දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

 
 

'පාන් පිටි දේශපාලනය'

 
 

ජාතික සංහිඳියාවේදී මාධ්‍යවේදීන්ගේ වගකීම විශාලයි

 
 

නියං තත්ත්වය උග්‍රවෙයි

 
 

එලිනිනෝ අවදානම් කලාපයට අපේ රටත්

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

ක්ලබ්-පාටි කොච්චර තිබුණත් මම හැම සති අන්තයේම යන ක්ලබ් එක තමයි මහරගම ධර්මායතනය

 
 

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්: එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

 
 

කියුබාවත් ඇමෙරිකාවේ ‘මිත්‍රත්වයේ දෑතට’ සිරවීද?

 
 

මුල් පිටුව

 
 

රටේ අනාගතය තීන්දු කරන වචන දෙකක බලය

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»

86 වසර සපුරන පැරැණිතම පරිණතම සිළුමිණ

86 වසර සපුරන පැරැණිතම පරිණතම සිළුමිණ

පිරිපුන් මාධ්‍යවේදියකු අනාගතයට දිගේලි කළ මනසක් ඇත්තකු විය යුතු ය යන්න අද පවත්නා ශාස්ත්‍ර විධි නියමයයි. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ප්‍රතිෂ්ඨාපනය කරන්නට පෙර, 1930 මාර්තු 30 වැනි දා ‘සත දහයේ විශ්ව විද්‍යාලය’ ආරම්භ කරන ලද්දේ මේ අනාගතයට දිගේලි කළ මනසක් ඇති පිරිපුන් මාධ්‍යවේදියකු වන පියසේන නිශ්ශංක විසිනි. මේ ‘විශ්ව විද්‍යාල’ සංකල්පය කිසිදා විශ්ව විද්‍යාලයකට නොගිය ඔහු කෙරෙහි පිළිසිඳුණේ කවර හේතුවක් නිසා ද?

“අනාගතය පිළිබඳ අපගේ දැක්ම හැඩ ගස්වන්නේ සංස්කෘතියයි. සංස්කෘතිමය මූලයන්ගෙන් තොර සමාජය වියවුලෙන් වියවුලට පත්වෙයි. සංස්කෘතික මුහුණුවරින් තොර කවර හෝ ක්‍රියාවලියක ආත්මය විනාශයට පත්වීම අනිවාර්යයි” සංස්කෘතිය පිළිබඳ යුනෙස්කෝ සංවිධානයේ මේ නූතන සංකල්පය එදා පියසේන නිශ්ශංක දැන සිටියේ නැත. එහෙත් එදා යටත් විජිත අවදියේ පවා, සංස්කෘතික මූලයන් නො සිඳුණු ජාතියක අවශ්‍යතාව ඔහු දැන සිටියේ ය. ඒ අනාගතයට දිගේලි කළ මනසක් ඔහුට තිබුණු නිසා ය.

පුවත්පත කර්තෘවරයා ගේ විඥානයේ පිළිබිඹුවකි. ගෝල්ඩ්ස්ට්‍රිට් සංකල්පය අනුව බලන විට මුල් සිළුමිණ පියසේන නිශ්ශංක ගේ විඥානය යි.

ඔහු සතු මහ කළු සිංහලයකු ගේ ආරෝහ පරිණාහ දේහ විලාසයත්, පරිපූර්ණ බටහිර ඇඳුම් කට්ටලයත් මූර්තිමත් කර දක්වන්නේ, සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ලත් සකසුරුවම් ආභාසයත් යැයි සිතමි.

සැබෑ මාධ්‍යකරුවකුට පවත්නා සමාජය විසින් කෙරෙන බලපෑමෙන් මුළුමනින් ම නිදහස් විය නො හැකි ය. එසේ ම පවත්නා සමාජයේ බලපෑමට මුළුමනින් ම ගොදුරු වන්නට ද පුළුවන්කමක් නැත. පියසේන නිශ්ශංක සිළුමිණ හරහා පූර්ව නිදහස් අවදියේ දී නිදහස් අරගලයට ජන මතය සකස් කෙළේත්, පශ්චාත් නිදහස් අවදියේ දී ජාතිය ගොඩනැඟීම උදෙසා ජන මනස හැඩ ගැස්වූයේත් එබැවිනි. ඒ සැබෑ මාධ්‍යකරුවකු ගේ භූමිකාව යි.

