නූතන සිංහල කවිය හදබස සහ එහි සීමා
 

නූතන සිංහල කවිය හදබස සහ එහි සීමා

 

භාෂාව ප්‍රකාශන මාධ්‍යය කර ගත් සාහිත්‍යාංග අතරින් කවියට හිමි වනුයේ සුවිශේෂ ස්ථානයකි. ශාස්ත්‍රීය හෝ වෙනත් විඥාපනාත්මක ලේඛනයක දී මෙන් අර්ථය අවබෝධ කර ගැනීම සඳහා පමණක් භාෂාව ව්‍යවහාර කිරීමක් කවියෙහි දක්නට නොමැත. පදාර්ථයේ ත්‍රිවිධ අවස්ථා ලෙස දැක්වෙන ඝන, ද්‍රව, වායු යන තත්ත්ව ඇසුරෙන් පැහැදිලි කරන්නේ නම් කවියේ භාෂා පරිහරණය ළං වන්නේ වායු වැනි සියුම් අවස්ථාවකට ය.

මන්ද යත් ඊට පිවිසිය නොහැකි අඩවියක් හෝ ඉඩක් නොමැති බැවිනි. ඉන්ධන පිරිපහදු ක්‍රියාවලියෙහි දී තාර වැනි රළු ස්වභාවයේ සිට ද්‍රව පෙට්‍රෝලියම් හෙවත් වායු තත්ත්වයේ පවතින සැහැල්ලු ඉන්ධන විශේෂය ලබා ගන්නා සේ නිර්මාණාත්මක ලේඛනයේ දී ප්‍රතිභා සම්පන්න කවියා භාෂාව පිරිපහදු කොට ඉතා සියුම් කාව්‍යමය වාග් ව්‍යවහාරයක් තනා ඒ ඇසුරෙන් අනේක විධ අනුභූතීන් කවියට නංවා සහෘදයා තුළ චමත්කාරය ජනිත කරයි.

සිංහල කවියේ සියවස් ගණනක් ඈතට දිවෙන දීර්ඝ ඉතිහාසය තුළ කාව්‍යමය වාග් ව්‍යවහාරය සම්බන්ධයෙන් ඉහළ ම දස්කම් පෙන්වූ කවීන් කිහිප දෙනෙක් ම සිංහල සාහිත්‍යය පෝෂණය කිරීමට දායක වූ අතර ඔවුන් විසින් නිර්මාණය කරන ලද විශිෂ්ට කාව්‍ය නිර්මාණවල ආනුභාවය විශේෂයෙන් ම භාෂා ප්‍රාතිහාර්යය අද දක්වා ම සිංහල කවිය කෙරෙහි බලපාන්නා වූ අංගයක් බවට පත් ව තිබේ.

පැරැණි සිංහල කවියෙහි වස්තු විෂයයෙහි පැවති සීමාසහිත බව දහනම වැනි සියවසේ මුල් භාගයේ සිට ක්‍රමයෙන් පුළුල් වන්නට පටන් ගැනීමත් සමඟ ම පුද්ගල සන්තානගත ශෘංගාරය, ශෝකය හෝ පාරිසරික විචිත්‍රචින්තා ආශි‍්‍රත සීමිත ආත්මීය භාව ලෝකය සමාජ ජීවිතයේ විවිධ අංශ කරා පුළුල් වෙමින් පැතිර යන්නට විය.

සමාජීය තේමා කාව්‍යගත කිරීමේ ප්‍රවණතාව මාතර කවියෙන් ඇරැඹී කොළඹ කවියේ දෙවැනි තරංගයේ දී තවත් පුළුල් වී නිදහස් පද්‍යයේ ප්‍රථම තරංගයේ දී වඩාත් පුළුල් වූ සැටි දක්නට ලැබිණ. සමකාලීන සමාජ පුද්ගල අනුභූති කාව්‍යගත කිරීමට නිදහස් පද්‍ය රචකයන් වැඩි වශයෙන් නැඹුරු වීමත් සමඟ ම සිංහල කවිය සම්බන්ධයෙන් ඇති වූ කථිකාව තුළ කවියේ අතීත සම්ප්‍රදාය හෙවත් උරුමය පිළිබඳ ඇතැම් කවීන් සහ විචාරකයන් වෙතින් ද එකිනෙකට වෙනස් අදහස් ප්‍රකාශ වන්නට විය.

