අද ටිකක් දිග දවසක්
 

අද ටිකක් දිග දවසක්

 

අනාගත ප්‍රබන්ධ කථාව අන්තර්ජාලය ඔස්සේ නිර්මාණය වනු ඇත. එහි කේන්ද්‍රස්ථානය ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට හිමිවේ. ආන්ද්‍රාහි මේනකා නම්, අන්තර්ජාල ලේඛිකාව 2015 දී රචනා කරනු ලබන Epiloque of my love නම් නවකතාවේ නිර්මාණ පසුබිම මේ තීරයට පාදක වේ.

මිනිහට හැමදා ම, හැම මොහොතෙම ප්‍රශ්නයක් තියෙනවා...

(“M”) :- හොඳයි! ඔබට බොහෝ ම ස්තූති යි, මං නැවත කතා කරන්නම්! ආයුබෝවන්!

(“G”) :- ආයුබෝවන්!

මේනකා දීර්ඝ සුසුමක් පිටකර කට කොනකට සිනහවක් නඟා ගත්තා ය. හැබෑවට ම ඇයට යම් වෙහෙසක් දැනෙන්නට විය. දෑස් පියාගත් ඈ කැරකෙන පුටුවේ ඒ - පැත්තට, මේ - පැත්තට පැද්දෙන්නට වූවා ය.

මේනකා ගේ මනරම් නාසය, දිගැටි මුහුණ හා පිරුණු දෑත් අනුරාගයේ කවි පෙළක් ලෙස කෙනකු දකින්නට පුළුවන. ඈ රෙඩ්ඩි එනතුරු බලා සිටී. ඔහු පැමිණ ඉතා දැඩි ලෙස තමා වැලඳගන්නා තුරු මේනකා බලා සිටී. එහෙත් ඔහු එන බවට ලකුණක් නැත. ආවත් තරයේ වැලඳගන්නා බවට කිසිදු සාධකයක් නැත.

ඈ යළිදු සිය ප්‍රබන්ධය වෙත යොමු වූවා ය. එහි වචන තිරයේ සටහන් වන්නට පටන් ගත්තේ ය.

“මට දැන් ඉතිරි ව ඇත්තේ කලිකිරීමක් හා වේදනාවක් පමණි. රෙඩ්ඩිගෙන් කිසිදු පණිවිඩයක් නැත. ඔහු හයිද්‍රාබාද් සිට බෙගම්පෙට් දක්වා ගිය ද මා අමතක කරයි. චිත්තූර් දක්වා ගිය ද මා අමතක කරයි. ඔහුට පෙම්වතියක් සිටින බව ද ඈ ඔහු ගැන බලාපොරොත්තුවෙන් සිටින බව ද ඔහුට අමතක වේ. පණිවිඩ හුවමාරුව මෙතරම් දියුණු යුගයක මා වෙනුවෙන් එක වචනයක් එවන්නට බැරි ඇයි? පරිගණකයකින් පහර දී ඔහු ගේ හිස පොඩිකර දැමීමට තරම් කෝපයක් වරෙක මසිතෙහි හට ගනී. එහෙත් රෙඩ්ඩි ගේ රුව දුටු සැණින් ඒ සිත පලා ගොස් ඔහු වෙනුවෙන් නැඟෙන කරුණාව පිටාර ගලන්නට පටන් ගනී.

“රෙඩ්ඩි කරුණාකර මා තේරුම් ගන්න, මගේ හැඟීම් - දැනිම් ඉදිරිපිට නියම මිනිසකු ලෙස හැසිරෙන්න!”

ඔහු මට අණ කරන්නේ නම්; කැමැත්තෙමි. කලාතුරෙකින් හෝ මට දොස් පවරන්නේ නම්; ඉඳ හිට කෝප වන්නේ නම්; මට ඔබ සාමාන්‍ය මිනිසකු ලෙස පිළිගත හැකි ය.

ගැහැනියක ඉදිරියේ ප්‍රතිචාර නො දක්වන තැනැත්තා පිරිමියෙක් ද? සාම්ප්‍රදායික ඉන්දියානුවෝ ගැහැනියට අනන්ත දුක් දෙති. පීඩනයට හසු කරති. තළා - පෙළා දමති. ඔහු ද සාම්ප්‍රදායික ඉන්දියානුවෙකි. එහෙත් කිසිදු හැඟීමක් නැති කබල් ඉන්දියානුවෙකි...”

මේනකා දෑත් දෙපසට විහිදුවා ඇඟ මැළි කඩා නැඟී සිටියා ය. ඇගේ නියම හැඩය වීදුරු බිත්තියෙහි ඇඳී තිබිණි. සුළු වේලාවක් ඒ දෙස බලා සිටි මේනකා ඉතා සියුම් ලෙස තම ඉඟටිය අත ගා බැලී ය. සුසිනිඳු - සියුම් ස්පර්ශයක මිහිර ඇගේ ගත පුරා දුවන්නට විය.

