පොත් පුවත්
 

පොත් පුවත්

 


ගිරා සංදේශය

සම්පාදක :- ජයත් පියදසුන්
ප්‍රකාශනය :- එස්. ගොඩගේ සහෝදරයෝ
මිල :- රු. 125

සංස්කෘත කාව්‍යයේ ආභාසය ලබමින් සිංහල කාව්‍ය ක්‍ෂේත්‍රයේ අග්‍රගන්‍ය නිර්මාණ බවට පත්වූ සන්දේශ කාව්‍ය සිංහල භාෂාවේ විශිෂ්ටත්වය හා පරිපූර්ණත්වය ප්‍රකට කරමින් වැඩුණි. සම්භාව්‍ය සිංහල සන්දේශ කාව්‍ය සිංහලයට අනන්‍ය මඟක් ගනිමින් සංස්කෘත අලංකාර හා ආකෘති භාවිත කරමින් සිංහල කවියාගේ විශිෂ්ටත්වය කියා පෑවේය.

අනුරාධපුරයේ පුරාණ මයුර සන්දේශය ද ගම්පල යුගයේ තිසරය මයුර සන්දේශ ද්විත්වයෙන් පසු සාහිත හිතකාමි කාව්‍යලෝලි පාඨකයාට රසවත් හා පරිපූර්ණ සන්දේශ කාව්‍ය හමුවන්නේ කෝට්ටේ යුගයේදීය.

ඒ සන්දේශ කාව්‍ය සියල්ල පිළිබඳ විවරණයක යෙදෙමින් 2009 වසරේ සිට අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සඳහා නිර්දේශිත ගිරා සන්දේශය පිළිබඳ විවරණයක් කිරීමට සම්මානනීය යොවුන් නිර්මාණකරුවකු වන ජයත් පියදසුන් සමත්ව සිටී.

ගිරා සන්දේශකරුවාගේ අනන්‍යතාව, ගිරාවේ අලංකාර ගිරා සංදේශයේ එන විරිත් ආදිය පිළිබඳ හැඳින්වීමක් කරමින් පාසල් දරුවන්ගේ අධ්‍යනයට පහසුවන පරිදි ගිරා සංදේශයේ අනව්‍ය අර්ථ ගැටපද විස්තර, පාඨාන්තර සහිතව විවරණයක් කිරීමට සම්පාදකයා සමත් ව ඇත.
 


අහස් වියන

කර්තෘ :- ශාන්ත කුමාර විතාන
ප්‍රකාශනය :- කර්තෘ ප්‍රකාශනයකි
මිල :- රු. 280

සුන්දර අත්දැකීමක් වන ආදරය පාදක කොට ගනිමින් ලියැවී ඇති කවි එකතුවකි. නිදහස් ආරෙන් ලියැවී ඇති කවි, ලේඛකයාගේ නිදහස් සිතිවිලි පාඨක සිත මෙහෙයවයි. සෑම ප්‍රබන්ධයක් සඳහා ම සුන්දර ඡායාරූපයක් එක් කිරීමට කවියා සමත්ව තිබේ. සම්ප්‍රදායික කාව්‍ය කෘතියක දී පාඨකයාට විඳින්නට ලැබෙන ආස්වාදය ඉක්මවා යන අපූරු ආස්වාදයක් තිළිණ කිරීමට කවියා උත්සහ දරා ඇත.

කවියේ සොඳුරු බව එලෙසින් ම රඳවා තැබීමට සමත් වන සේ පිටු සැලසුම් කර තිබීම ග්‍රන්ථයේ විශේෂත්වයයි. බිඳුණු ආදරය, ආදරයේ සොඳුරු බව හා චමත්කාරය පිළිබඳ ලියැවුණු කවි යෞවන හදවත්හි ප්‍රේමයේ මිහිරියාව දැනවීමට සමත්ය. කාව්‍ය ග්‍රන්ථය කියවගෙන යද්දී ‘ශකුවි’ ගේ ආදර ගී පද අසා සිටින්නේ මදනල පමණක් නොව පාඨක සහෘදයා ද ඔහු හා එකට ආදර ගී කියන බව කිව යුතුය.
 


අතර මඟ

කර්තෘ :- ගුණදාස අමරසේකර
ප්‍රකාශනය :- විසිදුනු ප්‍රකාශනයකි
මිල :- රු. 350

යුගයක් පිළිබිඹු කරන කතා පෙළක අටවැන්නයි. ගුණදාස අමරසේකරගේ නිර්මාණ රටාවේ සියුම් වෙනස්කම් හඳුනා ගැනීමට මේ නිර්මාණ පෙළ පරිශීලනයෙන් හැකියාව ලැබේ. ශ්‍රී ලාංකික මධ්‍යම පාන්තික ජන සමාජයේ වෙනස්වීම ඇඟැවීමට රචිත ‘ගමනක මුල’ නවකතාවෙන් ආරම්භ කළ නිර්මාණ එකතුව රට මුහුණ දෙන ජාතිවාදි අරගලය, ඒ සඳහා මධ්‍යම පාන්තික ජනතාව මුහුණ දෙන ආකාරය පිළිබඳ තේමාව කරගෙන ලියැවිණි.

අනතුරුව 77 සමාජ දේශපාලන පෙරලිය හා සෝවියට් සමාජවාදී අධිරාජ්‍ය බිඳ වැටීම ඔස්සේ ආ ගමන් මඟ වෙනස් කරමින් “අතරමඟ” නව නිර්මාණය නව ගමන් මඟක් ඔස්සේ දිව යන අයුරු දැකගත හැකිය. මෙතෙක් ඉදිරියට ආ දේශපාලන, සමාජීය තේමාව වෙනස් වෙමින් නිර්මාණයට මානුෂීය අගයක් එක් කිරීමට ගුණදාස අමරසේකර සමත් වී ඇත. “අතරමඟ” ගුණදාස අමරසේකරයන් ගේ නිර්මාණ කාර්යයේ නව සන්ධිස්ථානයක් වනු ඇත.