‘පුලතිසි වංශය’
 

‘පුලතිසි වංශය’

 

සංස්කරණය - නිහාල් පී. ජයතුංග
ප්‍රකාශනය - සංස්කෘතික කටයුතු අමාත්‍යංශය
මිල - රු. 2000

පොළොන්නරු රාජධානියට කාලයේ වැලි තලාවෙන් වැසුණ සත්‍ය වූ වංශ කථාවක් තිබුණි. එය මතු කරන්නට මෙතෙක් බිහිවූ වංශ කථාකරුවෝ බොහෝ වෙහෙස ගත්හ. එහෙත් චෝල අධිරාජ්‍යයෙන් පොළොන්නරුව යට වී ගියා සේ මේ සත්‍යවාදී වංශ කථාව ද යටවී ගියේ ය.

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් සංග්‍රහ කරන ලද පුලතිසි වංශය එක් පුරවරයක් මුල් කරගෙන එහි පුරාවෘත්තය හා විශේෂයෙන් සැඟවුණු යටගියාවෙහි සියලු වංහුං සංග්‍රහිත කරයි. අප දන්නා පරිදි පොළොන්නරුව පිළිබඳ මෙවැනි අංග සම්පූර්ණ වංශ කථාවක් ලියවී නැත. මේ අතර එහි සංස්කාරකවරයා පවසන පරිදි තමන්කඩුවේ උරුමයට සාධාරණයක් ඉටු කිරීම එහි අරමුණ වී ඇත. අපගේ යුතුකම වන්නේ මේ සාධාරණත්වය ඉටුවීද යන්න විභාග කර බැලීමයි.

නිහාල් පී. ජයතුංග, ‘පුලතිසි වංශය’ සැකසීමට අවශ්‍ය මාතෘකා හා එයට සුදුසු විද්වත් ලේඛකයින් තෝරා ගැනීමට ද සමත් වී ඇත. මේ ග්‍රන්ථය පිටු 948 කින් සමන්විත විශාල ග්‍රන්ථයකි. සංස්කාරකවරයා විසින් සම්මත විශේෂ වූ පටුනක් තනාගෙන එහි ලේඛන පෙළ ගස්වයි. ඊටත් මුලින් ලේඛන සපයන විද්වත් ප්‍රජාව කවුරුන් ද යන්න නිර්ලෝභී ව පාඨකයාට හඳුන්වා දෙයි.

පුලතිසි වංශය සාහිත්‍ය නිබන්ධනයක් වැන්න. රස ජනනය කරයි.

තවත් අතකට ඓතිහාසික ලේඛනයකි. වරෙක පර්යේෂණාත්මක මෙහෙවරක් බඳු ය. එහිදී අඩුපාඩු ඇතිවීම ස්වභාවික ය. මේ නිර්මාණ කාර්යයට ප්‍රාමාණික දැනුමෙන් පරිපූර්ණ විද්වත් මඩුල්ලක් විසින් ලිපි සපයා ඇත. එවැනි ලිපි 54 ක් තෝරා ගැනීම සුළුපටු කරුණක් නොවේ. එහි ලේඛකයින් සංඛ්‍යාව 56 දෙනෙකි.

එම විද්වතුන්ගේ කාර්යයට මුලින් සංස්කාරකවරයා අපූරු පෙරවදනක් සපයයි. එහි වංශකතාව, ඉතිහාසය, ප්‍රජාව, දේශපාලනය ස්වභාවික පරිසරය, මේ දෑ සියලු අංශ පාලි හා සිංහල අෂ්ඨකතා ඇසුරෙන් අන්තර්ගතය හඳුනා ගැනීමට තැත් කරයි. විශේෂයෙන් පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්ට මහත් උපකාරයකි.

