රචෙල් කාර්සන් හා ඇගේ “නිහඬ වසන්තය” -1
 

රචෙල් කාර්සන් හා ඇගේ “නිහඬ වසන්තය” -1

 

එක්දහස් නවසිය හැටදෙකේ ජූලි මාසයේ, NEW YORK TIMES පුවත්පතේ පළ වූ ශිර්ෂ පාඨයකින් එක්සත් ජනපදය පුරා, ජාතික පිබිදීමක් ඇතිවිය. එහි දැක්වුණේ ”නිහඬ වසන්තය දැන් පීඩාකාරී, ග්‍රීෂ්ම සෘතුවක් වී ඇත.” යන්නයි. රචෙල් කාර්සන් ගේ “SILENT SPRING” නමැති පොත ජූනි මාසය තුළ එම පුවත්පතෙහි කොටස් වශයෙන් පළ කෙරුණු අතර, එම සැප්තැම්බර් මාසයේ දී එය පොතක් වශයෙන් එළිදක්වනු ලැබිණි. එහි කතුවරිය එමඟින්, රසායනික කෘමිනාශක භාවිතය පිළිබඳ ජාතික විවාදයක් ඇරැඹුවාය. එකී සංවාදය, විද්‍යාවේ වගකීම හා තාක්ෂණික වර්ධනයේ සීමාව සම්බන්ධ ජනමතයක් ඇතිකිරීමට සමත්විය.

ඊට මාස 18කට පසු එනම්, 1964 වසන්ත සෘතුවේදී රචෙල් කාර්සන් (RACHEL CARSON) අභාවප්‍රාප්ත වූවාය. එහෙත් ඈ ආරම්භ කළ ප්‍රයත්නය පළදරමින්, රට ඇතුළත ඩීඩීටී (DDT : DICHLORODIPHENYLTRICHLOROETHANE - කුඩා සතුන් නසන බෙහෙත් වර්ගයක් ඩීඩීටී - මලලසේකර ඉංග්‍රීසි - සිංහල ශබ්දකෝෂය) නිෂ්පාදන භාවිතය මුළුමනින්ම අත්හිටවූ අතර රාජ්‍ය ප්‍රතිපත්තියක් තුළින් පරිසරය ආරක්ෂා කැරැවීම සඳහා උද්ඝෝෂණ මාලාවක් ද ඇතිවිණි.

මෙලෙස කාර්සන් ගේ ලිපි ලේඛන මඟින්, ස්වභාවධර්මය හා මිනිසා අතර පැවතිය යුතු අන්තර් සම්බන්ධතාවය ගැන උනන්දුවීමේ ක්‍රියාකාරී ආරම්භයක් ඇති කරනු ලැබීය. ඒ ඇසුරෙන් පරිසර හිතකාමී මතවාදයක් ජනතාව තුළ පිබිදවීමට ද මඟ පෑදිණි.

”නිහඬ වසන්තය” (SILENT SPRING) පොතට සුබ පැතූ සංස්කෘතික පරිසරය හා දැඩි අධිෂ්ඨානයෙන් යුත් කතුවරියගේ ආධ්‍යාත්මය නැවැත මතක් කිරීම ඉතා අපහසු කටයුත්තකි. කෙසේ වුවද කාර්සන් බලාපොරොත්තු වූයේ; අපට ටිකෙන් ටික වස කවන රසායනික කෘමිනාශක, අපරීක්ෂාකාරී ලෙස පාවිච්චි කිරීමෙන් පරිසරයට බරපතළ හානියක් සිදුවන බව පෙන්වා දීමයි. පරිසරය දූෂණය වීම හා ඊට අනුසාංගිකව සෞඛ්‍යයට බලපෑම් ඇතිවීම, මෙකල ප්‍රකටව දක්නට ලැබෙන්නකි. නමුත් 1962 දී (SILENT SPRING) - “නිහඬ වසන්තයෙ”හි අන්තර්ගතය සමාජ පරිවර්තනයකට ද තුඩු දුන්නේය.

