කොළඹට ආ රේල් බස්
කොළඹට ආ
රේල් බස්
දුම්රිය සේවය සමඟ ඇති සම්බන්ධකම් නිසා නිරතුරුවම දුම්රිය ගැන පුවත් සොයා ඇදෙන
මම දිනක් රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවට ගියෙමි. එහි ප්‍රධාන යාන්ත්‍රික
ඉංජිනේරුවරයා වූ පී.පී. විජේසේකර මහතා තම මේසය මත බස් රථයක කුඩා අනුරුවක්
තබාගෙන එහි කෑලි ගලවා එහෙට මෙහෙට කරමින් සිටිනු මම දුටුවෙමි.
'වාඩිවෙන්න' සිනහව පිරි ඔහුගේ ආරාධනය මම පිළිගතිමි.
'මම බස්-එකක් රේල් පාරේ දුවවන්නයි හදන්නේ.'
'ඈ...' මම නොදැනුවත්වම අසුනින් නැඟී සිටියෙමි.
'බස්-එකක් කොහාමද රේල් පාරේ දුවන්නේ..?'
'උත්සාහ කළොත් බැරි වෙන-එකක් නැහැ. රයිට් බ්‍රදර්ස්ල උඩින් යන්න ගිහින් කී පාරක්
ඇදගෙන වැටුණද?' ඒ වසර විස්සකට පමණ පෙර වූ සිදුවීමකි.
එලෙස බස් රථයක් දුම්රිය මාර්ගයේ ධාවනය ගැන එදා සිහින මැවූ එම ඉංජිනේරුවරයා
වසරක පමණ කාලයකින් තම අදහස මුදුන් පත් කරගත්තේය. ඩිමෝ වර්ගයේ බස් රථයක අපට
පෙනෙන බොඩියේ කැපී පෙනෙන මහා වෙනසක් නොකර, දෙපසින්ම දොරවල් යොදා එය දුම්රිය
මාර්ගයේ ධාවනයට සුදුසු අයුරින් සකස් කිරීමට විජේසේකර මහතා සමත් විය.
බස් රථයේ සුක්කානම ඉවත් කර, දුම්රිය එන්ජිමකට අවශ්‍ය අංගෝපාංග අවම ලෙස එහි
සකසනු ලැබිණි. තිරිංග යෙදීම සිදු කෙරෙනුයේ අතිනි. ඉදිරි පස රෝද දෙකට බලය ලැබෙන සේ
තාක්ෂණය සකස් කෙරිණි. ආරක්ෂිත ඉදිරි ගරාදි වැටක් (Cow Catcher) බස් රථයට සවි
කෙරිණි. වේගය ගැන නම් නොකියාම බැරිය. මහ පාරේ බස් රථයකට වඩා වැඩි වේගයකින් එයට
යෑමට හැකි වන පරිදි බලය වැඩි කරන ලදි. දුම්රිය මඟට සුදුසු වන පරිදි දුම්රිය රෝද
යුගල සවි කෙරිණි. එහි මංගල ගමන කොළඹ සිට පොල්ගහවෙල දක්වා විය. මේ ඉතිහාසගත
ගමනට එක් වීමට මටද අවස්ථාව උදා විය. කොළඹ සිට අඹේපුස්ස දක්වා මීට වසර 150කට පමණ
පෙර යෙදුණු දුම්රියේ මංගල ගමනට පමණක් දෙවැනි වූ මේ ඉතිහාසගත අවස්ථාව
ක්‍රමයෙන් වර්ධනය කරගැන්මට විජේසේකර මහතා පියවර ගත්තේය.
ඔහු බස් රථ දෙකක් මුහුණු දෙපසට සිිටින සේ එකට ඈඳුවේය. එක් පසෙකට යෑමේදී එම
පෙදෙසට මුහුණ ලා ඇති බස් රථයේ පමණක් එන්ජිම පණ ගන්වා බස් රථ දෙකම ඇදගෙන යා හැකි
වන සේ සකස් කරනු ලැබිණි. පුදුමය වන්නේ මගීන්ද පුරවාගෙන තවත් බස් රථයක් ඇදගෙන
යන මේ අපූරු වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාව සාමාන්‍ය බස් රථයක මෙන් දෙගුණයකට
ආසන්න වීමය.