නවසිය හතලිහ දශකයේ මැද භාගයේ දී ජී. බී. සේනානායක විසින් සංඥාවක් ලෙස අරඹන ලද සිංහල නිදහස් පද්‍ය සාහිත්‍යය දශකයක කාලයක් ඉක්මෙන්නටත් පෙර නූතනත්වය හා සම්ප්‍රදාය යන පසමිතුරු සබඳතාව තුළ ධ්‍රැවීකරණය වීම නිසා අද දක්වා ම නොසමහන් වූ ගැටුමක් සිංහල පද්‍ය සාහිත්‍යයට උරුම වූ බව නොරහසකි. සිරි ගුනසිංහ කවියා නිදහස් පද්‍ය සාහිත්‍යය නමැති මේ අභිනව ධාරාව සංකීර්ණත්වයට පත්වූ සමකාලීන සමාජ පුද්ගල යථාවන් විෂය කර ගත් අරුත් සරු නූතනවාදී සාහිත්‍යාංගයක් ලෙස වර්ධනය කිරීමෙහි ලා පුරෝගාමී මෙහෙයක් ඉටු කළේ ය. එහි දී සිරි ගුනසිංහ විසින් සමකාලීන නව්‍ය සංකීර්ණ අනුභූති ප්‍රකාශනයෙහි ලා උපයුක්ත භාෂා රීතිය චිරන්තන පද්‍යයේ වාග් ව්‍යවහාරයට ඉඳුරා පටහැනි වූ අවස්ථා බහුල ය.

සිරි ගුනසිංහගේ කාව්‍ය නිර්මාණවල ගැබ් වුණු සංකීර්ණ සමාජ අරුත් කෙරෙහි අවධානය යොමු නොකළ හෝ නොතකා හළ බහුතරයක් ඊට ප්‍රතිචාර ලෙස චිරන්තන හා ජන සාහිත්‍යයෙන් ආභාසය ලබමින් සම්ප්‍රදායේ සෙවණ යට වැඩෙන සාහිත්‍යාංගයක් ලෙස නූතන සිංහල කවිය වර්ධනය කිරීමට ප්‍රයත්න දැරූහ.

මේ ප්‍රයත්නයේ පුරෝගාමී කවියා ගුණදාස අමරසේකර ය. අමරසේකර ප්‍රමුඛ සෙසු කවීන් ජන කවියෙන් සහ චිරන්තන පද්‍ය සාහිත්‍යයෙන් ආභාසය ලැබීමට දැරූ ප්‍රයත්නයේ දී සාම්ප්‍රදායික සමාජ පරිසරයට සහ ඒ හා බැඳුණු ජීවන මාර්ගවලට අදාළ ඇතැම් සීමිත අනුභූති ප්‍රමාණයක් සාර්ථක ලෙස කාව්‍ය ගතකිරීමට සමත් වූ නමුත් ඔවුන් ඇතැම් විට ගතානුගතික චින්තනයට නතු වූ අවස්ථා ද දක්නට ලැබේ. අමරසේකර විසින් රචිත අමල් බිසෝ නමැති පද්‍ය කෘතියේ එන එනමින් යුත් නිර්මාණය එවැනි අවස්ථාවකට නිදසුනකි.

