ආඳාරදෙණියේ රීරියකා
 

ආඳාරදෙණියේ රීරියකා

 

ඒ 1910 වසරයි.

තාත්තා බලංගොඩ මාදොළ මහගෙදරින් පැන ඇවිත් දෙනියායේ ආඳාරදෙණිය ප්‍රදේශයේ තේ වත්තක බංගලාවක නැවතුණ බව කියා ඇත. ඒ වන විට තාත්තාගේ වයස අවුරුදු 17 ක් පමණ වන්නට ඇත.

මහගෙදරින් පැන යන්නට හේතුව හෝ මෙපමණ දුර ආවේ කෙසේද යන්න හෝ තාත්තා ආඳාරදෙණිය ට කැටුව ආයේ කවුරුන්ද යන වග හෝ අප සමඟ කිසි දිනෙක පවසා තිබුණේ නැත.

එවකට මේ විශාල වත්ත අයිති ව තිබුණේ දකුණු පළාතේ ප්‍රභූවරයකු මෙන් ම ධනපතියකු වූ විජේසුන්දර නැමැති මහතෙකුට ය. ඔහු ආරෝහ පරිණාහ සම්පත්තියෙන් යුක්ත ය. කාල වර්ණ ය. රැලි ගැසුණු හිසකෙස් ය. කරකවා ඇති උඩු රැවුල ඔහුට ගාම්බීර පෙනුමක් ලබා දුන්නේ ය. ඔහුගේ ජීවන රටාව සුද්දන්ගේ මෙනි. බැහැර යන විට යුරෝපීය ඇඳුමින් සැරසෙයි. වත්තේ ගමන් බිමන්වලට අශ්වයෙක් ඇත. බාහිර ගමන් සඳහා ඔස්ටින් වර්ගයේ මෝටර් රථයක් තිබේ.

වත්තේ සේවකයන් සහ ගම්මු විජේසුන්දර මහතා හඳුන්වන්නේ “හාමු මහත්තයා” කියා ය. මුහුණට කියන්නේ “හාමුදුරුවෝ” කියා ය. දකුණු පළාතේ ඔහු සතු ව ප්‍රධාන පෙළේ ප්‍රවාහන සේවාවක් ඇත. ලොරිවලින් සමන්විත මෙම සේවාවෙන් වැඩි වශයෙන් කෙරෙන්නේ ප්‍රදේශයේ ඇති වතුවල භාණ්ඩ ප්‍රවාහනය කිරීම ය. විජේසුන්දර මහතාගේ තේ කර්මාන්ත ශාලාවේ නිපදවන තේ පෙට්ටි සතියකට වරක් කොළඹ තේ වෙන්දේසි සමාගම්වලට යවනු ලබයි.

ඔහු සතියකට වරක් ගාල්ලේ පිහිටා ඇති ලොරි සේවයෙන් ගරාජය පරීක්ෂා කර වත්ත සමඟ සම්බන්ධකම් ඇති කොළඹ පිහිටි සමාගම් වලට ගොස් ඒම සිරිතකි.

බංගලාවේ සේවය සඳහා හය දෙනෙකුගෙන් යුක්ත සේවක පිරිසක් විය. වත්ත සතු තේ කර්මාන්ත ශාලාවත්, වත්තේ කඩයත් බංගලාවට පෙනෙන දුරින් පිහිටා ඇත. හාමු මහතා වත්තේ සිටින දිනවල දිනපතාම පාහේ තේ කම්හලේ වැඩ පරීක්ෂා කිරීමට යාම සිරිතකි. නමුත් කඩයේ වැඩ ඔහුගේ දිනපතා පරීක්ෂාවට භාජනය නොවේ. ඒ කඩයේ ලොකුවට අත්පිට මුදලට බඩු විකිණීමක් නොකෙරෙන හෙයිනි. වත්තේ කම්කරුවන් කඩෙන් බඩු ගන්නේ ණයට ය. කම්කරුවන් කඩයෙන් ගන්නා බඩු සඳහා එක් එක් කම්කරුවාගෙන් අය විය යුතු මුදල් පිළිබඳ ලැයිස්තුවක් සකසා මසකට වරක් පඩි දාට පෙර කඩය භාර කරෝලිස් විසින් වත්තේ සුපිරින්ටෙන්ඩන්ට්වරයා වෙත යැවිය යුතු වෙයි.