පියසේන නිශ්ශංක කිරෙන් දිය වෙන් කරගන්නා රාජා හංසයකු පරිද්දෙන් අපේ සංස්කෘතික සම්ප්‍රදායයෙන් රැක ගත යුතු සාරාර්ථ රැක ගනිමින් ද - යල් පිනූ හණමිටි නිර්භීත ලෙස ඉවත දමමින් ද - පෙරදිගින් මෙන් ම අපරදිගින් ද ලැබිය යුතු ආභාසය පමණ දැන ලබා ගනිමින් ද දැනුවත් - විචාරවත් පාඨක පිරිසක් තනා ගැනීමෙහි ප්‍රෝත්සාහී විය.

මේ යුග පුරුෂයා එදා සිළුමිණ සැලසුම් කෙළේ ජගත් ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍ර විධි නියමයන් තබා, එවන් ශාස්ත්‍රයකුදු බිහිව නො තිබුණු අවදියක දී ය. එහෙත් විස්මය නම්, අද දියුණු ශාස්ත්‍රයක් ව පවතින, ජනමාධ්‍ය විද්‍යාවේ සකලවිධ මූල ධර්මයන්ට පියසේන නිශ්ශංක ගේ සැලසුම අත්‍යන්තයෙන් එකඟ වීමයි. අද ඉතා පුළුල් විෂයයක් වී තිබෙන ජනමාධ්‍යයේ පරමාර්ථවලට ද ඔහු ගේ සැලසුම මනාව ගැළපීමයි. ඉනුදු, පිළිබිඹු වන්නේ පිරිපුන් මාධ්‍යවේදියකු ගේ විශද බුද්ධියයි. විචක්ෂණ භාවයයි. පෙරමඟ දැක්මයි.

ප්‍රථම ටැබ්ලොයිඩ් අතිරේකය

ප්‍රථම සිළුමිණ පත්‍රයේ එන ‘ශාස්ත්‍රීය සහ ඓතිහාසීය අතිරේකය’ ශ්‍රී ලංකාවේ සති අන්ත පුවත්පතකට ඇතුළත් වූ විද්වතුන් සඳහා වූ ප්‍රථම ශාස්ත්‍රීය ලිපි එකතුව පමණක් නොව, ඉරිදා පුවත්පතකට එක් වූ ප්‍රථම ‘ටැබ්ලොයිඩ්’ පුවත්පත ද වන්නේ ය.

“සිළුමිණ පත්‍රයේ 3 වෙනි 4 වෙනි පිටු ශාස්ත්‍රිය අතිරේකයක් වශයෙන් සලකනු ලැබේ. ඒ කොළය පත්‍රයෙන් කඩා ඉවතට ගත් කල්හි, වඩා හොඳ ප්‍රමාණයක පිටු 4ක් සේ ගණන් ගැනේ. සිළුමිණ පත්‍රයේ ශාස්ත්‍රිය ලිපි සතර ම මේ පිටුවල ඇතුළත් වන බැවින් එය පත්‍රයෙන් ගලවා පරෙස්සම් කිරීමෙන් වටිනා ශාස්ත්‍රීය ග්‍රන්ථයක් වන්නේ ය.”