“මෝ-ඩ-යා!”

ඈ තමාට ම එසේ කියාගෙන යළි කැරකෙන පුටුව වෙත ගියා ය. මේ මොහොතේ ඇයට “G” ගෙන් පණිවිඩයක් ලැබේ.

(“G”) :- මට චෙකොව් ගේ කතාවක් සිහියට නැගිණි. ඔහු වරක් ලංකාවට ගියේ ය. එහි තලෙළු ගැහැනුන්ට හා ඔවුන් ගේ හැසිරීම් විලාසයට චෙකොව් වහ වැටී සිටියේ ය. ලෝකයේ ලස්සන ම ගැහැනුන් ලංකාවේ යැයි කීමට තරම් ඔහු ගේ සිත බොළඳ විය. සමාවෙන්න! මං ඔබ ගේ හැඩ දුටුවා.

ලොව සුන්දර ම කතුන් ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් හි සිටිතැ’යි කියන්නට මගේ සිත පෙලැඹී තිබේ. මං ඔබේ පෙම්වතා නම් ඔබ ළඟින් නො සෙල්වෙනු ඇත. ඔබ ගේ සිහින් - මෘදු ඉඟටිය නිතර මගේ සුරත හා ගැටෙනු ඇත. මේ-න-කා ඔබ හැබෑවට ම ආදරය දනවන සුන්දර තරුණියක්!...

(“M”) :- “ඔබ ගැහැනුන් මුළාවේ දමන, හොඳ පුරුදුකාරයෙක්. මම දැනට ම අනුන් ගේ බව හිතට ගත්තොත් හොඳයි!”

(“G”) :- ඔබට මං කලින් කිව්වා, ආදරය කියන්නෙ වචන. හොඳ ම වචන. හැඟීම් කඩා හැලෙන වචන. ඔබ ගේ ආදරයේ නිරූපණය වැරදියි. කෝ ඊර්ෂ්‍යාව? කෝ ආත්මාර්ථය? කෝ පළිගැනීම? ඊළඟ දසකයේ නවකතාව බිහිවන්නේ සංවාදවලින්! ඔබ ඒ ගැන හිතලත් නෑ!

(“M”) :- අනේ මන්දා! ඔබ මට රිදවන බවක් පෙනේ. ඔබ නපුරු ද? හුඟාක් නපුරු ද? රැවුළ වවල ද? උස - මහත ද?

(“G”) :- මේනකා! ඔබට පුළුවන් මාව තේරුම්ගන්න, මං ඔබට කැමැතියි. ඔබ වගේ ම මමත් අසරණයි.

මේනකා සිය දෑස මොනිටරයෙන් ඉවතට ගනී, ඈ උපැස් යුවළ ගලවා සාක්කුවෙහි ලා ගෙන දෑස් පියා ගත්තා ය. ඇය මහා පඹගාලක පැටලී සිටී.

මේ-න-කා යනුවෙන් අවධාරණයෙන් තමන් ඇමතූ එක ම පිරිමියා ඔහු ය. මේ ජර්මන්කාරයා ය. රෙඩ්ඩි සමඟ බලන විට ඔහු නියම පිරිමියෙකි. ඔහු කව් ද?

මේනකා නොම්මර කිහිපයක් දිගේ ගමන් කොට “ෆේස් බුක්” පෙරළා ගනී. ඈ එහි ජර්මන්කාරයා ගේ අංකය යතුරු පුවරුවෙන් සටහන් කරයි.

මොනිටරයක් පරිගණකයෙහි සටහන් වේ. එහි පහත සඳහන් විස්තර ඇතුළත් ය.

(A) :- නම මහාචාර්ය ගර්ත, නොම්මරය00234 XXX, (පරිගණක - රොබෝ)

(B) :- 2010 දී නිර්මාණය කරන ලදි. ප්‍රබන්ධ කථා විෂයයෙහි තොරතුරු සංගෘහිත ය. සීමාසහිත ස්වාධීන චින්තනයක් තිබේ.

(C) :- ඇසුරු කිරීම කල්පනාකාරී ව සිදු කළ යුතු ය.

මොනිකා මහත් කෝපයෙන් යුතු ව තම පරිගණකය නිවා දමයි. ඇගේ ප්‍රබන්ධයෙහි කොටසක් මැකී යන්නට ඇත. ජංගම දුරකථනය නාද වෙන්නට වූ අතර ඇය එය ද ක්‍රියා විරහිත කොට පරිගණක මේසය මත හිස තබා ගනී.

මදකින් සිහින් ඉකි බිඳුමක් අංක 14 කාමරයෙන් නිකුත් වෙන්නට පටන් ගනී.

සමාප්තයි