කරෝලිස් සතියකට වරක් කඩේ එකතු වෙන මුදල් බංගලාවට භාර දිය යුතු ය. සුපිරින්ටෙන්ඩන්ට්වරයා විසින් පඩි ලේඛනය මඟින් අය කර ගන්නා මුදල් ලැයිස්තු සමඟ කරෝලිස් වෙත ලැබීමෙන් පසු කරෝලිස් එම මුදල් සහ ලැයිස්තු ද වලව්වේ හාමුට භාර දිය යුතු ය.

තාත්තාට ලැබුණේ බංගලාවේ “බෝයි” තනතුර ය. තනතුරට අදාළ ප්‍රධාන කාර්යය වූයේ හාමු මහතා, වලව්වේ හාමු, සහ බේබිලාගේ උදේ, දවල් සහ රාත්‍රී කෑම මේස සහ තේ මේස පිළියෙල කිරීමය. මීට අමතරව රාත්‍රී 7.00 ට හාමු මහතා වාඩි වී සිටින ඉස්තෝප්පුවේ සැටි පුටුව ළඟ ටීපෝවක් තබා ඒ මත විස්කි ඩිකැන්ටරය, සෝඩා, වීදුරු ආදිය තැබිය යුතුය.

“බෝයි” වැඩේ නිරත වන විට තාත්තා විශේෂ ඇඳුමක් ඇඳිය යුතු විය. සුදු සරමක් සහ ටසෝරි රෙද්දෙන් මැසූ, කර වැසූ, බොත්තම් ඇල්ලූ කබායක් මෙම ඇඳුම් කට්ටලයට අයත් විය. කෑම මේසය තබන විට සුදු තොප්පියක් ඇඳ සිටිය යුතු විය. තාත්තාට සෑහෙන සිංහල සහ ඉංගි‍්‍රසි දැනුමක් තිබුණු නිසා කල් යත් යත්ම තාත්තාගේ රාජකාරීන් සංකීර්ණ විය.

බංගලාවේ මුළුතැන්ගෙට අවශ්‍ය දෑ ගෙන ඒම, තැපැල් කටයුතු සඳහා දෙනියායට යාම, බංගලාවේ සේවකයන්ගේ චෙක්රෝල් ලකුණු කිරීම, කඩයේ ආදායම් පරීක්ෂා කිරීම ආදිය මෙයට ඇතුළත් විය.

විජේසුන්දර මහතාට ගාල්ලේ හෝ කොළඹ හෝ පදිංචි වී සිටිමින් තම ව්‍යාපාරික කටයුතු කරගෙන යාමට ඕනෑ තරම් අවකාශය තිබුණත් ඔහු ආධාරදෙනියේ වාසයට ලොකු කැමැත්තක් දැක්වීය. නගරයක ඇති පහසුකම් මෙහි නැති වුණත් හාමු මහතා සොබාදහමේ දායාදයන්ගෙන් අනූන මෙම වටාපිටාවේ ජීවත් වීමට අභිරුචියක් දැක්වීය.

දිනක් හාමු මහතා රාත්‍රී ඉස්තෝප්පුවේ වාඩිවී මධුවිත තොලගාමින් සිටින විට කරෝලිස් ආවේ ය.

“මොකද කරෝලිස් උඹ මේ වෙලාවේ?”

“මං ආවේ හාමුදුරුවෝ හම්බ වෙන්නයි.”

“ඇයි? ඒ...”

“හාමුදුරුවන්ට කියන්ට, මට දැන් වයසයි. ඇස් පෙනීමත් දුර්වලයි. ලෙඩදුක් වැඩියි. ඒ නිසා කඩේ බඩු දෙන්නයි ගණන් හිලව් ලියන්නයි පෙනීම මදි. ඒ නිසා ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ මං කඩේ වැඩෙන් නිදහස් කොරන්නයි කියලා.”