සිළුමිණ මුල් පිටුවේ මේ සඳහනින් සනාථ වන්නේ එවක පැවැති යාන්ත්‍රික අපහසුතා නිසා කපා වෙන් කර ටැබ්ලොයිඩ් පිටු වශයෙන් වෙන් නො කළ ද, මෙය සිළුමිණ සමඟ දෙන පිටු 4ක ටැබ්ලොයිඩ් පුවත්පතක් බව ය. (අද පළවන වල්පල් පිරි ටැබ්ලොයිඩ් පත්තර හා සසඳා බැලීම මැනවි) සිළුමිණ “ශත දහයේ විශ්ව විද්‍යාලය” විරුදාවලිය ලැබීමට හේතු වූයේ මේ ‘ටැබ්ලොයිඩ්’ අතිරේකයයි. අද පුවත්පත්වල විවිධ නම්වලින් පළ කෙරෙන සෑම විශේෂාංගයක් ම ප්‍රථම සිළුමිණ පත්‍රයේ සිට ම පළ වී තිබීම සැබැවින් ම විස්මයජනක කාරණයක් සේ සැලකිය හැකි ය.
සිළුමිණ කර්තෘ මණ්ඩලය හා කාර්ය මණ්ඩලය

සිළුමිණ උපදේශක කර්තෘ තිලකරත්න කුරුවිට බණ්ඩාර සහ ප්‍රධාන කර්තෘ ලක්ෂ්මන් පියසේන මහතා ප්‍රමුඛ සිළුමිණ කර්තෘ මණ්ඩලය හා සිළුමිණ කාර්ය මණ්ඩලය ඉදිරිපෙළ - නිෂානි ලෂිකා, තුෂාරි නේරංජා වික්‍රමසිංහ, රූපාන්ති බුලත්සිංහල, ශෂිකා මිහිරාණි, තිලකරත්න කුරුවිට බණ්ඩාර (උපදේශක කර්තෘ), නිහාල් පී. අබේසිංහ (සමකර්තෘ), රමණී සුබසිංහ, අමිල මලවිසූරිය, ජයත් පියදසුන්, ඉනෝකා පෙරේරා, ආර්.එම්.පී. ජයලත්. දෙවැනි පෙළ - බන්දුල ජිනේන්ද්‍රසිංහ (සැලසුම් කර්තෘ), සාගරිකා දිසානායක - නියෝජ්‍ය විශේෂාංග කර්තෘ, සේමාලි කැල්ලපත (විශේෂාංග කර්තෘ), ඉනෝකා සමරවික්‍රම, සුමුදු චතුරාණි, ලක්ෂ්මන් පියසේන (ප්‍රධාන කර්තෘ), උපාලි සමරසිංහ (නියෝජ්‍ය කර්තෘ), ගාමිණී සුසන්ත, දිනුක්ෂි පෙරේරා, ටෙක්ලා පද්මිණී කාරියවසම්, වසන්ත කුමාර, ටිරෝනි වෑවලගේ, තිඹිරියාගම බණ්ඩාර, ටානියා මෝසස්, ඉඳුනිල් වීරරත්න (නියෝජ්‍ය කර්තෘ), එම්.අයි‍.එම්. බෂීර්, චාමර ලක්ෂාන් (ජ්‍යෙෂ්ඨ සමකර්තෘ), හර්ෂ ගුණවර්ධන, නිහාල් ගුණසේකර (සම කර්තෘ), ධනුෂ්කා ජයවීර, උපේක්ෂා‍ ගුණසේකර, තාරක වික්‍රමසේකර (ප්‍රධාන උපකර්තෘ), සුභද්‍රා දේශප්‍රිය, මලික් චමින්ද, ජී.එස්.ආර්. සිල්වා, රොහාන් සංජීව, ජානක උදයකුමාර, හේමන්ත චන්ද්‍රසේකර, සුභාෂිණී ජයරත්න, අරුණි මුතුමලී, චන්දන බණ්ඩාර, සුනිල් මිහිඳුකුල, කේ.සී.ජේ. රත්නායක, වසන්ත ජයසිංහ, එච්. ඒ. සමරවංශ, කේ.ඩී. වි‍ජයසිරි, ප්‍රියන්ත බිබිල‍දෙනිය (ඡායාරූපයේ පෙනී සිටියේ නැත)