‘කෙමෙන් වැඩෙන පුර සඳ මඬලක් සේ
දියෙන් නැගී එන රන් පියුමක් සේ
අමල් බිසෝ සඳ ඒ රන් නිව සේ
පවෙන් මිදී ඇති දැඩිවෙයි සිතු සේ’

‘නිදන් වසා සිටිය දොරා
තිදස් පුරේ රුවන් දොරා
ලෙවන් නුදුටු රුවන් දොරා
ඈ ඇරියේ එවන් දොරා’

‘පෙරුම් පුරා ලැබූ දොරා
මරුන් දිනා ලැබූ දොරා
ලොවින් උතුම් රුවන් දොරා
ඈ ඇරියේ එවන් දොරා’

‘එදා කුමරි ඇරිය දොරයි මෙදා ලඳේ
නුඹ ඇරියේ
සදා නගින එගිනි කඳයි මෙදා නුඹේ
ගත වෙලුයේ
පෙරා කඳුළු දුකින තැවී
අඬා නොවැලපෙන්න ලියේ
මෙමා ලොවට ඇසෙන ලෙසින්
කියන් නිදොස තිගේ ළයේ’

විසිවැනි සියවසේ අග භාගයේ ජීවත්වන කවියා මේ නිර්මාණයේ දී ස්ත්‍රියගේ කන්‍යා භාවය නමැති පුරෂෝත්තමවාදී වැඩවසම් චින්තනයට අනුගත ව එය යුක්තිසහගත කරන අයුරු පැහැදිලි ව පෙනෙයි. සිංහල පද්‍ය සාහිත්‍යයේ ප්‍රථම තරංගය ගලා යන්නේ මේ ලෙස ධ්‍රැවීකරණය වූ සම්ප්‍රදාය හා නූතනත්වය යන පසමිතුරු සම්බන්ධතාව ඔස්සේ ය.

අද වන විට අඩ සියවසක් ඉක්මවා ඇති මේ විසංවාදය පුනරාවර්ජනය කරන කල්හි ඒ තුළ පැවැති ශක්‍යතා හා සීමා මැනැවින් හඳුනා ගැනීමට කාලය විසින් අපට ඇති තරම් ඉඩ සලසා දී ඇති බවක් හැඟෙයි. සංකීර්ණත්වයට පත් වූ සමකාලීන පුද්ගල සමාජ සත්තාවන් කාව්‍යගත කරමින් සිරි ගුනසිංහ විසින් නූතනවාදී එලැඹුමකින් අරඹන ලද නිදහස් පද්‍ය කාව්‍ය නිර්මාණවල පැවැති බුද්ධි ගෝචර ස්වභාවය නිසා ඇතැමුන් විසින් ඒ නිර්මාණ ‘මස්තිෂ්ක කාව්‍ය’, ‘මනැස් බසක්’ වැනි අරුතකින් හඳුන්වනු ලැබූ අවස්ථා තිබිණ. එහි ප්‍රතිපක්ෂය නියෝජනය කළ ගුණදාස අමරසේකර අනුදත් කාව්‍ය මාර්ගය ඔහු විසින් ම පසු කාලීන ව ‘හද බසක්’ ලෙස හඳුන්වනු ලැබිණ.

මේ පුරෝගාමී කවීන් දෙදෙනා අනුදත් කාව්‍ය මාර්ග දෙක තුළ වූ සීමා සහ ශක්‍යතා සතිසම්පජාන ව වටහා ගත් එක් කවියෙක් නවසිය හැත්තෑව දශකයේ මැද භාගයේ දී සිංහල කාව්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ ව ධ්‍රැවීකරණය වූ යට කී කාව්‍ය ප්‍රවාහ දෙකෙහි වූ සාධනීය අංග උද්දීප්ත කොට නිශේධනීය අංග හෙළා නවාංග එකතු කොට නිපදවූ අභිනව කාව්‍ය මාර්ගයක් සිංහල පද්‍ය සාහිත්‍ය ක්ෂේත්‍රයට උරුම කොට දුන්නේ ය. ඒ කවියා දයාසේන ගුණසිංහ ය.