“උඹට යන්න ඕන නම් මම උඹට ඉන්න කියලා බල කරන්නේ නැහැ. උඹ ඉතා අවංකව කඩේ බලාගත්තා. උඹට වත්තෙ වෙන මොනවා හරි වැඩ කරන්න පුළුවන්නම් කියාපන්. කොහොම උණත් මේ මාසේ අන්තිම දවසෙ කඩේ බඩු දෙන්නෙ නෑ කියලා දැනුම් දීමක් කරපන්. එදා දවස තුළ කඩේ තියන ඔක්කොම බඩු මේ ජුවානිස්ට භාර දීපන්. මම ජුවානිස්ට කියන්නම් කඩේ භාර ගන්න කියලා.”

“හොඳමයි හාමුදුරුවනේ මට දැන් ඇඟ වෙහෙසලා වැඩක් පලක් කරන්න ශරීර හත්තියක් නෑ. ඒක හින්දා පුළුවන්නම් මගේ සමලිස් කොලුවට වත්තෙ මොකක්හරි වැඩක් දෙන්න.”

“කම්කරු වැඩක් දෙන්න උඹේ කොලුවා තවම ළාබාල වැඩියි. අනික නීතියටත් විරුද්ධයි. ඒක නිසා මං උඹේ කොලුවට ජුවානිස්ගෙ උදව්වට කඩේ වැඩට දානවා. මං කොලුවට හොඳ පඩියක් දෙන්නම්.”

මේ අන්දමින් තාත්තා ‘බෝයි’ වැඩෙන් වත්තේ කඩේ ලියන මහත්තයා වුණා. කරෝලිස්ගෙ සමලිස් කොලුවා තාත්තාගේ උදව්වට ආවා.

ඔහු දිනපතා ඔහුගේ ගෙදර සිට ඇවිත් කඩේ අවට අතුපතුගා කඩයේ ඇතුළත් පිරිසිදු කර, කඩ බක්කි නිසි පරිදි සකස් කර, තරාදි පඩි පිසදා පවිත්‍ර කර හාල් ගෝනි, පිටි ගෝනි ආදිය සකස් කළ යුතුය. තාත්තටත් සමලිස්ටත් දවල් ආහාර වේල බංගලාවෙන් සැපයේ. ඒ සඳහා සෙට් එකක් (ලන්ච් කැරියර්) පාවිච්චියට ගනු ලබයි. මේ සෙට් එකට ඉබ්බෙක් දමනු ලැබේ.

ඉබ්බාගේ එක් යතුරක් බංගලාවේ ඇති අතර අනික තාත්තාගේ යතුරු කැරැල්ලේ විය. නියමය අනුව සමලිස් සෙට් එක දවල් දොළහ වන විට බංගලාවට ගෙන යා යුතුය. සෙට් එක සූදානම් කර ඉබ්බා දමා දුන් පසු සමලිස් සෙට් එක රැගෙන කෙටි පාරකින් කඩයට පැමිණෙයි.

බංගලාවේ සිට කඩයට යා හැකි වත්තේ තාර දැමු පාර දුර බැවින් සමලිස් බංගලාවේ ඉදිරි පිට ඇති ගල් පඩි ඇල්ලු නෙත්ති කාණුව දිගේ පහළට බැස වත්ත අයිනේ ගමට ඇති පාර දිගේ ගොස්, හය මාසයකට පෙර මුත්තා වැළලූ ගමේ සොහොන් පිටිය පසුකර ගොස් නැවත කඩය ඉදිරියෙන් පටන් ගන්නා නෙත්ති කාණුව දිගේ ගොස් කඩයට ගොඩ වෙයි.

දෛවෝපගත දිනය එළඹියේ ය. දිනය ඉරිදාවකි. කර්මාන්ත ශාලාවෙ නිපදවන තේ පෙට්ටි ප්‍රවාහනය කිරීම පිණිස ගාල්ලේ මාගාල්ලේ ගරාජයෙන් පිටත්වූ ලොරිය පැදවූයේ නාරායන් ය. ඔහු අඩි පහමාරක් පමණ උස සිහින් සිරුරකින් යුත් මනාව වැඩුණු, ඇහිබැම සහ කණේ මවිල් ඇති අයෙකි. ඔහු පළපුරුදු රියදුරෙකි.