ඡායාරූපය - මහින්ද විතානච්චි

මෙරට සහ පිටරට ආරංචි (9 පිටුව) අද “දෙස් විදෙස් පුවත්” ය. නිරෝගීභාවය සහ රෝග වැලඳීම (11 පිටුව) අද සෞඛ්‍ය විශේෂාංග ය. අපරාධ සහ අධිකරණය (11 පිටුව) අද උසාවි තොරතුරු ය. පිටින් ලැබෙන ලියුම් (12 පිටුව) අද ‘කර්තෘට ලියුම්’ ය. ක්‍රීඩා ප්‍රවෘත්ති (13 පිටුව) අද ක්‍රීඩා විශේෂාංග ය. සීයා ගේ සිනා කතා (14 පිටුව) හාස්‍යෝත්පාදක කතා අද විවිධ නම්වලින් හැඳින්වේ.

‘මනරම් නිවස’ (15 පිටුව) සබුද්ධික කාන්තාවන් හා ළමයින් උදෙසා වෙන් වූවකි. අද කාන්තා හා ළමා පිටු පුවත්පතක අනිවාර්ය අංග බවට පත් ව තිබේ. ‘සූප ව්‍යංජන’ අද නවීන සූපවේදීන් ගේ කෑම වට්ටෝරු හෙවත් ඉවුම්-පිහුම් අතිශය ජනප්‍රිය විශේෂාංගයකි. ගුරුවරයා සහ ශිෂ්‍යයා (16 පිටුව) ඉගෙනීම හා ඉගැන්වීමට වෙන්වුණු මේ විශේෂාංගය අද සිසු අත්වැල ලෙස බොහෝ ප්‍රකාශනවල හැඳින්වේ. ග්‍රන්ථ විවරණ (16 පිටුව) පොතපත විත්ති - පොත්ගුල - ග්‍රන්ථ විචාර විශේෂාංග බවට පත්ව ඇති බව පෙනේ.

අද ව්‍යාපාරික හා කෘෂිකර්ම අතිරේක ලෙස පළ කෙරෙන පුළුල් විශේෂාංග මුල්ම සිළුමිණේ පළ කෙරෙන්නේ ‘කෘෂිකර්මෝපදේශ සහ වාණිජෝපදේශ’ යන සිරස්තලයෙනි. සීබට් ඩයස් ගේ ‘ජුලියස් සීසර්’ නාට්‍යය පිළිබඳ විස්තරයකින් ඇරැඹෙන ‘නෘත්‍ය මණ්ඩපය’ (19 පිටුව) නාට්‍ය කලාවට වෙන් වූවකි. ‘ජාතික ශිල්ප’ නම් පොදු සිරස්තලය යටතේ ‘සිංහල ගෘහ නිර්මාණ ශිල්පය’ (10 පිටුව) නම් ලිපිය අද පත්තරවලත්, විද්‍යුත් මාධ්‍යයේත් කැදැල්ල - නිවහන වැනි නම්වලින් හඳුන්වනු ලබන ගෘහ නිර්මාණ ශිල්ප සැලසුම් පිළිබඳ ජනප්‍රිය විශේෂාංගයට සමාන වෙයි.

විශේෂිත අවස්ථා පිළිබඳ ප්‍රවෘත්ති ඡායාරූපමය වාර්තා අද පත්තරවල සුලබය. එදා ‘ස්වදේශිය සහ විදේශීය ප්‍රවෘත්ති ප්‍රකාශ වන සිළුමිණ ප්‍රතිරූ’ (20 පිටුව) යනුවෙන් පළ වී ඇත්තේ මේ කැමරා ඇස ගිය තැන්ම නොවේ ද?

අද ඉතා ජනප්‍රිය තෑගි තරග මුල් පත්‍රයෙන්ම අරඹා තිබේ. “සිළුමිණ තෑගි තරගය - දිනාගන්නවා නම් මෙන්න රු. 500ක්” (18 පිටුව) ඡායාරූපයක කපා අවතැන් කළ කැබලි නිසි පරිදි අලවා පැහැදිලි ඡායාරූපය හදා යැවීමෙන් පාඨකයාට තෑගි දිනා ගැනීමට අවස්ථාව සලසා ඇත. අද පත්තර මඟින් සංවිධානය කෙරෙන නවකථා තරග නිතර දක්නට ලැබේ.