කාර්සන් ලිව්වේ; මනුෂ්‍ය සමාජය වේගයෙන් සමෘද්ධිය කරා ඇදී යන හා ඊට සමාජ අනුකූලතාවය විවෘතව ම ලැබී තිබුණ කාලයකයි. මෙකල පැවැති “සීතල යුද්ධයේ” (COLD WAR) සැකය හා අසහනය උත්සන්න වී තිබිණ. එසමයේ රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය, පූර්ණව යුද වකවානුවේ තාක්ෂණය තුළ ප්‍රධාන වශයෙන් ලාභදායක වූ කර්මාන්තයක් සේම ජාතීන්ට සශ්‍රීකත්වය ගෙන ආ ප්‍රමුඛයා ද විය.

ඊට සාදෘශ්‍ය ලෙස විද්‍යාවේ හා තාක්ෂණයේ පිහිටෙන් ඇමරිකාව සිය ප්‍රතිවාදී රටවල සන්නද්ධ බලය විනාශ කළ පරිද්දෙන් ඩීඩීටී මඟින් කෘමි සතුන් හා උන් ඇසුරෙන් හටගත් ලෙඩ රෝග මර්දනය කිරීමට ද, හැකිවිය. එසේම එතුළින් විස්මයජනක ආකාරයෙන් මිනිසා හා ස්වභාවධර්මය අතර බල තුලනයක් ද ඇතිවිය.

මේ අනුව, ප්‍රත්‍යන්ත රසායනාගාර තුළ කැඳ දැමූ සුදු පැහැති කබායෙන් සැරැසී දිව්‍යමය දැනුමෙන් සන්නද්ධ වී වැඩකරන රසායනඥයින්ට එකල ජනතාව හරසර දැක්වූහ. ඒ රසායනඥයින් ගේ දැනුමෙන් හා මහන්සියෙන් ලැබුණු සමෘද්ධියෙන් ජනතාවගේ ගර්වය ඔපදැමුණු නිසාය. පූර්ව යුද සමයේ ඇමරිකාවෙහි විද්‍යාව එරට “දෙවියා” විය. එසේ ම එකල “පිරිමියා” ලෙස සැලකුණේ ද විද්‍යාවයි.

රචෙල් කාර්සන්, මුලින්ම ස්වභාවධර්මය අනාවරණය කරගත්තේ; ස්වභාව අධ්‍යයන ව්‍යාපාරයක ක්‍රියාකාරී සාමාජිකාවක වූ ඇගේම අම්මාගෙනි. උතුරු පීට්ස්බර්ග් හි පෙන්සිල්වේනියාවේ නොකිලිටි ගමක් වශයෙන් පැවැති ස්ප්‍රිංඩේල් හි “ඇලිගානි” (ALLEGHENY) නදියේ ඉවුරු දැක ඕ විස්මය ට පත්වූවාය. ඈ එහි වන සතුන් හා ගහ කොළ හොඳින් නිරීක්ෂණය කළාය. විශේෂයෙන් ම කුරුල්ලන්ගේ ගති සිරිත් හා හැසිරීම් කෙරෙහි බෙහෙවින් විමසිලිමත් වූවාය.

දුප්පත්කමෙන් හා පවුලේ කැලඹිලිවලින් ඇගේ ළමා කාලය කොන්වී පැවැතුණ ද ඈ මුළුමනින්ම හුදකලා වූයේ නැත. ඕ කියැවීමට ඉමහත් ළැදියාවක් දැක්වූ අතර, ලිවීමට ද නියත කුසලතාවයක් පළ කළාය. රචෙල් විසින් රචනා කරන ලද මුල්ම කථාව වයස 10යේ දී ළමා සාහිත්‍ය සඟරාවක පළවූයේ එබැවිනි. කාලයාගේ ඇවෑමෙන් ඈ පෙන්සිල්වේනියාවේ කාන්තා විද්‍යාලයට ඇතුළු වූවාය.

දැන් එය හැඳින්වෙන්නේ “චැතැම් විද්‍යාලය” යනුවෙනි. එකල ප්‍රකටව පැවැති ”ඉංග්‍රීසි චමත්කාර සම්ප්‍රදාය” (ENGLISH ROMANTIC TRADITION) ට අයත් නිර්මාණ වැඩි වශයෙන් කියැවීමට ඕ පුරුදු වූවාය. එකල සිට ම ඇයට පැහැදිලි මෙහෙවරක් තිබෙන බව හා විශිෂ්ට දැක්මක් උරුම බව ඕ ප්‍රකට කලාය.

