අපේ ළමා පරපුර හා සිතුවම් කලාව
 

අපේ ළමා පරපුර හා සිතුවම් කලාව

 

ළමා චිත්‍ර කලාව වැඩිහිටියන්ගේ චිත්‍ර කලාවෙන් මුළුමනින් ම වෙනස් බවත් වැඩිහිටියන්ගේ චිත්‍ර කලාවේ ඊට ආවේණික සෞන්දර්යාත්මක බවත් වැඩිහිටියන්ගේ පරිණත විදත්ත කලාව, ළමා චිත්‍ර කලාවෙන් බොහෝ දේ උගත යුතු බව අද ප්‍රකට කරුණකි. බොහෝ ආකාරයෙන් සලකා බලන විට ළමයා යනු මිනිසාගේ කලාවේ පියා ලෙස සැලැකිය හැකි ය. ළමා චිත්‍ර පිළිබඳ පර්යේෂණ ඇරැඹුවේ 19 වන සියවසේ අග භාගයේදී ය. මේ මනෝ විද්‍යාඥයන්ගේ පර්යේෂණ විද්‍යාත්මක වුවත් එමඟින් සෞන්දර්ය ආස්වාදය උදෙසා සිදුවූවේද නොමඳ සේවාවක් බව කිවයුතු ය.

කලාත්මක දෘෂ්ඨි කෝණයෙන් ළමා චිත්‍ර කලාව පිළිබඳ බැලුවහොත් එහි විශිෂ්ට ලක්ෂණය නම් ළමා සිත්තරාගේ හදවත පතුලෙන් ම පැන නැඟෙන භාවයන්ගේ් ප්‍රකාශනයක් වීමයි. එනම් අභ්‍යන්තර භාවයන්ගේ පරිකල්පනයන්ගේ චින්තනයේ ප්‍රකාශනයක් වීමයි. ළමයකු යනු ස්වයං මධ්‍යගත සත්වයෙකි. ඔහු තමාගේ කලාවෙන් කරන්නේ තමාගේ ම අදහස් ප්‍රකාශ කිරීමයි. ළමයකු වයසින් මුහුකුරා යති.

ඔහුත් තමන්ගේ පරිසරය පිළිබඳ වඩා සවිඥාණික අදහස් ලබා ගනී. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ කලාවේ දක්නට ලැබෙන ස්වයං මධ්‍යගත ස්වභාවය ස්වයං මධ්‍යගත ස්වභාවයට නොවන තත්ත්වයකට ලක්වේ.

ළමයෙකුගේ චිත්‍ර කලාව වැඩෙන්නේ වැඩිහිටි චිත්‍ර කලාව වර්ධනය වන්නාක් මෙන් ම අවධීන් ගණනාවක් පසු කරමිනි. ළමයකු කිසි විටෙක කලා කාරයෙක් වීමට උත්සාහ නොකරයි. ඇඳීමට පුහුණු වීමට අදහසින් නොවේ අඳින්නේ, ස්වභාව ධර්මය අනුගමනය කරන්නට ඔහුට කිසි ම අවශ්‍යතාවයක් නැත. තමාගේ අදහස් හැඟීම් ආදිය තමා විසින් ම ප්‍රකාශයට පත් කිරීමයි කරනු ලබයි. ඔහුගේ චිත්‍ර ඩ්‍රෝවින් ගණයට නොවැටේ. ඒ වෙනුවට ළමා චිත්‍ර හැඳින්විය යුත්තේ Picture Writing නමිනි. ඔහු තමාගේ චිත්‍ර මඟින් කිසියම් අදහසක් සන්නිවේදනය කරති. එය එක් අතකින් ළමා විජ්ජාවක් ලෙස සලකති.

කඩදාසි කැබැල්ලක් මතුපිට තමා දන්නා දේවල් ඇඳ දැක්වීම තමාට හාස්කමකි. ඔහු අඳින්නේ නිරන්තරයෙන් තමා දන්නා දේ මිස දක්නා දේ නොවේ. තමාට අත්‍යවශ්‍ය දේ ඇතුළත් කිරීමටත් එයින් බැහැර සියල්ල ප්‍රතික්ෂේප කිරීමටත් ළමයා පසුබට වන්නේ නැත. ළමා චිත්‍ර කලාවේ මූලික දෙය මෙයයි. ළමයකු අඳින්නට පටන්ගන්නා කාලය බොහෝවිට නිරතවන්නේ ඔහුට ඇඳීමට අවශ්‍ය අමුද්‍රව්‍ය අතට හසුවන කාලය විසින් යැයි කිව හැකිය.

