ජනතාවට යුක්තිය ඉටුකිරීමට රස පරීක්ෂකවරිය ලෙස කැපවී සිටිනවා
ජනතාවට යුක්තිය ඉටුකිරීමට
රස පරීක්ෂකවරිය ලෙස
කැපවී සිටිනවා
රජයේ රස පරීක්ෂක
සකුන්තලා තෙන්නකෝන්
2015 සැප්තැම්බර් මාසෙම ස්කොට්ලන්තයේ ස්ට්‍රැත්ලයිට් විශ්ව විද්‍යාලයේ පශ්චාද්
උපාධි අධ්‍යයන අංශය පිහිටුවා වසර පනහක් ගත වුණා. ඒ නිමිත්තෙන් පැවැති ස්වර්ණ
ජයන්ති උලෙළෙහි ප්‍රධාන ආරාධිත දේශනය පවත්වන්නට ඇරියුම් ලැබුණේ අපේ පුංචි
ලංකාවේ උපන් දක්ෂ ආදි ශිෂ්‍යාවකට. වසර පනහක විශ්ව විද්‍යාල ඉතිහාසය පුරාවට
ආසියාතික විද්වතකුට එවැනි ගෞරවනීය අවස්ථාවක් හිමි වුණු ප්‍රථම අවස්ථාව
එයයි.
ඇය නමින් ශ්‍රියානි සකුන්තලා තෙන්නකෝන්. අද ඇය ශ්‍රී ලංකා රජයේ රස
පරීක්ෂකවරිය ලෙස කටයුතු කරනවා. 1996 දී ඇය ස්ට්‍රැත්ලයිට් විශ්ව
විද්‍යාලයෙන් ඖෂධ විශ්ලේෂණය පිළිබඳ පශ්චාද් උපාධි විභාගය සමත් වුණේ ලෝකයේ
රටවල් දොළහකින් පැමිණි පශ්චාද් උපාධිලාභීන් සියලු දෙනාම අබිබවා යමින්
ප්‍රථමයා ලෙස රන් පදක්කමක් දිනා ගනිමින්. ආරාධිත දේශනයේදී ඇයට පවසන්නට
නියමිතව තිබුණේ මෙතෙක් පැමිණි ජයග්‍රාහී මාවතෙහි ඈ මුහුණ පෑ අභියෝග හා
අත්දැකීම් පිළිබඳ කතාවයි.
සකුන්තලාගේ උපන් ගම දිවුල්කඩවල. දිවුල්කඩවල කුරුණෑගල දිස්ත්‍රික්කයේ
පඬුවස්නුවරට නුදුරින් පිහිටි පුංචි සුන්දර ගම්මානයක්. දක්ෂ ජනප්‍රිය
ගුරුවරයකු වූ ධර්මසේන සහ රන්මැණිකේ යුවළට දාව පවුලේ කුලුඳුල් දියණිය ලෙස ඈ
මෙලොව එළිය දුටුවේ 1957 ජනවාරි විසි වැනිදා. ඇයට බාල සහෝදරියක් සහ සහෝදරයෙක්
සිටිනවා.
සකුන්තලා මූලික අධ්‍යාපනය ලැබුවේ කොස්දෙනියේ රජයේ පාසලෙන්. හයේ පන්තියේදී
කටුපොත තිස්ස මහා විද්‍යාලයට ඇතුළත් වූ ඈ උසස් පෙළ සඳහා නාරම්මල මයුරපාද
මැදි විදුහලට ඇතුළත් වුණා. බාල කාලෙ පටන්ම ඉගෙනුමට සමත්කම් පෑ සකුන්තලාට
තිබුණෙ විමසිලිමත් සිතක්. නිවෙසට නුදුරින් පිහිටි දිවුල්කඩවල වැවේ ගිළී
දියබුන් ගසමින් පිහිනීම එකල ඇයට විශාල සතුටක්. වත්තේ - පිටියේ, හේනේ - කුඹුරේ
පටන්ම ගේ දොර වැඩපළත් දරුවන්ට හුරු කරන්නට අම්මා තාත්තා උනන්දු වුණා. සෙල්ලමට
ගියත්, කුඹුරු වැඩට ගියත් ඇහැට දකින, අතට හසුවන නුහුරු නුපුරුදු සියලු දේ ගැනම ඈ
විමසිලිමත් වුණා. අමුතු වර්ගයේ කෘමි සතෙක් දුටුවත් ගහක්, කොළක්, මලක් වැලක්
දුටුවත් ඈ ඒ ගැන වැඩිහිටියන්ගෙන් ඇහුවා බැලුවා. ඇතැම් විට පාසලේ
ගුරුවරුන්ගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කළා. දහය පන්තියේ උගන්වපු රූපවතී ගුරුතුමී
සකුන්තලාගේ මේ විමසිලි සිත හොඳින් හඳුනා ගත්තා. ඈ තුළ වූ නොසිඳෙන කුතුහලය
නිවාලන්නට රූපවතී ගුරුතුමිය සකුන්තලාට හැම විටම උදවු කළා. තමා විසින්ම සකස්
කර ගත් පුංචි විද්‍යාගාරයක් ඈ තම නිවසේ පවත්වාගෙන ගියා. අවට පරිසරයෙන්
හමුවන අමුතු කෘමි සතුන් ගහකොළ, ඇට කැබලි, කුරුලු පිහාටු, පස් වර්ග, වැලි, ගල්
කැට, මේ සියල්ලම ඇගේ පුංචි විද්‍යාගාරයේ විස්තර සහිතව පිළිවෙළට තැන්පත් කර
තිබුණා. පුංචි කාලේ පටන්ම ඈ තුළ වූ මේ විමසිලිමත් සිත අද ඈ පත්ව සිටින භාරදූර
වගකීම මනාව ඉටු කරන්නට කදිම පෙර පුහුණුවක් සපයා දුන් බව ඇය විශ්වාස කරනවා.