දිනමිණ පත්‍රය මඟින් පවත්වන ලද ‘දිනමිණ ප්‍රබන්ධ කතා තරගයේ (18 පිටුව) ජයග්‍රහණය හිමි නවක විසින් ලියන ලද ඓතිහාසික නවකථාවකට හිමි වූ බව, මුල්ම සිළුමිණ සඳහන් කරමින් නවකථා හෙවත් ප්‍රබන්ධ කථා කලාවට රුකුල් දීම ‘සිළුමිණ’ අභිලාෂය ද වන බැවිනි.

යුග කාරක මෙහෙවර

මේ ඇරුණුකොට, කාව්‍ය - සිළුමිණ සුභාශංසන (7 පිටුව) දේශපාලන කාටුන් චිත්‍ර ‘ජර්මන්කාරයා ඉංග්‍රීසිකාරයාට කරන සරදමක් (8 පිටුව) කාටුන් චිත්‍ර - ‘සිළුමිණ විකට චිත්‍රය (14 පිටුව) ප්‍රශ්නෝත්තර ‘විචාරණ සහ විසර්ජන’ (14 පිටුව) ආදියෙන් සමන්විත මුල්ම සිළුමිණ අද නූතන මාධ්‍ය විශේෂාංග ආකෘතිය අනුව සැලකුව ද පරිපූර්ණ ය.

මේ විශේෂාංග අද ළමා - ක්‍රීඩා - කලා - ව්‍යාපාරික ආදි විෂයබද්ධ වාර ප්‍රකාශන ලෙස ද පුළුල් වී ඇති බව ප්‍රකට කරුණකි.

යටත් විජිත පාලන සමයේ බිහි වූ සිළුමිණ ජාතියේ අභිමානය මතක් කර දීමත් - ජාතියේ නිදහස වෙනුවෙන් පෙනී සිටීමත් - රටවැසියන්ට දේශපාලන අවබෝධය ලබාදීමත් - ජාතික සමඟියේ අවශ්‍යතාව පෙන්නා දීමත් - ආගම දහම හා සදාචාරයේ අගය පහදා දීමත් සිය යුගකාරක මෙහෙවර ලෙස තෝරාගත් බව පැහැදිලිය. “මහජන සේවය සහ ජාතික වර්ධනය මගේ පුවත්පත් කලාවේ අරමුණ”යි යනුවෙන් ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන හකුළා දක්වන්නේ මේ සකලවිධ පරමාර්ථයෝ වෙති.

“ජාත්‍යුන්නතියත් - ශාස්ත්‍රෝද්දීප්තිය - සදාචාරය - මහජන සේවය - මහජන අර්ථ සංරක්ෂණය යන ආදියට රුකුල් දීමෙන් ජනතාභිවෘද්ධිය සැලසීම අපේ එක්වන් අධිෂ්ඨානයයි.” සිළුමිණ සිය ප්‍රථම කර්තෘ වාක්‍යයෙන් පවසන්නේ ද එයමය.