ලොරියේ සහකරු වූයේ ගිමාරිස් ය. වත්තේ කඩයට අවශ්‍ය වෙළෙඳ භාණ්ඩ, තේ කම්හලට අවශ්‍ය භාණ්ඩ හා බංගලාවට ගෙන ආ යුතු භාණ්ඩ පළමුව ලොරියට පැටවේ.

මෙදින ලොරිය දහවල් 11.30 ට පමණ පැමිණ කඩයේ මිදුලේ නැවැත්වූ නාරායන් කඩයට ගෙන බඩුවල බිල්පත් තාත්තාට භාරදී කඩයේ පඩියේ වාඩි විය. සමලිස් සෙට් එක (ලන්ච් කැරියර්) අරගෙන පී‍්‍රතියෙන් ලොරිය දිහා බලමින් වටේ කැරකී නෙත්ති කාණුව දිගේ බංගලාව බලා දිව ගියේය.

තාත්තා කොන්දොස්තරට පණිවිඩයක් යවා කම්කරුවන් දෙදෙනෙකු ගෙන්වාගෙන ගිමාරිස්ගේ සහාය ඇතිව ලොරියේ බඩු බෑම ආරම්භ කළේය.

තාත්තා ලොරියේ පිටුපස දොරේ දම්වැල අල්ලාගෙන බිල්පත් වමතින් ගෙන බාන බඩු නිවැරදි දැයි පරීක්ෂා කරමින් සිටියේය. සමලිස් ආ යුතු වේලාව පසුවී ඇති බැවින් තාත්තා වරින් වර නෙත්ති කාණුව දෙස බලමින් සිටියේය.

හිටි අඩියේ සමලිස්ගේ විලාපය පහළින් ඇසෙන්නට විය. “බුදු අම්මෝ මාව බේරා ගනියෝ” කවුරුත් ගැස්සී එදෙස බලා සිටින අතර සමලිස් ඉරුණු ඇඳුම් සහිතව අත්දෙකේ සහ පපුවේ ලේ ගලන සීරිම් තුවාල සහිතව ගාටා ගාටා විලාප නගමින් පැමිණ සෙට් එක සමඟ “අනේ ලියන මහත්තයෝ” යි කියමින් තාත්තාගේ පාමුල සිහිසුන්ව ඇද වැටිණ.

තාත්තා එතන සිටි අයගේ උදව් ඇතිව සමලිස් ඔසවාගෙන ගොස් කඩේ පිටුපස කාමරයේ තිබු ඇඳේ හොවා ලීය. මුහුණට වතුර ඉස බය ඇරීම පිණිස ඇඟට තට්ටු කරන ලෙස තාත්තා එතැන සිටි අයකුට කීවේය. ටික වේලාවකින් සමලිස් ඇස් ඇර බලා යළි නිද්‍රාවට වැටුණේය. වචනයක්වත් කතා කළේ නැත.

බංගලාවේ වැරැන්ඩෑවේ හාන්සි පුටුවේ සිටි හාමු මහත්තයා කඩය ළඟ කලබලය දැක “රාමන් මගේ අශ්වයා අරන් වරෙන්” කියා අශ්වයා ගෙනා පසු අසුපිටට පැන නැගී,

“හාමුට කියපන් මම කඩේ ළඟට ගියා කියලා” පවසා කඩය බලා අසු එලවාලීය. කඩේ ළඟ බැස ගත් හාමු මහතා

“මෙතන මොකක්ද කලබලේ? මොකක්ද වුණේ? කෝ? ජුවානිස්”

“හාමුදුරුවනේ බංගලාවේ ඉඳලා එද්දි සමලිස්ට මඟදි යකෙක් ගහලා.”

“යකෙක් ගහලා? කෝ... දැන් කොලුවා?”

“හාමුදුරුවනේ... කඩේ පිටිපස්සෙ කාමරේ ඇඳේ.”

“බලා ඉන්න එපා. නාරායන් ගිහිල්ලා බටේයායේ බබච්චියා එක්ක වරෙන්. ඒ මිනිහගේ ගේ දන්න කෙනෙක් එක්ක පලයන්.”