ජීවවිද්‍යාව පිළිබඳව ප්‍රසිද්ධියක් ඉසුලූ මහාචාර්ය වරිඩ්න්, රචෙල් ගේ ඉංග්‍රීසි භාෂාවට හා සාහිත්‍යයට තිබූ ළැදියාව තීරණාත්මක ලෙස වෙනස් කර, ඇය ”ජීව විද්‍යාව“ කෙරෙහි ආශක්ත කැරැවීමට කටයුතු කිරීමෙන් ඇගේ බුද්ධි ප්‍රභවය පළල් කළාය. එසේ කිරීමෙන් විද්‍යාව ඇගේ මනස අවදි කිරීමට පමණක් නොව, ඇයට ලිවීමට යමක් සපයා දෙන බවද අවබෝධ කැරැවූවාය. ඒ අනුව කාර්සන් ද විද්‍යාව පසුපස යෑමට තීරණය කළාය. ඈ එසේ කළේ එකල (1930 දශකයේ) ගැහැනුන්ට එවැනි අවකාශයක් ඉතා අඩුවෙන් ලැබෙන බව හොඳින් ම දැනගෙනයි.

මේ අතර වුඩ්ස්හෝල් ජීවවිද්‍යා රසායනාගාරය තුළ අධ්‍යයන කටයුතු කරගෙන යෑම සඳහා ඇයට ශිෂ්‍යත්වයක් ලැබිණි. මෙහිදී ඕ වැඩි කැමැත්තක් දැක්වූයේ මුහුද කෙරෙහිය. මේ නිසා ජෝන් හෝප්කින්ස් සරසවියේ සමුද්‍රජීව විද්‍යාව ඉගෙනීමට ඈ පෙළඹුණාය. එම විෂය හැදෑරීමට ඈ සමඟ කාන්තාවන් සිටියේ අතළොස්සකි. 1932 දී විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති (MA) උපාධිය ලැබීමෙන් පසු වැඩිදුර ඉගෙනීම සඳහා ඈ ළඟ මුදල් නොතිබූ අතර, ඒ වෙනුවෙන් අනුග්‍රාහකයෙක් ද නොවීය.

මේ නිසා මහජන සෞඛ්‍යය පිළිබඳ පාසලේ රසයානාගාර සහායකවරියක ලෙස සේවය කිරීමට ඇයට සිදුවිණි. එහෙත් එහිදී ජාන පිළිබඳ පර්යේෂණ කිරීම සඳහා පුහුණුවක් ලබාගැනීමට ඕ වාසනාවන්ත වූවාය. කෙසේ වුවද, විද්‍යාවේදී රැකියා ක්‍රම ක්‍රමයෙන් අඩුවීම හේතුවෙන් ඈ “BOLTIMORE SUN” පුවත්පතට චෙසාපික් තුඩුව සම්බන්ධ ස්වාභාවික ඉතිහාසය ගැන ලිපි ලියන්නට පටන් ගත්තාය. මේ කාල පරාසය, මුදලත් ලිවීමේ ආශාවත් අතර අරගලකාරී එකක් වුවද ඒ දෙකම ජයගැනීමට ඇයට හැකි විය.

ළමා කාලයේ සිටම කාර්සන්, මහපොළොවේ ඉතිහාසය ගැනත් එහි හැඩය හා රිද්මය ගැනත් පැරැණි සාගර හා එහි පරිණාමය වී ඇති ජීවීන් ගැනත් ලොකු කුහුලකින් හා මහත් අවධානයකින් පසුවූවාය. මේ වනවිට ඈ පරිසර වේදිනියක් බවට පත්ව සිටියාය. පුංචි ගැහැනු ළමයෙකුව සිටියදී ඇලගානි ප්‍රදේශයේ කන්දක් හෑරීමේදී සොයාගත් පොසීල කටුවක් මුල්කරගෙන, කලක් මුහුදට යටව තිබූ එම ප්‍රදේශයේ සමුද්‍ර ජීවීන් ගැන ප්‍රශ්න කරන්නට වූවාය. ජෝන් හෝප්කින්ස් රසායනාගාරයේ පර්යේෂණ කටයුතුවල යෙදී සිටියදී ආඳ පොකුණක ලවණකරණය වෙනස්වන ආකාරය ගැන සිත මෙහෙයවා, මහාද්වීපික සාගර හරහා සරගසෝ මුහුදට සංක්‍රමණය වූ පැරැණි මත්ස්‍යයන්ගේ ජීවන චක්‍රය ගැන විමර්ශනය කළාය.

මතුසම්බන්ධයි