උසස් පෙළ විද්‍යා විෂයධාරාව තෝරාගන්නට ඇයට බල කළේ මයුරපාදෙ හිටපු
විදුහල්පති අබේවර්ධන මහත්තයා. සකුන්තලා වැඩියෙන්ම දස්කම් පෑවේ ගණිතයට.
රසායන විද්‍යාව ඈ ප්‍රිය කළ තවත් විෂයයක්. ඉහළින් උසස් පෙළ සමත් වූ සකුන්තලා
පළමු වතාවෙ 1978 දී පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා අංශයට තේරුණා. දෙවැනි
වතාවෙ උසස් පෙළ සමත් වුණු ඇයට වෛද්‍ය පීඨයට ඇතුළු වෙන්නට තරම් සුදුසුකම් තිබුණා.
ඒත් ඒ වන විට ජිව විද්‍යා පීඨයට ඇතුළු වී සිටි හෙයින් ඇයට වෛද්‍ය පීඨයට
ඇතුළුවීමට වරම් අහිමි වුණා.
“ඒ ගැන මා දැන් සතුටු වෙනවා. වෛද්‍යවරියක් වුණා නම් මා අද තවත් එක්
වෛද්‍යවරියක් පමණයි. ඒත් දැන් මුළු රටටම ඉන්න ප්‍රධාන රස පරීක්ෂකවරිය
මමයි” ඈ පවසන්නේ නිහතමානී සතුටකින් යුතුවයි.
1982 දී සකුන්තලා අවසාන විභාගය සමත් වුණා. රසායන විද්‍යා අධ්‍යයන අංශයේ කෙටි
කලක් සහකාර කථිකාචාර්යවරියක ලෙස වැඩ කළා. ඒ අතරේ ලැබුණු ගුරු පත්වීම බාරගෙන
ඉඳුල්ගොඩකන්ද විදුහලේ සති දෙකක් සේවය කළා. 1983 වසරේදී “සහකාර රස පරීක්ෂක”
නම්වූ තනතුරක් සඳහා ඇති ඇබෑර්තුවක් දුටු ඇය ඊට අයැදුම් කළේ මූලික සුදුසුකම
ලෙස රසායන විද්‍යාව පිළිබඳ උපාධිය ඉල්ලා තිබූ හෙයින්. ඒ වන විට “රස පරීක්ෂක”
යනු කවරාකාර රැකියාවක් ද යන හැඟීමක් ඈ තුළ තිබුණේ නෑ. රජයේ රස පරීක්ෂක
දෙපාර්තමේන්තුවේ සහකාර රස පරීක්ෂකවරියක ලෙස ඇය රජයේ සේවයට එක් වුණේ 1983
දී. වස විස සම්බන්ධයෙන් කටයුතු කළ යුතු වූ ඒ රැකියාවේදී ඇයට සිදු වුණේ
හදිසියේ මියගිය පුද්ගලයන්ගේ සිරුරුවල වස විස අඩංගු වී තිබුණාදැයි පරීක්ෂා
කර බලන්නටයි. අධිකරණ ධූලක විද්‍යාව නම් වූ, එම විෂය ක්ෂේත්‍රයට අදාළ කාර්ය
භාරය බොහොම බරපතළයි. ඒ වගේම අප්‍රසන්නයි.
තාරුණ්‍යයේ මිහිරිතම අවදියේ රැකියා සිහිනය සපුරා ගන්නට රජයේ ආයතනයක සේවයට
බැඳුණු සකුන්තලාට සිදු වුණේ උදේ පටන් හවස් වන තුරුම මළමිනී කපන්නටයි.