එවක නිල වශයෙන් ස්ථාපිත ව පැවැති ජනතා සාහිත්‍යයේ සහ මහගම සේකර කවියාගේ ඊනියා අධ්‍යාත්මවාදී කාව්‍ය නිර්මාණවල ක්ෂණික දීප්තියෙන් දයාසේන ගුණසිංහ කවියා රන් තැටියක කඳුළු නමැති සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහයෙන් සිංහල කාව්‍ය ක්ෂේත්‍රයට දායාද කළ අනගි, දුලබ කව්මිණිවල දීප්තිය වැසී ගියා සේ ය. දයාසේන ගුණසිංහ කවියාගේ ප්‍රයත්නයෙහි වූ වැදගත් ම අංගය වන්නේ ඔහු විසින් සිංහල කවියට උරුම කොට දුන් ‘සමාජ බස’ ය. සම්ප්‍රදාය හා නූතනත්වය නිසි ලෙස සංකලනය කරමින් දයාසේන ගුණසිංහ කවියා නිර්මාණය කළ සමාජ බසෙහි අරුත හා ගැඹුර දක්වනු වස් රන් තැටියක කඳුළු පද්‍ය සංග්‍රහයේ එන ‘ගිනි සිසිල’ නමැති නිර්මාණය නිදසුනක් ලෙස දැක්විය හැකි ය.

‘පොලොවේ රන් හිසින් දරා
ගොයම් නටන වෙල් එළිවල
කහවනු පැහැයෙන් ගුලි වී
හිඹටු ඉදෙන බඩවැටිවල ...

දයාසේන ගුණසිංහ මේ කවියේ මුල් අර්ධයෙන් නිරූපණය කරන්නේ දෛනික ජීවිතයේ දහසකුත් එකක් කම්කටොළු හා වෙහෙසකර බවෙන් පීඩිත ව මොහොතකට කාල්පනික සැනසිලිදායක ලොවකට පිවිසෙන පරාරෝපිත පුවත්පත් වෘත්තිකයකුගේ් සිත් හසර යි. කර්ණ කටුක නගරය, නගරයට සාපේක්ෂ ව ගමෙහි පැවැති නිසංසල සැනසිලිදායක ගුණය, නගරයේ තනි වී ලෝකයක පීඩා දුක් සුසුම් හා අර්බුද සන්නිවේදනය කිරීම සිය කටුක ජීවිකා වෘත්තිය කර ගත් කථකයාගේ මානසික ස්වභාවය, එමොහොතෙහි කථකයාගේ සිතෙහි ගම සහ කුටුම්භය පිළිබඳ සහස් ගුණයෙන් විශාල වී මැවෙන විචිත්‍ර කල්පනා ලෝකය යන ඉසව් අතර ඔහුගේ සිත සැරිසරන අයුරු මේ වදන් සිත්තමෙහි අපූර්ව ලෙස නිරූපිත ය.

‘මතු මහලින් අනන්තයට
බලියන ලොඹු කවුළු තුළින්
බස්ම අසුර අත දිගු කොට
මාව දවා හළු කරන්න
දපන උමතු කොළඹ අහස
ගිනි සිසලෙන් දමනය කර
කුඹුක් වියන් යටින් ඇදී
මා වට කර රැළි සුළි දී
දෙගොඩ තලා යන සිසිලෙන්
ගලා බසින විට මා ඔය

මතු වෙයි දිය රකුසු වෙසින්
එතෙර පුවත් ගෙන රොයිටර’

දයාසේන ගුණසිංහ කවියා කවියේ සමකාලීන සමාජ භූ®මිකාව කවියේ ආත්මය නොනසා සාර්ථක ව ජය ගත් සැටි ඔහු විසින් රචිත මෙවැනි තවත් නිර්මාණ කිහිපයකින් ම අපට දැක ගත හැකි ය.

