කුමන අරුම ද නරකෙසක් නැඟිලා!
 

කුමන අරුම ද නරකෙසක් නැඟිලා!

 

පෙර සිට ම තමාට හුරු පුරුදු අවන්හල වෙත සිය සොඳුරිය ද සමඟ පැමිණ සිටින කථකයාට කොළොම්තොට දර්ශනය වෙයි. (කොළොම්තොට යනු මුහුදුතොට, නැව්තොට හෙවත් වරාය යන අරුත මූලික කොටගත් සමස්ත කොළඹ නගරය ම අඟවන වදනකි.) කොළොම්තොට නුදුරින් පෙනෙන මේ මොහොතේ එය මහලු වී නැතැ යි කථකයාට සිතෙයි.

පෙර තුරුණු වියෙහි දුටු කොළොම්තොටෙහි වියපත්වීමක් හෙතෙම නො දකී. ගෙවුණු යටගියාවෙහි ඇය හා වරින් වර පැමිණ ගතකළ මේ අවන්හල පවා පැරැණි වී නැති සෙයක් තත් ක්ෂණයෙහි ඔහුට හැඟෙයි. කාලයා ගේ බලපෑමෙන් එහෙම පිටින් වෙනස් වී නැත ද අවන්හල නව මුහුණුවර ගෙන සිටියි.

එදා නැව්තොටට ඉහළින් මහත් ආකාශය අරා දිලි සඳ අද ද පෙර සේ ම ය. එය ද කථකයාට ගෝචර වනුයේ තවමත් යෞවන භාවයෙන් යුත් සඳක් සේ ය. තමා දකින මේ සියල්ලෙහි දුක්බරිත බවක, වියවුලක, පසුතැවීමක ලකුණු ඔහුට නො පෙනෙයි. මේ සැඳෑවෙහි මුළු මහත් පැවැත්ම ම රංගනයක යෙදෙමින් ප්‍රමෝදය පළකරනු වැන්න. මේ මොහොතේ තමා කෙරෙන් පරිබාහිර පැවැත්මේ ඉතා ලිහිල් සැහැල්ලු චලනයක් අවන්හල් කවුළුවෙන් අවලෝකනය කරන කථකයා තුළ නැඟෙන්නේ ‘එහෙත් අප දෙන්නා’ යන පැනයයි.

අප සියල්ලනට මෙන් ම කථකයාට ද තමා දන්නා හඳුනන තමා ඇසුරෙහි පවතින ජීව අජීව සියල්ල කාලයෙන් පැන නැඟුණු ඒවා ය. අපි මේ මහා කාල ප්‍රවාහයට හසු වූවෝ වෙමු. ලෞකික ජීවිතයෙහි කුදු මහත් සියල්ලෙහි පැවත්ම අපි තෛ‍්‍රකාලික ලෙස වටහා ගමු; අර්ථකථනය කරමු. ඒ අර්ථකථනයෙහි ගොදුරු බවට ද අපි සියල්ලෝ පත් වී සිටිමු.
 
කොළොම්තොට නැත මහලු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳ ම යි අදත් යෞවනයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ

කුඹ ගසක් උඩ නැවතිලා
සිනා සලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ
පාට වත්සුනු දෙකොපුලෙන් පිස දා

පෙරුම් පුරමින් හමු වෙලා
උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ
කුමන අරුම ද නර කෙසක් නැඟිලා!

කථකයා මෙකී කාල සංඥාවෙන් පැන නැඟුණු සිතිවිලි මඟින් කොළොම්තොට ද, අවන්හල ද, සඳ ද, තමා ද, තම සොඳුරිය ද තුලනය කරයි. කාලයා ගේ ප්‍රබල ම බලපෑමෙහි තතු බෙහෙවින් සලකුණු වී ඇත්තේ තමා හා තම පෙම්බරිය කෙරෙහි බව හේ් සිය අබිමුවැ වන කැටපතෙහි දකියි. අනතුරු ව කැටපත දෙස බලන මෙන් හෙතෙම සිය ප්‍රියාවට පවසයි.