සිහිනෙන්වත් නොපැතු ආකාරයේ වූ මේ අරුම රැකියාව හැරදා යන්නට සිත් වූ වාර
අනන්තය. එහෙත් කාරුණික හදවතකින් යුතු එවකට රස පරීක්ෂකවරයකු වූ ඒ. ආර්.
එල්. විජේසේකර මහතාගේ මඟපෙන්වීම හා දිරිගැන්වීම් මත ඇය තමන්ට පැවරුණු
රාජකාරිය හොඳින් ඉටුකරන්නටත් ඒ පිළිබඳ වැඩිදුර ඉගෙනුම ලබන්නටත් අදිටන්
කරගත්තා. මත්ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය, ජාන තාක්ෂණය, කැපුම් කෙටුම්, වස විස
වැනි අධිකරණ ක්ෂේත්‍රයට අදාළ බොහෝ විෂයයන් පිළිබඳ ගැඹුරින් හදාරන්නටත්,
විදෙස් රටවල රසායනාගාර ඇසුරින් ප්‍රායෝගික පුහුණුව ලබන්නටත් ඇයට අවස්ථාව
උදාවුණා.
1988 වසරේදී සකුන්තලා යුග දිවි ඇරැඹුවේ එවකට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ
ගණකාධිකාරිවරයකු ලෙස කටයුතු කළ සුබසිංහ තෙන්නකෝන් මහතා හා සමඟ. ඔහු
සංස්ථාවේ නියෝජ්‍ය මුදල් කළමනාකරු ලෙස සේවය කර දැන් විශ්‍රාම සුවයෙන්
පසුවෙනවා. ඔවුන්ගේ දියණිය තේජානි විවෘත විශ්ව විද්‍යාලයේ ස්වභාවික විද්‍යා
උපාධි පාඨමාලාවෙහි අවසන් වසර ශිෂ්‍යාවක්. පුතා සුනෙර පෞද්ගලික සමාගමක
සහකාර කළමනාකරුවකු ලෙස සේවය කරනවා.
ඖෂධ විශ්ලේෂණය පිළිබඳ පශ්චාද් උපාධි අධ්‍යයන කටයුතු සඳහා ඇය ස්කොට්ලන්තයේ
ස්ට්‍රැත්ලයිට් විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණේ 1989 වසරේදී. එහිදී රටවල්
දොළහක සිසුන් පරදවා ඉහළම ලකුණු ලබා රන් සම්මානයකින් පිදුම් ලත් සකුන්තලාට
අදත් එම පශ්චාද් උපාධි ආයතනය දීප්තිමත් ආදි ශිෂ්‍යාවක ලෙස විශේෂයෙන්
සලකනවා. හැමදාම එංගලන්තය, ඇමෙරිකාව, ප්‍රංශය, වැනි යුරෝපා රටවල සිසුන් මුල්
පෙළෙහි වැජඹුණු ඒ ආයතනයෙහි ආසියාතිකයකු මෙලෙස බුහුමන් ලබන්නේ ප්‍රථම
වතාවටයි.
විශිෂ්ට ජයග්‍රහණයක් සමඟ පෙරළා මෙරට පැමිණි ඇය යළිත් සුපුරුදු සේවයට එක්
වුණා. 1996 දී ජ්‍යෙෂ්ඨ රස පරීක්ෂක ධුරයට පත්වූ ඇය 2002 වසරේදී නියෝජ්‍ය රස
පරීක්ෂක ධූරයටත්, 2011 දී අතිරේක රස පරීක්ෂක ධූරයටත් පත් වුණා. 2014 මාර්තු
මාසේ 03 වැනිදා ඇය රජයේ ප්‍රධාන රස පරීක්ෂක ධූරය භාරගත්තේ එදා මෙදා තුර එම ධුරයට
පත්වූ ප්‍රථම කාන්තාව ලෙස වාර්තාවක් ද තබමින්.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙහි මෙරට විද්‍යාත්මක සේවයෙහි උසස්
නිලධාරීන් 87 දෙනකු කටයුතු කරනවා. ඔවුන් සියලු දෙනාම රසායන විද්‍යාව පිළිබඳ
උපාධිධාරින් හෝ පශ්චාද් උපාධිධාරීන්. අමතරව නිලධාරීන් 298 දෙනකු එහි
සේවයෙහි නියැළෙනවා. මේ සියලු දෙනාගෙන්ම රටට ලබාගත හැකි උපරීම සේවය ලබා ගන්නට
උත්සාහ කරන බවයි රස පරීක්ෂක තුමිය පවසන්නෙ. දිගු කලක් ඇල්මැරුණු ස්වභාවයෙන්
පැවැති රස පරීක්ෂක සේවාව වඩාත් කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර රැසක් ගන්නට ගත
වූ කෙටි කාලය තමාට හැකි වූ බව ඈ පවසන්නේ සතුටින්.