“හාමුදුරුවනේ ලොරියේ බඩු බාලා යිවර නේ තවම”

“බඩු බබා ඉන්න වෙලාවක් නැහැ මිනිහො. කොල්ලට තවම හරි සිහියක් නැහැ. ඉක්මනින් ගිහින් වරෙන්. අද ජේමිස් වැඩට ඇවිත් නැහැ. ආවනම් කාරෙක යවන්න තිබුණා.”

නාරායන් ලොරිය හරවාගෙන බබාච්චියා ගුරුන්නාන්සෙගෙ ගේ දන්නා වත්තේ කම්කරුවෙක් සමඟ පිටත් විය. නාරායන් යන විට බබාච්චියා පැදුරක් මත වාඩි වී නූල් වල කහ ගාමින් සිට පුදුමයෙන් ලොරිය දෙස බැලීය.

ඔහු ලොකු බඩක් ඇති, උඩු ඇන්දේ නළ දත් දෙක හැර මැද දත් නැති, කාලවර්ණ සිරුරක් ඇති මනාසේ වැඩුණු ඇහි බැම හකුළුවා බලන මිටි මනුස්සයෙකි. ළමයෙක් ඔහු දුටුවොත් යකෙක් යයි සිතනවා නො අනුමානයි. ලොරිය දෙස බලා සිට පැදුරෙන් නැගිට එළියට ආවේය.

“අන්න හාමු මාතියා කීවා ගුරුන්නාන්සෙ යෙක්ක යෙන්න කියලා.”

“ඒ මොටෑ”

“කඩේ කොලුවට සමලිස්ට යකෙක් ගහලා. සිහිය නේ.”

“කීයට විතරද වෙලා තියෙන්නේ?”

“දෙන් විනාඩි විස්සකට යිස්සර වෙලා”

බබච්චිය ඉර දිහාව බලලා ගෙට ගොස් මොනවාදෝ ඉනේ ඔතාගෙන ගෙයින් එළියට එන ගමන් ගේ තුළට ඔලුව දමා “මේ ඇහුණද... මං යනවා හාමු මහත්තයාගේ පණිවුඩේකට” රෙදි වැලෙන් ඇඳගත් තුවායක් කරේ දමාගෙන “හරි යං” කීය.

මේ වන විට නාරායන් ලොරිය හරවාගෙන ඇවිත් සිටියා. ගුරුන්නාන්සේ නග්ගවාගෙන නාරායන් ඉක්මණට ආපසු කඩේ ළඟට ආවා. ලොරියෙන් බැසගත් ගුරුන්නාන්සේ

“කෝ ආතුරයා” ඇසීය.

එතැන සිටි අය ඔහු ලෙඩා සිටි තැනට එක්ක ගියේය. ලෙඩා අසල වාඩි වී සිටි හාමු මහත්තයා දුටු බබාච්චියා “හාමුදුරුවනේ” කියා කරේ තිබුණු සාලුව අතට ගත්තේය.

ගුරුන්නාන්සෙ ලෙඩාගෙ ශරීරයේ තිබුණු සීරීම් තුවාල පරීක්ෂා කර බැලුවේය. අත් දෙකේ සහ පපුවේ සිරීම් තුවාල බලා හිස සලා “පීරිසියක් ගේන්න” කීවේ ඉනේ දවටාගෙන ආ කුප්පියක් සහ කෙසෙල් කොළයක දවටා තිබුණු කහ නූලක් එළියට ගනිමිනි. කුප්පියෙහි තිබු තෙල් පීරිසියට වත්කර ඇඟිලිවලට ගෙන සමලිස් ගේ නළලෙහි ගාන ගමන් මැතිරිල්ල පටන් ගත්තේ ය.

ටික වේලාවක් මතුරන විට සමලිස් පුදුමයෙන් මෙන් ඇස් හැර බැලුවේය. බබාච්චියා ගුරුන්නාන්සේ මැතිරීමේ වේගය වැඩි කළෙයේ. ඒ සමඟ ඉනෙන් ගත් නූලක තවත් කහ කෑල්ලක් අතුල්ලා සමලිස්ගේ ගෙලේ බැන්දේ ය. කුප්පියේ මැතිරූ තෙල් සෑම සීරීම් තුවාලයකම ගෑවේය.