මේ බස් රථ සේවාවට 'රේල් බස්' යන නාමය ලබා දීමට විජේසේකර මහතා පියවර ගත්තේය.
මඟී ඉල්ලීම් අනුව මහව සන්ධිය හා කුරුණෑගල අතර තවත් රේල් බස් රථ සේවයක් ආරම්භ කරන
ලදී. අනුරාධපුරය සහ මැදවච්චිය අතර තවත් බස් රථ සේවාවක් පසුව ආරම්භ කරන ලදී.
මෙරට ගුවන් යානා මෙන්ම අත් ට්‍රැක්ටර සම්බන්ධ අසමසම විදුධරයකු වූ රේ.
විජේවර්ධන මහතා රේල් බස් රථ සේවය හා බස් රථ එන්ජිමක් උපයෝගී කරගනිමින් තනන
ලද දුම්රිය එන්ජිම (මිනි ලෝකෝ) මහත් සේ පැසසීය. ඔහු රාගම සිට කොළඹ දක්වා මේ බස්
දුම්රිය එන්ජිම උපයෝගී කර ගෙන පරීක්ෂණ ධාවනයකද යෙදුණේය. කොළඹට පැමිණි ඔහු
එවකට කොටුව දුම්රිය ස්ථාන අධිකාරිවරයා වූ නිමල් විජේසිංහ මහතා හමු වී
සිංහලෙන් කතා කෙළේ එකම වචනයකි: 'ගුප්තයි!' රේල් බස් රථ දෙස බලා ඔහු කිව්වේ
එපමණකි. තම මෝටර් රථයට නැඟීමට පෙර සිනාමුසු මුහුණින් රේල් බසයට ආචාර කරමින්
එදා රේ. විරේවර්ධන මහතා නික්ම ගියේය.
රේල් බසය දුම්රිය ඉතිහාසයේ නව පිටුවක් පෙරළීමට සමත් විය. ඒ අනුව පළමු රේල් බස්
රථ සේවාව හලාවත සහ පුත්තලම අතර ඇරැඹිණි. ඒ සඳහා දිගින් දිගටම ඉල්ලීම් ආවේය. ඒ
අනුව අනුරාධපුරය හා මහව අතර තවත් රේල් බස් රථ සේවාවක් ඇරැඹිණි. ආරම්භයේදී
ඩිමෝ බස් රථයෙන් ඇරැඹි මේ රේල් බස් රථ සඳහා පසුව ලේලන්ඩ් බස් රථ යොදාගන්නා ලද්දේ
අමතර කොටස් සපයාගැනීමේ පහසුව තකාය. සෑම රේ බස් රථයක්ම දෙපසට ධාවනය කළ හැකි
වන පරිදි බස් රථ දෙකකින් සමන්විතය.
විජේසේකර මහතා පසුව දුම්රිය මුල් පුටුවටම ගියේය. මෙරට ප්‍රවාහන විශේෂඥයන්
අපටම ගැළපෙන මේ අසමසම තාක්ෂණය කෙරෙහි එතරම් සැලකිල්ලක් දැක්වූයේ නැත. එසේ
වුවත් පසුව මඩකලපුව හා ගල්ඔය අතර සහ ත්‍රිකුණාමල ප්‍රදේශයේ ප්‍රාදේශික
ගමනාගමන කටයුතු සඳහා මේ ප්‍රවාහන සේවය යොදාගන්නා ලදී.