රන් තැටියක කඳුළු කාව්‍ය සංග්‍රහයෙන් ඇරඹුණු සිංහල කවියේ තෘතීය තරංගය නොවඳිම් සිදුහත් කාව්‍ය සංග්‍රහයෙන් තවත් වර්ධනීය අදියරක් කරා ඔසවා තැබූ දයාසේන ගුණසිංහගේ කවි මග නිසි ලෙස අවබෝධ කර ගත් තවත් එක් තරුණ කවියෙක් ඒ කවි මග ඉදිරියට රැගෙන යාමට සමත් වී ය. ඒ කවියා එරික් ඉලයප්ආරච්චි ය. නවසිය අසූව දශකයේ මුල් භාගය වන විට ලාංකේය සමාජ සංස්ථා සියල්ලක් ම ශීඝ්‍ර විපරිවර්තනයකට බඳුන් වී උඩු යටිකුරු වීම ඇරඹුණු කල්හි සෞන්දර්ය විඥානයෙන් හා සමාජ විඥානයෙන් අන්ත දරිද්‍රතාවට පත්ව සිටි ජනතාවාදී කවිය නමැති කවන්ධය ගමේ කුඹුරු කමත් ඔස්සේ වන වැදිණ.

සිදු වෙමින් පැවැති ශීඝ්‍ර සමාජ සංචලනයන් නිසා සුළි කැවෙමින් බමන්නට ගත් ලොවක සමාජ පුද්ගල යථාවන් භාෂාවේ තුන් වැනි අරුත් තලය යානය කොට ප්‍රකාශ කිරීම සඳහා එරික් ඉලයප්ආරච්චි නිමැවූ කාව්‍ය නිර්මාණ සමුච්ඡය, හද බසෙහි හා මනැස් බසෙහි මනා සංකලනයෙන් නිපන් අපූර්ව සමාජ බසක් බවට අනුක්‍රමයෙන් මුහුකුරා ගිය සැටි මැදියමේ ගීතයන් ආරම්භ වී මගේ කොළඹට හඳ පායයි කාව්‍ය සංග්‍රහය තෙක් දශක හතරක් තිස්සේ ඔහු විසින් රචිත කාව්‍යාවලියෙන් අපට දැක ගත හැකි ය.

දයාසේන ගුණසිංහ කවියාගේ නිර්මාණ සේ ම එරික් ඉලයප්ආරච්චි කවියාගේ නිර්මාණ ද කාව්‍ය ක්ෂේත්‍රයේ නිසි අවධානයට සහ ඇගැයුමට ලක් වී ද යන්න සැක සහිත ය. මන්ද යත් කවිය ගීතය තුළ දිය වී ගිය දශකයකටත් අධික කාලයක් තිස්සේ යළිත් අපට දකින්නට ලැබුණේ ‘සමාජ බස’ ගොළු වී ගිය කාව්‍ය ලෝකයක බහු රූ කෝළම් වැනි හිස් විලාසවාදයන් රැසකි.

හැත්තෑව දශකයේ සිංහල කවියෙහි සාධනීය අංගයක් ලෙස පැවැති සමාජ අරුත් මේ වකවානුවේ දී ශුන්‍ය ආධ්‍යාත්මික අවකාශ තුළ වාෂ්ප බවට පත් විය. හදිසියේ ම හැටේ දශකයේ මුල් භාගය නැවත ප්‍රාධූර්භූත වූවා සේ හයිකු ආරේ සැකෙවි කවි වැඩි වැඩියෙන් ලියවෙන්නට විය. මේ සියල්ල මෙසේ සිදුවෙමින් පවතිද්දී සංකීර්ණත්වයෙන් සංකීර්ණත්වයට පත් වූ සමාජීය සහ පුද්ගල අනුභූති කන්දරාවක් බසක් අහිමි ව කඳු ගැසෙමින් තිබිණ.