“ඒ කාලේ අධිකරණයට යොමුවන නඩු බොහොමයක අවසාන තීන්දුව ලබා දෙන්නට අවුරුදු
ගණනාවක් පමා වුණේ ‘රජයේ රස පරීක්ෂක වාර්තාව’ ලැබීමට ප්‍රමාද වීමෙන්. මේ වන විට
එම ප්‍රමාදය බොහෝ දුරට අවම කර තිබෙනවා. දැනට අපි මාසයකට නඩු 800ක් පමණ
අධීක්ෂණය කර රස පරීක්ෂක වාර්තා නිකුත් කරනවා. එකල සිදුකළ පරීක්ෂණවලට වඩා
සියුම් ලෙස නවීන තාක්ෂණික ක්‍රම යොදාගෙන ඉතා නිවැරැදි වාර්තා ලබාදීමට දැන් අපට
පුළුවන්. අදට වඩා අලුත් ක්ෂේත්‍ර වෙත අපේ පරීක්ෂණ යොමු වී තිබෙනවා. ගිනි අවි
භාවිතය, පුපුරණ ද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය මෙන්ම ජාන පරීක්ෂාව සඳහා අති නවීන යන්ත්‍ර
සූත්‍රවල මෙන්ම විශේෂඥ පුහුණුව ලත් නිලධාරින්ගේ සේවය ද අප ලබා ගන්නවා.
එහෙයින් දැන් නඩු විසඳීමේදී “රජයේ රස පරීක්ෂක වාර්තාව” ලැබෙන තුරු තීන්දු ලබා
දෙන්නට එතරම් කල් ගත වන්නේ නැතැයි” ඇය පවසනවා.
වර්තමානයේ මෙරට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ලෝකයේ වෙනත් දියුණු රටවල්
බොහොමයක තත්ත්ව පරීක්ෂණ හා ප්‍රමිති ආයතනවල තත්ත්වයට බෙහෙවින් සමාන මට්ටමක
පවතිනවා. එහි සේවයෙහි යෙදෙන විද්වතුන්ගේ දැනුම පුළුල් කරගන්නට එංගලන්තය
ඇමෙරිකාව කොරියාව වැනි රටවල උසස් විශ්ව විද්‍යාල හා රසායනාගාරවල සහාය ලබා
ගන්නට ආයතනය සමත්ව තිබෙනවා. ආයතනය මේ තත්ත්වයට ගෙන එන්නට කැපවීමෙන් කටයුතු
කළ හිටපු ප්‍රධාන රස පරීක්ෂකවරුන් වන පී. ජී. සෝමපාල සහ ටී. ආර්. එන්. එම්.
ලියනාරච්චි යන මහත්වරුන් ද කෘතවේදීව සිහිපත් කරන්නට ඇය අමතක කළේ නෑ.
කොරියාවේ කොයිකා ආයතනය සමඟ සම්බන්ධ වෙමින් ඩිජිටල් තාක්ෂණය ඇසුරෙන්
රසායනාගාර පරීක්ෂණ හා විද්‍යාත්මක විශ්ලේෂණ පහසුකම් පුළුල් කරන්නට ඇය
කටයුතු යොදා තිබෙනවා. පසුගිය 2014 දෙසැම්බර් 14 වැනිදා ඇමෙරිකා ඩොලර් මිලියන
500ක් වටිනා ආයෝජනයකින් යුතු විද්‍යාත්මක අවබෝධතා ගිවිසුමකට එළැඹුණු අතර
මෙරට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හා කොරියානු රජයේ ජාතික අධිකරණ සේවයේ
අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම ගිවිසුම අස්සන් කළා.
ඩිජිටල් තාක්ෂණය ඇසුරින් ජාන පරීක්ෂාවට ලක් කෙරෙන අති නවීන රසායනාගාරයක්
මෙරටට ලබා ගැනීමට හා අවශ්‍ය වූ විට වෙනත් රටවල දියුණු රසායනාගාරවල සේවාවන්
හුවමාරු කරගැනීමේ වැඩපිළිවෙළක් ද ඇය අරඹා තිබෙනවා.
ශ්‍රී ලංකා අධිකරණ ක්ෂේත්‍රයට මෙන්ම, යුක්තිය සාධාරණය අයැදින අහිංසක
ජනතාවට ද වඩාත් නිවැරැදි සාධාරණ සේවාවක් හැකි තාක් කඩිනමින් ලබා දීමට
ආයතනය මෙහෙයවීම සිය අරමුණ බව රජයේ රස පරීක්ෂකවරිය අපට සමු දෙමින් පවසා
සිටියා.
සාගරිකා දිසානායක
ජයසිංහ
ඡායාරූපය -
සිරිපාල හල්වල
|