අඩු පිරිවැයකින් කාර්යක්ෂම සේවාවක් සැපයීමට හැකි වීම රේල් බසයේ විශේෂම
වැදගත්කම වේ. විජේසේකර මහතාගේ නික්ම යෑමත් සමග රේල් බස් රථ සේවාවේ යම් අඩපණ
වීමක් ඇති වුවත් වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී. ආරියරත්න මහතාගේ
විශේෂ මඟ පෙන්වීම යටතේ මහරගම පිළිකා රෝහලට හා හෝමාගම රෝහලට පැමිණෙන ජනතාවගේ
ප්‍රයෝජනය පිණිස කොස්ගම හා මහරගම අතර රේල් බස් රථ සේවාවක් ආරම්භ කරන ලදී. ඒ
පසුගිය මාසයේ සිටය.
සාමාන්‍ය බස් රථයක මෙන් ආසන හා ජනෙල් වීදුරු මෙන්ම අනෙක් පහසුකම්ද රේල් බසයේද
ඇත. මේ බස් රථයේ ආරක්ෂාව උපරිමයෙන් සලසා තිබීම වැදගත් වේ. තරගයට ගොස් මගී
ජීවිත පරදුවට තැබීමක් රේල් බස් රථයෙන් සිදු නොවන අතර මඟීනට උපරිම පහසුකම්
සැපයීම එහි අරමුණ වේ.
කොළඹ දිස්ත්‍රික්කයේ ඉතිහාසයේ පළමු වරට රේල් බස් රථ සේවයක් පසුගියදා ආරම්භ කරන
ලදී.
මේ රේල් බසය යනු අපටම උරුම වූ තාක්ෂණයකි. එම තාක්ෂණයෙන් නිසි ඵල ප්‍රයෝ්ජන
ගැනීමට අප තවමත් ප්‍රමාද නැත. කෝටි ගණනක් වැය වන කාර්යයක් මිලියන දෙක-තුනකින්
කරගැන්මට අපට හැකියාව ඇත. එයට අදම වැඩට බැසිය යුතුය. රේල් බස් රථ සේවාව මෙරට
ග්‍රාමීය මෙන්ම කාර්යාල බහුල නොවන වේලාවන්හිදී අර්ධ නාගරික ප්‍රදේශවලට පවා
කදිම ප්‍රවාහන විසැඳුමකි. විශේෂයෙන්ම කැලණි-වැලි මාර්ගයේ කොළඹ දක්වාම මෙන්ම
රාගම සිට හලාවත මාර්ගයේද මේ බස් රථ සේවාව මඟින් මනා සේවාවක් සැපයිය හැකි වනු
ඇත. ඒ සඳහා අදම අවධානය යොමු කළ යුතු වේ.
හෙට වන විට අප ප්‍රමාද වැඩිවිය හැකිය. සාමාන්‍යයෙන් මඟීන් 150කට පමණ මේ රේල් බස්
රථයෙන් ගමන් කළ හැකිය. දුම්රිය සාමාන්‍යාධිකාරි ආරියරත්න මහතා පවසන්නේ
ඉදිරියේදී මේ රේල් බස් රථ සේවාව තව දුරටත් ව්‍යාප්ත කරන බවයි. එය ඒ ආකාරයෙන්ම
විය යුතු බව අපගේද පැතුමයි. එමෙන්ම අපගේ රාජ්‍ය නිලධාරීන්ද චක්‍රලේඛවලම
එල්ලී නොසිට අවම මිල ටෙන්ඩර් කැඳවීම් ගැන මෙන්ම අප රටට අත් වන ප්‍රතිලාභ ගැනද
සිතිය යුතුය. ලංගම බස් රථ සඳහා ටාටා සහ ලේලන්ඩ් බස් රථ මිල දී ගැනීමට ගන්නා ලද
පොදු ප්‍රතිපත්තිය සේම දුම්රිය සඳහාද එවන් ප්‍රතිපත්තියක් තිබීම මෙහිදී
වැදගත් වේ. එවන් අවස්ථාවලදී මෙරට නිපදවන රේල් බස් රථවලට විශේෂ
ප්‍රමුඛතාවක් දිය යුතුය. එසේ වුව හොත් මෙරට ප්‍රවාහන අර්බුදයට කඩිනමින්
විසැඳුම් සෙවිය හැකි වනු ඇත.
තාරක
වික්‍රමසේකර
සේයාරූ -
රුවන් ද සිල්වා
|