විද්වත් ජන ආශ්‍රය

කහවේ ශ්‍රී සුමංගල රතනසාර - ලුණුපොකුණේ ධම්මානන්ද - යගිරල ශ්‍රී ප්‍රඥානන්ද - පැළෑණේ ශ්‍රී වජිරඤාණ - තෙල්වත්තේ අමරවංස - කරඳන ශ්‍රී ජිනරතන - විදුරුපොළ ශ්‍රී පියතිස්ස - නාරාවිල ධම්මරතන - කොටහේනේ පඤ්ඤාකිත්ති - වැලිවිටියේ සෝරත - මෙත්ත්‍යෙය - මැදඋයන්ගොඩ විමලකිත්ති - කලුකොඳයාවේ ශ්‍රී පඤ්ඤාශේඛර ආදි පැවිදි මහ පඬිවරු ද ඇස්. ජේ. ද ඇස්. වීරසිංහ - ජේ. සයිමන් ද සිල්වා - ඩබ්ලිව්. ඊ. බොතේජු වැනි බහුශ්‍රැත දේවගැතිවරු ද සර් ඩී. බී. ජයතිලක - සර් ආතර් ද සිල්වා - ඇෆ්. ආර්. සේනානායක - සර් ජේම්ස් පීරිස් - ඩී. ඇස්. සේනානායක - සර් පොන්නම්බලම් අරුණාචලම් - ඊ. ඩබ්ලිව්. පෙරේරා වැනි දේශමාමකයෝ ද - ඇස්. මහින්ද හිමි - මිදෙණියේ විමලානන්ද හිමි - ශ්‍රී රූපදේව ආනන්ද රාජකරුණා - ඩී. ඇල්. ඊ. දිසානායක - පිළිකුත්තුවේ කමලා - මුල්ලපිටියේ කේ. එච්. ද සිල්වා - විල්සන් කහඳ සුමිත්‍ර - දාගොන්නේ සෝමා - උඳුගොඩ නවරත්න - සාගර පලන්සූරිය වැනි කවි කිවිඳියෝ ද, ටී. ජී. ඩබ්ලිව්. ද සිල්වා - ඔස්ටින් ද අල්විස් - ඇලන්සන් පියදාස - ජී. බී. සේනානායක වැනි කෙටිකතාකරුවෝ ද සිළුමිණ අරා, සිළුමිණ පෝෂණය කළහ.

සත දහයේ විශ්වවිද්‍යාලය

මේ යටත් විජිත සමයේ ඓතිහාසික වූ ද පුරා විද්‍යාත්මක වූ ද පර්යේෂණ කෘති පළ වූයේ ඉංගිරිසියෙනි. මේ මහාර්ඝ දැනුම් සම්භාරය සිංහල පමණක් දත් බහුතර පාඨක පිරිස ගෙන යාමේ වාහකය වූයේ ‘සිළුමිණ’ පත්තරයයි. මේජර් තෝමස් ස්කිනර්ගේ ‘ලංකාවේ පනස් වසරක්’ - රොබට් නොක්ස්ගේ ‘ලංකා ගමන් විස්තරය’ - ආර්. එල්. බ්‍රෝහියර්ගේ ‘ලංකාවේ වාරිමාර්ග’ - එච්. ඩබ්ලිව්. කේව්ගේ ‘ලංකාවේ නටබුන් නගර’ - මහාචාර්ය තෙන්නකෝන් විමලානන්දගේ ‘උඩරට කැරැල්ල පිළිබඳ ලියවිලි’ ආදි පොතපත සිංහලෙන් කොටස් වශයෙන් පළ කරමින් සිළුමිණ කළ මෙහෙවර උදාරය. එලෙසම ආචාර්ය ඇන්ඩ්‍රයස් නෙල් - චාමර්ස් ආණ්ඩුකාරයා - සර් අයිවර් ජෙනිංග්ස් - ඊ. ඩබ්ලිව්. පෙරේරා - එච්. වින්ටර්නිට්ස්ගේ ඉංගිරිසි ලිපි ද මහාචාර්ය සෙනරත් පරණවිතාන ලියූ ‘සීගිරි කුරුටු ගී’ පිළිබඳ පර්යේෂණ ද මුල්වරට සිංහලෙන් පළ කෙළේ ‘සිළුමිණ’යි.

එපමණකුදු නොවේ, ‘සත දහයේ විශ්ව විද්‍යාලය’ මාතර සී. ජස්ටින් විජේවර්ධන වැනි උගතුන් විසින් මහත්මා ගාන්ධි - සුභාෂ් චන්ද්‍රබෝස් - කමලාදේවී චට්ටෝපාධ්‍යාය වැනි භාරත පුත්‍රපුත්‍රීන් විසින් නිදහස අරබයා ලියන ලද වේගවත් ලිපි ද - රවීන්ද්‍රනාත් තාගෝර් - බලීල් ගිබ්රාන් ආදීන්ගේ නිර්මාණ ද පාඨකයන් හමුවට ගෙන ගියාය.