සිරි ගුනසිංහ විසින් ප්‍රාරබ්ධ සිංහල පද්‍ය සාහිත්‍යයේ නූතනවාදී ප්‍රවේශයට එරෙහි ව එසේත් නැතහොත් ඊට ප්‍රතිචාර ලෙස ජනකවි ආරෙන් පිළියම් සෙවූ කවීන් අනුදත් මඟට පිළිපන් ඊ ළඟ පරපුරේ කවීන් බොහෝ දෙනකු නූතනත්වයේ සියලු ම අර්බුදවලට විසඳුම් අතීතයෙහි සහ ගමෙහි වෙතැයි සිතා ගම් වැදිණ. නගරය වෙනුවට ගමත් වර්තමානය වෙනුවට අතීතයත් පරමත්වයට නැංවුණු ඒ ප්‍රවණතාව කෙළවර දුටුවේ ගීතයෙනි.

මේ ජනපි‍්‍රය ප්‍රවණතාව හමුවේ මෑත කාලයේ එරික් ඉලයප්ආරච්චි කවියා විසින් නිර්මාණය කරන ලද බොහෝ නිර්මාණවලින් සංකීර්ණ සමාජීය තේමා සාර්ථක ලෙස කාව්‍යගත කිරීමට දරා ඇති ප්‍රයත්නය විචාරකයන්ගේ නොමඳ අවධානයට ලක්විය යුතු ය.

ඉලයප්ආරච්චි කවියා මෑත කාලයේ රචනා කළ නිර්මාණවලින් වැඩි ප්‍රමාණයකට විෂය වී තිබෙන්නේ බසක් අහිමි ව කඳු ගැසෙමින් තිබුණු සංකීර්ණත්වයෙන් සංකීර්ණත්වයට පත් වූ අද්‍යතන සමාජීය සහ පුද්ගල අනුභූති කන්දරාවකි. ඔහු විසින් මෑතක දී එළි දක්වන ලද මගෙ කොළඹට හඳ පායයි නමැති කාව්‍ය සංග්‍රහයේ එන ‘මුඩුක්කු’ නමැති නිර්මාණයේ දී සකලවිධ මහිමයන්ගේ ද අගතීන්ගේ ද ප්‍රති විරෝධතාවන්ගේ ද සංකලනයක් හා කේන්ද්‍රස්ථානයක් වන නගරය තුළ තිබෙන දෙව් ලොවත් නිරයත් කවියාගේ පරිකල්පනයට ලක් වෙයි. එහි දී කවියා අපට අභිමුඛ කරන ලොවෙහි විසිතුරු මඳක් බලනු මැන.

‘ලට්ට පට්ට ගල් ගඩොල් ද
යකඩ තහඩු ටිං බැරල් ද
දුකට සැපට තිබු පියස්ස
සමඟ ගැලවී යයි සියල්ල

බලු කූඩු ද කුකුල් කොටු ද
පාට පාට දොර ජනෙල් ද
ලෝඩරයේ ගෙරවිල්ලට
දූලි වෙලා යයි සියල්ල’

නගර සංවර්ධනය සහ අලංකරණය උදෙසා සිදු කෙරෙන මුඩුක්කු සංහාරයේ ද්‍රව්‍යමය නිරූපණයෙන් පසු කවියා සහෘදයා අභිමුවට පමුණුවන්නේ ඒ පරිසරයේ වාසය කරන ‘මනුෂ්‍ය ජීවිත’ කිහිපයක අභ්‍යන්තරයෙන් පැන නඟින විලාප හඬකි.

‘වඳින පුදන බුදුන් පල්ල
දූ කොටහළු වුණා ඊයෙ
කාමරේට වෙලා ඉන්න
බුදු අයියේ ඉඩක් දෙන්න

අනවසර ව තැනු සියල්ල
බිලි වෙන විට යකඩ කටට
විලිබිය නැති යකුට බනියි
ඇඳෙන් නැගිට එන වෙසඟන’

මේ සියල්ලෙහි සාරය කවියා නාභිගත කරන්නේ මුඩුක්කු වාසී දිළිඳු දනන් වෙනුවෙන් මතු දා ඉදිවෙන සුර ලොවෙහි ය. කවියේ අවසන් පද හතරෙන් නිරූපිත සංකේතයේ උත්ප්‍රාසය කොතරම් තියුණු දැ යි බලන්න.