මේ ග්‍රන්ථයට ලිපි සපයන විද්වතුන් පොළොන්නරුව ප්‍රදේශයේ හා එහි ශිෂ්ටාචාරයේ සෑම පැතිකඩක් ම ස්පර්ශ කිරීමට උපරිම වෙර දරා තිබේ. එය පිඬු කොට සීමිත වදන් කීපයකින් මේ පුලතිසි වංශය පිළිබඳ ව පවසන්නේ නම් මෙය ජල වංශයේ කතාවක් මතින් ප්‍රභාමත්වූ ඉසුරු පිරි දේශයක පුරාවෘතය කියා කියමි. එයට හේතු සාධක ප්‍රබල ය. එය ග්‍රන්ථය පරිශීලනය කරන ඔබට ද වැටහෙනු ඇත.

ලංකාගමනයෙහි මූල සාධකය වූ ගංගාධාර ආශ්‍රිත ජලයෙහි ගුණය වියලී යන්නට ඉඩ නොදී ශත වර්ෂ ගණනක් පරපුරෙන් පරපුරට ඉදිරියට ගෙනවිත් ජලය ඉතා දැකුම්කලු ව හා සෞභාග්‍යයේ ප්‍රතිනිර්මාණය ලෙස විදහා පාන්නේ පරාක්‍රම මහා සමුද්‍රයෙහි හා මින්නේරි වැවේ ජල තලාව මතය.

ඒ වංශ කතාව පුලතිසි වංශ කතාව යයි අපට සිතේ. අපගේ මේ සරල අදහස, පුලතිසි වංශයට සරු ලිපියක් සපයන මහාචාර්ය මද්දුම බණ්ඩාරයන් තමන්කඩු පවත මනාව කැටයම් කරයි. ඒ, ආරම්භක ලිපියයි. දැවැන්ත ජලාශ හතරක් තවත් වැව් 62 ක්, අමුණු 12 ක්, හෙක්ටයාර් ලක්ෂයකට වැඩි බිමක් ජලයෙන් පෝෂණය වන බිමක කතාව ජල වංශය ම නොවේ ද?

පුලතිසි වංශය තවත් සරු බිමක කතාවක් බවට පත්වන්නේ මහවැලි ශිෂ්ටාචාරය නිසා බව එතුමාට අනුව අවබෝධ වෙයි. මේ ශිෂ්ටාචාරයෙන් උපන් පුලතිසි වංශය දෙවෙනි වන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට පමණකියි වරක් සිතිණි. එය ඔප්පු කිරීමට පොළොන්නරු ශිෂ්ටාචාරය නැවත ගොඩනැංවීමට උවමනා නම් අපගේ වත්මන් දේශපාලන බල අධිකාරියට පුළුවන. එය උවමනාව හා සමගිය මත රඳා පවතිනු ඇත. මෙහිදී අපගේ සිහියට නැඟෙන්නේ කොමියුනිස්ට් චීනයේ නිර්මාතෘ මාඕසේතුංගේ වදනකි. “යම් ජාතියකට වංශකතාවක් නොමැති නම් ඔවුන් ජාතියක් නොවෙයි” යන්නයි.

පුලතිසි වංශයට විද්වත්හු පුළුල් ක්ෂේත්‍රයක සිට එකිනෙක කරුණු සියුම් ලෙස විග්‍රහ කරති. එයින් අභීත නරවිරුවන්ගේ අප්‍රතිහත ධෛර්යයත් ඉන් සෝබමාන වූ පුලතිසි නුවරත් විද්‍යාමාන වෙයි.