මීට අසූහය වසරකට පෙර මෙරට සිංහල පාඨක ජනතාවට විශ්ව දැනුම බෙදා දීමට ‘සිළුමිණ’ මුල පිරුවේ එපරිද්දෙනි.

පියසේන නිශ්ශංකයන් මුල් ‘සිළුමිණ’ට නිර්මාණය කළ විශේෂාංග ආකෘතිය, සති අන්ත සිංහල පුවත්පත් කලාවේ පැරැණිතම - පරිණතම විශේෂාංග ආකෘතිය බව අද තහවුරු වී තිබේ.

ඔහුගේ ඇවෑමෙන් කර්තෘ පදවිය භාරගත් මාර්ටින් වික්‍රමසිංහගේ සිට වත්මන දක්වා වන සියලු දෙනාටම කරන්නට ඇත්තේ, එම විශේෂාංග ආකෘතිය තම තමන්ගේ අනන්‍යතා ලක්ෂණ ඉස්මතු වන පරිදි හැඩගස්වා ගැනීම පමණි.

මාර්ටින් වික්‍රමසිංහ අවදියේ භාෂා සාහිත්‍යය - විචාරය - සංස්කෘතිය - දර්ශනය - පුරාවිද්‍යාව - මානව විද්‍යාව - ජගත් සාහිත්‍යය වැනි විෂයයන්ට ප්‍රමුඛත්වයක් ලැබිණි. මීමන ප්‍රේමතිලක අවදියේ සිළුමිණ කොළඹ කවියට තොටිල්ලක් විය. එසේම ගම රට - රටතොට චාරිකා පිළිබඳ රසාලිප්ත ලිපිවලට ප්‍රධාන ස්ථානයක් ලැබිණි. ගම්භීර සාහිත්‍යය ඉක්මවූ එවක බහුල වශයෙන් පළ වූයේ සෞන්දර්යාත්මක ලිපි බව පැහැදිලිය. විමලසිරි පෙරේරා - කවුඩානේ පියදාස පෙරේරා යන කවීන් සිළුමිණ කර්තෘ පදවිය දැරූ අවදියේ දී ද කොළඹ කවියට මුල් තැනක් අත්විය.

මේ නිදසුන්වලින් මා අවධාරණය කර දක්වන්නට වෑයම් කරන්නේ පුවත්පත කර්තෘවරයාගේ විඥානයේ පිළිබිඹුවක් බවයි. අවශේෂ කර්තෘවරුන්ගේ අවදීන් ද මෙසේ නිරීක්ෂණය කිරීමෙන් ඔවුන්ගේ විඥානයේ අනන්‍යතා ලක්ෂණ ද අධ්‍යයනය කළ හැකිය. කුසලානේ ලූ මිදි යුෂ කුසලානේ හැඩය ගන්නාක් මෙන්, පූකුරුවේ ලූ මිදි යුෂ පූකුරුවේ හැඩය ගන්නාක් මෙනි.

සිළුමිණ අපේ රටේ ශාස්ත්‍රෝන්නතිය කෙරෙහි මහත් බලපෑමක් කළ සේම, සෙසු මාධ්‍යයන්ට ද යා යුතු දිශාවනතිය පෙන්නුම් කළ බව ප්‍රබල සාධක දැක්විය හැකිය.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ලංකා ගුවන්විදුලි සේවයේ ‘ශාස්ත්‍රීය සංග්‍රහය’ නම් විශේෂාංග නිර්මාණය කර ඇත්තේ පියසේන නිශ්ශංක ‘සිළුමිණ’ට හඳුන්වා දුන් සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකය පූර්වාදර්ශයට ගෙන බව ඔහු මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් සමඟ කළ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇති බව 2000 අප්‍රේල් 17 වැනිදා ‘සිළුමිණ’ට සැත්තෑවිය පිරීම නිමිත්තෙන් පළ කළ විශේෂ අතිරේකයේ සඳහන් වී තිබේ. අද හරසුන් විද්යුත් මාධ්‍ය වැඩසටහන් අනුකරණය කරමින් පුවත්පත් නිසරු විශේෂාංග නිර්මාණය කරන ආකාරය සලකන විට, ශාස්ත්‍රිය සංග්‍රහය වැනි සාධනීය වැඩසටහනකට පූර්වාදර්ශ සැපැයීම සිළුමිණ කීර්තිය වැඩිවීමට හේතු වන්නේය.