“දැන් බය වෙන්න දෙයක් නෑ... මේ තුවාල වලට බේත් දාන්න යන්න එපා. පැසවන්න පුළුවන්. මේ මතුරපු තෙල්... මේවටම හොඳ වේවි. වෙන බෙහෙතක් ඕනෙ නැහැ. තුවාල වේලෙනකම් නාන්න දෙන්න එපා... තවත් එකක්, යකා ළමයාගෙ ලේ රහ බලලා තියෙන නිසා, ළමයා ආරක්ෂා කරන්න වේවි.”

ටික වේලාවකින් සමලිස් ඇස් ඇර අවට සිටි සියල්ලන්ගේම මුහුණු බැලීය.

“පුතේ... උඹට දැන් හොඳද? උඹට මොකද වුණේ කියාපන්” කරෝලිස් තම පුතා ගෙන් ඇසීය.

සමලිස් ආයාසයෙන් මෙසේ පැවසීය.

“තාත්තේ මං පහළ පාරේ ආවේ. පාරේ ගල්මුල් නිසා මම බිම බලාගෙන ආවේ. සොහොන් පිටිය ළඟට ඇවිත් මුත්තාගේ සොහොන දිහා බලනකොට මම දැක්කා මුත්තා වෙවුල වෙවුලා මා දිහාවට එනවා. මං බයේ ගල් ගැහුණා. මට දුවගන්න බැරිවුණා. මුත්තා ළඟට ඇවිත් කිව්වා.

“අනේ පුතේ මට හරි බඩගිනියි. දවස් ගණනකින් කන්න ලැබුණෙ නැහැ. අනේ ඔය යටම තියෙන සැට් කෝප්පයේ තියෙන කරවල කෑලි දෙක දීපන්” කියලා.

“මුත්තේ මේකෙ තියන ඒව දෙන්න බැහැ. මේක ගෙනියන්නේ ලියන මහත්තයාට” ඒ සැරේ මුත්තා මගේ අත මිරිකලා අල්ලගෙන “දීපං යකෝ...” කියාගෙන සැට් එක උදුරාගන්න හැදුවා.

ඒ වෙලාවෙ එක පාරටම මුත්තා යකෙක් වෙලා මගේ අතින් සෙට් එක ගන්න පොර ඇල්ලුවා. ඒ අත්වල දිග කළු මවිල් තිබුණා. නළ දත් එළියට නෙරා තිබුණා. ඇස් දෙක ගොරකා ලොඬි දෙකක් වගේ එළියට ඇවිත් තිබුණා. ඇඟිලිවල දිග නියපොතු තිබුණා. ඒ නියපොතුවලට මගේ පපුව හීරුනා.

ඊට පස්සෙ මොකක් වුණාද දන්නේ නැහැ. ටික වේලාවකට පස්සෙ මට සිහිය ආවා. හෙමින් වටපිට බැලුවා. මුත්තවත් යකාවත් පේන්න හිටියෙ නැහැ. සෙට් එක බිම වැටී තිබුණා.

මම ඒක අහුලාගෙන පස්ස නොබලාම දිව්වා. ලියන මහත්තයා ළඟ වැටුණා මතකයි. ඊට පස්සෙ මට මොකුත් මතක නැහැ.

“ඔය සැට් එක ඇරලා දෙන්න” කී ගුරුන්නාන්සේ එක එක සැට් කෝප්පයේ වෑංජන අතට ගෙන යළි සැට් කෝප්පයට දැම්මා. ඒ වෑංජන් සියල්ලම නානු වී තිබුණා. අන්තිමට යටම කෝප්පයේ බතුත් පරීක්ෂා කර බැලුවා එයත් නානු වී තිබුණා.

බත් අතර ඔබා තිබූ බැදපු කරවල කෑලි අතුරුදහන් වී තිබුණි.

“රීරි යකා බබාච්චිය ගුරුන්නාන්සේගේ මුවින් ඉබේ පිටවිය.