මෙහිලා උදුල බණ්ඩාර අවුසදහාමි වැනි වියතුන් දරන ලද ප්‍රයත්නයන් අමතක කළ නොහැකි ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස මේ වෘත්තාන්තය එහි නමට හෝ (පුලතිසි) එක් බිම්කඩකට සීමා නොවී මහාවංශයට නෑකම් කියන දැවැන්ත වංශකතාවක් දක්වා විකාශනය වන තරමට බොහෝ දුර ගමන් කරන්නේ ශාස්ත්‍රීය වශයෙන් විශාල වටිනාකමක් ඇතිව ය. ආචාර්ය රාජ් සෝමදේවයන්ගේ ලිපියක් ගාමිණී අධිකාරි වියතාණන්ගේ ලිපියත් එයට ප්‍රබල ලෙස සාක්ෂි දරයි. එම ලේඛනයන්හි මතු කිරීමට තැත් කරනු ලබන ඉතා ප්‍රබල සාධක තව තවත් වග විභාගයට ලක් කළ යුතු ඒවා යැයි විශ්වාස කරමු. අනෙකුත් සියලු ලේඛකයන් ද තම තම නැණ පමණින් අතැඹුලක් සේ කරුණු විග්‍රහ කරන අයුරු සිත් ගන්නා සුලු ය.

පුලතිසි වංශයක් රචනා කිරීමට පුලතිසි නම් පුරයක් තිබිය යුතුමය. අතිරමණීය මේ රාජධානිය සම්පූර්ණ කළේ මහා විජයබා නරනිඳු වුව ද ඊට පෙර පුලතිසි නමින් නගරයක් පැවැති බවත් එය අගනගරය ලෙස පැවැති බවත් මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා සනාථ කරයි. ඒ අනුව පුලතිසි පුරවරය හදිසියේ පහළ වූ රාජධානියක් නොවේ.

මහා විජයබාහු නම් නරපතියා සොළීන්ගේ රුධිරයේ ඝණත්වයත් සිංහලයින්ගේ රුධිරයේ රක්ත වර්ණයත් හරි හැටි හඳුනාගත් වීරයෙකි. එතුමාට අලුත් රාජධානියකුත් අලුත් ජාතියකුත් ගොඩනැඟීමට අවශ්‍ය විය. එය පුලතිසි වංශ කතාවෙන් මනාව පැහැදිලි වෙයි. මේ තත්ත්වය මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාසයන්ගේ දෙවන ලිපියෙන් අවබෝධ කරගත හැකි ය. එම ලිපියෙන් පුලතිසි වංශයට සපයන ආලෝකය ඉතාමත් දීප්තිමත් ය. ප්‍රබල ය.

පුලතිසි පුරවරයේ මෑත කාලීන පුනර්ජීවය පිළිබඳව සපයා ඇති තවත් වටිනා ලිපියක් නම් සේපාලිකා විතානගේ ඓතිහාසික දිඹුලාගල පුදබිම පිළිබඳ ලිපියයි. එය ඓතිහාසික දිඹුලාගල කාශ්‍යප හිමියන්ගේ අමරණීය නාමයට ගෞරවයක් බඳු යයි අපගේ විශ්වාසයයි.

දම්මි බණ්ඩාර හා නිලන්ති බණ්ඩාර යන දෙපොළ තම ලිපියෙන් පුරාවිද්‍යාත්මක සාධක ඇසුරින් ඉතිහාසය සනාථ කිරීමට ප්‍රයත්න දරා තිබේ. එවැනි මූල සාධක වංශ කතාවකට අවැසිම දෙයකි.

පුලතිසි වංශය රචනා කිරීමේදී සිදුවූ එක් අඩුපාඩුවක් අප නෙත ගැටෙයි. එනම් ඉතා ප්‍රබල චෝල හා ද්‍රවිඩ බලපෑමකට යටත් වුව ද ඉතා දැඩි ලෙස ද්‍රවිඩ බලපෑමකට ලක්වූවා යයි විද්වතුන් පවසන පැරකුම්බා වැනි රජකුගේ රමණීය වූ රාජධානියක දෙමළ කලා ශිල්ප හා සාහිත්‍යයක් තිබිය නොහැකි ද? මේ ප්‍රශ්නය අපට ඇසීමට තිබේ.

