වීම හේතුවෙන් වසර 1000 ක පමණ කාලයක් තුළදී මහා වනාන්තර බවට පත් ව තිබේ. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ පටන් ක්‍රිස්තු වර්ෂ 12 වැනි සියවස දක්වා ම ප්‍රබල පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික සාධක ශේෂව පැවැතීම මෙබදු නිගමනයක් කරා එළඹීමට මග පාදයි.

යථෝක්ත කරුණුවලට අනුව සෝමාවතිය ස්තූපය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ දී බුදුන්ගේ දකුණු දළදාවක් තැන්පත් කොට ඉදි කෙරී ඇති ආකාරයත් එතැන් පටන් මෙකී ප්‍රදේශයේ ක්‍රියාත්මක සමාජ ආර්ථික ප්‍රවණතාවන්ට අනුව හැඩ ගැසෙමින් විකාශනය වූ බවත් ඓතිහාසික යුගයේ විවිධ රජවරුන් මේ චෛත්‍යයේ සංවර්ධනයට නොමඳ දායකත්වය සැපයූ ආකාරයත් පැහැදිලි වේ.