වසරක් වයසැති කුඩා දරුවකු පවා ඔවුන්ට කඩදාසියක් සහ පැන්සලක් ලැබුණහොත් ආගන්තුක රේඛා කිහිපයක් අඳින්නට ඉඩ තිබේ. මාස 18 පමණ ළමයකු අඳින්නට උදව්කර ගන්නා පැන්සල ඉතා සිත්ගන්නා සුළු දෙයක් ලෙස දකින්නට පුළුවනි. මුලදී ඔහු කරන්නේ කුරුටු ගෑමයි. ඉන්පසු ළමයා හුදු ආගන්තුක නොවූ සවිඥානික රේඛා ඇඳීමට පටන්ගනී. එහෙත් එය තවමත් කුරුටු ගෑමයි. ඔහු කුරුටු ගාන්නේ කිසියම් ස්වභාවික රිද්මයකට අනුවයි. මෙහි වර්ධනයක් වශයෙන් වක්‍ර තරංගාකාර රේඛා ඇඳීමට පටන් ගනී.

ඔහුත් වර්ණ භාවිතා කරන්නේ තමාගේ ස්වයං මධ්‍යගත මානසිකත්වයට අනුවයි. ස්වභාවික ලෝකයේ පවතින ආකාරයට නොවේ.

ඒ නිසා ඔහුගේ වර්ණ භාවිතය abstract colours භාවිසුවක වර්ණ භාවිතාවක් ලෙස දැක්විය හැක. ළමා චිත්‍රයක් නිරීක්ෂණය කිරීමේදී සමහර ළමයි රතු, කළු වැනි දීපන වර්ණ තෝරා ගනු ලබන අතර තවත් අය නිල්, කොළ, කළු වැනි වර්ණ යොදා ගනී. සමන වර්ණ යොදා ගන්නා ළමුන් තමන්ගේ භාවමය චර්යාව නිදහසේ ප්‍රකාශ කිරීමට උත්සාහ ගනී. ඔහුත් හැම දෙනා ම ස්වයං මධ්‍යගත මානසිකත්වයෙන් යුතු ය. දීපන වර්ණ භාවිතා කරන ළමුන් කණ්ඩායමක් වශයෙන් සිතන දැඩි ලෙස පාලනය කරනු ලැබූ චර්යාවන්ගෙන් යුත් ළමයි වේ.

ඔවුන් තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන අය නොවේ. 18 මසක් වයසැති ළමයෙකු චිත්‍ර අඳින්නේ තමාගේ අදහස් ප්‍රකාශ කිරීමට මිස අන් අය ඒ ගැන සිතන ආකාරය ගැන සිතමින් නොවේ. ඔවුන් නිරන්තරයෙන් ම ක්‍රියාකාරී ආවේග සහිත සහ ස්වයං මධ්‍යගත තැනැත්තෙකි. එහෙත් වසර 4ක් හෝ 5 වන්නට සමහර විට ළමයා අන්‍යයන්ගෙන් බලාපොරොත්තු වන අන්දමින් ඇඳීමට උත්සාහ කිරීමට පුළුවන. වයස අවුරුදු 3-6 දක්වා කාලයේදී ළමයා බාහිර ලෝකයට පුරුදුවීමට උත්සාහ ගනී. ළමා මනස බොහෝ දේ ගවේෂණය කරන්නේත් නව පරිකල්පන අදහස්වලට හුරු වන්නේ සහ බොහෝ දේවලට හුරු පුරුදු වන්නේත් මේ කාලයේදී ය. ඔහු මුලින් ම අඳින්නේ තමා දැක පුරුදු මව, පියා, කොඩි, ගස්, මල් ආදියයි.