‘දුර ලූ පසු මේ සියල්ල
නැඟෙයි අලුත් පිටසක්වල
අහසින් බිම බානා ලෙස
රජස් දූලි නැති සුර ලොව‘

කාර්මික ධනේෂ්වර ශිෂ්ටාචාරයේ ම නිපැයුමක් ඒ ශිෂ්ටාචාරයේ ම ගොදුරක් වන සැටි කීම සඳහා උත්ප්‍රාසය හැර අන් සුදුසු ප්‍රකාශන මාර්ගයක් තිබේ ද?

කාව්‍යමය විෂය යනුවෙන් විශේෂ දෙයක් නොමැති බවත් කාව්‍ය නිර්මාණය සඳහා ඕනෑ ම විෂයක් පාදක කර ගත හැකි බවත් ඉහත විමසුමට ලක් කෙරුණු නිර්මාණවලින් පැහැදිලි වනු ඇත. එමෙන් ම කවිය හුදු ආත්ම ප්‍රකාශනයක් යැයි තහවුරු කිරීමට උත්සාහ කෙරෙන ප්‍රවාදය ද ප්‍රලාපයක් බව මෙවැනි නිර්මාණවලින් තහවුරු කෙරේ. මේ සියල්ල අවසානයේ කුළු ගැන්වෙන්නේ කවියේ සමාජ බසෙහි අරුත ය. ඒ අරුතෙහි අදාළ බව ගැන කීමට ඇති හොඳ ම මග ටෙරී ඊගල්ටන්ගේ මාක්ස්වාදය සහ සාහිත්‍ය විචාරය නමැති පරිවර්තන කෘතියේ පරිවර්තකගේ හැඳින්වීමෙහි ලා මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි දක්වා ඇති අදහස් ගෙන හැර දැක්වීම යැ යි සිතමි.

‘වෙනස්වීම මන්දගාමී වූ සමාජ ලෝකයකින් ඉලෙක්ට්‍රෝනික වේගයකින් වෙනස් වන සමාජ ලෝකයකට පිවිසෙමින් නොව අපි එයට දැනට ම පිවිස සිටිමු. සාපේක්ෂ වශයෙන් නියත සහ ඝනීකෘත යැයි සැලකූ සියල්ල වායුව තුළ දිය වී හෝ වායුවට මුසු වී ගෙන යනු ලබන ඉතාමත් විප්ලවකාරී තාක්ෂණික සමාජ ලෝකයකට අවතීර්ණ වී... එම ලෝකය තුළින් මතුවන සියල්ලකින් ම තුෂ්ණිම්භූත අත්දැකීම් ලබමින් අන්ද මන්ද වුව ද දැඩි ආයාසයකින් යුතුව අර්ථ පද්ධති ගොඩනඟා ගනිමින් එහෙත් ඒවා ඊ ළඟ මොහොතේ බිඳෙද්දී විපිළිසර ව වෙනත් අර්ථ පද්ධති හඹා ගොස් අර්ථ නිර්මාණ කාර්යයක නියැලෙමින් අපි ජීවිතය ඇදගෙන යමින් සිටිමු. සාම්ප්‍රදායික සමාජයට, සාම්ප්‍රදායික දැනුමට සහ සාම්ප්‍රදායික විෂයයන්ට මේ වෙනසෙහි කම්පනය දැනෙන බව සැබෑවක් මුත් කැතරින් බෙල්සි නිවැරැදිව දකින ආකාරයට මේ වෙනස වඩාත් ම පෙනෙනුයේ සාහිත්‍ය අධ්‍යයනය තුළිනි.’