එක් අහිංසක අවංක බැටළුවෙක් දිනක් සිය ගොවිපොළෙන් පලායමින් සිටියේ ය. එසේ යන අතර
බැටළුවාට නරියකු මුණගැසිණි. නරියා මෙසේ ඇසී ය.
”නුඹ දුවන්නේ මොකද?”
”මට ගොවිපොළ එපා වුණා. කවුරු වැරැදි කළත් මා බැණුම් ඇසිය යුතුයි” බැටළුවා කීය.
”මටත් ඔය ටිකමයි. මගේ ස්වාමිපුරුෂයා කුකුළන් හොරා ගන්නවා. බැණුම් අහන්නේ මං. මටත්
ඔක්කොම එපා වුණා. හිස හැරුණු අත යනවා.” නරියා ද කීය.
”හොඳයි දෙන්නා එකටම යමු” එකඟතාවක් ඇති විය. දැන් දෙදෙනා ම එක්ව එක මඟ දුවති.
මෙවිට ඔවුන් ඉදිරියට ආවේ වෘකයෙකි.
”නුඹලා දුවන්නේ මන්ද?” වෘකයා ඇසී ය.
දෙදෙනා ම ඔවුන්ගේ දුක්ගැනවිලි වෘකයාට පැවසූහ.
”මටත් ඔහොමමයි. මගේ හාමිනේ බැටළු පැටවුන් මරා දමනවා. බැනුම් මට.”
”හොඳයි තුන්දෙනා ම එක්වී ගමන් ගනිමු”
දැන් ඔවුන් තිදෙනෙකි.
තිදෙනා ම ඉදිරියට ඇදෙති එක්වර ම වෘකයා අමුතු ම අදහසක් ඉදිරිපත් කරන්නට විය.
”මිතුරු බැටළුව, නුඹ පොරවාගෙන ඉන්නේ මගේ සම නොවේද?” වෘකයා අසා සිටියේ ය.
බැටළුවාට මේ ගැන අවංක සැකයක් මතුවිය. ඒකා අවංකයෙකි. අන් අය ද තමා මෙන් ම අවංක යැයි
ඒකා සිතයි.
”මිතුරු වෘකය, ඔය ඔබ පවසන්නේ සත්‍යයක්ද?” බැටළුවා මිතුරු සිතින් ම ඇසී ය.
”ඇත්ත ඇත්ත”
මෙවිට නරියා වහා ඉදිරිපත් විය.
”නුඹ පවසන්නේ ඇත්තක් නම්, අර පෙනෙන කුරුසිය සිපගෙන දිව්රාපං” නරියා එසේ කීවේ
කිසියම් දඩයක්කරුවකු විසින් අටවා තිබූ උගුලක් වෘකයාට පෙන්වමිනි.
වෘකයා ද ඒ ‘කුරුසිය’ සිපගන්නට තරම් මෝඩයෙක් විය.
කෙසේ හෝ නරි නුවණින් වෘකයාගේ නිය පහරින් මිදෙන්නට එදා දෙදෙනාට ම හැකි විණි.
පරිවර්තනය
තනූජා ධර්මපාල