සිළුමිණේ දෙවැනි කර්තෘවරයා වූ මාර්ටින් වික්‍රමසිංහ අවදියේ සිංහල කවියේ බලගතු වෙනසක් සිදුවූ ආකාරය සිංහල කාව්‍ය විකාශයේ සටහන් විය යුතු සංසිද්ධියකැයි සිතමි.

“මාර්ටින් වික්‍රමසිංහ සිළුමිණ කර්තෘකම දැරූ කාලයේ යුරෝපීය සාහිත්‍ය ඉතිහාසය ගැන ඉංගිරිසියෙන් ලියූ පොතක් සිංහලයට පරිවර්තනය කොට සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකයේ පළ කරන ලද්දේය. එකල මම බාල වයසෙහි සිටියෙමි. මම මේ සෑම ලිපියක්ම කියැවීමි. එක්තරා ලිපියක් හෙවත් අර ඉතිහාසයෙන් කොටසක් වෝල්ට් විත්මන් (Walt Whitman) නමැති ඇමෙරිකානු කවියා ගැන විය. අදත් මෙතෙක් එක්සත් ජනපදයේ විසූ අති ශ්‍රේෂ්ඨ කවියා ලෙස පිළිගැනේ. විද්වත් වෘත්තයෙන් විනිර්මුක්ත වූ පද්‍ය ලියූ බව එහි කියා තිබුණි. සිංහලයේ වෘත්තයක් නැති පද්‍ය ලිවිය නොහැකි ද යන පැනය මා කෙරෙහි පහළ විය. මේ අදහස් මා විසින් නිදහස් පද්‍ය යැයි ද, සෙස්සන් නිසදැස් පද්‍ය යයි ද කියන පද්‍ය ක්‍රමයේ උපත විය.”

ජී. බී. සේනානායක කියන්නේ ඔහුගේ ‘පළිගැනීම’ (1946) නම් කෘතියේ අඩංගු රුව දැකීම - මම තොප නොහඳුනමි - දෙවියන් මැරීම - සැඳෑ අඳුර - වරද - ශිෂ්‍යාව - සුන්දරත්වය - නිශ්ශබ්දතාව වැනි නිදහස් පද්‍ය ලිවීමට තමන් පෙලඹුණේ මාර්ටින් වික්‍රමසිංහ අවදියේ පළ වූ මේ ලිපිය නිසා බවයි.

හැඩතල වෙනස් කිරීම

1980 මාර්තු 30 වැනිදා සිළුමිණ (11 වැනි පිටුව) පත්‍රයට නන්දසේන සූරියාරච්චි, ජී. බී. සේනානායක සමඟ කළ සාකච්ඡාවක දී මේ බව සඳහන් කර ඇත. ඒ වික්‍රමසිංහ අවදියේ සාධනීය බලපෑමකි.

ශ්‍රී ලාංකික සාහිත්‍යය - සදාචාරය - දේශපාලනය - ආර්ථිකය ආදි සකලවිධ ක්ෂේත්‍රවල හැඩතල වෙනස් කිරීමෙහිලා මහත් බලපෑමක් සිදු කළ සිංහල පත්තර වංශයේ මුදුන්මල්කඩ සේ සැලකෙන සිළුමිණ වා සියක් කල් දිෙන්වා. චිරං ජයතු සිළුමිණ!


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්