එහෙත් ඇඳීමේදී ඔහු වැඩිහිටියන් ලෙස ඒ වස්තූන් අනුකරණය කරන්නේ නැත. ඒවා තමා දන්නා විදියට අඳිති. ඔවුන් අත්වලට කලින් කකුල් අඳින්නට පුළුවන. කමීසය ඇඳීමට කලින් කමීසයේ බොත්තම් අඳින්න පුළුවන. එසේ අඳින්නේ ළමා මනසට කාවැදුණු වැදගත් දේවල් ය. හැම චිත්‍රයක් ම ඊට ආවේණික චිත්‍රයකි. සමහර විට චිත්‍රය අවසාන වීමටත් පෙරාතුව කථාව වෙනත් එකක් වීමට පුළුවන.

ඒ කෙසේ වෙතත් එය ළමයාගේ අභ්‍යන්තර ජීවිතය කෙරේ බෙහෙවින් බලපායි. වැඩිහිටියන්ගේ චිත්‍ර ඇඳීමට උත්සාහ කරමින් ළමා මනස දූෂ්‍ය නොකළහොත් ඔහුගේ කලාව විශිෂ්ට ලෙස සැලකිය හැකිය.

පාසල් හා අවට පරිසරයේ දී ළමයාගේ කලාව දූෂ්‍ය කළහොත් ඔහු අඳින්නේ තමා දන්නා දේ නොව දක්නා දේ ඇඳීමට පෙලැඹේ. මේ නිසා ළමා චිත්‍ර කලාව පරිහානියට පත්වේ. බොහෝ විට මෙහිදී සිදුවන්නේ ළමයා අපරිමිත ළමා ශිල්පියෙකුගේ තත්ත්වයට පත්වීමයි.

ළමා චිත්‍ර කලාව ලෙස සැලැකිය හැකි ද යන්නත් ප්‍රශ්නයකි. බොහෝ අයට ළමා චිත්‍ර කුරුටු ගෑමක් පමණි. තේරුමක් නැති විකෘති කරන ලද ප්‍රතිමා ප්‍රමාණ ගතානුගතික විස්තර නොදක්වා තිබීම ස්වභාවික ලෙස ප්‍රතිනිර්මාණය කිරීමෙන් සම්ප්‍රදායික ක්‍රම අනුගමනය කර නොතිබීම ආදී හේතූන් නිසා මේවා හුදු කුරුටු ගෑම් ලෙස සමහරු දක්වයි.

එහෙත් කලාත්මක දෘෂ්ඨි කෝණයකින් බැලුව හොත් ළමා චිත්‍ර කලාව සාහිත්‍ය මූල්‍ය මනසකින් යුතු පුද්ගලයකුට හසු නොවන විශිෂ්ට සෞන්දර්යාත්මක ලක්ෂණවලින් යුත් ඒවා ලෙස සැලැකීමට පුළුවන.

රොජර් ෆුයි පවසන්නේ ළමා චිත්‍රවල බොහෝ විශිෂ්ට වැඩිහිටියන්ගේ චිත්‍රවලට වඩා සෞන්දර්යාත්මක ලක්ෂණවලින් යුක්ත බවයි.

ළමා චිත්‍ර කලාව සහ ප්‍රාග් ඓතිහාසික චිත්‍ර සමාන කිරීමට දැරූ උත්සාහය බොහෝ දුරට අසාර්ථකවේ. ළමා චිත්‍ර කලාව Primitivistic ලෙස හඳුන්වන අතර ප්‍රාග් ඓතිහාසික සහ ප්‍රාථමික කලාව Primitive යන නමින් හඳුන්වයි. ප්‍රමිටිමිස්ටිස් චිත්‍ර කලාව නව ප්‍රතිමාන බිහිකිරීමට සමත්වේ. Primitivistic චිත්‍ර ජර්මන් ප්‍රකාශනවාදී කලා කරුවන්ගේ චිත්‍රවලත්, කියුබිසව් හා භාවසූවක චිත්‍රවලටත් බෙහෙවින් බලපාන ලදී.

ටියුඩිමේල් දීගොඩගමගේ

ගාල්ල කලාප චිත්‍රගුරු උපදේශක

ලලිත කලාවේදී විශේෂ උපාධි

පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා

(කොළඹ විශ්වවිද්‍යාලය)