පණ්ඩිත් අමරදේවයන්

තුරුණු වියෙහි සිට ම පෙම්වතුන් ව සිටි යුවළක්, ඔවුනට පෙර සුපුරුදු අවන්හලට පැමිණ සිටින මේ මොහොත ඔවුන් ගේ වියපත් භාවයේ මොහොත බව මේ පබැඳුමෙහි වන සියුම් ඇඟැවුමකි. මෙතෙක් දෙදෙන ඒ පිළිබඳ දැනුම්වත් වීමක පසු නො වූ හ. මෙතෙක් ඒ හා සමඟ ජීවත් වුව ද ඔව්හු ඒ බවක් දැන නො සිටිය හ.

’එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ’

කැටපතෙහි පෙනෙනුයේ එදා උතුරා යන තරම් රූ සපුවෙන් යුතු ව පැවැති ස්වකීය පිළිබිඹු නො වේ.

නැව්තොටෙහි නැංගුරම් ලූ නැවක කුඹගස අහසෙහි නැඟ සිටිනුද, ඒ කුඹගස උඩ නතර වී සරදම් සිනා නංවන සඳ ද කථකයා දකියි. දෙදෙන ගෙවා ලූ යටගියාවෙහි තතු දත් නිහඬ සාක්ෂ්‍යකරුවා වනුයේ සඳ ය. අද ඔව්හු ජරපත්භාවයෙහි මුවදොර වෙසෙති. එදා මෙදා තුර තතු හැඳිනි බැවින් ද සඳේ මේ සරදම් සිනා? කථකයා යළි සිය සොඳුරිය අමතා පාට වත්සුණු දෙකොපුල් මතින් පිස හැර කැටපත දෙස බලන්නැ යි කියයි. කාලයා ගේ ස්පර්ශයෙන් වියපත් බව කරා හෙළුණු වත මඬලෙහි සැබෑ ස්වරූපය මනා ව දැකිය හැක්කේ එවිට ය.

ගීතයේ අවසන් භාගය විමසන කල හැඟෙනුයේ, දෙදෙන සිය තාරුණ්‍යයේ සිට ම පෙරුම් පිරීම් බඳු දුෂ්කර තත්ත්වයන් ඇසුරෙහි ලොවට රහසේ හමුවෙමින් පෙම් බැඳි බවකි. එහෙත් අවසන අප සියල්ලන් මුහුණ දිය යුතු ම වන ධර්මතාවට තම සොඳුරිය ද අවනත වී ඇති බව කථකයාට හැඟෙයි. කල වයස ගතවීම පිළිබඳ කම්පාව හෝ සංවේගයක් ගීතය ඇසුරෙහි නො නැෙඟයි. ‘කුමන අරුම ද නරකෙසක් නැඟිලා’ යනුවෙන් මෙහි දී වයස්ගතවීම පිළිබඳ ඉඟිකාරක උක්තියක් අපට හමුවෙයි. ‘අරුම’ යන වදනෙහි ආශ්චර්යවත්, විශේෂ, හිඟ, දුර්ලභ යනාදී අරුත් ද වෙයි.

උනුන් රහසේ බැඳි පෙමෙහි ආශ්චර්යය පළ කරමින් නැඟුණු නරකෙසකි මේ. ප්‍රේමයේ සුන්දරත්වය හමුවේ ජරා, ව්‍යාධි, මරණ යනාදී ධර්මතා පිළිබඳ කතා කිරීම පවා අපි මඟහරිමු. ඒවා ප්‍රේමයේ සෞන්දර්යය හා සමඟ කිසි සේත් සම නො වේ ය යන්න බොහෝ දෙන අදහති. එහෙත් යෞවන විය, තාරුණ්‍යය හා සමඟ හැම කල්හි ම පවත්නා තතුවකි මහලු විය. ආදරයෙහි පවත්නා සුන්දරත්වයට හේතු වන්නේ ද මේ වියපත්වීමේ ධර්මතාව ම නො වේ ද? මිනිසා සදාකාලික පැවැත්මක වී නම් ආදරය, අනුරතිය යන සියල්ල මෙතරම් සුවයක් දනවා ද? අප නොසැලැකුව ද ආදරය හා මහලු විය නිතර සම්මුඛ ව පවත්නේ වෙයි. ඒ දෙදෙනාම වෙන් කොට සැලැකීම මහත් වේදනාවට කරුණු වෙයි.