වංශ කතාවක් විචිත්‍රවත් වන්නේ වීර වික්‍රම පුරා වෘත්තවලින් පමණක් නොවේ. යම් භූමියක ගහ කොළ සතා සිව්පාවා ඇළ දොළ සලිත වන අයුරු එකී වෘත්තාන්තයට එක් කරන රූප ස්වභාවය ද අනුව ය. මෙය සනාථ කිරීමට පුලතිසි පුරවරයෙහි නො පෙනෙන තමන්කඩුවේ ස්වභාවදහමත් එහි භූමිය පෝෂණය කළ මුතුන් මිත්තන්ගේ සංස්කෘතියත් රුධිරය හා දහදිය ගලාගිය අයුරුත් මේ පුලතිසි වංශ කතාවට එක් කිරීමට රචකයින් සමත් වී ඇත.

අවසන් වශයෙන් පුලතිසි පුරවරයේ සාමාන්‍ය දසුන කාලයක් පුරා නෙත ගැටුණු මේ ලේඛකයින්ගේ මතකය සටහන් කිරීමට අපේක්ෂා කරමි. ලක්ෂ සංඛ්‍යාත වී කුරුල්ලන් හා ගේ කුරුල්ලන් තමන්කඩුව පුරා සැරිසරයි. සියලු සත්ත්වයින්ගේ කුස පුරවාලීමට ඇති තරම් ධාන්‍ය බෝග මෙහි වගා කෙරේ. මේ දහස් සංඛ්‍යාත පක්ෂීන්ගේ මෙන් ම රටේ ජනතාවගෙන් 15% ක් පමණ කුස පුරවන්නේ පුලතිසි පුරවරයයි. ඒ තරමට පුලතිසි පුරවරයේ මේ කුඩා වී ඇටය නිර්මාණය කළ වංශය කප පවතින තාක් පවතිනු ඇත. මේ බව සනාථ කරන තවත් අපූරු ප්‍රකාශයක් ආර්.එල්. බ්‍රෝහියර් නමැති අද්විතීය ලේඛකයා සීන් සිලෝන් (Seen Ceylon) නමැති ග්‍රන්ථයේ සඳහන් කර තිබේ.

ගොඩබිම වසන සතුන්සිවුපාවුන්ට මෙන් ම ජලයේ වසන මත්ස්‍යයින්ට පවා මාසයේ පොහොය දින හතර තුළ බියෙන් තොරව ජීවත්වීමේ අයිතිය ස්ථාපිත කළ යුතු යි මහා පරාක්‍රමබාහු රජතුමා අණ කළ බව මහාවංශයේ සඳහන් වී ඇත.

මේ අයුරින් එකිනෙකට නොදෙවෙනි අර්ථ විග්‍රහයන් හා විශ්ලේෂණයන් මඟින් පුලතිසි වංශය සංගෘහිත ය. එහි තවත් වාසියක් තිබේ. එකිනෙක පුවත් හා කරුණු විවිධ කෝණ තුළින් විග්‍රහ කර ඇත.

ඕනෑම ප්‍රාඥයකුට යම් සදොස් කරුණක් වෙතොත් ප්‍රශ්න කිරීමට අවකාශ සැලසී තිබේ. කොටින් වරද නිවරදි කර දත හැකිය. තවද මේ පුලතිසි වංශ කතාව මෙතෙක් ලියවී නැති වෙනත් ප්‍රාදේශීය වංශ කතාවලට වඩා විචිත්‍රවත් යයි අපට සිතේ. එයට හේතුව නම් ඒ පුලතිසි වංශයේ විචිත්‍ර බව ය. ඉතිහාසයේ ඉතාමත් බලවත් රජවරු දෙදෙනකු විසින් අප්‍රතිහත ධෛර්යෙන් ගොඩනඟා, නිශ්ශංකමල්ල වැනි රජවරුන්ගෙන් සෝබමාන වූ මේ රාජධානියේ වංශකතාව ලිවීම එම වියතුන්ගේ කුසලතාව වෙයි. භාරධූර කරුණ පැසසීමට එම වදනම සෑහේ යයි සිතමු.