ලූෂන් බුලත්සිංහල

ගීතයේ කථකයාට සිය ප්‍රියාව ගේ හිසෙහි නැඟි නරකෙස අරුමයකි. මේ ආශ්චර්යය ඔවුන් මේ තාක් ගෙවා ආ ප්‍රේමණීය සමය පුරා බලාපොරොත්තු නොවූවකි. එහෙත් එය සිදුවී ඇත. නරකෙස දැකීමෙන්, වත්සුණු පිස හළ ඇය ගේ වත මඬල දැකීමෙන් කථකයා ගේ සිත්හි ඇති වන වේදනාව හෝ කම්පාව ප්‍රකට ලෙස ඇඟැවීම ගීත නිබන්ධක ලූෂන් බුලත්සිංහල ගේ අපේක්ෂාව නො වේ.

මේ පොදු සාධාරණ තත්ත්වය අකම්පිත ව ඉවසන කථකයකු මෙහි දී අපට හමුවෙයි. සුන්දරත්වය, ප්‍රේමය, ආදරය, රූපකායය යනාදී සියල්ල විපරිණාම වීම යනු ඒවා කාලය හා අත්‍යන්ත බැඳීමක පවත්නා බවය. එ සේ කාලය හා බැඳී පවත්නා සියල්ල අවසන සිය කෙටි සෞන්දර්යය නිමා කොට අභාවය කරා යේ. රූසපුවෙන්, කායික හා මානසික උත්කර්ෂයෙන් යුතු දෙදෙනකු කරා වුව ද අවසන එළැඹෙන්නේ මේ අභාවයා ගේ නියාමය අඟවන වියපත් වීමේ ලකුණු යි.

ගීත ප්‍රබන්ධකයා යම් මතවාදයක හෝ දෘෂ්ටියක නියෝජිතයකු ලෙස පෙනී සිටීමක් මෙහි දැක්ක නො හේ. මෙමඟින් ලූෂන් බුලත්සිංහල රචකයාණෝ ප්‍රේමය වැනි සාධාරණ ජීවන සබඳතාවන් හමුවේ අවසන ජීවිතයා මුහුණ දෙන තතුව අතිශය සංක්ෂිප්ත ඇඟැවීමක් සේ අප වෙත පතිත කරති. මේ වූ කලි ප්‍රබන්ධකයා පෙරට විත් කරන විස්තර කථනයක් නො ව, කිසියම් චිත්තරූපික මාර්ගයක් ඇසුරු කොට කැරෙන සියුම් දැනැවීමකි.

ප්‍රබන්ධයෙහි වන ප්‍රමුඛ සංකල්පනය අමරදේවයෝ සිය හසල ගායන කෞශල්‍යයෙන් පරිසමාප්තියට පත් කරනු මේ ගීතය ශ්‍රවණයෙහි දී ඔබට හැඳිනිය හැකි ය. අසිරිමත් වූ ප්‍රේමය හමුවේ මෙතෙක් අදිසි ව සිටි වියපත් බවේ සලකුණු, අප කථකයා මඳක් සසල කළ ද, ඉන් නොසැලී නැඟෙන තිරසර අවබෝධයෙක ශ්‍රවණ රමණී පිළිබිඹුව අමරදේවයන් ගේ මේ ගැයුමෙහි වෙයි.

විශාරද ගුණදාස කපුගේ සංගීතවේදීයාණන් ගේ නාදකෘතිය හා සංගීත සංයෝජනය ගීතයේ ඇඟැවුම තීව්‍ර කරන සියුම් නාද භාෂණයක් ම වෙයි.